අද පොසොන් පුර පසළොස්‌වක් පොහෝ දිනයයි. අපටම උරුමවූ අපේම පෝය දිනයයි. අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ දඹදිව සිට නිමල බුදු දහම රැගෙන මිහින්තලා මිස්‌සක පර්වතයට වැඩමවු දිනය බැවිනි. උන්වහන්සේගේ වැඩමවීම සිදුවන්නේ බුදුවසින් 236 වැන්නෙහිය.
මිට ප්‍රථම බුදුරජාණන් වහන්සේ තෙවරක් ලක්‌දිවට වැඩමවූ බව අප අසා දැන ඇත්තෙමු. නමුත් බුදුදහම ස්‌ථීරව පිහිටි බවක් සඳහා ලැබෙන තොරතුරු ප්‍රමාණවත් නොවන බව ඇතැමුන්ගේ අදහසයි. මෙය කෙසේ වෙතත් මිහිඳු මහරහතන් වහන්සේගේ ලංකා ගමනයෙන් පසු බුදුදහම අද දක්‌වාත් මතු දින දක්‌වාත් නිමලව පවතින බවත් අප මාතෘභූමියේ වාසනාවකි.
ධර්ම ප්‍රචාරය කිරීමේ වැදගත්කම ලෝකයාට පළමුව කියා දුන්නේ බුදුන් වහන්සේ විසිනි. මේ නිසා අන් ආගමික නායකයන්ට වඩා බුදුරජාණන් වහන්සේට සුවිශේෂි තැනක් හිමිවේ. ප්‍රථම රහතන් නම අමතා උන්වහන්සේ මෙසේ වදාළහ.
"මහණෙනි, බොහෝදෙනාට හිත පිණිසඳ ලොවට අනුකම්පා පිණිසද දෙව්මිනිසුන්ට වැඩ පිණිසද හිත්පිණිසද, සැප පිණිසද චාරිකාවෙහි හැසිරෙව්, දෙනමක් එක මගින් නොයමු. මුල්මැද අවසන යන තුන්තන්හි යහපත් වූ අර්ථ සහිතවූ ව්‍යංජන සහිතව සියලු ආකාරයෙ සම්පූර්ණ වූ ධර්මය දේශනා කරව්, පිරිසිදු බ්‍රහ්මචාර්යය ප්‍රකාශ කරමු වශයෙනි.
ධර්ම ප්‍රචාරය කිරීමේ අරමුන සාර්ථකත්වය, මේ ක්‍රමවේදය තුළ අන්තර්ගතය බෙහෙවින් වටිනාකමක් ගනි.
බුදුදහම වැළදගත් ධර්මාශෝක මහරජතුමා සිදුකළ ශාසනික කටයුතු අතර රටවල් නමයකට ධර්ම දූත කණ්‌ඩායම් පිටත්කර හැරීම වැදගත් තැනක් ගනී. රජුගේ මේ උදාර කර්තව්‍ය මිහිඳුහිමි කල්තියා දැනගෙන පෙර සූදානමක් ලබන්නට ඇතැයි සිතිය හැක. මහලු මුටසීව රජුගෙන් පසු දෙවන පෑතිස් රජු රාජ්‍යත්වය ලබා ගන්නා තෙක් මිහිඳු හිමි විදිසාවට ගොස් ධර්ම ප්‍රචාරය සඳහා සූදානම් වන්නට ඇතැයි සිතිය හැක.
ශ්‍රී ලංකාද්පයේ ධර්ම ප්‍රචාරය සඳහා ධර්මාශෝක මහරජතුමා තෝරාගනු ලැබුවේ සිය පුතණුවන්වූ මිහිඳු මහරහතන් වහන්සේ සමගින් ඉට්‌ඨීය, උත්තීය, සම්බල, භද්දසාල, සුමන සාමණේරයන් වහන්සේ ,භණ්‌ඩුක, උපාසක යන පිරිසයි. රජ පවුලේ පිරිස් මේ සඳහා යොදාගැනීම රජු අපට දැක්‌වූ සුවිශේෂි කරුණකි.
මේ පිරිස අද වැනි පොහෝ දිනක මිහින්තලා මිස්‌සක පර්වතයට බුදුදහම රැගෙන වැඩම කළහ. දේවනපෑතිස් රජු හතළිස් දාහක් පිරිවර සමගින් දඩකෙළියේ ගොස් සිටියහ. මුව පෙව්වකු පසුපස හඹාගිය රජුට කඳුපාමුලදි මුව පොව්වා නොපෙනීයාම දෙවියන් විසින් රජුට මිහිඳු හිමි දර්ශනයට යෙදූ උපක්‍රමයක් සේ ඇතැම් වාර්තාවල සඳහන් වේ.
