සෑහෙන කලකට ඉහතදී අප විසින් මෙහෙයවනු ලැබූ පාසල් වැඩසටහනක් අවසානයේ එක්තරා සිසුවියක් මා හමුවූවාය. “මට සර්ට කියන්න ප්‍රශ්නයක් තියෙනවා” ඇය කීවේ බොහෝ අහිංසක ලෙසය.
මම ඇයට ඇගේ ගැටලුව පවසන්නට ඉඩ දුනිමි.“අපේ අම්මා අවුරුදු ගානක ඉඳලම ඉන්නේ රට. ගෙදර ඉන්නෙ මායි තාත්තයි මල්ලියි විතරයි. අපේ තාත්තා හරි හොඳයි. මටයි මල්ලිටයි ආදරෙයි. ඒත් මගෙ ජීවිතේට මහා ලොකු හිස් ගතියක් පාළුවක් දැනුණා. අම්මා මගෙ ළඟ හිටියා නම් කියල හැම වෙලාවෙම මට හිතුණා.
ඊට පස්සේ මට හරි ආස හිතුණා මටත් කාගෙන් හරි ආදරයක් ලැබෙනවා නම් කියලා. ඊට පස්සේ මං එක බෝයි කෙනෙක් එක්ක යාළු වුණා...”
මේ සිසුවිය විස්තර කරගෙන ගියාය.
ඇය ඒ වන විට දාහතර හැවිරිදිය. සාමාන්‍ය පෙළ විභාගයට ඉදිරියේදී මුහුණදීමට නියමිතව සිටියත් ඇයට විභාගය පිළිබඳ අල්පමාත්‍ර විශ්වාසයක් හෝ උනන්දුවක් තිබුණේ නැත. ඇයට අවශ්‍ය වූයේ සිතට දැනුණ තනිකම පාළුව මකා ගන්නට, සිතට දැනෙන හැමදේම බෙදාහදා ගන්නට සමීපතමයකුගේ ඇසුර පමණි.
කෙසේ හෝ ඇයට බොහෝ සෙයින් කරුණු පහදා දී දිගින් දිගටම ගුරුවරුන්ගේද උපකාරය ඇතිව පසුවිපරම්ද කරමින් සාමාන්‍ය පෙළ විභාගයට සාර්ථකව මුහුණදීම සඳහා සිත සකස් කිරීමට හැකිවිය. ඇය සාමාන්‍ය පෙළට මුහුණ දුන්නාය. සාර්ථක ප්‍රතිඵලද ලැබුවාය. අපට අවශ්‍ය වූයේ ඊළඟ වාරයේ මව ලංකාවට පැමිණි පසු ඇයට කරුණු පහදා දී ලංකාවේ රඳව ගැනීමටය. මව ලංකාවට පැමිණි පසු පියාත්, දියණියත් මව කැටුව අප වෙත පැමිණියහ. මව අප පහදා දුන් කරුණු සාවධානව අසා සිටියාය. ඒ සියල්ල පිළිගත් බවද හැඟෙව්වාය. නමුත් ඉන් මසකට පසු යළි විදේශගත වූවාය. ඊටත් ටික කලකට පසු දැනගන්නට ලැබුණේ අර සිසුවිය තම පෙම්වතා සමග රහසේම පලාගිය බවය.
තවත් පාසල් වැඩසටහනකින් පසු මට සිසුවියක් ලිපියක් එවා තිබිණි. ඇය අධ්‍යාපනය ලබමින් සිටියේ අටවැනි ශ්‍රේණියේය. එම ලිපියෙහි ඇය දක්වා තිබුණේ මෙබඳු අදහසකි.“මට ආදරේ අපේ තාත්තා විතරයි. අම්මා මට ආදරේ නෑ. අම්මා ගොඩක් ආදරේ කරන්නෙ මල්ලිට. ඒ හින්දා මට අම්මව පෙන්නන්න බෑ. මං හැම තිස්සෙම අම්මත් එක්ක රණ්ඩු වෙනවා. අම්මා කියනවා මං හරිම නරක මුරණ්ඩු හිතුවක්කාර ළමයෙක් කියලා. ඒ හින්දා අම්මා හැමදේම වැඩිපුර දෙන්නෙ මල්ලිට. වැඩියෙන් සලකන්නෙ සුරතල් කරන්නෙත් මල්ලිව. මට දැන් අපේ ගෙදර එපා වෙලා. වහ බිලා මැරෙන්න හිතෙනවා.”වර්තමාන දරුවන් බහුතරයක් තුළ දක්නට ලැබෙන පොදු ගැටලුවක් වන්නේ දෙමාපියන්ගෙන් ලැබිය යුතු ආදරය අවධානය වැනි දෑ නිසි අයුරින් නොලැබිමයි. තවදුරටත් කිවහොත් දෙමාපියන් සහ දරුවන් එක්ව ගතකිරීමෙන් ලද හැකි සතුට ලබන්නට අවස්ථාවක් නොමැති වීමයි. මේ හේතුව නිසා බොහොමයක් දරුවෝ අද මානසිකව හුදෙකලා පිරිසක් බවට පත්වී සිටිති. දරුවන්ට අභියෝගවලට මුහුණ දෙන්නට බැරිය. ගැටලුවකට මුහුණ දෙන්නට සිදුවූ විට ඊට විසඳුම් සොයන්නට අපොහොසත්ය.
