සාමාන්‍ය පෙළ විභාගය යනු පාසල් සිසුවකුගේ ජීවිතයේ ඉතා වැදගත් තීරණාත්මකව කඩඉමකි. එය ඔවුන්ගේ ජීවිතයේ හැරවුම් ලCෂ්‍යය ලෙස හැඳින්වීම බොහෝ දුරට නිවැරදිය. එමනිසා සාමාන්‍ය පෙළ කඩඉම ජයගැනීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ. එසේ සමත් ලංකාවෙන්ම පළමු, දෙවන සහ තෙවන ස්‌ථාන හිමිකර ගැනීම අතිශය දුෂ්කර කටයුත්තකි. ඒ සඳහා විශාල අධිෂ්ඨානයක්, දැඩි කැපවීමක්. මෙන්ම වාසනා ගුණයක්‌ද තිබිය යුතුය. එබඳු අධිෂ්ඨානයෙන් කැපවීමෙන් මෙම කඩඉම පසුකළ විශිෂ්ටයන් සමඟ zදිවයින ඉරිදා සංග්‍රහය" පැවැත්වූ සාකච්ඡාවකි මේ.
පසුගිය 2014 වර්ෂයේ පැවැති අධ්‍යයන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගයෙන් පළමු ස්‌ථානය හිමිකරගත්තේ කොළඹ නාලන්දා විදුහලේ තරිඳු වික්‍රමසිංහ සිසුවාය. දෙවැනි ස්‌ථානය ගම්පහ සිරිකුරුස බාලිකා විද්‍යාලයේ සඳිනි නිවන්ජනා ජයවර්ධන සිසුවිය හිමිකරගත් අතර තෙවන ස්‌ථාන තුනක් හිමිකරගෙන තිබේ. කොළඹ විශාඛා බාලිකා විද්‍යාලයේ අමාෂි නිවර්තනා සිසුවිය, ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ නුවනි නෙත්සරණි සහ මහනුවර මහාමායා බාලිකා විද්‍යාලයේ ගරුණි අබේසිංහ එම සිසුන් තිදෙනාය.
ලංකාවෙන්ම පළමු ස්‌ථානය හිමි කරගත් කොළඹ නාලන්දා විදුහලේ තරිඳු වික්‍රමසිංහ තම ජයග්‍රහණය පිළිබඳව සාඩම්බරයෙන් යුතුව අදහස් දැක්‌වූයේ මෙසේය.
විභාගය විශිෂ්ට ලෙස සමත්වෙයි කියලා මම දැනගෙන හිටියා. නමුත් දිවයිනෙන්ම පළමු ස්‌ථානය හිමිකරගන්න පුළුවන් වෙයි කියලා හිතුවේ නැහැ. මම දිවයිනෙන්ම පළමුවැනියා වුණා කියලා දැනගත්ත වෙලාවේ මට දැනුණ සතුට වචනවලින් කියලා නිමකරන්න බැහැ. එකපාරටම මට විශ්වාස කරගන්න බැරිවුණා පළමුවැනියා වුණා කියලා. නමුත් මම එම ස්‌ථානය හිමිකරගත්තා. මම ජීවිතයේ ලබපු ලොකුම ජයග්‍රහණයක් ලෙස මෙය හැඳින්විය හැකියි. මේ සඳහා උදව් කළ දෙමාපියන්, විදුහල්පති ඇතුළු සියලුම ගුරු භවතුන්ටත් මගේ ස්‌තුතිය පුද කරනවා. මෙම ජයග්‍රහණයට මූලික ලෙසම බලපෑවේ මගේ කැපවීම සහ අධිෂ්ඨානයයි. මම කුඩා කල සිට විභාගවලට මුහුණ දුන්නා. කිසිම විභාගයකට මම බය වුණේ නැහැ. සමහරු විභාගය ළංවෙනකොට පුදුම බයකින් හෝ පීඩනයකින් ඉන්නේ. එහෙම වෙන්න හොඳ නැහැ. පාසල් වැඩ කටයුතු එදිනෙදා මා කළා. කිසිම අධ්‍යාපනික වැඩක් කල් දැම්මේ නැහැ මොනම හේතුවක් නිසාවත්. එම නිසා මට නිදිමරාගෙන පාඩම් කරන්න වුවමනා වුණේ නැහැ. අමතර පන්තිවලටත් මම සහභාගි වුණා. ඒවායේ දෙන වැඩත් එදිනෙදාම අවසන් කළා. එලෙස වැඩකිරීම නිසා එහි ප්‍රතිඵල අද මට ලැබී තිබෙනවා.