කඳු මුදුනක සිට රජු ඇමතූ මිහිඳු මහරහතන් වහන්සේ තමන් වහන්සේ හා පිරිස හඳුන්වා දෙයි. මහරජ ධර්මරාජයානන්ගේ ශ්‍රාවක වූ අපි ශ්‍රමණයෝ වෙමු. ඔබටම අනුකම්පා වෙන් දඹදිව සිට මෙහි පැමිණියෙමු වශයෙනි. මෙය ශ්‍රවණය කිරීමෙන් රජුගේ බිය හා සැකය පහවගිය බව සඳහන්ය. වංශකථාකරුවන් මෙයට තවත් හේතු කීපයක් බලපාන්නට ඇතැයි පෙන්වා දෙයි. දෙවනපෑතිස් රජුත් ධර්මාශෝක රජුත් කලක පිටන් මිතුරන් බවත් (අදෘෂ්ටමිත්‍ර) බොහෝ අවස්‌ථාවල වටිනා තෑගි බෝග හුවමාරු කරගෙන තිබීමත් වැදගත් හසුන් පත් කීපයක් ධර්මාශෝක රජු විසින් දෙවනපෑතිස් රජුට එවූ බවත් යන කරුණුය. මෙහිදී එහි වැදගත් ලිපියක් සේ මෙය දැක්‌විය හැක.
මම තෙරුවන් සරණ ගියෙමි. ශාක්‍යපුත්‍ර බුද්ධ ශාසනයෙහි උපාසකව සිටිමි. මහරජතුමනි ඔබත් ශ්‍රද්ධාවෙන් සිත පහදවා ගෙන මේ රත්නත්‍රයෙ සරණ යනු මැනවි යන්නයි.
කළණ මිතුරෙකුගේ යුතුකම හා වගකීම වනුයේ තමන් ඇසුරුකරණ මිතුරා හෝ මිතුරන් යහපතෙහි යෙදෙවීමයි.
තෙරුවන්ගේ වටිනාකමත්, උපාසක බවේ වටිනාකමත්, ශ්‍රද්ධාවේ වටිනාකමත්, කියාදෙන ධර්මාශෝක රජතුමා දෙවන පෑතිස් රජු යහපත් මාර්ගයට යොමුකර තිබේ. මිහිදු මහරහතන් වහන්සේගේ කාර්යභාරයට හසුකරගන්නක් විය.
මිහිඳු මහරහතන් වහන්සේ තමන් වහන්සේ හඳුන්වා දීමෙන් පසු දෙවනපෑතිස් රජු ඇතුළු පිරිස තිසරණ පන්සිල්හි පිහිටුවූහ. (තෙරුවන් යනු රත්නතුන යනුයි) එනම් බුද්ධ, ධම්ම, සංඝ යන උතුම් වස්‌තු තුනයි. මානවයාගේ දුකට පිහිටවන නිසා තෙරුවන නමින් එය හැදින්වේ. සසර දුකෙන් මිදීමට මෙය මහෝපකාරිවේ. තෙරුවන් සරණ ගිය පුද්ගලයා බෞද්ධයෙකි. උපාසකයෙකි. බෞද්ධයාගේ නිත්‍ය ශීලය පංචශීලයයි එය අපි දනිමු. ඒ ශික්‍ෂා පද පහ සමාදන් වීම නම් අපි පොරොන්දු පහකට බැඳීමයි. එනම් සතුන් මැරීම සොරකම් කිරීම, කාමයෙහි වරදවා හැසිරීම, බොරුකිම මත්වන දේ පාවිච්චිය යන මේ කරුණුවලින් වැලකී සිටීමයි. පන්සිල් රැකීම අනුසස් රාශියක් ලබාදෙයි.
බෞද්ධ ප්‍රතිපදාවේ මූලික ලක්‍ෂණ මේආකාරයෙන් විස්‌තර කර දෙන මිහිඳු මහ රහතන් වහන්සේ තව තවත් රජ ඇතුළු පිරිසට ශ්‍රද්ධාව භක්‌තිය, ඇතිකරවීමේ අදහසින් චුල්ලහFථිපදොaපම සූත්‍රය දේශනා කරයි.
මේ සූත්‍ර දේශනා අවසානයේදී රජුගේ පෙර පැවැති ආකල්ප වෙනස්‌කර සුභවාදී ආකල්ප ජනිත කරළීමට ප්‍රබල කරුණක් විය.
රජු ආරාධනයෙන් දෙවෙනි දින අනුරාධපුරයට වැඩම කළ මිහිඳු හිමි හා පිරිස හරසරින් පිළිගන්නා ලදී. මෙහිදී රැස්‌වූ පිරිසට පෙතවත්ථු, විමානවත්ථු සච්චසංයුත්ත, දහම් දෙසූහ, මෙහිදී අනුලා බිසව ඇතුළු අන්තඃපුර කාන්තාවන් සෝවාන් වූහ. පින්, පව්, පළදෙන ආකාරයත් ඒ අනුව සැප, දුක්‌විඳින ආකාරයත් මෙයින් ප්‍රකාශ වේ. එදා සමාජයේ පැවැති මිත්‍යා, අන්ධ, විශ්වාසයන් බැහැරවන ආකාරයට, තැනට සුදුසු සූත්‍ර තෝරා බේරාගෙන දහම් දෙසීම මිහිදු හිමිගේ ධර්මදූත ව්‍යාපාරයේ විශේෂ ලක්‍ෂණයක් විය. ඒ සූත්‍ර අතර දේවදූත සූත්‍රය, බාලපණ්‌ඩිත සූත්‍රය, දම්සක් පැවතුම් සූත්‍ර සච්චසංයුක්‌ත, අග්ගික්‌ඛන්ධෝපම, අච්චිසෝපමථ සූත්‍ර ප්‍රධාන තැනක්‌ගනී.
