කොල්ලන් කර බබා - බිල්ලන් දෙයි ටැබා

ගිලී ගිය දෙනෙත් තුළත්, සුදුමැලිව ඇටසැකිල්ලක්‌ වන්නට ඔන්න මෙන්න ඇති මුහුණෙත් තවමත් කඩවසම් තාරුණ්‍යයේ සේයාවන් ඉතිරිව තිබේ. ඒ දෙනෙත් මඳකට හෝ දීප්තිමත් ජවයකින් ඒ මේ අත සැරිසරන්නේ බලාපොරොත්තුවක හඬ හඟවමිනි. ඔහු සමඟ රැඳී සිටින මිතුරන් ද කලබලකාරීය. නොසන්සුන් ය. එක්‌ මොහොතකදී අසලට පැමිණෙන තවකෙකු දැක ප්‍රීතියෙන් ඉපිල යන සියල්ලෝ ම ඔහු හා එක්‌ව මහා මාර්ගයෙන් දකුණු පසට පිහිටා තිබූ පටු පාරේ කෙළවරකට පියමං කළේය.

පටු පාර තවත් පාරවල් කිහිපයකට බෙදී යන මුත් ඔවුනගේ නවාතැන්පළ වූයේ කිසිවෙකුත් නොගැවසෙතැයි අනුමාන කළ හැකි නිවෙස්‌ කිහිපයක පිටුපසයි. ලුම්පන් පංතියේ මිනිසුන් ගැවසෙතැයි අනුමාන කළ ඒ පෙදෙස බොහෝ අපචාරයන්ට නිදහස සපයනු ලබන වටපිටාවක්‌ නිර්මාණය කර ඇත.

එතැනට පැමිණි තරුණ පිරිස ඉතා කලබලයෙන් බෙදා හදා ගත් යමක්‌ මුව තුළට රුවා ගන්නා අයුරුත්, අනතුරුව සිගරැට්‌ හා මෙගා බෝතලයක පැණි බීම හුවමාරු කර ගනිමින් පානය කරන අයුරුත් අපි බලා සිටියෙමු.

මේ පසුගිය සතියේ දිනෙක කොළඹට නුදුරු පෙදෙසක දී මෙරට මත්ද්‍රව්‍ය භාවිතයේ අලුත්ම ප්‍රවණතාව සේ සැලකෙන 'ටැබා ආතල්' ගන්නා තරුණයන් පිරිසක්‌ සොයා ගිය මොහොතක දුටු දැ ය. "ටැබා ආතල්" පිළිබඳව දිගින් දිගටම තොරතුරු අනාවරණය වන්නට පටන් ගත්තේ රාජාංගනයේ තරුණයකු මේ අනිසි මත් වින්දනය හේතුවෙන් ඇළකට වැටී මිය යැමත් සමඟමය.

එවක්‌ පටන් මේ ගැන තොරතුරු රටේ විවිධ ප්‍රදේශවලින් ගලා එන්නට විය. එහෙත් කොළඹ නගරය මේ නිරීක්‍ෂණයනට එතරම් හසු වී නොතිබුණේ 'ටැබා ආතල්' ගැනීමට වඩා 'දේවල්' කොළඹ ඇතැයි යන උපකල්පනය මත පිහිටා විය යුතුය. එහෙත් ග්‍රාමීය - නාගරික යන වෙනසක්‌ නොමැතිව මේ අනිසි වින්දනයට තරුණයන් පෙළඹී සිටින්නේ වෙනත් මත්ද්‍රව්‍ය භාවිතයට වඩා පහසුවෙන් ඒවා ලබා ගැනීමට ඇති හැකියාව නිසයි.

"ගෙදර අයට නෝන්ඩිත් නෑ. ගන්න අමාරුවකුත් නෑ. ඒ හින්දා කොල්ලෝ මේකට සෙට්‌ වෙනවා.

