සීතා සැඟවූ කපුඅටුව ගල්ලෙන

රණමුරේ - උයන්ගොමුව මංපෙත දුම්බර කැළෑව මැදින් වැටී තිබේ. අරම්භයේදී නාරංගමුවේ ගැමියන්ගේ කෙත්වතුවල නියර මතින් වැටී ඇති මෙම මාර්ගය විටෙක දෙවැට හා ගේ පිළිකනු අතරින් ගොස්‌ ඉන් පසුවයි වනාන්තරයට සම්බන්ධ වන්නේ. වනාන්තරය පටන්ගත් තැන්පටන්ම නගින්නට ඇත්තේ තරමක්‌ බෑවුම් මගකය. එහෙත්, තුරුවදුල යටින් ගල්, මුල් මතින් පැන යන ගමන වෙහෙස නිවාලයි. දුම්බර වනාන්තරයේ නැගෙනහිර බෑවුම වන මෙහි පැතිර ඇත්තේ වියළි මිශ්‍ර සදාහරිත ආකාරයේ වනාන්තරය බුරුත, මිල්ල, වෙලන්, ඇටඹ, කැන්ද, දං, කීන, කළුවර වැනි ශාක සම්පතින් අනූන මෙහි අපූරුවට වැඩුණු කුඹුක්‌ වනාන්තරය දක්‌නට ඇත්තේ නාරංගමුව ඔය දිගේය. ලකේගල - උයන් ගොමුව මාවතේ ගමන් කරන විට මෙම කුඹුක්‌ වනාන්තරයද අපට නිරතුරුව මුණගැසෙන්නේ මේ ගමනේදී නාරගමුව ඔය දිගේද තරමක දුරක්‌ ගෙවා දැමීමට සිදුවන නිසාය.

මීට පෙර අප ගිය සංචාරයේ බොහෝ ගම්මාන, කඳු, දියඇලි සහ ගල්ලෙන් ඇත්තේ දැන් අප ගමන් කරන මාවතට දකුණු පසිනි. නොහොත් බටහිර දෙසිනි. අප දැන් ගමන් කරමින් සිටින්නේ උතුරු දෙස සිට දකුණු දිශාව බලාය. මේ යන ගමනේදී වම්පසින් වරින්වර අපට ලකේගල නොහොත් ලග්ගල පර්වතය නෙතගැටේ. අඩි හාරදහස්‌ පන්සියයක්‌ තරම් උස ලකේගල පර්වතයට දුම්බර කඳුයායේ ඇති ජනප්‍රියතම කඳුගැටය කීවාට වරදක්‌ නැත. අතීතයේදී ඉලක්‌කගල ලෙසද හඳුන්වා ඇති මෙම පර්වතය ඉලක්‌කරගනිමින් නැගෙනහිර මුහුදේ නාවික යාත්‍රා රටට පැමිණි බව කියෑවෙන කතන්දරද ඇත. ඒ නැගෙනහිර මුහුදට මුහුණලා මෙම පර්වතය පිහිටා ඇති නිසාය. කෙසේ හෝ මාතලේ දිස්‌ත්‍රික්‌කයට අයත් ලග්ගල මැතිවරණ බල ප්‍රදේශයට එම නම ලැබී ඇත්තේද මෙම පර්වතය නිසාමය.

උයන්ගොමුව වනමං පෙතේ ඇවිද යන අපට මෙම අපූරු පර්වතයේ තේජස මැනවින් විද්‍යාමාන වේ. තවත් හෝරාවකින් පමණ අප මෙම පර්වතය පාමුලට පැමිණීමේ බලාපොරොත්තුවෙන් මන් ගත්තේ තැන තැන වාඩිලා ගමන් වෙහෙසද නිවාගනිමිනි.

නාරංගමුවේ සිට මේ වන විට අප කිලෝමීටර් දෙකතුනක්‌වත් පැමිණ තිබේ. ඒ සියලු දුර කඳු නැග ආ යුතු මාර්ගයකි. එබැවින් මෙම ගමන් මාර්ගය දුෂ්කරය. එහෙත් මීට පෙර අප ගිය උඩ දූවිලි ඇල්ල ගමන හා සස¹ බලන කල මේ ගමනේ දුෂ්කරතාව නොසලකා හැරිය හැකි තරම් පහසු දෙයකි. ඒ නැතත් මෙවන් වටිනා අපූරු පරිසර නිකේතනයක්‌ දැකබලා ගැනීමට කිනම් දුෂ්කරතාවක්‌ විඳ එහි ගියාටද කමක්‌ නැත. අවශ්‍ය වන්නේ මේ නිහඬ නිසල පරිසරයේ පැවැත්ම ඒ අයුරින්ම අරක්‍ෂාවන පරිදි අපගේ පා සලකුණු පමණක්‌ එහි තබා මතක සලකුණු පමණක්‌ රැගෙන ඒමය.

තවත් හෝරාවකදී පමණ කඳුකර ගමනේ වෙහෙස නිවා දමමින් අපි තැනිතලා ප්‍රදේශයකට සේන්දු වූයෙමු. ආරම්භයේදීම අපට මෙහිදී දැකගන්නට ලැබුණේ කදිම දියපහරකි. අතිශය සුපිරිසිදු මෙම දියදහර දුටුවිට මුළු ගමනේම විඩාව සිඳී ගියාක්‌ මෙන් දැනුණි. මේ දියදහරාවෙන් මුව දොවාගෙන සිහිල් ජලයෙන් පැන්පහස නිවාගත් අපි දැවැන්ත වන උයනක්‌ බඳු නැතිතලාවේ ඉබාගාතේ ඇවිද යමින් මේ චමත්කාරජනක පරිසරයේ පහස විඳගන්නට උත්සුක වීමු. තැන තැන ගලායන දියදහරාය. රූස්‌ස වක්‍ෂ දේවතාවෝ අතරේ අලංකාරව වැඩුණු මිටි තුරු වියන සැබැවින්ම මෙම පරිසරය උයන්ගොමුවක්‌ බවට පත්කරයි. තවත් මේ උයන්ගොමුවේ ඇවිදයන කල පසෙකින් සුපරසිඳු ලකේගල දක්‌නට ලැබෙයි.

