රෝග සෑදෙන්නේ මිනිසුන් රාජ්‍ය අංශයේද, පෞද්ගලික අංශයේද යනුවෙන් භේදයක් නොමැතිවය. එසේම මේ කාලයේ රෝගීන්ගෙන් රෝහල් උතුරා යන්නේද රාජ්‍ය පෞද්ගලික භේදයක් නොමැතිවය. රෝගීන්ගෙන් රෝහල් උතුරා ගියද ඔවුනට සරිලන ප්‍රමාණයේ වෛද්‍යවරුන් සංඛ්‍යාවක් රටේ නොමැතිය යන්න කවුරුත් දන්නා සත්‍යය ය. මේ නිසා මේ රටේ මිනිසුන් තුළ වෛද්‍ය වෘත්තිකයන් පිළිබඳව කවදත් පවත්නා ගෞරවයට සහ භක්‌තියට අමතරව ඔවුන් ඉතා දුලබ වටිනා මිනිසුන්ය වශයෙන් වන හැඟීමක්‌ද තිබේ. එහෙත් පසුගියදා රටේ පුවත් ලෝකය කැළඹූ පුවත් අතර වෛද්‍ය වෘත්තිකයන් සහ සාමාන්‍ය රෝගී මිනිසා අතර පැවති විශ්වසනීයත්වය බිඳහෙලන සිදුවීමක් දෙකක්‌ද තිබිණි. සාමාන්‍යයෙන් සිදුවන පරිද්දෙන්ම අප ද ඇතුළු බොහෝ ජනමාධ්‍ය මෙහිදී රෝගීන් වෙනුවෙන් අප්‍රමාදව හඬ අවදි කළ බවට සැකයක් නැත. එසේම එනිසා ගොඩනැඟුණු සංවාදය, වෛද්‍ය ප්‍රතිකර්මවල පැවැති කුමන හෝ අඩුපාඩු නිසා අයසට පත් රෝගීන් කෙරෙහි පමණක් නොව අනාගතයේ රෝගීන් බවට පත්වීමට සිටින්නන් කෙරෙහිද මහත් සේවයක් සැලසූ බවද නිසැකය. මේ ඒ පිළිබඳව වෛද්‍ය වෘත්තිකයන්ගේ පාර්ශ්වයෙන් පවත්වන පශ්චාත් පරීක්‌ෂණයක් නොවේ. එහිදී බොහෝ විට නොකියෑවුණු වෛද්‍ය වෘත්තිකයන් ගේ පාර්ශ්වයේ අදහස් ද රැගත් පුවත් පසුබිමකි. ඒ සඳහා අපගේ තෝරා ගැනීම වූයේ කොළඹ ජාතික රෝහලේ හෘද රෝග අංශයේ විශේෂඥ වෛද්‍ය වජිර සේනාරත්නය. ඔහු ශ්‍රී ලංකා හෘද රෝග සංගමයේ හිටපු සභාපතිවරයා ද වේ.
පසුගිය වකවානුව තුළ වෛද්‍යවරුන් සහ මහජනතාව අතර විශ්වාසයත්, සුහදතාවත් පළුදු වන ආකාරයෙ සිදුවීම් කීපයක් වුණා. (Medical negligence) මේ පිළිබඳව වසර 30 ක පමණ අත්දැකීම් ඇති වෛද්‍යවරයකු වශයෙන් ඔබගේ අදහස මොකක්‌ද?
