ශ්‍රී ලාංකිකයන් වන අපට ඇත්තේ අතීතයේ සිට උරුම වූ මානව ශිෂ්ටාචාරයකි. යක්‍ෂ, නාග ආදී සත්වයන්ගෙන් අප මුතුන්මිත්තන් තම අවශ්‍ය උදව් පදව් ලබාගත් බව හෙළ ඉතිහාසයේ අපූර්වට සටහන් වී ඇත්තාහ. එනිසා අප ආදිවාසීන් යක්‍ෂ කාන්තාවන්ගෙන් යක්‍ෂයන්ගෙන් ඔවුන්ගේ භව බෝග වගා කර ගැනීම සඳහා වූ අත්උදව් ලබාගත් බව අද ද අපට ඉතිරිව ඇති මුතුන් මිත්තන්ගේ කතාන්තර වලින් අප අසා දැන ඇත්තෙමු. එසේ වූ හෙයින් භූතාත්මයන්, අවතාර, යක්‍ෂ බැල්ම අප රටට පමණක් ආවේණික වූ සංස්‌කෘතික ලක්‍ෂණයක් බව මෑතක් වන තුරු අප විශ්වාස කළෙමු. අප මිනිසුන්ට පමණක් යක්‍ෂයන්, පෙරේතයන්, මළ ආත්මයන්, ශරීරගත වන බවත් බහුතරයකගේ විශ්වාසය වූහ. එවන් අවස්‌ථාවලදී ඔවුන්ගෙන් ගැලවීම සඳහා විවිධ වූ යන්ත්‍ර මන්ත්‍ර බලයෙන් තම ශිල්ප පෙන්වූ අවස්‌ථාවන් ගැන ද පොත පත මෙන්ම කටකතා ද හොඳම සාක්‍ෂිය. එහෙත් මෑතක් වන තුරු අපටම ආවේණික වූ මළ අවතාරයන් ගැවසීම හොල්මන් කිරීම, භූතයන් වැහීම ආදිය අද වන විට විදේශ රටවල ද ඇති බව පිළිගැනීමට සිදුව ඇතත්, ඒ පිළිබඳ කලඑළියක් නොවූයේ එවන් විටක එයින් මිදීම සඳහා මෙරට මෙන් ප්‍රබල යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් එම රටවල නොවීමත් ඔවුන් විද්‍යාත්මක ඇසින් ඒවා ප්‍රතික්‍ෂේප කිරීමත් නිසාය. එසේ හෙයින් යම් ආත්මයක් මියගිය පසු එහි වායුව මෙම වායුතලයේ සැරිසරන බව අද බටහිර හා මැද පෙරදිග රටවල ද පිළිගත් අදහසක් බවට පත්වී ඇත. ඒ පිළිබඳ කදිම නිදසුනක් මා ඇසුරු කළ ඥාතියකු මා සමඟ කීවේය. මේ එයයි.