අධ්‍යාපන කටයුතුවලට අමතරව විෂය බාහිර කටයුතුවලටත් මම සහභාගි වුණා. තාරකා සංගමයේ සාමාජිකයෙක් වෙලා හිටියා. චෙස් සහ බැඩ්මින්ටන් ක්‍රීඩා කළා. විෂය බාහිර පොත් පත් බොහොමයක් පරිශීලනය කළා. විවිධ රුපවාහිනී වැඩසටහන් ආදිය නැරඹුවා. මේ සියල්ල කළේ මම අධ්‍යාපන වැඩකටයුතුවලට බාධාවක් නොවන අයුරින්.
මම උසස් පෙළ ගණිත අංශයෙන් හදාරනවා. මොකද කුඩා කල සිට මගේ කැමැත්තක් තිබුණා තාරකා විද්‍යාවට. මගේ අනාගත බලාපොරොත්තුව හොඳින් ඉගෙන ගෙන රටට වැඩදායී පුද්ගලයෙක් වීමටයි.
මෙම ජයග්‍රහණය පිළිබඳව කොළඹ නාලන්දා විදුහලේ විදුහල්පති කර්නල් රංජිත් ජයසුන්දර මහතා ප්‍රකාශ කළේ, මෙවර සාමාන්‍ය පෙළ විභාගයෙන් ලංකාවෙන්ම පළමු ස්‌ථානය අප පාසලට ලැබීම විශාල ගෞරවයක් බවයි. තරිඳු සිසුවාට අපේ ප්‍රණාමය හා ගෞරවය පුදකරනවා. මෙම සිසුවා අධ්‍යාපන කටයුතුවලට මෙන්ම විෂය බාහිර කටයුතුවලටත් දක්‌ෂයි. එමෙන්ම අප විදුහලේ ශක්‌තිමත් අධ්‍යාපනික යාන්ත්‍රණයක් තියෙනවා. එහි ප්‍රතිඵල තමයි තරිඳු ශිෂ්‍යයා පෙන්නුවේ.
තරිඳුගේ පන්තිභාර ගුරුතුමිය වන ප්‍රමිතා ගලප්පත්ති මහත්මියá තිරිඳු සුවිශේෂී කෙනෙක්. නාලන්දාවට සුවිශේෂී ආභරණයක් වාර විභාගවලිනුත් උසස් ප්‍රතිඵල ලබාගනියි කියලා හිතුවත් ලංකාවෙන්ම පළමුවැනි ස්‌ථානය හිමිකර ගනියි කියා හිතුවේ නැහැ. නමුත් තරිඳුගේ දක්‍ෂතා නිසා මෙවැනි ප්‍රතිඵලයක් හිමිකර ගැනීමට ඔහුට හැකිවුණා.
දෙවැනි ස්‌ථානය හිමිකර ගත්තේ ගම්පහ සිරිකුරුස බාලිකා විද්‍යාලයේ සඳිනි නිවන්ජනා ජයවර්ධන සිසුවියයි. ඇය තම ජයග්‍රහණය ගැන මෙසේ පවැසුවා.
ලංකාවෙන්ම දෙවැනියා වුණා කියලා දැනගත්ත වෙලාවේ මගේ සිතට ලොකු සතුටක් දැනුණා. මට මුලින්ම විශ්වාස කරන්නත් බැරිවුණා ලංකාවෙන්ම දෙවැනියා වුණා කියලා. විභාගය සමත් වන බව දැන සිටියා. නමුත් ලංකාවෙන්ම දෙවැනියා වෙයි කියලා හිතුවේ නැහැ.
ජීවිතයේ, අධ්‍යාපන කටයුතුවලට තමයි මම මුල් තැන දුන්නේ. මොන ගැටලු ආවත් අධ්‍යාපනික වැඩ කටයුතු අතපසු කෙරුවේ නැහැ. දිනපතාම මම පාඩම් කලා. කාලසටහනකට අනුව තමයි වැඩ කළේ. අමතර පංතිවලට සහභාගිවුණා. ඒවායේ දෙන සියලුම වැඩත් අතපසු නොකර කලට වේලාවට සිදු කළා.
