ගිනි ගහන අව්වය. ගිනි අව්ව කපා හමාඑන සුළං රැළි දූවිලි වැදී කේඩෑරි වූ ගස් අතු අග සොලවන්නේ හරියට අතු අග රැඳි කොළ මත වසා තිබෙන දුහුවිලි පිසින්නාක් මෙනි. අව්වට පිච්චෙන පොළවෙන් නැගෙන දුහුවිලි තද සුළඟට තව තවත් අතු අග රැඳි කොළ මත තැවරෙන බව සුළඟට තේරෙන්නේ නැත.
සුළඟත් හරියට අපේ සිත වගේය. කොහාට හමනවාද, මොකට හමනවාද කියා සුළඟට අවබෝධයක් නැතුවා සේම අපේ සිත්වලටද මේ මිනිස්‌කමේ අරුත බොහෝ දුරට වැටහෙන්නේ නැත. වැටහුනත් රස පහස සොයා යැමට මිනිස් සිත පෙළෙඹෙන නිසා සිත හරියට සුළඟ වගේ ඔහේ ගලා යන්නකැයි ඇය සිතා සිටියාය. ඇයගේ නම මධුවන්තිය.
මධුවන්ති උපතින්ම රූමත්ය. මැල්සිරිපුර උපන් ඇය ළමා විය ඉක්‌මවා තුරුණු වියට පත්වෙද්දී ගමේ කොල්ලන්ගේ පමණක් නොව වැඩිහිටි පිරිමින්ගේද දෑස් මදකට ඇගේ රූසපුව මත නතර විය.
රුව ඇති දුවක් පැතීම කොයි මවකගෙත්, පියෙකුගෙත් පැතුමය. රුව ඇති දුවයි කට ඇති පුතුයි සිටින විට මවුපියන් සතුටු වන්නේ දරුවන් නිසා හිසමත තිබෙන බර භාගයකින් අඩුවන බැවිනි. මධුවන්තිට සුන්දර ළමා වියක් උරුම වූයේ නැත. ඇයගේ දෙමාපියන් මහ පොළව සමඟ පොර බදද්දී තුරුණු වියේ පෙම් සිතිවිලි ඇගේ සිතට වද දෙන්නට විය. තරුණයන්ගේ උකුසු ඇස්‌වලින් නැගුන රාගික සිතිවිලි මේ රූමතියගේද හද පසාරු කළේ මල්හීසරවල සැර පෙන්වමිනි.
වයස අවුරුදු දහසයේදීම ඇය ගැබිනියක වූවාය. අනංගයා ඇයගේ සියොළඟ මල්හීසරවලින් සරසා ප්‍රේම සිතුවිලි අවදි කළේ ඇයටත් නොදැනය. ඇයගේ අතගත් තරුණයා මීගහතැන්න ප්‍රදේශයට ඇය කැන්දාගෙන ගියේ ඊට පසුවය. සුබ නැකත්, මගුල් පෝරු, බෙර සක්‌හඬ නැතත් අපේ ප්‍රේම ලෝකයට ඒවා බාධා නොවේ යෑයි සිතූ ඇය අලුත් ජීවිතය ඇරඹුවේ උපදින්නට සිටින දරුවා ගැනද සිතමිනි.
අහස උසට බලාපොරොත්තු නොතිබුණද ඇයත් හොඳ ජීවිතයක් පැතුවාය. මැල්සිරිපුර කර්කශක පොළො තලය, අව්රශ්මිය, අව්ව කපා හමන සුළඟ සමඟ හැදී වැඩුන ඇය මීගහතැන්නට පැමිණි පසු තව තවත් රූසපුවෙන් පිරෙන්නට පටන් ගත්තේ කුස තුළ මෝරමින් සිටින දරු පැටියාද නිසාය.
මීගහතැන්නටත් සල්ලාල මිනිසුන්, කාමාතුරයන් හිඟ නොවීය. පිරිමින්ගේ කාමුක ඇස්‌වලින් ඇය ඇගේ ඇස් මගහැර ගත්තේ වරක් දෙවරක් නොවේ. ඒ මේ සමාජයේ හැටිය.
කොහොමින් කොහොම හරි කාලය ගෙවී ගියේය. මේ පවුලට කියා නිවසක් නොතිබිණි. ඔවුන් ජීවත් වූයේ කුලී නිවසකය. දුප්පත්කම හතර අතින් ඇවිත් වද දෙද්දී මධුවන්තිගේ හිතට මහා දුකක් දැනිණි. මධුවන්ති දුක් කම්කටොලුවලින් ඇස් දෙක කඳුළුවලින් පුරෝගත් විට ඇයගේ සැමියාට එය වාවන්නට නොහැකි විය.
