"සඟ සැප දෙන නැසිය යුතු පව් හැම නසනබව බැමි සුනු විසුනු කර නිති ගුණ පුරනලත් සැප දමා පරතෙර වෙත නෙත යොමනවඳිනෙමි නිතිපතා පින්සරු මහ සඟන..."
රත්නමාලා බන්ධන ගාථාවන්හි සිංහල තේරුම්හි එන පරිද්දෙන්ම ඒ ආර්ය මහා සංඝරත්නය පව් හැම නසා... බව බැමි සුනු විසුනු කර දමා... මේ සසරින් එතෙර වනතුරු ඒ පිළිබඳ නිතිපතා අපව දැනුවත් කරන්නාහ. ඉඳින්, ඒ පින්සරු මහා සංඝරත්නයට නිති පතාම වන්දනා මානාදිය කිරීමට අපි කුමකට නම් පැකිළෙමුද...? එදත්... අදත්... මතු මතුත් සැදැහැති බෞද්ධයෝ උන්වහන්සේලා උදෙසා යුතුකම් ඉටුකරන්නට නිතිපතා ඇප කැපවී සිටින්නේ ඒ බැව් තව තවත් සපථ කරමින්ම නොවේද....?
බුදුන් වහන්සේ නිරතුරු ලෝකාර්ථ චර්යාවේ නියෑළුණ සේක. ඉනික්‌බිති උන්වහන්සේ "මහණෙනි...· දෙවි මිනිසුන්ගේ හිතසුව පිණිස චාරිකා කරන්න.... දෙදෙනකු එකමඟ නොයන්න..." යෑයිද තම ප්‍රථම රහත් හැට නම අරභයා දේශනා කළ සේක. බුදුන් වහන්සේට දුගී පැලත්, සිටු මැඳුරත් එක හා සමානම විය. සුනීත... සෝපාක... පටාචාරා සේම අනේපිඬු සිටුතුමා සහ විශාකා මහෝපාසිකාවද උන්වහන්සේ දුටුවේ සම මෙත් කරුණාපිරි බුදු ඇසින්ම බැව් කීම අතිශයෝක්‌තියක් නොවන්නේය. බුදුන් වහන්සේගේ අනුගාමිකයන් වූ ආර්ය මහා සඟරුවනද එක් එක් විෂය ක්‍ෂේත්‍ර අරභයා අගතැන්පත්හු ලෙස කටයුතු කළ බැව්ද අපි දනිමු. ඉඳින්, ඒ බුද්ධ ශ්‍රාවකයන් වහන්සේලාගේ මග ම අනුගමනය කරනුවස් අප රට තුළ ද පහළ වුණාවූ හික්‌කඩුවේ ශ්‍රී සුමංගල... වාරියපොල ශ්‍රී සුමංගල සේම මිගෙට්‌ටුවත්තේ ශ්‍රී ගුණානන්ද ආදී වූ යතිවරයන් වහන්සේලා ද ශ්‍රේෂ්ඨ උතුමෝම යෑයි විටෙක මට සිතේ. සැබැවින්ම, රට... දැය... සමයෙහි අබිමන් රකිනුවස් නොපිරිහෙළා ඉටුකළා වූ මෙහෙයට අපි සැමදාමත් උන්වහන්සේලාට ශීර්ෂප්‍රණාමය පුදකළ යුතුව තිබෙනවා නොවේද....?