එය ඉතා හොඳින් නිරීක්‍ෂණය කරන කල දිස්‌වන්නේ දැවැන්ත කඩු පහරකින් මෙම පර්වතය දෙපළුවී එක්‌ කොටසක්‌ පසෙකට කඩා හැලුණු ආකාරයකිනි. ඒ කඩා හැලුණු පර්වත කොටස උයන් ගොමුවට දියවර සැපයූ උල්පත වසාගෙන බිම පතති වී තිබේ. ඉතා විශාල ඉඩකඩක්‌ වසාගෙන වැතිර පවතින මෙම පර්වත කොටස අතරින් අපහසුවෙන් මිරිකී එළිබසින්නට වෙහෙස දරන උයන්ගොමුවේ දිය උල්පත අතු ඉති කිහිපයකට බෙදී ගොස්‌ උයන්ගොමුව විසිතුරු කර පසුව නාරංගමුව ඔයට එකතු වේ.

උයන්ගොමුවේ ඇවිද හාත්පස විසිතුරු නැරඹීමේදී තවත් සුවිශේෂ ස්‌ථානයක්‌ දැකබලාගැනීමට හැකිය. එහෙත්, එය නොදැන ගියොත් දැකගැනීමට අපහසු ස්‌ථානයක පිහිටා ඇති බැවින් අපටද එම ස්‌ථානය දැනගැනීමට මග පෙන්වූයේ නාරංගමුවෙන් අප හා එක්‌වුණු ගැමියෙකි. කපුඅටුව ගල්ලෙන හෝ සීතා ගල්ලෙන ලෙස ප්‍රකට මෙය උයන්ගොමුවේ බටහිර මායිමෙන් අහස උසට විහිද යන වමාරපුගලේ ඉහළ ස්‌ථානයක පිහිටා ඇත.

ලකේගල රාවණාගේ රාජධානියයි. එය දෙපළු වී ගිය ඇත්තේ රාම - රාවණා යුද්ධයේදී රාම විසින් තබන ලද හී පහරකිනි. දෙපළු වී ගිය ලකේගල කඩා හැළුණේ රාවණයන්ගේ උල්පත පිහිටි උයන්ගොමුවටය. මෙම උයන්ගොමුව රාවණයන්ගේ රාජකීය වනඋයනය. පසෙකින් කපුඅටුවේ නොහොත් වමාරපුගලේ ඇති (කපුඅටුව) ගල්ලෙන සීතා ගල්ලෙනය. ආදී වශයෙන් මේ අප පැමිණ සිටින උයන් ගොමුවට ඇති ජනප්‍රවාද හා ගැමි විශ්වාසවල අඩුවක්‌ නැත. ඒ ගැන අප කතා කරන්නේ නැත. යමක්‌ කියන්නට ඇත්නම් ඒ උයන්ගොමුවේ සුන්දරත්වය, අපූර්වත්වය ගුප්තබව මෙන්ම කෙනෙකුගේ හිත පැහැරගැනීමේ ආකර්ෂණය ගැන දේවල් පමණකි.

කපුඅටුව ගල්ලෙනට නගින්නට ඉතා අපහසුය. එය කඳු බෑවුමේ අනතුරුදායක තැනක පිහිටා තිබීම ඊට හේතුවයි. ගමේ කොලු කුරුට්‌ටන්ට නම් මේ බෑවුම තරණය කර ගල්ගුහාවට යන එක ඒ තරම් දෙයක්‌ නොවේ. එහෙත් නුපුරුදු අයට ගුහාවට ඇතුළුවනන්නට කඹයක, වැල්පොටක වැනි ආධාරයක්‌ නැතිව කළ නොහැක්‌කකි. එසේ අපහසුවෙන් හෝ නැග බැලූ කල කපුඅටුවේ ගල්ලෙනේ විශ්මිත බව අත්දකින්නට කාහට වුවද හැකිය. මෙම ගල්ලෙන බාහිරයට නොපෙණුනද සියයක්‌ හමාරයක්‌ තරම් පිරිසකට ලැගුම්ගත හැකි විශාල ඉඩක්‌ ඒ තුළ ඇත. මෙම ගල්ලෙන තුළට ගියවිට තවත් අපූරු දසුනක්‌ දැකගන්නට ලැබේ. ඒ ලකේගලයි. සුන්දර හරිතපැහැ වනවියනට උඩින් ලකේගල තේජස්‌ව නැගී සිටිනු කපුඅටුව ගල්ලෙනට නොහොත් සිතා ගුහාවට මැනවින් පෙනේ. මෙවන් විචිත්‍රත්වයක්‌ තවත් කොතැනකදී නම් විඳින්න ලැබේදැයි කියන්නට නොහැකිය. මෙය රාවණයන්ගේ රාජධානිය යෑයි කියන කතාවලට ඌනපූර්ණ දෙන්නට අප නොයන නමුත් මේ සෞන්දර්යයෙන් මත්වන්නට උයන්ගොමුවට යන කාහටත් සිදුවන බව නම් නොකියා බැරිය.


ජගත් කණහැරආරච්චි

Post a Comment

0 Comments