මෙය කිසිසේත්ම යහපත් තත්ත්වයක් නොවෙයි. වෛද්‍යවරයා හා රෝගියා අතර අෙන්‍යාන්‍ය විශ්වාසයක් තිබිය යුතුමයි. රෝගියා වෛද්‍යවරයා විශ්වාස කළ යුතු අතර වෛද්‍යවරයා රෝගියාගේ අදහස්‌වලට ගරු කළ යුතුයි. වෛද්‍යවරයා රෝගියා වෙනුවෙන් තම සේවය නොපිරිහෙළා ඉටුකළ යුතුමයි. ඒ පිළිබඳ තර්කයක් නැහැ. එහෙත් රටේ වෛද්‍යවරයකු දිනකට පරීක්‌ෂා කරන රෝගීන් ප්‍රමාණයද ඒ සඳහා කැපවීම තුළ ඔහු මුහුණ දෙන අප්‍රමාණ දුෂ්කරතා වැනි කරුණුද කිසිවක් සැලකිල්ලට නොගෙන යම් සිදුවීමක් වූ විට හුදු ඒකපාර්ශ්වීය ලෙසම කරුණු දැක්‌වීමෙන් යම් සමාජ වෛරයක් වෛද්‍යවරයා කෙරෙහි ඇති වෙනවා. මෙහිදී මාධ්‍යයේ වගකීම ඉතා වැදගත් බවයි මගේ අදහස.
ඔව්. නමුත් යමක් වූ විට ඒ පිළිබඳව කරුණු නොවළ වහා වාර්තා කිරීම මාධ්‍යයේ වගකීම. අප ඒ පිළිබඳව තර්ක කිරීම මදක් පසෙකට තබා ප්‍රස්‌තුත කරුණටම නැවත එමු. ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන් අතින් ඉතාම සුලබව නිතරම අතපසුවීම් වනවා යෑයි කිසිවකුත් කියන්නේ නැහැ. නමුත් කලාතුරකින් හෝ එබන්දක් සිදුවීමට බලපාන පොදු හේතුවක් ඔබට ඉදිරිපත් කරන්න පුළුවන්ද?
එකක් තමයි, ලෝකයේ අනෙක් රටවල රෝගියා වෛද්‍යවරයා ළඟට යන විට අදාළ සියලුම වෛද්‍ය වාර්තා, ස්‌කෑන් වාර්තා සමගයි යන්නේ. නමුත් සංවර්ධනය වෙමින් තිබෙන රටක අහිංසක ජනතාව සමග කටයුතු කරන අප බොහෝ විට ඉතා අත්‍යවශ්‍යම පරීක්‌ෂණ වාර්තා පමණයි ඔවුන්ගෙන් ඉල්ලා සිටින්නේ. මේ නිසාත් යම් යම් අතපසුවීම් සිදුවිය හැකියි.
වෛද්‍යවරයෙක් යනු අදාළ අධ්‍යාපනය සම්පූර්ණ කළ අයකු පමණක් නොවෙයි. තම දෛනික ජීවිත කාලය උපරිම වශයෙන් කැප කිරීම මගින් ලබාගත් පළපුරුද්දත්, අත්දැකීමත් සහිත අයෙක්. මේ පිළිබඳව යම් පසුකාලයකදී හෝ ඔහුට ඒ අරබයා කලකිරීමක් ඇති වනවාද?
වෛද්‍යවරයෙක් ඉතා විශාල කාලයක් පුහුණුවකට යටත්වූ අයෙක්. වෛද්‍ය විද්‍යාලයේ වසර 5 ක් පමණත් ඉන්පසු විශේෂඥ පුහුණුව වශයෙන් තවත් වසර 5 සිට 8 දක්‌වා කාලයකුත් ඔවුන් එකහෙළා වැය කරනවා.
නමුත් ඔවුනට ලැබෙන්නේ රජයේ සේවයේ ඉතා සුළුÊවැටුපක් නිසා අනෙකුත් රටවල වෛද්‍ය වෘත්තිකයන්ගේ වැටුප හා සංසසන්දනය කර ඔවුනට පෞද්ගලික වෛද්‍ය සේවය අනුමත කර තිබෙනවා. එහෙත් වෛද්‍යවරයා මෙය තම විවේක කාලය තුළ කරන දෙයක්. පෞද්ගලික වෛද්‍ය සේවය නිසා ඔවුන් විශාල විවේචනවලට ලක්‌වූවත් ඉතා විශාල වෛද්‍යවරුන් සංඛ්‍යාවක් මෙම පෞද්ගලික සේවයට කැමැති නැති බව මා හො¹කාරවම දන්නවා. එසේම බොහෝ වෛද්‍යවරුන් වැඩි පඩියකට පිටරට සේවයට හෝ පූර්ණකාලීනව පෞද්ගලික අංශයට හෝ යනවා. උදාහරණයක් වශයෙන් ඔබට කියන්නට කැමැතියි, මා මේ රජයේ සේවයෙන් ඉවත් වී පූර්ණකාලීනව පෞද්ගලික අංශයට ගියහොත් ඉතා වැඩි මුදලක් මටත් උපයාගත හැකියි. එහෙත් දුප්පත් රෝගීන්ට සේවය කිරීම විශාල මානසික සතුටක්. ඒ නිසා කවර දුෂ්කරතා පැවතියත් මමත්, තව බොහෝ අයත් රජයේ සේවයේම රැඳී සිටින්නට කැමැතිsයි. ඒ පිළිබඳව නම් කලකිරීමක් නැහැ.