කුඩා කල සිට මගේ අධිෂ්ඨානයක් තිබුණා හොඳට ඉගෙන ගන්න. පහේ ශිෂ්‍යත්වය පාස්‌වුණේ විදුහලේ වැඩිම ලකුණු ලබාගෙන. ඒ වෙලාවේ දෙමාපියන් මාව වෙනත් පාසලකට යවන්න උත්සාහ කළා. එවිට විදුහල්පතිතුමිය මාව හොඳ තැනකට ගෙන එනවා කියා පොරොන්දු වී එය වැළැක්‌වුවා. එම තීරණය කොච්චර වැදගත් එකක්‌ද කියලා මට දැන් හොඳට තේරෙනවා.
පාසල් වැඩවලට අමතරව මම විෂය බාහිර ක්‍රියාකාරකම්වලටද සහභාගි වුණා. උසස් පෙළ මම ගණිත අංශයෙන් හදාරනවා. මගේ එකම බලාපොරොත්තුව ඉංජිනේරුවරියක් වීමයි. මේ ලබපු ජයග්‍රහණයට මගේ දොමාපියන්, සහෝදරිය, විදුහල්පතිනිය, පන්තිභාර ගුරුතුමිය ඇතුළු ගුරු මණ්‌ඩයෙන් ලැබුණු සහය මාහට විශාල ධෛර්යයක් වුණා.
විදුහල්පතිනි මේරි දීපානි කන්‍යා සොහොයුරියá සඳිනි පහ වසර ශිෂ්‍යත්ව විභාගයෙන් අපේ පාසලේ වැඩිම ලකුණු ලබා ගත්ත ශිෂ්‍යාවයි. ඇය වෙනත් පාසලකට යෑවීමට දෙමාපියන් සූදානම් වුණා. වෙලාවේ මම පොරොන්දු වුණා ඒ අධ්‍යාපනයෙන් ඇය ඉහළම තැනකට රැගෙන එන බවට. එය විශ්වාස කරලා තමයි ඇයට වෙනත් පාසලකට නොයෑව්වේ. එහි ප්‍රතිඵල අද ලැබී තියෙනවා. ඇය අපේ පාසලට අත්කර දුන්නේ ලොකු ගෞරවයක්. ඒ වෙනුවෙන් ඇයට අපගේ ප්‍රණාමය පුදකරනවා. සදිනි කුඩා කල සිට දක්‌ෂ සිසුවියක්. ඇයගේ අනාගතය දීප්තිමත් එකක් වේවි.
මෙවර සාමාන්‍ය පෙළ විභාගයෙන් ලංකාවෙන්ම තුන්වැනි ස්‌ථාන තුනක් හිමිකර ගෙන තිබේ. එයින් එක් ස්‌ථානයක් හිමිකර ගත්තේ කොළඹ විශාඛා බාලිකා විද්‍යාලයේ අමාෂි නිවර්තනා ශිෂ්‍යාවයි. එම ජයග්‍රහණය පිළිබඳව ඇය දැක්‌වූයේ මෙවන් අදහසකි.
මම ප්‍රාථමික අධ්‍යාපනය හැදෑරුවේ අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයෙන්. පසුව ශිෂ්‍යත්ව විභාගය සමත්වී කොළඹ විශාඛා බාලිකා විදුහලට ඇතුළත් වුණා. ප්‍රතිඵල දැනගත්ත වෙලාවේ මට ලොකු සතුටක් ඇතිවුණා. ඒක වචනවලින් කියලා නිම කරන්න බැහැ.
නිසි අවබෝධයෙන් යුතුව ඉගෙනීම් කටයුතු කළා. එදා කළ යුතු දේ කල් නොදමා එදාම සිදු කළා. ටියුෂන්වලට වැඩිය මුල්තැන දුන්නේ නැහැ. අන්තිම මාස කිහිපයේදී zරිවිෂන්වලටZ ගිහින් අවශ්‍ය දැනුම ලබාගත්තා. පාසලෙන් තමයි හැම විෂයකටම අයත් දැනුම ලබා ගත්තේ. පාසලේ විදුහල්පතිතුමිය ඇතුළු ගුරුභවතුන් අප හැමෝම උනන්දු කළා. විෂය පිළිබඳ දැනුම ඇති ගුරුවරුන් විද්‍යාලයට ගෙන්වා දැනුම ලබා දුන්නා. ඒනිසා විභාගය ගැන බයක් මට තිබුණේම නැහැ.