අප එවැනි ස්‌ථාන කිහිපයකටම රැගෙන ගිය 'රංජි' කීවේ එලෙසිනි. රංජි කියන ආකාරයට 'ටැබා' මෙරට මත්ද්‍රව්‍ය ලෝලීන් අතර ප්‍රකට වූයේ අදක ඊයෙක නොවේ. එය බොහෝ කාලයක සිට සිදුවන්නකි. එහෙත් මුල් යුගයේ මේ සඳහා වැඩිදෙනකු යොමු වී නැත්තේ විකල්ප මත් ද්‍රව්‍ය භාවිතයට යනවාට වඩා වෙළෙඳපොළ තුළ සුලභ මත්ද්‍රව්‍ය ඇති පමණින් තිබූ නිසාය..

"පස්‌සේ මෑත කාලයේ කුඩු හිඟ වෙච්ච කාලයක්‌ තිබුණා. මතකද මහත්තයාට. අන්න එතකොට තමයි වැඩේ නැගලා යන්න පටන් ගත්තේ.

ඒ ආසන්න කාලය වන තුරු ටැබා භාවිත කර ඇත්තේ හෙරොයින් හෝ සුලභ මත්ද්‍රව්‍ය මිලදී ගත නොහැකි, ඒවා භාවිතයෙන් පසු ඇතිවන තත්ත්වයන් විසින් සමාජය සමඟ ගනුදෙනු කළ නොහැකි මත්ද්‍රව්‍ය ලෝලීන් ය. එහෙත් පසුකාලීනව මේ තත්ත්වය වෙනස්‌ වී ගියේ මත්ද්‍රව්‍ය සඳහා ආදේශක බොහොමයක්‌ බිහිවීම සමගිනි.

ඒ සියල්ල අතුරින් ටැබා ආතල් සමාජ උවදුරක්‌ බවට පත්ව ඇත්තේ පාසල් විය නොඉක්‌මවන තරුණයන් රැසක්‌ ඊට යොමු වී ඇති හෙයිනි. මේ මොහොත වන විට කොළඹ හා තදාසන්න ප්‍රදේශ රැසකත්, දකුණු පළාතේ, ඌව පළාතේ ප්‍රදේශ කිහිපයකත්, ඊට වැඩි නැඹුරුතාවක්‌ දක්‌වන ප්‍රදේශ ලෙස හඳුනාගැනීමට හැකිව තිබේ. එහෙත් වැඩි වශයෙන් මේ ගැන කතා බහ කරද්දී කුරුණෑගල, මාතලේ, පොලොන්නරුව, කෑගල්ල, දඹුල්ල වැනි ප්‍රදේශ කිහිපයක නම් නිතර භාවිත වේ.

'ටැබා ආතල්' යන යෙදුම විකාර රූපීය. ක්‍රියාවලිය වඩා භයානකය.

"ඇත්තටම ආතල් කිව්වට දැනෙන්නේ වෙන දෙයක්‌. පොඩි වෙලාවකට විකාර දේවල් ගොඩක්‌ පේන්න පටන් ගන්නවා. ඒ වුණාට ඊළඟ දවසෙත් බඩු නැතිව බැහැ."

රංජි කැඳවාගෙන ආ පාසල් යන වියේ පසුවූවෙකු කීවේ එලෙසිනි. ඔහු පාසල් වියෙහි පසුවන්නකු යෑයි අපි කියන්නේ තවමත් පහළොස්‌ හැවිරිදි වියේ පසුවන්නකු වූ නිසා ය.

"අපි යාළුවෝ කට්‌ටිය දවසක්‌ පාඩම් කරන්න යාළුවෙකුගේ ගෙදරට සෙට්‌ වුණා. එතැනදී තමයි මුලින්ම මේ වැඩේට බැස්‌සේ."

"මුලින්ම" මේ වැඩේට බැස්‌සේ එදින යෑයි කියන්නේ ඊට පෙර වෙනත් මත් ඇබ්බැහියකට යොමුව සිටියා දැයි අපි ඔහුගෙන් විමසුවෙමු.