නමුත් මා නැවත ඔබෙන් අසනවා, වෛද්‍යවරයකුගේ වගකීම් සහ ඔවුන් කෙරෙහි සමාජයේ ඇති විශ්වාසය බිඳවැටී ඇතැයි ඔබ සිතන්නේ නැද්ද?
තරමක් දුරට එය එසේ වී ඇති. මුළු මහත් සමාජයම වෙලාගත් තරගකාරීත්වය අනෙකුත් ඕනෑම ක්‌ෂේත්‍රයකට සේම යම් ප්‍රමාණයකින් වෛද්‍ය වෘත්තියටත් ඇතුළු වී නැතැයි මා කියන්නේ නැහැ. එහෙත් එය රටේ බහුතරයක් වෛද්‍යවරුන්ගේ ස්‌වභාවය පිළිබිඹු කරන්නක් නොවේ බොහෝ දුෂ්කරතා මධ්‍යයේ මහත් කැපවීමෙන් වැඩ කරන වෛද්‍යවරුන් බහුතරයක් අපට සිටිනවා. මා සේවයේ නියුතු හෘද රෝග අංශයට දිනපතා ඇදී එන රෝගීන් සංඛ්‍යාවම එයට නිදසුනක්. අප ස්‌කෑන් පරීක්‌ෂාවකට එවන රෝගීන් හෝ දින ලබාදී හරවා යවන්නේ නැහැ. උදාහරණයක් වශයෙන් එකෝ පරීක්‌ෂාව සඳහා ගිලන් රථ මගින් එවන සියලුම රෝගීන් පරීක්‌ෂා කර අවසන් කරලයි ආපසු යවන්නේ. අප මෙහිදී හෘද රෝගීන් සඳහා ලෝකයේ දියුණු රටවල කරනු ලබන සියලුම ප්‍රතිකාර ක්‍රම ලබාදෙනවා. ඒවා ඉතා මිල අධික වුවත් සියලුම දේ (හදිසි අවස්‌ථාවක හැර) රෝහලෙන් නොමිලේ ලබා දෙනවා.
අතීතයේ රූමැටික උණ හා එහි සංකූලතා ලෙස ඇතිවන මයිටුල් වැල්ව් සිහින්වීම අරබයා හෘදය වස්‌තුව විවෘත කර ශල්‍යකර්ම කළා. දැනට කකුලේ නහරයකින් හෘදය වස්‌තුවට වයරයක් යවා ශල්‍ය කර්මය සිහි නැති නොකර කළ හැකියි. මේ සඳහා පළපුරුද්දක් තිබිය යුතු අතර දැනට මා විසින් මේ සැත්කම් 3000 ක් පමණ සිදුකර තිබෙනවා. විශේෂයෙන්ම ගර්භනී මව්වරුන්ට මේ ප්‍රතිකාර ක්‍රමය නිසා ජීවත් වීමේ අවස්‌ථාව ලැබී තිබෙනවා. විශේෂයෙන්ම සඳහන් කළ යුතුයි මේ මයිටුල් කපාට සිහින්වූ රෝගීන් අඩු ආදායම් ලබන රජයේ රෝහල්වලට එන රෝගීන්. මොවුන්ට ප්‍රතිකාර කර සුවවී සිටිනු දැකීම ඉතාම සතුටක්.