සැමියා කොහොම හෝ පවුල නඩත්තු කළේය. ඇය මවක වෙද්දී ඒ තරුණයා පියෙකු විය. කුලී නිවසක සිටියද මේ පුංචි පවුලේ සතුට ඉහවහා ගියේ මේ පුංචි පුතුගේ දඟකාරකම් දකින විටය. අගහිඟකම්, දුක් කරදර මැද කාලය ගත වෙද්දී මධුවන්ති දෙවන වරටත් ගැබිනියක වූවාය. එවර ඇයට ලැබුණේ ලස්‌සන දුවෙකි. කට ඇති පුතෙකු හා රුව ඇති දුවක් සමඟ මොවුන් ජීවිතයේ මිහිර විඳින්නට ගත්තා පමණි. හදිසියේම මධුවන්තිගේ සැමියා පොලිස් අත්අඩංගුවට පත්විය. හේතුව මංකොල්ලකට ඔහු සම්බන්ධ වී තිබීමය. මුළු පවුලම මහා අවුලකට පත්විය. දරු දෙදෙනකුගේ ජීවිතත් සමඟ මධුවන්ති තනි වූවාය. ඇහිපිය ගසන්නටත් කලින් මධුවන්තිට උදව්වට බොහෝ තරුණ පිරිසක් ඉදිරිපත් වන්නට විය.
මේ සමාජයේ හැටි එහෙමය. ගැහැනියක් වී ඉපදුන පළියට ගැහැනියටම අවමන් කරන සළෙළුන් ඈ වටකොට ගත්තේ මිනී කුනක් දුටු වලසුන් මෙනි. දරු දෙදෙනකුගේ කුසගිනි, ඉන්න හිටින්න තැනක් නැති මධුවන්තිට වූ නස්‌පැත්තිය දන්නේ ඇය පමණි. ඇය තවමත් විසිහතර හැවිරිදිය. තුරුණු වියේ පිරිපුන් අඟ පසඟට ලොල් වූ අයකු ඇයටත්, දරු දෙදෙනාටත් ආහාර ගෙනාවේ ඔය අතරය. ජීවිතයේ පරාජිත බව හමුවේ ඒවා නොගෙන පතිවත රැකීමට ඇයට නොහැකි වන්නේ මේ රටේ අසරණ වන කොයි ගැහැනියටත් වන නස්‌පැත්තිය මේ යෑයි කියමිනි.
සිරගත වූ සැමියා බලන්නට ඕ ගියාය. ඉන්න හිටින්නට තැනක් ඇතැයි ඇය ඔහුට කීවාය. මොනව කරන්නද, කාට කියන්නද සැමියා යකඩ කූරු දෙඅතින් අල්ලා බිම බලාගත්තා පමණි.
ඉන්න හිටින්නට තැනක් දුන් මිනිසා කන්න, බොන්න අවශ්‍ය අඩුම කුඩමද මධුවන්තිගේ අතට දී නතර වූයේ නැත.
"මම උඹට ආදරෙයි... ඒ මිනිසා මධුවන්තිට කීවේ ඇයගේ සිරුර තදින් බදාගනිමිනි.
අසරණ ගැහැනියගේ දෙනෙතින් ගලා ගිය කඳුළු කැට ඒ මිනිසා දුටුවේ නැත. ඒ කඳුළු බැලීමට තරම් හිතක් පපුවක් ඒ මිනිසාට තිබුණේද නැත. සැමියා සිරගත වූ පසු දරු දෙදෙනකු සමඟ අසරණ වූ මේ මව, මවක් නේදැයි ඒ සල්ලාලයා මොහොතකටවත් සිතුවේවත් නැත. මේ අවලම් බැල්ලියක් යෑයි සිතූ ඒ මිනිසා මධුවන්ති සිය අනියම් බිරිය කරගන්නේ එලෙසිනි. මේ අලකලංචිය මධුවන්ති ඇයගේ මවට කියා යෑව්වාය. මව දුවගේ තනියට මීගහතැන්නට ආවේ ඉන් පසුවය. නැති බැරිකම යනු කොතරම් පවක්‌ද? මධුවන්තිට සිදු වී ඇති නස්‌පැත්තිය නවතන්නට ඒ දුප්පත් මවටද නොහැකි වූවාය.
මධුවන්ති හැකි හැම විටම රිමාන්ඩ් සිරගෙදරට ගොස් සිරගත සැමියාගේ සුවදුක් බැලුවේ සැබෑ සෙනෙහසිනි. ඇය ඔහුට කිසිවක් කියන්නට නොගියේ ප්‍රශ්න කියා තවත් සිරගතව සිටින සැමියාගේ සිත තලන්නට අකැමැති වූ නිසාය.