අතීත රජදරුවෝ රාජ්‍ය පාලනය පිළිබඳ ප්‍රශ්න ඇතිවූ කලී ඒ පිළිබඳ කරුණු විචාලේ ගරු මහා සඟරුවනෙනි. එවන්තැන්හිදී උන්වහන්සේලා වහ වහා මැදිහත් වී සුදුසු උපදෙස් ලබාදෙමින් ගැටලු නිරාකරණය කර දෙමින් සිදු කළේ අනෙකක් නොව රජුන් තනන්නාගේ භූමිකාව මනාකොට ඉටුකිරීමය. රජුන් තැනුවා මතුනොව හුදී ජනයාද අවැඩෙහි යෙදෙයි නම් උන් වහන්සේලා කළේ අනෙකක් නොව වහ වහා මැදිහත් වී ඒ කටයුතුවල ඇති අවැඩදායක බව ගැන අදාළ අය දැනුවත් කොට ඉදිරියේ දී සිදුවිය හැකි මහා විපතකින් මේ මුළුමහත් සමාජයම බේරා ගැනීමය. මහණ දම් පුරන්නටත් රටක් තිබිය යුතු යෑයි සිතා රුපුනොද පවා බිඳින්නට පෙරටගිය "ථෙරපුත්තාභය" පරපුරේ වත්මන් සාමාජිකයෝද කොතෙකුත් නම් සිටිනමුත්, ඇතැම් භික්‍ෂුන් වහන්සේලා විසින් අද දවසේ කරනු ලබන වැරැදි හේතු කොට ගෙන සමස්‌ත සම්බුදු සසුනටම එල්ල වෙමින් පවතින්නේ සුළුපටු නොවන අවමානයකි. භික්‍ෂුන් වහන්සේලාට උපදෙස් දීම ගිහියන්ට තරම් නොවන්න කැයි ඇතැම්හු පවසනමුත් සිදුවන ෙ€දවාචකයන් හොඳින්ම දැක දැකත් කෙලෙසක නම් අපි ඇස් කන් පියාගෙන හිඳිමුද...?
අපි "කෝටියක් සංවර ශීලය" නමැති වදනක් අසා ඇත්තෙමු. උපසපන් භික්‍ෂුන් වහන්සේ නමක් සතුව කෝටියක සංවර ශීලයක් තිබිය යුතු යෑයි බුදු සමය තුළ ඉගැන්වෙන මුත් ඒ කෝටියක් සංවර ශීලය සැබැවින්ම බොහෝමයක් භික්‍ෂුන් තුළ අද යන්තමින් හෝ තිබේද...? (පවතින සමාජ, ආර්ථික, දේශපාලනික වටාපිටාව තුළ බොහෝමයක් කරුණු කාරණා අරභයා විවාදාත්මක තත්ත්වයක් පැන නැගිය හැකි බැව් අපි දනිමු). තිබේනම් ගිහි බෞද්ධයන්ගේ නිත්‍ය ශීලය වන පංච ශීලය පවා කඩකර දමමින් සේම නොකළ යුතු යෑයි සම්මත ඇතැම් වෙළෙ¹ම්වලටද සම්බන්ධ වෙමින් නාඩගම් නටන තත්ත්වයට පන්සලේ හාමුදුරුවෝ පත්ව ඇත්තේ කිම...?
මිගෙට්‌ටුවත්තේ සුමිත්ත නම් භික්‍ෂුන් වහන්සේ නමක අරභයා විසල් ප්‍රශ්න සමුදායක් ඉකුත් වකවානුවේදී හට ගැනිණි.
අපි අද මෙලෙස අකුරු කරනා පරිද්දෙන්ම මීට ඉහතදීද මෙකී සිද්ධීන් අරභයා පුවත්පත්වල කතුවැකි පවා ලියෑවුණු අයුරු අපට මතකය. සැබැවින්ම, මේ වනාහී මුළු මහත් බෞද්ධ සමාජයම ලැඡ්ජාවට පත්කළ කථා පුවතක්‌මය. සකල ලෝකවාසීන්ටම යහපතක්‌ම වේවායි සිතමින් බවුන් වඩන්නට උපදෙස් දෙන භික්‍ෂුන් වහන්සේ ලෝ වැස්‌සන්ගේ ජීවත් වීමේ නිදහසද උදුරාගන්නට සැරසෙනවා නම්...? කාමෝන්මාදයෙන් මුපසත් වූ තිරිසනුන් රැළක් නිමවා තව තවත් මේ සමාජය අඳුරෙන් අඳුරටම ඇද දැමීමට සැරසෙනවා නම්...? සැබැවින්ම, පන්සිල් සුරැකෙන සමාජයක් යන්න හුදු සිහිනයක් පමණක්‌ම වනු නොඅනුමානය. අපේ හාමුදුරුවරු රහත් වී නැති නිසා මෙහෙව් වැරදි සිදුවීම සාමාන්‍ය දෙයකැයි කියාද කෙනකුට කියන්නට පුළුවන. සැබෑවකි...· එහෙත්, මේ සමාජය සුමඟට ගනු වස් උන්වහන්සේලාගේ දෙවුර මත පැටවී ඇත්තේ මෙතෙකැයි කියා පමණකළ නොහැකි තරමේ වගකීම් සමුදායකැයි යන්න කෙලෙසකනම් අමතක කරදමා කටයුතු කරමුද අපි...?
