ජීවිතය පටන් ගන්නේ 60න්


"Life begins at 60" , ජීවිතය පටන් ගන්නේ අවුරුදු හැටෙන්. මෙය අපට අලුත් දෙයක්‌ වුවත් යුරෝපීය රටවල නම් පිළිගත් මතයක්‌. ඔවුන් අවුරුදු 60 දී විවාහ දිවියට පවා ඇතුල් වෙනවා. අලුත් ජීවිත පටන් ගන්නවා. ඒ නිසාම ඔවුන්ගේ ආයු කාලයත් දීර්ඝ වෙනවා. නමුත් අපේ රටේ නම් පිළිගැනීම, සැට පැන්නා කියන්නේ මරණයේ එළිපත්ත උඩ සිටිනවා කියන එකයි. එය ඉතා වැරැදි මතයක්‌. මේ සෘණාත්මක චින්තනය නිසා අපේ ජනතාවගේ ආයු කාලය පවා අඩු විය හැකියි. 

ඔබටත් පුළුවන් හැටවැනි වියේදී අලුත් ජිවිතයක්‌ පටන් ගන්න. හැබැයි එය තිබෙන්නේ ඔබේ අතේ. හැටවිය පසුවන විට බොහෝ දෙනෙක්‌ අසතුටෙන් කල් ගෙවනවා. විශේෂයෙන්ම සෞඛ්‍ය පැත්තෙන් සහ මානසික පැත්තෙන්. නමුත් අප ජීවිතයේ යථාර්ථය අවබෝධ කර ගතහොත් එය එසේ විය යුතු නැහැ. මේ සඳහා ඔබට උපකාරී වන ඉතා වැදගත් උපදෙස්‌ කීපයක්‌ පහත දැක්‌වෙනවා.

හදවතින් තරුණ වන්න

තමන් වයසට ගිය බව සිතීමෙන් සහ කියා පෑමෙන් වළකින්න. ඔබ වයසින් මුහුකුරා ගියත් රූපයෙන් සහ හදවතින් තවමත් තරුණ වන්නට පුළුවන්. ඒ නිසා හදවතින් තරුණ වන්න. මෙයට හොඳම නිදසුනක්‌ තමයි අපේ දේශපාලනඥයන්. අද ලොව බොහෝ රටවල නායකයන් වයස හැට පිරුණු අයයි. නමුත් ඔවුන් කරන්නේ විශාල රාජකාරියක්‌. පෙනුමෙනුත් ඔවුන්ට ඇත්තේ වයසට වඩා තරුණ පෙනුමක්‌. ඔබට හැකිතාක්‌ කල් රැකියාවක හෝ ව්‍යාපාරයක යෙදෙන්න. එය ඔබට මානසික ප්‍රබෝධයක්‌ මෙන්ම ආර්ථික වාසියක්‌ද සලසනවා. ලස්‌සනට අඳින්න පළඳින්න. ඔබේ යුග දිවියට මෙම වියපත්වීම බාධාවක්‌ කර නොගැනීමට ක්‍රියා කිරීම ඉතා වැදගත් වෙනවා. සිරුරේÊහෝමෝන ක්‍රියාකාරිත්වය වැඩි වීමෙන් තරුණ පෙනුමක්‌ ලබාදෙනවා පමණක්‌ නොව සිරුරේÊනිරෝගී භාවයද වැඩි කරනවා. 

වියපත් වීම කොටස්‌ තුනකට වෙන් කරන්න පුළුවන්. එනම් කාලානුක්‍රමික, ජීව විද්‍යාත්මක සහ මානසික.

පළමු එක එනම් කාලානුක්‍රමික ගණන් ගැනෙන්නේ තම උපන් දිනයේ සිටයි. එය වෙනස්‌ කළ නොහැකියි. නමුත් ජීව විද්‍යාත්මක තත්ත්වය ර¹ පවතින්නේ තම නිරෝගී භාවය මතයි. අනෙක එනම් මානසික තත්ත්වය රැඳෙන්නේ වියපත් වීම පිළිබඳව ඔබ දරන ආකල්ප මතයි. මෙයින් පළමු කරුණට අපට බලපෑමක්‌ කළ නොහැකියි. නමුත් පෝෂ්‍යදායක ආහාරපාන සහ ව්‍යායාම මගින් අපේ ජීව විද්‍යාත්මක තත්ත්වය වෙනස්‌ කරගත හැකියි. ඒ වගේම වියපත්වීම විළිබඳ අපේ ආකල්ප වෙනස්‌ කිරීමෙන් සහ ධනාත්මක චින්තනයෙන් අපේ මානසික තත්ත්වයද වෙනස්‌ කරගත හැකියි. 