ඇයගේ උපන් ගම ලංකාවේය. කෘෂි කර්මාන්තයට තම ජීවිතය උපතේ සිට ඇප කැප කර තිබූ මවුපියන්ට ඇගේ අනාගතය වෙනුවෙන් මනා අධ්‍යාපනයක් ලබා දීමට සැබෑ අවශ්‍යතාවක් නොවීය. ඒ ඇය ද තමාගේ කෘෂි වගාවන්ට උදව් පදව් කර ගැනීමට සිතූ නිසා ය. එසේ සිතූ බොහෝ පවුල් ඒකකවල තරුණ තරුණියන්ගේ ජීවිත හා අධ්‍යාපනය ඇඟිලි අත්සනට හෝ යාන්තමින් අත්සන් කර ගැනීමට ප්‍රමාණවත් ප්‍රාථමික අධ්‍යාපනයක් පමණක් ලබා දුනි. එවන් පවුලක එක සාමාජිකාවක් ලෙස ඇය දැක්‌විය හැකිය. ඇයගේ ළමා වියේ සාරවත් ජවය වැය කළේ කෙතටය. උදැල්ල, පොරවට දෑත් හුරු වූ ඇයට පිරිමියෙකු සමඟ උරෙනුර ගැටී එකට වෙහෙසීමේ හැකියාව නොමඳව තිබිණි. දෑතේ කරගැට පැමිණියේ උල්පත් පෑනට නොව උදැල්ලටය. ඇයගේ පැහැබර හිරිමල් යෞවනයේ වත අව්වට කරවූයේ මොනරපිලක් වන් කෙස් කළඹ රත් පැහැ ගැන්වූයේ වෙළෙඳපොළේ කෘත්‍රිම වර්ණාලේප ආලේප කිරීමෙන් නොව කර්කශක හිරු රශ්නයටය. ඇය තම දෙමාපියන්ට සහාය වීමට තම හිරිමල් විය උකසට තැබුවාය. භද්‍ර යෞවනයේ සැරිසරන අනෙකුත් තරුණියන් මෙන් නවීන විලාසිතාවලින් ගත නොපොරවා ගත්තාය. ගන්නට සිතුනද එයින් ඇයට ඵලයක් නැතැයි සිතුවාය. කාලයාගේ ඇවෑමෙන් විවාහ විය යුතු කාලය එළැඹණ ද, අතමිට ප්‍රමාණවත් මිල මුදලක් නොමැතිව සැමියකු ප්‍රතික්‍ෂේප කළ ඇය තම අනාගතය වෙනුවෙන් මැදපෙරදිග රටක ගෘහ සේවිකාවක් සේ ජීවත් වීමට විදේශ
රැකියා ආයතනයක සම්මුඛ පරීක්‍ෂණවලට ද සහභාගි වූවාය.
දින ගණන් නියම විය. නියමිත දිනය එළැඹෙන තෙක් අතැඟිලි ගනිමින් සිටි ඇයට මුහුණදීමට සිදුවූයේ අභාග්‍යයකටය. ඒ තම වැඩිමහල් සොයුරිය හෘදයාබාදයකින් මිය යැමෙන් ඇයගේ මැදපෙරදිග සිහිනය තවත් ප්‍රමාද වූවාය. ඇයට කිසිසේත් තම වැඩිමහල් සොයුරියගේ අවමංගල්‍යයට සහභාගි නොවී සිටීමට හිත නොදුන්නේ ඇයට දැක්‌වූ අසීමිත ආදරය නිසා ය. මියගිය වැඩිමහල් සොයුරිය තම නැඟණියට මහත් සේ ආදරය කළාය. මන්ද ඇය පවුලේ බඩපිස්‌සී නිසාය. අවිවාහක සොයුරියගේ එකම පරමාර්ථය වූයේ තම නැඟණියගේ ජීවිතය ආලෝකවත් කිරීමටය. එහෙත් අපේක්‍ෂා සුන් කරමින් සොයුරිය මිය යැම ඇයට ද දැඩි වේදනාවක් ගෙන දුන්නීය. සත්දින පිංකමින් අනතුරුව ඇය තම මැදපෙරදිග ගමන පිටත් වූවාය.
