පොසොන් පුන් පොහෝ දිනයේ වටිනාකම කුම ක්‌දැයි ඇසූ විට ඊට නිසි නිවැරැදි උත්තරය දෙන්නට අපේ රටේ පුංචි පාසල් දරුවෝ පවා සමත්ය. පොසොන් පුන් පෝය දවස ඒ තරමටම අපේ රටේ බෞද්ධ ජනතාවගේ අධ්‍යාත්මය තුළ පූජනීයත්වයට පත්ව තිබීම ඊට හේතුවයි.
බුදුන්ට පමණක් දෙවැනි වූ අනුබුදු හිමි ලෙස මිහිඳු හිමියන්ට වන්දනාමාන කරන්නටත් වෙසක් දිනයට පමණක් දෙවැනි වූ පෝය දිනය ලෙස පොසොන් පුන් පෝය දිනය ගෞරව බහුමානයට ලක් කරන්නටත් අපේ රටේ සිංහල බෞද්ධයෝ පුරුදු පුහුණු වූයේ අද ඊයේ පටන් නම් නොවේ. ඉපැරැණි හෙළ රජ දවසේ පටන්ම ශ්‍රී ලාංකික බෞද්ධයෝ වෙසක් දිනය හා සමාන ගෞරවයකින් පොසොන් පෝය වන්දනාවටත් මිහිඳු වන්දනාවටත් පුරුදු පුහුණුව සිටියහ.
පොසොන් පෝය වන්දනාව ගැන කතා කරන විට දුරාතීතයේ සිටම ලංකාවේ බෞද්ධ ජනතාව අතර ජනප්‍රියත්වයට පත් වූ වන්දනා විධි දෙකක් දකින්නට ලැබේ. එකක් මිහිඳු වන්දනාවය. දෙවැන්න මිහිඳු මාහිමියෝ ශ්‍රී ලංකාවට පැමිණ පළමු සබඳතා හා හමුවීම් ඇති කරගත් ස්‌ථාන වන්දනාවය... මේ වන්දනා විධි දෙකම අපට බහුලව දැකගත හැක්‌කේ පොසොන් පෝය සමයේදීය.
මිහිඳු වන්දනාව යනු මිහිඳු හිමියන් මේ රටේ සිංහල බුද්ධාගමට පදනම දැමූ ආකාරය මෙනෙහි කරමින් මිහිඳු මාහිමි වන්දනාවට ලක් කිරීමය. රට පුරාම ලොකු කුඩා විහාරස්‌ථානවල හා බෞද්ධ මධ්‍යස්‌ථානවල මේ මිහිඳු වන්දනාව එක් එක් සංස්‌කෘතික මුහුණුවරවලින් දැකගත හැකිය.
මහින්දාගමනය හුවා දැක්‌වෙන පොසොන් තොරණ, මිහිඳු පෙරහැර හා පොසොන් භක්‌ති ගීත සංදර්ශන ආදිය මේ වන්දනා විධි අතර ප්‍රකටය. මිහිඳු හිමියන්ගේ පිළිරුවක් සහිත අලි ඇතුන් නර්තනාංග හා සංස්‌කෘතිකාංග ඇතුළත් පෙරහැර වීථි සංචාරය කරවීම මගින් පෙරහැර කර්මය ඉටු කරනු ලබයි.
පළාත්බදව හා නගරබදව සෑම තැනකම මෙකී පූජා විධි කෙරෙන අතර කාලාන්තරයක පටන්ම රටේ ප්‍රධාන පොසොන් උත්සවය පැවැත්වෙනු ලබන්නේ අනුරාධපුර මිහින්තලාවේදීය. මිහිඳු හිමි ශ්‍රී සද්ධර්මය රැගෙන ලංකාවට වැඩම කර දේවානම්පියතිස්‌ස නමැති ලංකාධිපතියාට සද්ධර්මය භාරකර ශ්‍රී ලංකාද්වීපයම බුද්ධ රාජ්‍යයක් බවට පත් කළ ස්‌ථානය ලෙස මිහින්තලාව හෙවත් "මිස්‌සක පව්ව" බෞද්ධයන් අතර වන්දනීයය. අතීතයේ පටන්ම අපේ බෞද්ධයෝ පොසොන් පෝයට මිහින්තලේ වන්දනාවේ යන්නේ ඒ අති උතුම් ඓතිහාසික අවස්‌ථාව මතකයට නගමින් ආමිස සුවයක් විඳින්නට බව පැහැදිලිය.