ගම්මුන් මධුවන්ති දෙස බැලුවේ වපැරැසිනි. ඒ අතර සල්ලාල තරණයන් මධුවන්තිව තනි පංගලමේ මුණගැසී විවිධ යෝජනා කරන්නටද පටන් ගත්හ. මධුවන්තිව ගොදුරු කරගන්නට නොහැකි වූ කාලකන්නි මිනිසුන් "ඉඳකින් බලපන්කො පත්තිනි අම්ම වගේ යන හැටි" යෑයි කියමින් සිනා සෙන්නට වූහ. කඩපිලට ගියත්, ඇළට දොළට ගියත් මේ වදන් වලින් අඩුවක් නොවීය. එවැනි වදන් හමුවේ ඇය දෑසේ කඳුළු නැති වනතුරු හැඬුවා පමණි. ඇයට පෙම් කෙළින්නට එන්න යෑයි හොර රහසේ ආරාධනා කරන පිරිමින් එළිපිට අවලම් බැල්ලී යෑයි කියන විට ඇයට මේ සමාජයම එපා විය. ඕකි මහ නරක එකිය කැයි අදටත් ගමේ මිනිසුන් පමණක් නොව ගැහැනුන්ද කියන බව නොරහසකි.
මධුවන්තිගේ විවාහක සැමියා රිමාන්ඩ් හිරගෙදරය. දරු දෙදෙනා වෙනුවෙන් ඇය සිය ජීවිතය බන්දේසියක තබා සල්ලාලයකුට පූජා කරන බව දරු දෙදෙනාට තේරුණේ නැත. තවමත් නව වැනි වියේ හා සිව්වන වියේ පසුව ඒ දරු දෙදෙනා මව කරන ඒ කැපකිරීම දන්නේ නැත. මධුවන්ති වැටී සිටින ආගාධයෙන් ඇයව ගොඩගෙන දරුවන්ගේ බඩ වියත රකින්නට ආ මිනිසා... ඒ ආවේ මධුවන්තිගේ සිරුරට තිබෙන කෑදරකම නිසාය. මධුවන්ති ජරා ගැහැනියකැයි කියා කෑ ගසන කිසිම මිනිසකු ඇයත්, ඒ දරු දෙදෙනාත් මේ ජීවිතයෙන් ගලවා ගැනීමට ගමේ සුදනෝ කිසිවකු ආවේද නැත.
දිනක් මධුවන්තිගේ කුලී නිවසේ මිදුලේ ත්‍රිරෝද රථයක රෝදවල සටහන් තිබිණි. මධුවන්තිව සොයා එන සල්ලාල හිතවතාගේ හිත කීරි ගැසිනි. "ඈ බොල උඹ මම නැති වෙලාවේ මිනිස්‌සු වද්ද ගන්නවද... ඒ මිනිසා වියරු වැටී කෑ ගැසුවේය.
සැකය මේ මිනිසාගේ පපු කැවුතු පුරා ගලාගියේ ඒ මිනිසාගේ සිහිමොළ රත් කරමිනි.
"ආ.. ඔව්... මම අඳුරන කෙනෙක් ආවා..."
දෙදෙනා බහින් බස් වන්නට විය.
කසාද මිනිසා සිරගෙදරය. අනියම් සැමියා පතිවත ඉල්ලයි. ගැහැනියක වී ඉපදුන මධුවන්ති කාගේ කෙළි බඩුවක්‌ද? දරු දෙදෙනා හඬති. රාගයෙන් මත් වූ මිනිසාට දරු සෙනෙහස, මිනිස්‌කම, ශිෂ්ටකම ආදිය නොදැනේ. ඌට ඕනෑ වුණේ මධුවන්තිව පමණි. මධුවන්තිගේ සිරුර පමණි. ඒ සිරුර වෙන කවුරු හෝ ගනීවි යෑයි ඔහු තුළ බිය ඉපදුනේ ඒ මිනිසාද මේ කරන්නේ එවැනි වරදක් බව දන්නා නිසාය. වැරදි කරන මිනිසුන් අනිකා දෙස බලන්නේද සැකයෙනි.
දවසේ කිහිපයක්‌ම වරින් වර මේ නිවසෙන් රණ්‌ඩු සරුවල් ඇසිණි. ගම්මු නම් කියන්නේ මධුවන්තිත් එච්චර හොඳ ගැහැනියක් නොවේ යෑයි කියාය.
දුප්පත්කම හමුවේ සල්ලාල මිනිසුන් ගැහැනුන් බිල්ලට නොගන්නේ නම් මධුවන්ති නරක ගැහැනියක වන්නේ කෙළෙසින්ද? මධුවන්ති නරක ගැහැනියක වූයේ නම් ඒ වරද ඇයටම පැවරීම හරිද? සල්ලාල මිනිසුන් අසරණ වූ මේ ගැහැනිය ළඟට සිරුර ඉල්ලාගෙන නොගියේ නම් ඇය අවලම් බැල්ලියක වන්නේ නැත. වනචර මිනිසුන් ඇයගේ නැති බැරිකම දැක උදව් කරන මුවාවෙන් ඇයට ළංවී වනචරකම් නොකළේ නම් ඇය... අදටත් හොඳ ගැහැනියකි.