නිරෝගී බව සම්පතකි

ඔබ ඔබේ දරු මුණුපුරන් ගැන අවංකවම ආදරයක්‌ දක්‌වන්නේ නම් ඔබේ සෞඛ්‍යය තත්ත්වයට මුල් තැනක්‌ දිය යුතු වනවා. නැත්නම් ඔබ නිතර රෝගී වීම ඔවුන්ට දුකක්‌ වේදනාවක්‌ මෙන්ම කරදරයක්‌ ද විය හැකිය. ඔබ නොවරදවාම ඔබේ වෛද්‍ය පරීක්‍ෂණ නියමිත වේලාවට කර ගත යුතු වෙනවා. ඒ වගේම අදාළ බෙහෙත් නොවරදවා දිනපතා භාවිතා කිරීම ඉතා වැදගත් වෙනවා. ඒ වගේම කුමක්‌ හෝ ව්‍යායාමයක දිනපතාම යෙදීම ඉතා වැදගත්. ඔබට ගෙවත්තක්‌ තිබේ නම් එහි කුමක්‌ හෝ ක්‍රියාකාරකමක්‌ සිදු කිරීමෙන් ඔබට ව්‍යායාමයක්‌ මෙන්ම සිතට ප්‍රබෝධයක්‌ද අත් වෙනවා. වැඩිහිටි වියට පා තබන විට සෞඛ්‍ය රක්‍ෂණ ආවරණයකට දායක වීමද ඉතා වැදගත් වෙනවා.

අතේ මිටේ මිල මුදල් ගැවසීම

මෙම අවධියේදී අතේ මිටේ මුදල් ගැවසීම අත්‍යවශ්‍ය වෙනවා. එසේ වූ විට ඔබේ ස්‌වාධීනත්වය රැකෙනවා. ඔබේ දරුවන් වෙනුවෙන් වත් පමණට වඩා මුදල් වියදම් කිරීමෙන් වළකින්න. ඔබ ඔබේ මුළු ජීවිත කාලයම ඔවුන් වෙනුවෙන් කැප කර තිබෙනවා. මේ ඔබ ඔබේ ජීවිතය විඳිය යුතු කාලයයි. ඔබේ දරුවන් කළගුණ දන්නා අය නම් ඔවුන් ඔබව ආදරයෙන් රැක බලා ගනීවි. නමුත් ඒ පිළිබඳ දැඩි බලාපොරොත්තු තබා ගන්න එපා. දේපළ පැවරීමේදී සැලකිය යුතු කොටසක්‌ ඔබ ළඟ තබා ගැනීමට කටයුතු කරන්න. සමහර විට ඒවා ලබා ගැනීමේ ෙච්තනාවෙන් හෝ දරුවන් ඔබේ දුක සැප බලනු ඇති. ඒ වගේම ඔබ හදිසියේ රෝගාතුර වුවහොත් ඒ සඳහා ද මුදල් කොටසක්‌ වෙන්කර තබා ගන්න.

සැහැල්ලුවීම සහ විනෝදය

ඔබ ආගමික පැත්තට යොමුවීම වඩාත් වැදගත් වන්නේ එයින් ඔබට සැහැල්ලු බවක්‌ ඇතිවීම නිසයි. ආගමික පොත් පත් කියවන්න. ඔබ අදහන දහම අනුව භක්‌තිය ශ්‍රද්ධාව ඇති කරගන්න. එසේම ඔබ ජීවිතයේ විඳින්නට නොහැකි වූ නොයෙක්‌ දේ විඳ ගැනීමටද මෙය අවස්‌ථාවක්‌ කරගන්න. ඔබේ පැරැණි මිතුරු මිතුරියන් හමුවීමට අවස්‌ථාවක්‌ උදාකර ගන්න. එය ඔබට විශාල සතුටක්‌ ගෙන දේවි. දේශීය සහ විදේශීය සංචාරවලට විනෝද චාරිකාවලට ප්‍රියසාදවලට සහභාගි වන්න. හැකි තරම් හුදෙකලා බවින් ඉවත් වන්න. අපේ රටේ වැඩිහිටියන්ට බලපාන විශාලම ප්‍රශ්නය හුදෙකලා වීමයි. ජීවිතය විනෝදයෙන් ගත කරන්න. සුව නින්දකට පිවිසෙන්න. 

කාලය රන් හා සමානය

උදාවන සෑම දිනක්‌ම අලුත් දිනයක්‌ ලෙස සිතන්න. ඊයේ යනු අවලංගු චෙක්‌පතකි. හෙට යනු බලාපොරොත්තු තැබිය හැකි පොරොන්දු නෝට්‌ටුවකි. අද යනු අතට ලැබුණු මුදලකි. එබැවින් අද දිනයෙන් උපරිම ප්‍රයෝජන ගන්න. අප වයසට යන විට බොහෝ විට දැනෙන දෙයකි අමතක වීම. ඒ නිසාම අවශ්‍ය දෑ තැනින් තැන සැඟවීමෙන් වළකින්න. එකම තැනක සියල්ල තිබීමෙන් ඔබට ඒ දේ සොයා ගැනීමට පහසු මෙන්ම කාලය නාස්‌තියක්‌ද සිදු නොවේ.

