බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් කල්‍යාණාගමනය


තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ සම්බුදු පදවි ලබා නව මසකින් පසුව උන්වහන්සේගේ ප්‍රථම ලංකාගමනය සිදු වූයේ මහියංගණයටයි. අනාගතයේ සම්බුද්ධ ශාසනය ලංකාවේ ආරක්‍ෂා වන හෙයින් ශ්‍රී ලංකාද්වීපය යක්‍ෂ වාසයෙන් මුදාගැනීම උන්වහන්සේගේ පරම ෙච්තනාවයි. අනතුරුව සම්බුද්ධත්වයෙන් පස්‌වැනි වසර උන්වහන්සේ වැඩම කළේ නාගදීපයටයි.

එදා නාග ගෝත්‍රික දෙපිරිසක්‌ අතර ඇතිවී ගිය භයානක යුද්ධයකින් දෙපිරිසම විනාශයට පත්වන බැව් සම්බුද්ධ ඥනයෙන් දුටු උන්වහන්සේ අහස්‌ කුස වැඩ සිට ඔවුන්ට දහම් දෙසා සෙවෙහි පිහිට වූ සේක. චූලෝදර - මහෝදර නා රජුන් දෙදෙනා අතර හටගත් මේ යුද්ධයට එදා කැලණියේ පාලකයාව සිටි මණිඅක්‌ත නා රජතුමාද මහෝදරගේ යුද සහායට නාගදීපයට ගොස්‌ සිටි අතර එහිදී බුදුන් වහන්ස්‌ගෙන් ධර්මය අසා එදා තෙරුවන් සරණ ගිය මණිඅක්‌ත නා රජතුමා බුදුන් වහන්සේ කෙරෙහි පැහැදී කෙදිනක හෝ තමන්ගේ රාජධානිය වන කැලණියටද වඩින ලෙස කළ ඉල්ලීම උන්වහන්සේ නිහඬවම පිළිගත්හ.

බුදුන් වහන්සේ එදා නාගදීපයේ දී තමන් කළ ආරාධනාව පිළිගත් නමුදු වසර තුනක්‌ පමණ ගත වුවද උන්වහන්සේ ගෙන් ප්‍රතිචාරයක්‌ නොලද බැවින් මණිඅක්‌ත නා රජතුමා වෙස්‌ වළාගෙන දඹදිව දෙව්රම් වෙහෙරෙට ගොස්‌ තමන් කළ ඉල්ලීම සිහිපත් කර පවසන්නේ "ධීරයන් වහන්ස, සර්වඥයෝ ලෝකයාගේ අර්ථාභිවෘද්ධිය පිණිසම ලෙව්හි පහළ වෙත්. ස්‌වාමීනි, අප ඔබ වහන්ස්‌ගේ කරුණා ජාලයට ඇතුළත්හු වෙමු. එහෙයින් ස්‌ථිර වූ සසර නමැති බන්ධනාගාරයෙහි දාසයෙක්‌ වූ මාගේ මිදීම ඉදින් ඔබ කැමැත්තෙහි නම් මාගේ මේ දෙවැනි ආරාධනාව පිළිගනිත්වා" ඉන්පසු සර්වඥයන් වහන්සේ ඒ නාග සමූහයා කෙරෙහි මහත් අනුකම්පාවෙන් එම ආරාධනාව ඉවසා වදාළ සේක. බුදුරජාණන් වහන්සේ එම ඉල්ලීම සනාථ කරමින් එළැඹෙන වෙසක්‌ පුන් පොහෝ දා උදෑසන කැලණි රාජධානියට වඩින බැව් නා රජතුමාට දන්වා සිටි සේක. 

ඉමහත් සතුටට පත් මණිඅක්‌ත නා රජතුමා වහ වහා තම රාජධානියට පැමිණ බුදුන් වහන්සේ ප්‍රමුඛ මහ රහතන් වහන්සේලා පිළිගැනීම සඳහා අවශ්‍ය විධි විධාන සංවිධානය කළේය. වර්තමානයේ කැලණි චෛත්‍යය පිහිටි ස්‌ථානයේ බුදුන් වහන්සේ ප්‍රමුඛ මහා රහතන් වහන්සේලාට වැඩ සිටීම සඳහා මැණික්‌ පුටුවක්‌ සහිත මැණික්‌ මණ්‌ඩපයක්‌ ඉදිකරවා සක්‌ දෙවිඳුගේ සක්‍ර භවනද පරයන පරිද්දෙන් සැරසිලි කරවා නොවඉසිල්ලෙන් බලා සිටියේය. 

සම්බුදුරජාණන් වහන්සේ සම්‍යයක්‌ සම්බෝධියෙන් අටවැනි වසර වෙසක්‌ පුර පසළොස්‌වක්‌ පොහෝ දින උන්වහන්සේගේ අග්‍ර ගණයේ මහ රහතන් වහන්සේලා පන්සියයක්‌ද සමග ඒ මණිඅක්‌ත නා රජතුමාගේ වාසභවනය වූ උතුම් කැලණි පුරවරයට සම්ප්‍රාප්ත වූ සේක. එසේ වැඩ උන්වහන්සේ කැලණි ගඟේ ජල ස්‌නානය කර මණිඅක්‌ත නා රජතුමාගේ ආයාචනයෙන් ගඟේ රළින් මුව වෙත තැන ගං පතුලේ ශ්‍රී පාද ලාංඡනයක්‌ද තබා අනතුරුව මණිඅක්‌ත නා රජතුමා සහ නාග පිරිස විසින් වැඳ අයෑදින ලද ඒ ශාස්‌තෘන් වහන්සේ මණි මණ්‌ඩපය වෙතට වැඩියහ.