"ඊට කලින් ජොයින්ට්‌ (ගංජා පානය කරන්නට) එකට තමයි සෙට්‌ වුණේ. ඒක කරදරයි. ගන්න යන තැන්වලට පොලිසිය පනිනවා. ජොයින්ට්‌ එකට සෙට්‌ වෙන්න තැන් හොයන්න ඕන. 'ටැබා' එහෙම නෙවෙයි. ගත්තා..... ආතල් ගත්තා. එහෙම්ම හාන්සි වෙන්න පුළුවන්."

ප්‍රිය පාඨකයිනි, අපි ඔබෙන් සමාව අයදිමු. ඒ මෙහි ආදීනව ගැන සටහන් කරන්නට ගොස්‌ එහි ඇති ආකාර්ෂණීය බව ගැන ඔහුගේම වචනයෙන් සටහන් කරන්නට වීම ගැන ය. එහෙත් කිසිවිටෙකත් ඒ තරුණයා දකින අයෙක්‌ වෙත්නම් ඒ වින්දනය කවරකටදැයි ඔබ සිතනු නො අනුමානය. අප ඉදිරියේ සිටින ඒ තරුණයා ලිපියේ ආරම්භයේ ම සටහන් කළ විරූපව ගිය රූප ස්‌වභාවයන්ගෙන් යුක්‌තය. ජවයෙන් පිරි තාරුණ්‍ය උරුම කරගත් පිළිවෙළ කඩවසම් බව ඔහු අසලක දක්‌නටවත් නැත.

'ටැබා' ලෙස මේ තරුණ පරපුර මකර කටට ඇදගෙන යන පෙත්ත කිසිවිටෙකත් මත්ද්‍රව්‍ය ගණයට නොවැටෙන්නකි. එය යම්කිසි රෝග කාරකයක්‌ වෙනුවෙන් නිකුත් කරනු ලබන ඖෂධයකි. එම රෝග කාරකය හෝ ඖෂධය සඳහන් නොකරන්නේ තවදුරටත් මේ සඳහා යම් තරුණයකු ඇදී යන්නේ නම් එය වළකාලනු පිණිසය. හිටි හැටියේ මේ ගැන තොරතුරු වාර්තා වීමත්, බොහෝ මාධ්‍යයන් හි ඊට තරුණයන් ඇදී යන ආකාරයේ ආකර්ෂණීය විචිත්‍ර ලිපි පළවීමත් සමගම සමාජය තුළ මේ ගැන උනන්දුවක්‌ ඇති වීම හා ඒ ගැන සොයා බලන්නට පෙළඹුනද මේ උවදුර මේ රටේ පැතිරෙන්නට පටන් ගත්තේ මීට වසර කිහිපයකට පෙරාතුව බව අප කළ සොයා බැලීමේදී අනාවරණය විය. 2005 වර්ෂයේදී පිළියන්දලට නොදුරු පෙදෙසක, මෙවැනි ඖෂධයක්‌ අලෙවි කළේ රෝහල් සාත්තු සේවකයකු හා සම්බන්ධ වූ පුද්ගලයෙකි. වර්තමානයේ ඒ 'බිස්‌නස්‌' දකින්නට නැති වුවද, වෙනත් ප්‍රදේශයන් හි ඒ ජාවාරම ඉතා සූක්‍ෂම ලෙස සිදුවෙයි. එහිදී අලෙවි කරන්නේ මත්ද්‍රව්‍ය ලෝලීන්ගේ 'සික්‌' එක වර්ධනය කිරීම පිණිස ලබා දෙනු ලබන ඖෂධයකි.

