මානසික පසුබෑමකට ලක්වූ අවස්ථාවක ඉන් ගොඩ ඒමට උදව් වන උපදෙස් ටිකක්

සමහර අවස්ථාවල අපේ මානසික තත්ත්වය අයහපත් වුණාම අපි කියනවා අපේ ‘මූඩ් එක’ හරි නැහැ කියලා. ඔය මූඩ් එක ටිකක් එහාට මෙහාට වුණාම කිසිම  දෙයක් කරගන්න බැරුව යන වෙලාවල් පවා තියෙනවා. ඇත්තටම ඒ වගේ වෙලාවකට  කෙනකුට  බැරිද ඒ  මූඩ් එකෙන් ගැලවෙන්න.ඇයි බැරි? කෙනකුට  පුළුවන් නම් මේ උපදෙස්  ටික  පිළිපදින්න. ඒක ඒ හැටි අමාරු දෙයක් නමෛයි.එහෙම කියන්නේ සුප්‍රකට  මනෝ වෛද්‍ය විශේෂඥවරියක වන සුසාන්  ෆර්ත්  නමැත්තියයි.

නිහඬව විලාප දෙන්න

ඔබේ මානසික තත්ත්වය අයහපත් වූ  විටෙක  ඔබට  සිත සැහැල්ලු කර ගැනීම සඳහා හඬනගා වැළපෙන්න හිතෙනවා නම් හඬ නගා  එසේ නොකොට  ලොකු අකුරින් කොලයක ඒ බව ලියන්න. එක් වතාවක් නොව කිහිප වතාවක් ම එසේ කරන්න. ඉන් ඔබේ හිතට මහත් සුවයක් සැහැල්ලුවක් දැනේවි.

යහපත් දෙයක් කරන්න

එවැනි අවස්ථාවල තමන්ගේ  මානසික  තත්ත්වය නොතකා  කාට හෝ උදව්වක්, යහපතක් කරන්න. ඉන් හිතට දැනෙන  හැඟීම ඔබේ මනස සැහැල්ලු  කිරීමට හේතු  වෙනවා නොඅනුමානයි.

කැඩපතක් ඉදිරියේ හිතේ පීඩනය පිට කරන්න

නාන කාමරය තුළට  වැදී  කැඩපතෙන්  මුහුණ බලාගෙන තම හිතේ පීඩනය හැකි සියලු  ඉරියව්වලින් පිට කිරීමට උත්සාහ කිරීමටද  ඔබට ‘මූඩ්’ එක හොඳ කරගන්න සාර්ථකම විදිහක්  බව  සඳහන් වෙනවා. ඔරවන්න, හඬ නොනැගෙන සේ බනින්න. මේ ඕනම දෙයක් කරන්න.

ගැඹුරින් හුස්ම ගන්න

එබඳු  අවස්ථාවල  සිත එක  තැනක  තියාගෙන ගැඹුරින් හුස්ම ගන්න. ඒ සමගම  හිතේ  තැවුල්  ඒ හුස්මෙන් දිය වූ බව සිතන්න. අනතුරුව එය පිට කරන්න. එවිට සියලු කරදර ඒ හුස්ම සමග පිටවූ බව සිතන්න. මින් ඔබේ සිත  ඉතා හොඳින්  පිරිසිදු වේවි.

ප්‍රිය කරන අවස්ථා  මවාගන්න

තමන් ගිය විනෝද චාරිකා ජීවිතයේ සතුටින් පසුවූ අවස්ථා ආදී  සුබදායක දේවල් පිළිබඳව සිතින් මවාගන්න. ඉන් ඔබේ  සිරුරේ සතුටට හේතුවන හෝමෝන උත්තේජනය වීම සිදුවෙනවා. එය හිතේ කනස්සලු ස්වභාවය දුරු කිරීමට හේතුවන බව විශේෂඥයන් සොයාගෙන තිබෙනවා.

හඬනගා සිනාසෙන්න

මේ වගේ තත්ත්වයක් සමනය කරන්න හොඳම දේ සිනහව බව ඇතැම්  මනෝවිද්‍යාඥයින් පවසනවා. නිකම්ම සිනාසෙන්න බැහැනෙ. ඒ සඳහා පැරණි සිද්ධියක් මතක් කරන්න. එහෙමත් නැත්නම් විහිළු කතා ඇති ‍පොතක් කියවන්න.

නහය පාවිච්චි කරන්න

අපේ ‘මූඩ්’ එක ක්ෂණයකින් වෙනස් කිරීමේ හැකියාවක් ගඳ සුවඳට තියෙනවා. ඒ හින්දා එබඳු වෙලාවක ඔබ ප්‍රියකරන  සුවඳ වර්ග ආඝ්‍රාණය කිරීමට අවස්ථාවක් සලසා ගන්න. අඩු ගණනේ බේකරියක පාන් පුළුස්සන සුවඳ වුවත් කමක් නැහැ.

ශිරෝනි ග්‍රේරෝ