ගෙදරදී අම්මා ගෙදර වැඩ ටික කළමනාකරණය කරලා මට ඉගෙන ගන්න ඕන කාලය හා පරිසරය හදා දුන්නා. අම්මා මට දුන්න සහය අතිවිශාලයි. මගේ පියා ජීවතුන් අතර නැහැ. ඒනිසා සියලුම බැර පැටවිලා තිබුණේ අම්මාගේ කරට. ඇය ඒ සියලු දේවල් නොපිරිහෙළා ඉටුකළා.
උසස් පෙළ ඉගෙනීම් කටයුතුද මගේ පාසලෙන්ම සිදු කරනවා. ජීව විද්‍යා අංශයෙන් උසස් පෙළ හදාරා වෛද්‍යවරියක් හෝ විද්‍යාඥවරියක් වීම තමයි මගේ ඉදිරි බලාපොරොත්තුව. විෂය අවබෝධයෙන් ඉගෙන ගන්න. කටපාඩම් කිරීමට මුල් තැන නොදී එදිනෙදා සැලසුම්සහගතව කරන්න. එසේ කළහොත් කාටවත් වරදින්නේ නැහැ.
තෙවන ස්‌ථාන තුනෙන් තවත් එක් ස්‌ථානයක් හිමිකර ගත්තේ ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ. නුවනි නෙත්සරණි ශිෂ්‍යාවයි. ඇය පවසන්නේ වගකීමෙන් හා සැලසුමක් සහිතව වැඩකළ නිසා මෙම ජයග්‍රහණය ඇයට ලැබුණු බවයි.
කුඩා කුල සිටම මම වැඩකළේ සැලසුමක් සහිතව. දිනපතාම අධ්‍යාපන කටයුතු කරන්න මම වෙලාවක් වෙන්කර ගත්තා. එම වෙලාව තුළ කිසිම බාහිර වැඩක් කළේ නැහැ. පාඩම් කරනු එකම තමයි කළේ. එහෙම කියලා මම නිතරම පොත්වල ඇලිලා හිටියෙත් නැහැ.
රූපවාහිනී ප්‍රවෘත්ති නැරඹීම, විෂය බාහිර පොත් පත් කියවීමත් නිරන්තරයෙන්ම සිදු කළා. පාසලේ ඉගෙනුමට අමතරව මම පංති නායිකාව. විෂය නායිකාව ලෙසත් කටයුතු කළා. බැඩ්මින්ඩන්, චෙස් සහ පිහිනුම් ආදී ක්‍රීඩාත් මම සිදුකළා. මොන දේ කළත් අධ්‍යාපන කටයුතු අතපසු කළේ නැහැ.
මෙම ජයග්‍රහණය වෙනුවෙන් දෙමාපියන්ගෙන්, සහෝදරියන්ගෙන්, විදුහල්පතිනියගෙන් සහ ගුරු භවතුන්ගෙන් මට ලැබුණු සහය විශාල ධෛර්යයක් වුණා. මට වඩා ඔවුන්ට මා ගැන ලොකු විශ්වාසයක් තිබුණා. මගේ එකම බලාපොරොත්තුව හොඳට ඉගෙනගෙන ඉදිරියට යැමටයි. මා මෙවර විභාගයට පෙනී සිටින නංගිලා මල්ලිලාට කියන්නෙත් සැලසුමක් ඇතිව වගකීමකින් වැඩකළොත් කවදාවත් වරදින්නේ නැති බවයි.