මුළු මහත් රටේම ජනතාව පොසොන් පෝයට මිහින්තලේ වන්දනා කරන්නට යන අතර දක්‍ෂිණ ලංකාවේ හා රුහුණු මාගම්පත්තුවේ ජනතාවට ද මිහින්තලාව හා සමාන තැනක් රුහුණු රටේ යාල මහ කැලය මැද පිහිටා තිබිණි. අනුරාධපුර යුගයට නෑකම් කියන බෞද්ධ විශ්වවිද්‍යාලයක් පිහිටියේ යෑයි කියන මේ බිම "චිත්තල පබ්බතය" හෙවත් සිතුල් පව්ව ලෙස දකුණේ ජනතාව අතර ගෞරව බහුමානයට ලක් වූහ.
පොසොන් මාසය සාමාන්‍යයෙන් සැලකෙන්නේ වන්දනාකරුවන්ගේ මාසය ලෙසය. වැඩි දෙනෙක් වන්දනා ගමනක් යන්නට රජරට ප්‍රදේශය තෝරා ගන්නේ මිහින්තලාව කේන්ද්‍ර කරගෙනය. ඒ අතරතුර රුහුණේ ජනතාව රුහුණු රටේ ඉපැරණි බෞද්ධ සිද්ධස්‌ථාන වන්දනාවට ගියේ සිතුල් පව්ව කේන්ද්‍ර කරගෙනය.
පුරාණ බෞද්ධ වන්දනා ගමන් සම්ප්‍රදායට අනුව කිසිවෙක් අද මෙන් සීමිත පවුල් ඒකක ලෙස වන්දනාවේ ගියේ නැත. අද හුඟ දෙනෙක් කතරගම ගියේ මිහින්තලේ ගියත් සිතුල් පව් ගියත් සිරීපාදේ ගියත් යන්නේ තම පවුලේ සීමිත සාමාජිකයන් පිරිසක් සමග පමණි. නැත්නම් කුඩා වාහනයක පවුල් දෙක තුනක් එකට යන ගමනකි. ඒවා සැලකුණේ වන්දනා ගමන් ලෙස නොව, හුදු විනෝද ගමන් ලෙසය. විනෝද ගමනක් යන අතර කතරගම හෝ අනුරාධපුරේ හෝ පොළොන්නරුවේ වන්දනාවේත් යන්නට වැඩි දෙනෙක් අද පෙළඹී ඇත්තේ දඹුලුත් ගොස් තලගොයින් මරාගන්න ආකාරයටය.
එහෙත් මෑතක් වනතුරුත් අපේ රටේ පිටිසර ගම්වල පමණක් අපේ පැරැණි වන්දනා ගමන් සම්ප්‍රදාය ආරක්‍ෂා වී පැවතිනි. වසරින් වසර එම සම්ප්‍රදාය ඒ ගැමියෝ පවත්වාගෙන යනු ලැබුවේ ජීවිතයේ වාර්ෂික ජීවන චර්යාවේ එක් නොවරදින අංගයක් ලෙසය.
එකල අප ගම්වල වන්දනා ගමන් සංවිධානය කරන්නට ද වෙනම කැප වූ අය සිටියහ. ගමකට ජනතාව එක්‌කාසු කරගෙන එබඳු වන්දනා ගමනක් රැගෙන යන්නට සියලු කටයුතු සංවිධානය කරන්නා "නඩේ ගුරා" ය. ඔහු සමග එකතුවී ගමන යන්නට එන පිරිස වන්දනා නඩයයි. ඉතාම ඈත අතීතයේ වන්දනා ගමන් යනු ලැබුවේ පා ගමනිනි. ඊටත් කාලයකට පසුව ගැල් වලිනුත්, ඊටත් පසුව සංවෘත ලොරිවලිනුත් යනු ලැබූ මේ වන්දනා ගමන් අද වන විට යනු ලබන්නේ බස් රථවලිනි.