පසුගියදා මධුවන්ති ඇයගේ මව සමඟ නගරයට ගියේ වැඩිමල් පුතුට අවශ්‍ය පාසල් බෑගයක් රැගෙන ඒමටය. දරුවන්ගේ ජීවිතය අඳුරෙන් එළියට ගන්නට ඈ උදේ සවස කල්පනා කළාය.
එදින මධුවන්තිගේ අනියම් සැමියා නිවසට ආවේ පිස්‌සෙකු මෙනි.
"කාගේ ත්‍රිරෝදයද යකෝ අද ආවේ... ඔහු කෑ ගැසුවේය.
මධුවන්තිගේ මවද ඒ බහින් බස්‌වීමට මැදි විය. මව කී දෙයද පිළි නොගත් ඒ මිනිසා නිවසින් එළියට ගියේ යක්‌ෂයකු මෙනි. එසැනින් ආපසු පැමිණි ඒ මිනිසා කෙළින්ම ගියේ මධුවන්ති සිටි කාමරයටය. "අයියෝ... මාව මරන්න එපෝ මාව පිච්චෙනවෝ..." කියමින් ඇය මරලතෝනි තබන්නට වූවාය. ඒ නරුම සල්ලාල උන්මත්තකයා මධුවන්තිගේ හිසට ඇසිඩ් වක්‌කර බිම දිගේ සාලය දෙසට ඇදගෙන යද්දී දරු දෙදෙනා විලාප තබන්නට වූහ. මධුවන්තිගේ මව දරු දෙදෙනා කිටි කිටියේ සිරුරට තදකර ගත්තේ ඊළඟට වන්නේ කුමක්‌දැයි සිතාගත නොහැකි තැනය. ඒ මවද විලාප තැබුවාය. ඒත් කිසිවකු පිහිටට ආවේ නැත. ඒ යක්‌ෂයා මධුවන්තිගේ ගෙල මන්නා පිහිය ගෙන කපා දැමීය.
තුන්වන සිල්පදය නොදත් මේ මිනිසුන්... අවසානයේ දී ඒ මතින්ම නැසුණේ එසේය. මීගහතැන්න පොලිසිය සැකකාර අනියම් සැමියා අත්අඩංගුවට ගෙන පරීක්‌ෂණ ආරම්භ කළේය.
මධුවන්ති මළවුන්ගේ ලෝකයට යද්දී කුරා කුහුඹුවකුට වරදක් නොකළ අහිංසක දරු දෙදෙනා මේ මිනිස් සමාජයේ තනි වූහ. ඒ දරු දෙදෙනාගේ පිහිටට ඉන්නේ මධුවන්තිගේ මව පමණි. මධුවන්තිගේ නිසල සිරුර දකින ගමේ ඇතැම් තරුණ සල්ලාලයන් පිළිකුලෙන් මුහුණ සඟවා ගන්නේ ඇයි දැයි කවුරුවත් සිතන්නේ නැත.
ගැහැනියකගේ ලස්‌සන, ගැහැනියගේ නැති බැරිකම, ගැහැනියකගේ අසරණ කම ඇතැම් විට මිනිසුන් කෙළවර කරන්නේ මෙලෙසිනි.
පිරිමින්ගේ උකුසු ඇසට ලක් වූ මධුවන්ති නම් වූ විසිපස් හැවිරිදි දෙදරු මව. මළකුණක් වූ පසු ඒ සිරුර බාරගෙන මිහිදන් කිරීමට කිසිදු සුදනෙක් ඉදිරිපත් වූයේද නැත.
මධුවන්තිගේ සිරුර බාල ලීයෙන් සැකසූ පෙට්‌ටියකට දැමීය. ඇයගේ නිසල සිරුර ළඟ සිටියේ අසරණ, අහිංසක දරු දෙදෙනා හා ඇගේ මව පමණි. මධුවන්තිගේ ජීවමාන සිරුරට වහ වැටුන කිසිවකු මධුවන්තිගේ මළ සිරුර බලන්නටවත් පැමිණියේ නැත. දරු පැටව් දෙදෙනාගෙන් ගලා ගිය උණු කඳුළැලි පිසින්නටද කිසිවකු නැත. ඒ දරු පැටව් හැඬුවේ ඇයි. මවගේ අකල් වියෝවක්, මේ මිනිස් සමාජය පිළිබඳවත් ඒ දරුවන්ට මොනවා සිතෙනු ඇතිද?
ශිරාන් රණසිංහ
පසුබිම් වාර්තා රැවන් ජයවර්ධන