නුහුරු දුර කතරක නොදන්නා මිනිසුන් අතර අතරමං වූ ඇයට හිතට දැනුනේ සාංකාවකි. පවුලේ වැඩිමහල් සොයුරියගේ වියෝව ඈ සිත උපද්දවන ලද්දේ පාලු මූසල බවකි. තුන් මාසයේ දානය ද ඇය පවුලේ ඥතීන් විසින් මහත් ඉහළින් ඉටු කරන ලද්දේ ඇය වැටුප් වශයෙන් ලද රන් කහවනුවලිනි. දානමය පුණ්‍ය කටයුතු හිත පිරි සර්ධා භක්‌තියෙන් යුතුව ඉටු කළ බව දැන ගැනීමෙන් ඇය ද ඉමහත් සතුටට පත්වූවාය. එකී කාල පරාසය තුළ ඇයට සිහිනෙන් මියගිය සොයුරිය නිතර පෙනුණි. ඇයට කෑම බීම ආදියෙන් සිහිනෙන් සංග්‍රහ කළ බව ඇය අදත් කියන්නීය. ඇයගේ මනස තුළ නිරතුරු ඇය මැවී පෙනෙන්නට විය. ඇතැම් විටෙක හිස තෝන්තු වූවාය. ඇතැම් විටෙක ඇයගේ සිරුරේ යම් බලවේගයක් ඇති බව ඇයට දැනෙන්නට වූවාය. එහෙත් ඇය බිය නොවුණද ඇයගේ සෙවනැල්ල මෙන් කිසිවකු නිරතුරු ඇය සමීපයේ ඇති සෙයක් ඇයට දැනෙන්නට වූවාය. ඉස්‌ලාමීය රටවල ජීවත්වන මිනිසුන් භූත බලවේග යාග හෝම විශ්වාස නොකරන්නෝය. ඔවුන්ගේ මතය බටහිර වෛද්‍ය විද්‍යාව අනුව එවන් හැසිරීම් ශරීරයේ තුන්දොස් කිපීම නිසා සිදුවිය හැකි බවයි. එහෙත් ඇයට තුන් දොස් කිපුනේ නැත. ඇයගේ ශරීරයට කිසියම් භූතාවේශයක් ඇතුළු වී ඇති බව ඇය සමඟ සිටි සිංහල මිතුරන් පැවසුව ද ගෘහහිමියන් එය තුට්‌ටුවකට නොසැලකූහ.
ඇය තමා වෙත පවරා තිබූ නිවසේ සියලුම කටයුතු නිසි පරිදි සිදු කළාය. ඇතැම් බදාදා - සෙනසුරාදා දිනවලදී ඇයගේ කාමරයේදී හිස කැරකී ආවේශ වූ ගතියක් දැනෙන්නට විය. එහෙත් එය කිසිවෙකුට නොපැවසීමට තීරණය කළේ ඇය අරක්‌ගත් ආත්මය තුළින් ස්‌වප්නයේදී දී ඇති උපදෙස් අනුව බව පසු කලෙක අනාවරණය විය.
මෙකී බලවේගයන් මළප්‍රේතයන්, භූතයන් හා අදෘෂ්‍යමාන හොල්මන් මුහුදින් එතෙරට බලනොපාන බව ජනතා මතය වුවත් ඇය මුහුණ දුන් සත්‍ය සිදුවීමක් මෙසේ ගොනු කරමි. මෙහිදී පළමුවෙන් ම සඳහන් කළ යුත්තේ මියගිය සිය සොයුරිය ගේ භූතාත්මය විසින් ඇය වෙළාගෙන සිsටියද, කිසිදු දිනක ඇයට අයහපතක් නොකළ බවය. එමෙන්ම යම් කරදරයකදී ඇය එයින් මුදා ගැනීමේ බලයක් ඇය පසුපස තිබූ බව ඇය විශ්වාස කරන්නීය. දිනක් නිවෙස් හිමියාගේ ඥතියකුගේ ඔහුගේ පහත් කාමාශාවන් සතප්පවනා ෙච්තනාවෙන් නිවසේ සිව්වැනි මහලේදී ඇයට ලිංගික අතවරයක් කරන්නට කළ උත්සාහයේදී ඔහු සමඟ පොරබදා බේරී ගිය බවත් ඔහු තරප්පු පේළි දිගේ පහළට බසින විට දෙකකුල් පැටලී බිමට වැටී හිස දරුණු ලෙස තුවාල වී මියගිය බවත් ඇය පවසන්නීය. එසේම එක් දිනක නිවෙස් හිමියන් සමඟ ගිය විනෝද සවාරියකදී ඔවුන්ගෙන් බොහෝ දෙනෙකු දරුණු තුවාල ලැබූවත් ඇගේ සිරුරේ එකදු සීරිමක්‌වත් නොතිබුණු බව ඇය පවසන්නීය. එය එසේ වුවද, ඇතැම් දිනවල ඇයගේ කාමරය තුළ මියගිය සොයුරිය සැරිසරන අයුරු සිය නෙතින් ම දැක ඇති බවත් ඇය කිසිදු විටක බිය නොවන බවත් පැවසුවාය. ඇතැම් දිනවල රාත්‍රියේදී ඇයගේ සයනයේ කිසිවෙකු ඇය තුරුළු කරගෙන නිදා සිටින බවත් ඇයට දැනී ඇහැරී බලන විට කිසිවෙකු එහි නොවන බව ද ඇය පවසන්නීය.