අතීතයේ තිබූ දුෂ්කරම හා අමාරුම වන්දනා ගමන් දෙකකි. එකක් කතරගම වන්දනාවය. අනෙක ශ්‍රීපාද වන්දනාවය. ගැල්වලින් හෝ පා ගමනින් නඩ හැටියට මේ වන්දනා ගමන් ගිය සමයේ සමහරු ගෙදරින් පිට වූයේ තම ඉඩකඩම් දේපළ පවා තම උරුමයෙන් හිමිවන අයට ඔප්පු තිරප්පු ලියා තබා බව අපේ ආච්චිලා සීයලා කියනු මම අසා ඇත. එකල ඇත රුහුණේ අලි කොටි වග වලසුන් ගහන මහ කැලය මැද පිහිටි කතරගම වන්දනාවට ගිය සමහරු කීවේ "දැන ගියොත් කතරගම, නොදැන ගියොත් අතරමග" කියලාය. එවකට කතරගම සොයා යැම ඒ තරමටම දුෂ්කර කටයුත්තක්‌ව පැවැති බව පැහැදිලිය.
අතීතයේ අප රටේ වන්දනා ගමන් ආකාර දෙකකට පැවැත්විනි. එකක් හැඳින්වූයේ "වට වන්දනාව" කියාය. එය මුළු ලංකාවේම බෞද්ධ සිද්ධස්‌ථාන ආවරණය වන පරිදි සංවිධානය කළ නඩේ ගුරාලා සිය දැනුම හා පළපුරුද්ද මත ගමන් මාර්ගය සංවිධානය කර සකසා ගත්හ.
වට වන්දනාව යන වන්දනා ගමනට අයත් වූයේ අනුරාධපුරය, පොළොන්නරුව වැනි ඉපැරණි පූජා නගර පමණක් නොවේ. මුළු ලංකාවේම පූජා නගර හා සිද්ධස්‌ථාන ආවරණය වන පරිදි ඉපැරණි වන්දනාකරුවෝ එම වට වන්දනා ගමන සකසාගත් අයුරු කදිමය.
වට වන්දනාවට දින ගණනාවක් ගත වනවා ඇත. එය ඉතා වෙහෙස කර වගකීම් සහිත ගමනක් වූහ. එබැවින් වට වන්දනාවේ වෙහෙස හා දින ගණන අඩුකර ගැනීමට තවත් නඩේ ගුරාලා පිරිසක් "වට භාග වන්දනාව" සංවිධානය කළහ. වට භාග වන්දනා ගමන අර තරම් දිග නැත. තමන්ට පහසු පරිදි දුර තිබෙන ස්‌ථාන අඩුකර ඉතා ඉක්‌මනින් ළඟා විය හැකි ස්‌ථාන යා කර වට භාග වන්දනාව සකසා ගත්හ.
පොසොන් පෝයට මිහින්තලේ වන්දනාවේ යන්නේ එබඳු වට භාග ගමනකිනි. පෝය දිනයේ මිහින්තලාවේ සිල් සමාදන්වීම ගමනේ කේන්ද්‍රගත අරමුණයි. ගමන යන්නේ පෝයට කලින් දිනයේ පාන්දරය. අතරමග සංවිධානය කරගත් පූජනීය ස්‌ථාන වඳිමින් පළමු දිනයේ ගමන් ගන්නා වන්දනා නඩය එදින දිනය අවසානයේ ගමනාන්තයට ළංවී විශ්‍රාම ශාලාවක හෝ තෝරාගත් තැනක ලැඟුම් ගනියි. පසුදා මිහින්තලාවේ සිල් සමාදන් වන නඩයේ බොහෝ දෙනෙක් මිහින්තලාව අවට පරිශ්‍රයේම දවස ගත කරයි. ඊට පසුදා යළි වන්දනාකරුවෝ ගම් රට බලා එන්නට ගමනාරම්භ කරන්නේ අතරමග හමුවන ඉතිරි පූජනීය ස්‌ථානත් වන්දනා කර ගනිමින් ගම් රට එන්නට සිතාගෙනය.
පොසොන් පෝයට මිහින්තලේ යනවා මෙන්ම රසවත් තවත් වන්දනා ගමනකි සිතුල්පව්ව වන්දනාව. රුහුණේ ගම්වැසියෝ වසරකට වරක් කරන මේ වන්දනා ගමනට ද මහත් උනන්දුවක් දක්‌වති.