ඔබ සඳහන් කළා විශ්වාසය ගෞරවය නැතිවී ඇතිද කියා. මගේ රජයේ රෝහල් සේවයේ අත්දැකීම නම් විශාල සංඛ්‍යාවක් සේවය අගය කරනවා. එසේම මහජනතාවගේ දැන ගැනීම සඳහා කිව යුතුයි අතීතයේ හෘදය වස්‌තු විවෘත කර කළ සිදුරු වැසීම (ASD, VSD සිදුරු) හෘදය වස්‌තුව විවෘත නොකර පෙර පරිදිම වයරයකින් කළ හැකියි. එනිසා තරුණ ගැහැණු ළමයකුට පපුව මැද සැත්කම් කැළලක් නැතිව සැත්කමට ලක්‌විය හැකියි.
හෘදය රෝගීන් වෙනුවෙන් සිදුකරන බයිපාස් සැත්කම හා ඇන්ජියෝග්‍රම් ඇන්ජියොප්ලාස්‌ටි ගැන මහජනතාව අතර දැන් බොහෝ ව්‍යාකූලතාවක් පැන නැගී ඇති බවයි පෙනෙනේනේ. මේ සම්බන්ධව ඔබට කිව හැක්‌කේ කුමක්‌ද?
දැනට අපේ රටේ බොහෝ දෙනා හෘදය වස්‌තුවේ කිරීටක ධමනි සිහින්වීම, තෙල් තැන්පත් වීම නිසා සිදුවන බවත්, එනිසාම හෘදය වස්‌තුවේ බිත්තියට අවශ්‍ය ලේ ගමන මදිවීම ගැනත් දන්නවා. හදවතට සාමාන්‍ය අවස්‌ථාවක එම ලේ ප්‍රමාණය සහ ඔක්‌සිජන් ප්‍රමාණය ඇති මුත් මහන්සි වන විට පපුවේ වේදනාව දැනෙනවා. (ඇන්ජියිනා Angina) මේ තත්ත්වය තවදුරටත් උග්‍ර කරමින් වේදනාව එන්න එන්න වැඩිවී Unstable angina යන තත්ත්වයට ඇවිත් නහරය සම්පූර්ණයෙන් අවහිර වූ විට හෘදයේ බිත්තිය මියයැමකට ලක්‌වී හෘදයාබාධයක් ඇති වෙනවා. හෘදයාබාධයක් වැළඳුණු විට බිත්තියේ කොටසක් මියයැම නිසා හෘදය වස්‌තුව කලින් තරම් කාර්යක්‍ෂම පොම්ප කිරීමක් කරන්නේ නැති නිසා සුළු වැඩක් කිරීමෙන් පසු පවා හතිය දැනෙනවා.
අතීතයේ රෝගීන් මෙලෙස හෘදයාබාධ වැළඳී සුවවී සිටියත් ඔවුන්ගේ හෘදය වස්‌තු පොම්ප කිරීම් හරියාකාරව සිදු නොවන තත්ත්වයකයි තිබුණේ. දැන් අලුත් ක්‍රමය අනුව රුධිර නාලවල අවහිරතාව කලින් දැනගෙන එම අවහිරතාව කලින්ම stent එකක් දැමීමෙන් අයින් කිරීම මගින් හෘදය වස්‌තුවේ බිත්තිය මියයැම වළක්‌වනවා. එමනිසා ඔවුන්ගේ කාර්යක්‍ෂමතාව එලෙසම පවතිනවා. එබැවිනුයි අප රෝගීන්ට හැකිතාක් කලින් රෝහලට පැමිණෙන ලෙස අවවාද කරන්නේ හැකි තරම් හෘදය බිත්තිය මියයැමට පෙර stent කිරීමෙන් බිත්තිය බේරාගැනීම සඳහායි.
රෝගියකුට stent දැමීම ගැන දැන් බොහෝ චෝදනා තිබෙනවා. එසේම එය මිල අධික දෙයක්.