බුදුරජාණන් වහන්සේ දෙසුවා වූ දහම සැබැවින්ම අකාලිකය. එය අතීතයට, වර්තමානයට සේම අනාගතයටද එකසේ වලංගුය. සැබැවින්ම, බුදු දහම වූ කලී ගැඹුරු වූත්.... හරවත් වූත්... විශ්වීය දහමකි. එය තුළ භක්‌තියට වඩා ඉඩ අත්තේ බුද්ධියටය. බුද්ධිය මෙහෙයවා කවර කටයුත්තක් වුවද සිදුකළ යුතු බව සේම බුද්ධිය මෙහෙයවා කරන්නා වූ කටයුතු තුළින් බුදු දහමේ හරය මානව සමාජයට වඩාත් හොඳින් පෙන්වා දිය හැකි බවද උගැන්විය යුතුව ඇති මුත් ජනප්‍රිය යෑයි සම්මත බොහොමයක් භික්‍ෂුන් වහන්සේලා අද කරමින් සිටින්නේ කුමක්‌ද....? අහෝ...· සැබැවින්ම උන්වහන්සේලා මංමුළා වී ඇති සෙයකි. තම අදහස් හා දෘෂ්ටිවාද පමණක්‌ම ඉදිරිපත් කරමින් උවසු උවැසියන් හිනස්‌සවමින් දම් දෙසන්නාවූ උන් වහන්සේලා ඉන් බලාපොරොත්තු වන්නේ මිනිසුන් තුළ ධර්මාවබෝධය ඇතිකරලීමද...? නොඑසේනම් "වැදි බණ" කියා හෝ තම ජනප්‍රියත්වය වඩවා ගැනීම විතරමද...? අවිද්‍යාවෙන් මුසපත් වූ ලෝකයාට ඒ වෙනුවට විද්‍යාව ළඟා කරදීම බුදු දහමේ ප්‍රමුඛතම අරමුණක් වනමුත්, කාලීන ධර්ම දේශනා යෑයි කියමින් රටේ නැති වල්භූත දෙඩීමෙන් ඉහත කී අරමුණ කොතෙක් නම් දුරකට සාක්‍ෂාත් කරගත හැකිවේද යන්න අපි නොදනිමු. සැබැවින්ම, අද වන විට බොහෝමයක් භික්‍ෂුන් වහන්සේලා බුදු දහමට මුවාවී කරගෙන යනු ලබන්නේ ව්‍යාපාරමය. විටෙක එය ධර්මදේශනා ස්‌වරූපයෙනි. තවත් විටෙක එය බෝධිපූජා, කවි බණ සේම විවිධ වන්දනාමාන වැඩ සටහන් ස්‌වරූපයෙන් ද පවත්වාගෙන යයි. මේ කවරාකාරයෙන් එම වැඩසටහන් පවත්වාගෙන ගියද අපට කීමට ඇත්තේ මෙපමණකි. නව්‍ය අංගෝපාංග එකතු කරමින් බුදුදහම විකෘති කරලීම කවුරුන් විසින් සිදුකළද ඇත්තෙන්ම එය තරම් නොවන්නකි. එමතුද නොව එතුළින් නිර්මල වූද සැමගේ පැවැත්මට එල්ල වන්නේද මෙතෙකැයි කියා පමණ කළ නොහැකි තරමේ තර්ජනයකි. වෙසෙසින්ම මෙහි ඇති භයානකම පැතිකඩ අනෙකක් නොව එකී වැඩසටහන් සඳහාම ඇලුම් කරන, ඒවායේම එල්බ ගත් (වෘත සමාදන් වූ) අනුගාමිකයන් පිරිසක් නිර්මාණය වීමේ අවදානමයි. බුද්ධිය හීන කර ගත්තවුන් බහුල වශයෙන් වෙසෙන සමාජයක් තුළ එවැන්නක් සිදුවීමට ඇති ඉඩ කඩ බහුල බැව් කියා පාන්නට අද දවසේ සිදුවෙමින් පවතින සිද්ධීන් පමණක්‌ම වුව හොඳටම ප්‍රමාණවත්ය.