මේ හුදෙකලා බව නැති කරගන්නට ඔවුහු විවිධ මාර්ග සොයති. ගැහැනු දරුවන් නම් බහුතරයක් අඩු වයසින් ප්‍රේම සම්බන්ධතා ඇති කරගැනීම හා ඒ ඔස්සේ කායික සම්බන්ධතාද පවත්වනු දැකිය හැකිය. පිරිමි දරුවන්ට නම් ප්‍රේම සම්බන්ධතා හැරුණුවිට මත්පැන් මත්ද්‍රව්‍ය අන්තර්ජාලයේ ඇසුර වැනි බොහෝ දේ තිබේ. මේ සියලු දේවල්වල අවසානය වන්නේ බොහෝවිටම ඔවුන් තවත් හුදෙකලා වීම සහ අනාගතය අඳුරට පත්කරගැනීමය. මෙවැනි තත්ත්වයකට යොවුන් දරුවන් පත්වීමට බලපාන ප්‍රධාන හේතුවක් වන්නේ දෙමාපියන් දරුවන් හඳුනාගෙන නොසිටීමය.දරුවන් යනු දෙමාපියන් වෙතින් කෑම ඇඳීම සහ පාසල් යැවීම යන කරුණු තුන පමණක් ඉටුවී හැදීවැඩිය යුතු සිත්පිත් නැති රොබෝවරුන් නොවේ. පාසල්වල අප දරුවන් සහ දෙමාපියන් සඳහා මෙවැනි වැඩසටහන් සංවිධානය කළොත් මව්වරුන් සියයකට පැමිණෙන්නේ පියවරුන් දහදෙනෙක් වැනි සුළුතරයක් පමණි. දරුවන්ට මව සහ පියා යන දෙදෙනාගේම ආදරය අවධානය එකසේ ලැබිය යුතුය. දරුවාගේ මානසික පෝෂණයට එය අත්‍යවශ්‍ය වෙයි. පියා යනු දරුවාට රජෙකි. හැමවිටම දරුවකුට තම නිවස රාජ්‍යයක් ලෙස දැනෙන අතර එහි ඉහළම භූමිකාව නිරූපණය කරන පියා රජු මෙන් හැඟෙනු ඇත.
මව තමාවත්, නිවසේ අන් සියලු දෙනාවත්, නිවසත් බලාගනිමින් ඒ සියලු දෙනාටම මැනවින් ආදරය කරමින් වැජඹෙන දෙවඟනයි. ඒ භූමිකාව මවගෙන් ඉටු නොවුණොත් දරුවන්ගේ සිතට අනාරක්ෂිත හැඟීමක් දැනෙන්නට පුළුවන. දරුවන්ට පියා වීරයෙකි. පියාට එවැනි පෞරුෂයක් නැත්නම්, පියා සැන්දෑවේ ගෙදර පැමිණෙන්නේ බිමත්ව නම් ඒ වීර චරිතය දරුවාගේ මනසට දැනෙන්නේ කිනම් ආකාරයකින් විය හැකිද? ඇතැම් දරුවන් පියා පිළිකුල් කරනු ඇත. ඒ අතර බොහෝ කුඩා දරුවන්ගේ ළපටි මනසට හැඟෙන්නේ පියා යනු එලෙස හැසිරිය යුතු අයකු ලෙසිනි. ඒ අනුව කුඩා වියේ සිට ඒ පියා තමන්ගේ දරුවන්ගේ මනසට ඇතුළු කළේ මොනවාද? එබැවින් දරුවන් හදා වඩා ගැනීම යනු සුරතල් සතකු හදාවඩා ගැනීම බඳු ඉතා සුළු හෝ පහසු කාර්යයක් නොවන බව දෙමාපියන් සිතට ගැනීම ඉතාමත්ම වැදගත් වෙයි.
ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ සෞඛ්‍ය අධ්‍යාපන නිලධාරීතුමන් සමග කරන ලද සාකච්ඡාවක් ඇසුරිනි.
ඉන්දු පෙරේරා