ඔව්. ලෝකයේ මේ ප්‍රතිකාර ක්‍රම ඉතා වේගයෙන් ජනප්‍රිය වෙනවා. අතීතයේ හෘද රෝගීන් හති දමමින් අඩි දහයක් ඇවිදගත නොහැකිව දිව යට පෙති කබාගනිමින් ජීවත් වූ කාලයක් තිබුණා. එහෙත් දැන් ඒ තත්ත්වය වෙනස්. ඇන්ජියොග්‍රෑම් පරීක්‌ෂණයකින් අවහිරතා ඇති තැන ඩයි එකක් යෑවීමෙන් බලාගත හැකියි. එම ඉකදජන තිබෙන තැන සහ දිග ප්‍රමාණය අනුව ඇන්ජියොප්ලාස්‌ටි සහ stent කිරීමෙන් එය දිග හැරිය හැකියි. එසේ නැත්නම් වතුර බටයක මැද බ්ලොක් එකක් තිබුණොත් එහි වැඩිපුර දිය සෙවෙල බැඳෙන සේ ලේ නහරය තුළද ඇති ඉකදජන එක උඩ රුධිර සෛල තැන්පත් වී එය සම්පූර්ණයෙන් අවහිර වෙනවා. ඇන්ජියොග්‍රෑම් පරීක්‍ෂණයෙන් ලොකු අවහිරතාවක් දුටුවොත් stent කිරීමක් කළ හැකියි. එය රෝගියා හෘදයාබාධයක් දක්‌වා යැම වළක්‌වනවා. මොකද හෘදයාබාධයක් වැළඳී හෘදයේ සංකෝචනය අඩාල වූ පසු එය ප්‍රකෘති තත්ත්වයට ගැනීම අපහසුයි.
එසේම stent වර්ග විශාල ප්‍රමාණයක් තිබෙනවා. මේවා භාවිතා කිරීම අවහිරතාවයේ දිග ප්‍රමාණය සහ රෝගියා කවර වර්ගයක රෝගියෙකුද යන්න මත ර¹ පවතිනවා. උදාහරණයක් ලෙස දියවැඩියාව තිබෙන කෙනකුට Drug eluting stent පාවිච්චි කරනවා. එහෙත් මේ දේවල් ඉතා මිල අධිකයි. බොහෝ අවස්‌ථාවල මේවා රජයේ රෝහල්වලින් නොමිලයේ ලබා දෙනවා. ලබාදිය නොහැකි අවස්‌ථාවල ජනාධිපති අරමුදලෙන් ආධාර දෙනවා.
රෝගියෙකු stent කිරීමකට ලක් කිරීම හෝ බයිපාස් සැත්කමකට ලක් කිරීම තීරණය වන්නේ කවර කරුණු මතද?
එය තීරණය කරන්නේ වෛද්‍යවරයායි. බොහෝ විට තරුණ වයසේ කෙනකුගේ අවහිරවීම් අතර හොඳ නහරයක් තිබේනම් අවහිරතා ඉවත් කිරීම සඳහා යෝග්‍ය දේ වන්නේ stent කිරීමයි. මක්‌නිසාද බයිපාස් සැත්කම් තරුණ කෙනකුට කළහොත් පසු කාලෙක නැවත නහර බ්ලොක් වුවහොත් දෙවැනි බයිපාස් සැත්කමකට යැම ඉතා අපහසුයි. එනිසා හැකි හැම අවස්‌ථාවකම ස්‌ටෙන්ට් පාවිච්චි කර බයිපාස් සැත්කම් සියලුම නහර රෝගී වූ සහ අවහිරතා ඉතා විශාල ප්‍රමාණයක් ඇති අය සඳහා තබාගත යුතුයි.
සමහර අවස්‌ථාවලදී පපුවේ වේදනාව ඇති කරන නහරය (culprit lesion) ස්‌ටෙන්ට් කර සැලසුම් සහගතව පසුව බයිපාස් කිරීම සිදු වෙනවා.