බුදුදහම තුළ උගන්වන කරුණු කාරණා අතර "ආයති සංවරය" යන්න වැදගත්ම කරුණකි. ඒ අනුව යම් වරදක් සිදුකළ භික්‍ෂුන් වහන්සේ නමක වේ නම් එකී වරද පෙන්නා දුන්නායින් අනතුරුව වරද පිළිගෙන පැවිදි දිවිය යහපත් ලෙස ගතකිරීමට පදනම සකසා ගැනීම අභ්‍යන්තරයෙන්ම සිදුවිය යුත්තකි. එසේ නොමැතිව දඬුවම් ලබාදීමේ ක්‍රමවේදයක් සංඝ සමාජය තුළ නැත. යම් වරදක් කළ භික්‍ෂුන් වහන්සේ නමක වේ නම් එකී හිමි නම අරභයා නිකාය මට්‌ටමින් යම් යම් ක්‍රියාමාර්ග ගැනීම සිදුකරන අතර, මිගෙට්‌ටුවත්තේ සුමිත්ත නමැති හිමිනම අරභයා අස්‌ගිරි මහා විහාරයීය මහා සංඝරත්නය කටයුතු කළ ආකාරය ප්‍රශංසනීය බවද අපි එකහෙළාම කියමු. බුදුදහම යනු පාරදෘෂ්‍ය දහමකි. සැබැවින්ම එහි විනිවිද පෙනෙනා ගුණය ඉහළින්ම අන්තර්ගතය. ඉහත කී භික්‍ෂුන් වහන්සේ අරභයා කටයුතු කර ඇති ආකාරය තුළින් ඒ බැව් තවදුරටත් තහවුරු වී ඇතැයි යන්න අපේද විශ්වාසය වන අතර, අපේ හිමිවරුන්ගේ සුළු සුළු වැරදි අරභයා මහා පරිමාණයේ ප්‍රචාර දියත් කරන්නවුන් ගැනද යමක් නොලියා සිටියහොත් එය විසල් අඩුවකැයි සිතේ.
වැරදි අඩුලුහුඬුකම් සිදුවන්නේ වත්මන් භික්‍ෂුව අතින් විතරමද...? නැත. එය බුද්ධ කාලීනව හුන් භික්‍ෂුන් වහන්සේලා අතින්ද සිදුවූ බවට සාක්‍ෂි සාධක ඕනෑ තරම්ය. අඩුලුහුඬුකම් මැද වුවද භික්‍ෂුන් වහන්සේලා මේ සමාජයට නායකත්වය සපයමින් ඉටු කරමින් සිටින්නේ සුළු පටු නොවන සේවයකැයි යන්න කවුරු කවුරුත් තේරුම්ගත යුතුව ඇත. එසේ නම් අද දවසේ අපේ ස්‌වාමීන් වහන්සේලා විසින් සිදු කරනු ලබන වැරැදි හමුවේ උන්වහන්සේලාට එලව එලවා පහරදීමට තරම් බොහෝමයක් දෙනා ඉක්‌මන් වී ඇත්තේ ඇයි...?
අපට තේරුම් යන අයුරින් නම් මෙහිදී බෞද්ධයන්ගේ සේම බෞද්ධ භික්‍ෂුන් වහන්සේගේද ඉවසීමේ ගුණයෙන් අයුතු ප්‍රයෝජන ගැනීමට මෙකී පිරිස් සැරසී සිටින සෙයකි.
කුමන අයුක්‌තියක්... අසාධාරණයක් සිදුකළද ඒ හමුවේ බුද්ධිමය හඬක් නඟනු මිස කෙදිනකවත් අනවශ්‍ය අයුරින් ගැටුම් ඇතිකර ගැනීමට බෞද්ධ භික්‍ෂුව හෝ බෞද්ධයෝ හෝ කටයුතු නොකරති. එහෙත්, අනෙක් ආගමකට... ආගමික ශාස්‌තෲවරයකුට හෝ පූජකයකුට අගෞරවයක් වන අයුරින් යමක් පළ කළහොත්...?
එය බොහෝවිට කෙළවරවන්නේ ගැටුමකිනි. වටිනා මිනිස් ජීවිත රැසක් අමු අමුවේම මරුතුරුලට යෑව්වායින් අනතුරුවය. සැබැවින්ම, වැරදි කරන්නේ බෞද්ධ භික්‍ෂුන් වහන්සේලා විතරමද...?
අමිල දොළපිහිල්ල
0 Comments