මේ සූත්‍ර අනුසාරයෙන් මිහිඳු මාහිමි දහම් දෙසුවේ මහාවිහාරය, කේන්ද්‍රකරගෙනය. රෑ දවල් බොහෝ පිරිස් මෙහි පැමිණ ධර්මය ශ්‍රවණය කළහ. රට තුළත්, ඉන් බැහැරවත් ධර්මය සීග්‍රයෙන් ව්‍යාප්ත වූයේ මේ මහා විහාරය මුල්කරගෙනය. එනිසා ථෙරවාදි බුදුදහමේ බළකොටුවසේ මහාවිහාරය ඉතිහාසගත වී ඇත.
තම නැඟණිය වූ සංඝමිත්තා රහතන් මෙහෙණිය වැඩවමා අනුලාදේවිය ඇතුළු කාන්තාවන් පන්සිය දෙනෙකු සසුන් ගතකොට භික්‍ෂුණි ශාසනයත්, කාන්තා නිදහසත් ලබාදීමට මිහිඳුමාහිමි පුරෝගාමි වූහ. දඹදිව ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්‍ෂිණ ශාඛාව මෙරටට වැඩමවා මහාවිහාරේ රෝපණය කරවීමටද ක්‍රියා කළහ. බුදු රජාණන් වහන්සේගෙන්ද පුෂ්පෝපහාර ලැබූ වස්‌තුවකි. එනිසා ජීවමාන බුදුන් හා සමානවේ. බෝධි රෝපණයත් සමග බෝධි සංස්‌කෘතියකුත් වංශකථාවේ සාහිත්‍යයක්‌ද බිහිවිය. දිනක් දෙවන පෑතිස් රජු මිහිදු හිමියන්ගෙන් බුදුදහමත්, සසුනත් මෙහි පිහිටියේදැයි විමසීය. එවිට උන්වහන්සේ ප්‍රකාශ කළේ එසේවීමට නම් ලක්‌දිවට උපන් කෙනෙකු පැවිදි විනය හදාරා සංඝායනාවක් කළහොත් සසුන පිහිටන බවයි. ඒ අනුව අරිට්‌ඨ, ඇමැති ප්‍රධාන පනස්‌පස්‌දෙනෙකු පැවිදි කර වීය. මේ අනුව භික්‍ෂු ශාසනයේ ආරම්භයත් සමග දිනෙන් දින සසුන් ගත සංඛ්‍යාව වැඩි විය. මේ පිරිස් ධර්ම විනය හදාරා රට පුරා ධර්මය ප්‍රචලිත කිරීමේ කාර්යයෙහි යෙදුනි. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් හැමතැන වෙහෙර, විහාර, දාගැබ් මහබෝපෙති, පිළිම, ධර්ම ශාලා ඉදිවිය.
කලාත්මක හැඩයක්‌ගත් මේ ගොඩනැගිලි නිසා, ගෘහ නිර්මාණ ශිල්පයත්, චිත්‍රශිල්පයත්, කැටයම් කලාවත්, දේශීය යාන්ත්‍රණයකට අනුව ඉදිවීම ලොව මවිතයකට බදුන්කරන්නක් විය. අනුරාධපුරය, පොළොන්නරුව ආදී පැරැණි රාජධානි තුළ අදටත් ජීවමානව පවතී. මේ නිසා සුදුසු ආර්ථිකයක් රට තුළ පැවතිය යුතු බැවින් මහ සමුදුර පරයන ඇලදොළ ගංගා, වැව් ඉදිවිය මහා පරාක්‍රම සමුද්‍රය, කලාවැව, මින්නේරිය, තිසා වැව, අභයවැව, ආදිය එහි ප්‍රතිඵලයකි. මෙය මුල්කරගෙන කෙත්වතු උයන් වතු ඉදිවිය. ගමයි පන්සලයි වැවයි දාගැබයි කෙතයි ගහටපොත්තත් පොත්තට ගහක් බඳුය. මිහිඳු මහරහතන් වහන්සේ අදවන් දිනක බුදුදහම පදනම් කරගෙන සාදු සමාජයක් ගොඩනැගුවාසේ මිහිඳු සංස්‌කෘතියක්‌ද ගොඩනගන ලදී. එබැවින් අද දින උන්වහන්සේ පා පියුම් නැමද බැති සිතින් සිහිපත් කරමු.