එසේම ඇයගේ සොයුරියගේ ආත්මය මුහුදින් එතෙර විශ්වය තුළ සැරිසරන්නේ කවරාකාරයකින්ද? යන්න ඇතැම් ප්‍රසිද්ධ දෛවඥයන් පවා විස්‌මයට පත්කරවූ සිදුවීමක් ලෙස සැලකිය හැකිය. මෙකී කාල පරාසය තුළ ඇයගේ ගිවිසුම අවසන්ව ආපසු දිවයිනට පැමිණෙන්ට ඇය සූදානම් වූවාය. ඇය සතු සබ්බ සකල මනා එක්‌කාසු කර ගමන් බෑග් තුළ අසුරන්නට විය. එහි ඇයගේ ඇඳුම් පැළඳුම් ද විය. එහි අතර සැඟව තිබූ සෞදි රියාල් මුදල් නෝට්‌ටු මිටියක් ඇය ඇස ගැටුන බැවින් ඇය මහත් සේ බියට පත්විය. මන්ද එවන් මුදල් ප්‍රමාණයක් ඇය සතුව නොතිබූ හෙයිනි. තමන්ට අයත් නැති මුදල් මිටියක් තමන් සතුකර ගැනීම සෞදි නීතිය අනුව දඬුවම් ලැබිය හැකි වරදක් බව ඇය දන්නීය. ඇය දෙගිඩියාවෙන් තීරණයක් සිතන විට "ගනින් ගනින් උඹලගේ මහන්සියට මුන් පඩි දුන්නේ නැහැනේ ඒ හින්ද ඕක අයිති උඹට. බය නැතිව අතට ගනින්, අරන් යන ගමන් මාරු කර ගනින්" යනුවෙන් කාමරය පුරා දෝංකාරය දුන් බව ඇය අදත් පවසන්නේ ඇඟ කිලිපොලා යනාකාරයෙනි. ආපසු එන ගමනේදී ඇයට කිසිදු බාධකයක් නොවුණු අතර ඇයගේ වැටුපට අමතරව ගෘහ හිමියාගේ ස්‌වාමි දූද සංතෝෂමක් දුන් බව ඇය පවසන්නේ පුදුමයෙනි.
ඇය ලංකාවට පැමිණි පසු මහා සංඝයා විෂයෙහි දානමය පුණ්‍යකර්මයක් මියගිය අක්‌කා වෙනුවෙන් සිදු කළ ද ඇයව අතහැර යැමට මියගිය ආත්මය සූදානම් නැති බව ප්‍රත්‍ය වූයේ නිවසේදී ඇය වරින්වර සිහිසුන්ව දොඩවන්නට පටන් ගත් පසුවය. විටෙක ඇය පිස්‌සියක් මෙන් විලාප දෙන්නට විය. තම බාල නංගීව තනිකර දමා නොයන බවත්, යනවා නම් ඇයවත් රැගෙන යන බවත් අසිහියෙන් දොඩවන්නට පටන් ගෙන ඇත. නිතර නිතර ඇයව රෝගියකු කර ඇත. එක් දිනක් ඇයව දෛවඥයකු වෙත රැගෙන යැමට සූදානම් කර තිබියදී පැමිණි වාහනයේ රෝද හතරේම සුළං හැර තිබුන බව අදත් ඇය පවසන්නීය. එක් දිනක් රාත්‍රියකදී ඇය සිය මව සමඟ ගමනක් ගොස් ආපසු එන අතර ඇයව මවගෙන් වෙන් කර පාර අසල තිබූ සොහොන් පිටියකට ගෙන ගොස් සිරුර බදාගෙන හඬා වැළපුන බව ද ඇය කියන්නීය. එදා සිය මව ද එකී සිද්ධියට අතිශයින් ම බිය වී යන්ත්‍ර මන්ත්‍රචාර්යවරයකු ලවා දෙදෙනාටම ඇප නූල් බැන්දූ බවත්, නියම කාල සීමාවක් තුළදී තොවිලයක් කර නැඟණියගේ ශරීරයට අරක් ගත් අක්‌කා නම් වූ භූත ආත්මය ඇයගෙන් තුරන් කිරීමට මාතරින් කට්‌ටඩින් පිරිසක් ගෙන එන ලදී. පෙර දින සිට තොවිලයට අවශ්‍ය කෑම වර්ග, පුලුටු, සැවුල් බිල්ල, බිත්තර යනාදී වූ සියක් ද්‍රව්‍ය සකස් කරන ලද්දේ එහි සිට පැමිණි ආවතේව කොට්‌ටෝරුවන් පිරිසකි.