ඉක්‌බිති තථාගතයන් සහිත මහ සඟන ඒ මණිඅක්‌ත නයිඳු සියතින්ම දිව්‍යමය වූ ආහාර පානාදියෙන් සංග්‍රහ කළ අතර නා රජ තෙම භුක්‌තානුමෝදනාව දෙසනු පිණිස ආරාධනය කළේය. අනතුරුව සර්වඥයන් වහන්සේ නා රජතුමා ඇතුළු පිරිසට ප්‍රීති ප්‍රමෝදය උපදවන්නා වූ අමා රස එළවන්නා වූ නිර්වාණ ධර්මය නොහොත් නිර්වාණ සංඛ්‍යාත අමා ඵල වඩන්නා වූ දහමක්‌ වදාළ සේක.

සර්වඥයන් වහන්සේ කැලණියට වැඩ කැලණියේ නා රජුන් විසින් කෙරෙන මහා පුද පූජා ගැන සමන් දෙවිඳුන්ට සැලවූයෙන් ඔහු වහාම දෙව් පිරිස්‌ද පිරිවරාගෙන කැලණි ගඟ අනුසාරයෙන් කැලණි පුරවරයට පැමිණ බුදුන් වහන්සේට වැඳ නමස්‌කාර කොට පවසා සිටින්නේ කරුණා නිධාන වූ තිලෝගුරු බුදු රජාණෙනි, මේ නැගෙනහිර දිසා භාගයෙහි පස්‌ ගව්වක්‌ උසින් ඉඳුනිල් පර්වතයක්‌ සේ අහසෙහි ගැහැටි ගැහැටී සේ පෙනෙන්නා වූ සමන්තකූට පර්වතය නම් සුළු වූ පර්වතයක්‌ නොවේ. අනන්තා පර්යන්ත වූ බුදුන්ගේ පාද ශ්‍රී ලබන්නා වූ පර්වතයක දැනුදු නුඹ වහන්සේද මාගේ කුළු නමැති ඔටුන්නෙහි ඔබ ශ්‍රී පාද නමැති ආගමිණිරුවන පළඳවා ලෝ වැඩ කළ මැනව" යි ආරාධනා කළේය. 

සමන් දෙවිඳු කළ මේ ආරාධනය පිළිගනිමින් සර්වඥයන් වහන්සේ රහතන් වහන්සේලා පන්සියයද සමගින් සමන් දෙවිඳුන් පෙරටු කර ගමන් ගත් දේව සමූහයාගෙන් පුද ලබමින් සාධුකාර මධ්‍යයේ කැලණි ගඟ අනුසාරයෙන් ම ගොස්‌ ඒ සමනොළ ගිර මුදුනේ වැඩසිට "අද මමද පෙර බුදුන්ගේ සිරිත් පරිදි ලංකාංගනාව සතුටු කරමි" යි සිතා දිව්‍ය, නාග හා ගන්ධර්වාදී පූජා විඳ ඔවුන්ගේ සාධුකාර මැද පෑල දිග බලා වැඩසිට අටතු රාශියක්‌ මඟුල් ලකුණෙන් හෙබියා වූ වාම ශ්‍රී පාදය තබා වදාළ සේක. ඉක්‌බිති එම පර්වතය පාමුල දිවා විහරණය කොට සොළොස්‌මස්‌ථානයන්හි මොහොත බැගින් සමාපත්තියට සමවැද එම ස්‌ථානයන්ද ගරු බවට පත්කර ආපසු දෙව්රම් වෙහෙරට වැඩි සේක. 

බුදුරජාණන් වහන්සේ කැලණියට වැඩ මැණික්‌ මණ්‌ඩපයෙහි වැඩ හිඳ දහම් දෙසූ තැන එම මණ්‌ඩපය සහ මැණික්‌ පුටුවද නිධන් කොට මණිඅක්‌ත නා රජතුමා කුඩා චෛත්‍යයක්‌ ඉදි කළේය. ඉන් පසු ක්‍රි.පූ. 3 වන සියවසේ රජ පැමිණි යඨාලතිස්‌ස රජතුමා විසින් එය සැටරියන් උසට බන්දවන ලදී. කැලණි විහාරයේ අති විහාරාරාංග අතරින් වැදගත් වන්නේ කැලණි චෛත්‍යයයි. ධාන්‍යාකාර හැඩයකින් යුත් සෑය උස අඩි අසූවක්‌ වන අතර එහි වට ප්‍රමාණය අඩි එකසිය අසූවකි. 

කැලණියේ  සුසන්ත ජයමාන්න

Post a Comment

0 Comments