මේ සියල්ල සිදු කරනු ලබන්නේ ඉතා සංවිධානාත්මකවය. ආරම්භය කොතැනක දැයි දැන ගන්නට නැතත්, මේ වැඩේට බොහෝ රෝහල්වල සාස්‌තු සේවකයන්, විවිධ ඖෂධසල්වල සේවය කරන්නන්ගේ "ගොඩ යා" හැකි බිස්‌නස්‌ එක බවට පත්ව ඇත්තේ එයයි. වත්තල ප්‍රදේශයේ 'බිස්‌නස්‌' එක 'රන්' කරන එක "අක්‌කා" කෙනකු සේවය කරන්නේ ප්‍රදේශයක පිහිටි මූලික රෝහලකය. "අක්‌කා" නිවසේ ඇතත් නැතත් වැඩේ දුවන්නේය. ගෝල බාලයෝ එමටය. රට පුරා මේ බිස්‌නස්‌ එක දුවන්නේ ඒ ආකාරයෙන් අතරමැදියන්ගෙනි. රාජාංගනයේ තරුණයා මියගියේ දඹුල්ලේ ෆාමසිය ඉදිරිපිට සිය කාර්යය කරගෙන යමින් සිටියදීය. මේ වන විට බොහෝ ෆාමසි (ඔසුසල්) 'බිස්‌නස්‌ එක' ගෙන යන්නේ ඉතා සූක්‍ෂමවය. රට පුරා පිහිටි බොහෝ ඔසුසල් එම ඖෂධ විකිණීම සීමා කරද්දී යම් යම් ඔසුසල් ඒවා විකිණීම නතර කරන්නට නොසිතන්නේ ලැබෙන ලාභයේ තරම ගැන සිතා විය යුතුය.

"ෆාමසිවලින් බඩු ගන්න අමාරු තත්ත්වයක්‌ ආවොත් ඒකටත් වෙන වෙන ඔප්ෂන් (විකල්ප) තියෙනව. කවදාවත් එහෙම බඩු හිඟවෙලා නැහැ.

මේ කාර්යයේ අතරමැදියකු විදියට කටයුතු කරන පුද්ගලයකු පැවසුවේ එලෙසය. අප පුවත්පතකින් බව මුලදීම අල්ලා ගන්නට තරම් ඔහු සටකපට විය. ඔහු නොපැකිලව ඒ විස්‌තර කීවේ "පත්තරවල ගියාට මේවා නවත්වන්න බෑ." යන අවධාරනය ද සමගිනි. ඒ මත්ද්‍රව්‍ය සංස්‌කෘතියේ හැටිය. අලෙවිය ආරම්භ වූ පසු ඊට රොද බඳින ගැනුම්කරුවන් පිරිස වැඩිවීම නිරායාසයෙන් සිදුවන්නකි. ඒ හේතුවෙන් ම ඒවා රහසිගතව බෙදාහැරීමේ ක්‍රමවේද, සට කපට අලෙවිකරුවන් පොලිස්‌ ඇසට වැලි ගසා අලෙවි කිරීම් ආදිය බිහිවීම වැළැක්‌විය නොහැක.

'ටැබා ආතල්' සංස්‌කෘතිය තුළදී සිදු වී ඇත්තේ එයමය. අප දඹුල්ල. කුරුණෑගල ආදී ප්‍රදේශවලට යැමට පෙර කොළඹ හා තදාසන්න ප්‍රදේශවල කරන ලද විමර්ශනවලදී ඒ බව සනාථ විය. මේ වන විට කොළඹ ඇතුළු ප්‍රදේශ ගණනාවක ඔසුසල් හි "මත් පෙති" විකිණීම සිදු නොකරන තත්ත්වයක්‌ මතු වී ඇත. එහෙත් අවශ්‍ය තැනැත්තා එය කෙසේ හෝ ලබා ගනී. නීයම තත්ත්වය වන්නේ ඔසුසල් වලට පිළිගත හැකි වෛද්‍ය සහතික පවා නිකුත් කරන්නට ඇතැමුන් පෙළඹී සිටීමය. ඒ ද යම් මුදලකටය. බොහෝ තැන්වල 'මත් පෙති' මිලදී ගැනීම අරඹයා මතුව ඇත්තේ ගැටුම්කාරී තත්ත්වයන් ය.

දඹුල්ල ප්‍රදේශයේ ත්‍රිරෝද රථ රියෑදුරකු කීවේ සමහර කොල්ලෝ පිස්‌සු වැටිලා ඉන්නේ ටැබා නොලැබුනොත් 'කෙනකු මරණ සයිස්‌" එකෙන් බවය.

උදේශ සංජීව ගමගේ

Post a Comment

0 Comments