ලොව එකම නොවෙනස්‌ වන දෙය වෙනස්‌ වීමයි

සෑම දේම වෙනස්‌ වනවා. අපේ සිතුම් පැතුම්වලට වඩා අපේ දරුවන්ගේ සිතුම් පැතුම් වෙනස්‌. අප ඒ බව තේරුම් ගෙන එකිනෙකාගේ අදහස්‌වලට ගරු කළ යුතු වෙනවා. ඒ වගේම නවීන තාක්‍ෂණය අපට නොයෙක්‌ දේ පහසු කරනවා. අප ඒවාට හුරුපුරුදු විය යුතුයි. දැඩි ප්‍රතිපත්ති මත රැඳී නොසිටිය යුතුයි. ඉවසීම ප්‍රගුණ කිරීමෙන් සමාජය දෙස උපේක්‍ෂාශීලීව බැලීමෙන් අපේ ජීවිතවලට සැනසීම උදා කරගැනීමට පුළුවන්.

ආත්මාර්ථකාමිත්වය පිටුදකින්න

අප වියපත් වන විට අපේ ආත්මාර්ථකාමිත්වය වැඩි වෙනවා. අපට අවශ්‍ය ආදරය, කරුණාව, සැලකීම, පිළිගැනීම අපට නොලැබෙන විට මේ තත්ත්වය උදා වෙනවා. නමුත් අප එය පිටුදැකිය යුතුම වෙනවා. අප කෙනකුට යම් උදව්වක්‌ කළ යුත්තේ ප්‍රති උපකාර බලාපොරොත්තුවෙන් නොවේ. එසේ බලාපොරොත්තු වී ඔහුගෙන් එය ඉටු නොවුවහොත් අපට වේදනාවක්‌ ඇති වෙනවා. අප කෙනකුට පිහිට විය යුත්තේ අපේම සතුට සහ තෘප්තිය පිණිස මිස ඔහුගෙන් යමක්‌ අපේක්‍ෂාවෙන් නොවේ. සෑම දිනකම කුමක්‌ හෝ පුණ්‍ය කටයුත්තක යෙදෙන්න. කෙනකුට සුළුවෙන් හෝ උපකාරයක්‌ කරන්න. ඔබේ අත්දැකීම්වලින් උපදෙසක්‌ දෙන්න.

අමතක කිරීම සහ සමාව දීම

වැඩිහිටි අවදියට පිය නඟන විට අපේ ආවේගශීලීත්වය ටිකක්‌ ඉහළ යනවා. වැඩිපුර කේන්ති යනවා. මෙහිදී දරුවන්ගේ යුතුකම වනුයේ ඉවසීමයි. අපේම සුවසෙත සඳහා අපට යම් යම් අය විසින් කළ කී දෑ අමතක කළ යුතු වෙනවා. අපට වරද කළ අයට සමාව දිය යුතු වෙනවා. එයින් ඵල ලැබෙන්නේ අපටමයි. අපේ සිතෙන් වෛරය ඉවත් වෙනවා. අප නිරෝගී වෙනවා.

ජීවිතයේ යථාර්ථය අවබෝධ කරගන්න

ජීවිතය දෙස යථාර්ථවාදී දෙස බලන්න. ගැටලුවලට සාර්ථකව මුහුණ දෙන්න. දුක, සැප, ලාභ, අලාභ, නින්දා, ප්‍රශංසා සෑම ජීවිතයකටම පොදු දෙයක්‌. අප අප පිළිබඳවම ස්‌වයං විවේචනයක යෙදිය යුතු වනවා මෙන්ම අනෙක්‌ අය ගේ අඩුලුහුඬුකම් පිටුදැකිය යුතු වෙනවා.

මරණය පිළිබඳ ඇති බිය ඉවත් කරගන්න

අප සෑමදෙනාම මැරෙන බව අප නිත්‍ය වශයෙන්ම දන්නවා. එය ස්‌වභාව ධර්මයක්‌. එය වැඩිහිටි ඔබට පමණක්‌ නොව ළදරුවාගේ පටන් තරුණයා දක්‌වාද එලෙසම පවතිනවා. නමුත් අප බොහෝ දෙනෙක්‌ මරණයට දැඩි බියක්‌ දක්‌වනවා. අපේ දරුවන් ගැන ඔවුන්ගේ අනාගතය ගැන අප ශෝක වෙනවා. අපේ වියෝව ඔවුන්ට දරාගත නොහැකි වේ යයි අප සිතනවා. නමුත් ඇත්තෙන්ම එය එසේ වන්නේ නැහැ. කවුරුවත් අප වෙනුවෙන් මැරෙන්නේ නැහැ. ඕනෑම දුකක්‌ වේදනාවක්‌ කාලයා විසින් සමථයකට පත් කරනවා. අනෙක බුදු දහම අනුව නම් මරණය යනු එක්‌ නවාතැනකින් තවත් නවාතැනකට පිය නැගීමක්‌ ලෙස සැලකෙනවා.

ශ්‍රියානි ද සේරම් 
("ද හින්දු" පුවත්පත ඇසුරෙනි)

Post a Comment

0 Comments