විදුහල්පතිනි එච්.ඒ.එම්. ජයවර්¨ධන මහත්මිය( නෙත්සරණිගේ ජයග්‍රහණය අපේ පාසලට ලොකු ගෞරවයක් ගෙන දුන්නා. ඇත්තටම මෙම සිසුවිය ඉතාම දක්‌ෂයි. අධ්‍යාපන කටයුතුවලට මෙන්ම ක්‍රීඩාවලටත් ඇය හුඟාක් දක්‌ෂයි. ක්‍රීඩාතරග පිළිබඳ ජයග්‍රහණ රැසක් ඇය ලබාගෙන තියෙනවා. ඇත්තටම ඇය අපේ පාසලට වටිනා සම්පතක්.
පංතිභාර ගුරුතුමිය වන සුභාෂිණී මධුරසිංහ මහත්මිය, නෙත්සරණි පංතියේ හිටිය දක්‌ෂම ළමයා මෙන්ම කීකරුම ළමයා. සෑම විභාගයකදීම පංතියේ පළමුවැනියා වුණේ ඇයයි. මා ඇතුළු ගුරු මණ්‌ඩලයේ සියලු දෙනා දැන සිටියා නෙත්සරණි විශිෂ්ට ජයක් ලබාගන්නා බව.
තෙවන ස්‌ථාන තුනෙන් තවත් එක් ස්‌ථානයක් හිමිකරගෙන ඇත්තේ මහනුවර මහමායා බාලිකා විද්‍යාලෙය් ගරුණි අබේසිංහ ශිෂ්‍යාවයි.
ගරුණි සාමාන්‍ය පෙළ විභාගය ලිවීමට ගිය මොහොතේදී ඇයගේ පියා මියගියා.
තම ජීවිතයේ ඉතාම සංවේගාත්මක මෙවන් මොහොතකදී ඒ වේදනාකාරී සිතුවිලි ඉදිරියේ නොසැලී අධිෂ්ඨානශීලිව මෙවැනි තරගකාරී විභාගයට මුහුණ දෙමින් මෙවැනි ජයග්‍රහණයක් අත්කර ගැනීම ඇය තුළ වූ ආත්මවිශ්වාසය අප රටේ ශිෂ්‍ය පරම්පරාවට දුන් අභියෝගයකි. ආදර්ශයකි. ගරුණි ඉංග්‍රීසි බසින් ලේඛනයේ යෙදීමේ දක්‌ෂතා ඇති අතර පුවත්පත් ලේකාවක් වශයෙන්ද කටයුතු කරන්නීය.
ගුරු මැණිවරුන් විදුහලේදී ඉගැන්වූ පාඩම් හොඳින් අධ්‍යයනය කළ නිසා මෙවැනි ජයග්‍රහණයක් ලබා ගැනීමට හැකිවූ බව ඇය පැවැසුවාය. පාසලෙන් දෙන අධ්‍යාපන වැඩ එදිනෙදාම අවසන් කිරීම ඇගේ තවත් එක් ලක්‍ෂණයකි. පාසලේ විෂය බාහිර ක්‍රියාකාරකම්වලටද මහත් ඇල්මක් දක්‌වන්නීය. ඇගේ බලාපොරොත්තුව උසස් පෙළ විභාගය විද්‍යා අංශයෙන් හදාරා ඉදිරියටම යැමයි.
විදුහල්පතිනි අයි. විතානාච්චි මහත්මිය, ගරුණිගේ මෙම ජයග්‍රහණය කීර්තිමත් බාලිකා විද්‍යාලයක් වූ මහමායා බාලිකා විද්‍යාලයට තවදුරටත් ගෞරවයක් ගෙන දුන් බවයි. එම විදුහලේ මුල සිටම අධ්‍යාපනය හැදෑරූ ගරුණි විෂය බාහිර කටයුතුවල නිරතවූ බවත් ඇය විදුහලේ අනිත් සිසුවියන්ට ආදර්ශයක් බවද පැවැසුවාය.
කැපවීම සහ උත්සාහය මත සාමාන්‍ය පෙළ උසස් ලෙස ජයගත් මෙම විශිෂ්ටයන්ට උසස් පෙළත් උසස් ලෙස ජය ගැනීමට හැකිවේවායි යන්න zදිවයිනZ අපේ ප්‍රාර්ථනාවයි.
ගයාන් සමරසිංහ
පිංතූර - නිමල් දයාරත්න, කමල් බෝගොඩ,
සිරිල් විමලසුරේන්ද්‍ර, ටෝනි කරුණානායක, සුසිල් රණමුක