මීට වසර 35 කට පමණ පෙර පුංචි දරුවකු වූ මම එදා මාතර මාලිම්බඩ නම් ගමේ සිට පොසොන් පෝයට සිතුල් පව්වේ වන්දනාවේ ගිය ආකාරය අදටත් මට හොඳට මතකය. අපි පොසොන් දිනයට පෙර දිනයේ උදේ පාන්දර උයා පිහාගෙන වන්දනා ගමන පටන් ගත්තේ මාතර බෝධියට පඬුරක් ගැට ගසාය. ඉන් පසුව දෙවුන්දර, වේරහේන, වැව්රුකන්නල, මුල්කිරිගල, තිස්‌සමහාරාමය, යෝධකණ්‌ඩිය හරහා යාල මහ කැලයට ප්‍රවේශව යෝධකණ්‌ඩියේ සිට සැතපුම් විසි ගණනක් මහ කැලයේ දුහුවිල්ලෙන් පිරුණු මාවත දිගේ යන අපි සිතුල්පව්ව පූජා භූමියට ළඟා වෙන්නේ වටින් ගොඩින් කරුවල වැටීගෙන එන විටය. රාත්‍රි ආහාර ගන්නට එහි දන්සල් ඕනෑ තරම් ඇත. දන්සලකට ගොඩවී ඇති තරම් ආහාර ගන්නා වන්දනාකරුවෝ මහ රාත්‍රියේ වේලාසන ගස් යටට වී ඇහැ පියා ගන්නේ පසුදා උදෙන්ම අවදි වී සිල් සමාදන් වන්නට සූදානම්වය.
සිතුල්පව්වේ ඇත්තේ මිහින්තලාවටම සමාන වටපිටාවකි. පරිසරයකි. දර්ශනයකි. හතරවටින් ඇති සරුසාර ඝන මහ කැලය මැද උඩට නෙරාගිය කඳු ගැටය මත ඇති ගල්කුළ මිහින්තලා පව්ව සිහියට නංවයි. අතීතයේ මහා සංඝාවාසයක්‌ව තිබූ එම පූජනීය පරිසරය ගතට මෙන්ම සිතට දෙවන්නේ අප්‍රමාණ සුවයකි. ඒ සුවය විඳිමින් අවට ඇති පෞරාණික නටබුන් හා ලෙන් විහාර බලමින් පෝයදා එහි ගත කරන වන්දනාකරුවෝ පසුදා පාන්දර නැවත ගම රට බලා එන්නට පටන් ගනිති. ඒ එන ගමනේදී කතරගම හා කිරින්ද වන්දනා කිරීමට යන ගමන් හරි විනෝදජනකය.
මේ යන වන්දනාකරුවෝ ගමන් වෙහෙස නිවා ගැනීමටත් සැවොම එකට එක්‌වී ක්‍රියා කිරීමටත් කරනු ලබන වැදගත්ම කටයුත්ත වනුයේ "තුන් සරණය" කවි කීමය.
පෙරයම බුද්ධං සරණේ ගඤ්ඤයි
දෙවනුව ධම්මං සරණේ ගඤ්ඤයි
මජ්ජිම සංඝ සරණේ ගඤ්ඤයි
තුන් යමටම තුන් සරණේ ගඤ්ඤයි
කියමින් තුන් සරණය කවිවලට මුල පුරන්නේ නඩේ ගුරාය. නඩේ ගුරා කියන පදය අන් සැවොම එකා සේ හඬනගා කීම තුළින් තුන් සරණය කවිවලට කාලය හා ජවය ලබාගනිති.
තුන් සරණය කවි කියමින් අතීතයේ වනගත ප්‍රදේශ හරහා යන විට අලි ඇතුන් පවා බියවී පලා යන අයුරු දුටු වයසක උපාසක ඇත්තෝ අදටත් අපේ දකුණේ පුරාණ ගම්වල සිsටින බව කීම අතිශයෝක්‌තියක් නම් නොවේ.
ඒ අතීත වන්දනා ගමන් සම්ප්‍රදාය අද සමාජයෙන් ටිකෙන් ටික ඈත්වී අවසන්ය. ගමේ හැමෝම එකා සේ එකතුවී එක වාහනයක නැගී වන්දනාවේ යන වන්දනා ගමන් තවමත් ගම්වල නැතුවා නොවේ. එහෙත් ඒවා දවසින් දවස අඩු වී යන බව පැහැදිලිය. ඒ වෙනුවට විනෝද ගමන් හා ටි්‍රප් අපේ සමාජය ආක්‍රමණය කර ඇති ආකාරය ද සලකා බලනු වටී. අතීතයෙන් පැමිණි යහපත් සම්ප්‍රදායන් එසේ වෙනස් වී අද අනෙකක් නිර්මාණය වී ඇති ආකාරය අධ්‍යයනය කිරීම ද වටිනා පර්යේෂණයකි.
බුලිත ප්‍රදීප් කුමාර
0 Comments