නියමිත දිනයේ ප්‍රධාන යකැදුරු මහතා (වයස අවුරුදු 17 අඩු) තරුණයකු වීම විශේෂ වූ සිදුවීමකි. මෙම ලියන මම ද මෙකී තොවිලය බැලීමට ගියෙමි. මට අවශ්‍ය වුයේ මෙහි සත්‍ය හා පැහැදිලි ලෙස අවබෝධ කර ගැනීමටය. ප්‍රධාන යකැදුරුගේ ස්‌වරූපය අනුව මා සිතුවේ මෙය මවාපෑමක් විය හැකි බව වුවද අවසානයේ සිදුවූ සිදුවීම් මත අප අතර භූතයන්, හොල්මන්, ප්‍රේතයන් සිටින බව විශ්වාස කිරීමට සිදු වූයේ මියගිය ආත්මය ආවේශ වූ කළණවතී ගෙන්ම ඇයගේ සොයුරියගේ හඬින් අසන්නට ලැබීමෙන්ය. තමන් මියගියේ දහසකුත් අපේක්‍ෂාවන් හිතේ තියාගෙන බවත්, විවාහයක් කර ගෙන හොඳ යුග දිවියක් ගත කිරීමට සිතා සිටි බවත් ඒ සියල්ලම ඉටු නොවන බවත්, ඇයට ඉටුකර ගැනීමට බැරි වූ ආශාවන් තම නැඟණිය ඉටුකර ගනීවියි යන තණ්‌හාව නිසා ඇයව පිස්‌සියක් කිරීමට තමන් සූදානම් වූ බවත්, ඇයව අතැර නොයන බවත් යනවා නම් ඇයත් රැගෙන යන බවත් ආවේශ වූ ඇගේ මුවින් පිට වු වදන් ය.
දෛවඥයා දක්‍ෂයෙකි. ඉල්ලූ ඉල්ලීම් කිසි දෙයක් නොදෙන බවත්, ඇයගේ ආත්මය අතැර යන ලෙස කළ ඉල්ලීම ප්‍රතික්‍ෂේප කිරීම නිසා මායම් වූ යකැදුරු ඇයගේ කෙස් වැටියෙන් අල්ලා කටු ඉඹුල් අත්තෙන් පහර දුන්නේ සිරුර පුරා ලේ ගලන්නටය. බලා සිටින්නන් පුදුමයටත්, මවිතයටත් පත්වී සිටියහ. අවසානයේ ඇය මම යන්නම් මට කාගේ හරි ලේ බොන්න ඕනෑ කියා මොර දුන් ආකාරය වේදනාත්මක ස්‌වරූපයක් ගත්තේය. සැවුලා අතට ගත් ඇය බෙල්ල කඩා මුවට තබා ලේ බී කුකුලා විසි කළේ ප්‍රාණය නිරුද්ධවය. මං සලකුණු තබා පාන්දර හූ තුනක් කියා කිරි ගසක් කඩාගෙන ඇගේ සිරුරෙන් නික්‌මුණ අක්‌කා යළි ඇයට ආදරය නොකළා පමණක් නොව ඇය සමඟ දෙවන වරට මැදපෙරදිග යන්නට ද නො ආවාය.
විල්ප්‍රඩ් බොනිපස් මැල්ලව