ස්‌ටෙන්ට් කොම්පැණි සහ වෛද්‍යවරයා අතර සම්බන්ධතාව ගැන චෝදනා තිබුණා. ඒ ගැන ඔබේ අදහස...
ලංකාවේ stent ආනයනය කරන ආයතන බොහෝ ප්‍රමාණයක් තිබෙනවා. අපට ඒ අය සමග වැඩ කිරීමට සිදු වන්නේ අපට ඒවා සපයනු ලබන්නේ ඒ ඒ කොම්පැණිවලින් නිසයි. එසේම මා සියලුම කොම්පැණිවලින් ගෙන්නන ස්‌ටෙන්ට් වර්ග ඒ ඒ රෝගියාගේ අවශ්‍යතාව අනුව පාවිච්චි කර තිබෙනවා. ඒ වාර්තා සියලුම රෝහල්වල තිබෙනවා. ඒ වගේම මා කියන්න කැමැතියි මා ශ්‍රී ලංකා හෘද රෝග සංගමයේ සභාපතිව සිටින කාලයේ සියලුම ස්‌ටෙන්ට් සමාගම්වලින් කරන ලද ඉල්ලීමක ප්‍රතිඵලයක් වශයෙන් ඒවායේ මිල ඉතා විශාල ප්‍රමාණයකින් ඔවුන් (රු. 70,000 , 50,000 ප්‍රමාණ වලින්) පහත දැම්මා. ඒ ගැන මම ඔවුන්ට ස්‌තුතිවන්ත වන අතර ඒ ලාභය දැනට රෝගීන්ට ලැබෙනවා.
වෛද්‍ය විද්‍යාව දවසින් දවස වෙනස් වන දෙයක්. මෙම දැනුම වෛද්‍යවරුන්ට ලැබෙනවාද? මේ සඳහා අවස්‌ථා ලැබෙනවාද?
මෙම ප්‍රශ්නය ගැන මා සතුටු වෙනවා. අපට රජයේ මුදලින් අධ්‍යාපනයත්, පශ්චාත් උපාධි පුහුණුව සඳහා වසරක පුහුණුවත් ලබා දෙනවා. ඒ අතර සෑම වසරකම ජාත්‍යන්තර තලයේ සම්මන්ත්‍රණ පැවැත්වෙනවා. ඒවාට සහභාගි වීමෙන් අප පෞද්ගලිකව දැනුම ලබා ගන්නවා. එසේම අප ලංකාවේදී වාර්ෂිකව හෘද රෝග සමුළුව සාක් සමුළුව ආදිය පැවැත්වෙනවා. එසේම පිටරටින් ඒ ඒ අංශවල ප්‍රවීණයන් ගෙන්වා වැඩමුළු පැවැත්වෙනවා. එමගින් අපේ ප්‍රශ්න සාකච්ඡා කරන අතර පුහුණුවන වෛද්‍යවරුන්ට උපදෙස් ලබාදීමක් සිදුවෙනවා.
එසේම මම මෙය අවස්‌ථාවක් කර ගන්නවා එලෙස පැමිණ අපට උදව් කරන සියලුම විශේෂඥ වෛද්‍යවරුන්ට විශේෂයෙන් ඉන්දියාවේ සිට පැමිණ අපට උදව් කරන Dr. Ashok Sele, Dr.Mathews සහ ප්‍රංශයේ සිට පැමිණ අපට උපදෙස් දෙන ඵ්රන Mark Silvestri ට ස්‌තුති කිරීමට. මේ කිසිවකු මුදලට වැඩ කරන අය නොවේ. අප රටේ වෛද්‍යවරුන් පුහුණු කරන පිටරට වෛද්‍යවරුන්ටත් අප මුදලක් ගෙවන්නේ නැහැ.
අපව පුහුණු කළ පිටරට වෛද්‍යවරුන් ඒ සඳහා මුදල් අයකළේ නැතිවා සේම අපත් අපගේ වෛද්‍යවරුන් පුහුණු කිරීමට මුදල් අය කරන්නේ නෑ.
තිස්‌ස ගුණතිලක
0 Comments