අලුත් දවසකට අරුණලු උදා විය. පහන් වූ දවස සබරගමු පළාතට සැබැවින්ම කිරි ඉතිරෙන අසිරිමත් දවසකි. මන්ද අලුත්කෘෂි වර්ෂයකට ගෙවදින අලුත් සහල් මංගල්‍යය පැවැත්වීමට දින යෙදී ඇත්තේ අද බැවිනි. කඳු අතරින් හිරු එබිකම් කරන මොහොතේම මංගල්‍යයේ චාරිත්‍ර ද ඇරඹිණි. අම්මඩුව කුඩා කතරගම දේවාලයේ දේව රාජකාරියට කැපව සිටින කපු මහත්වරු සහ පංගුකරුවන් සුදු පිරුවටයෙන් සැරසී පෙරහැරකින් අම්පිටිතැන්න ශ්‍රී පූර්වාරාම බෝධිඝර විහාරස්‌ථානයට පැමිණ බුදුන් වැඳ ආශිර්වාද ලැබ, පැල්මඩුල්ල හුණුවල වෙල් යාය දෙසට ගමන් කරමින් සිටින්නාහ. මඟුල් බෙර, හේවිසි, හොරණෑ ශබ්දයෙන් අවදි වූ මිනිසුන් පෙරහැරට ආශීර්වාද කිරීමට මඟ දිගට එක් රොක්‌ව සිටින්නාහ. හිරු නැඟෙන, පිනි වැස්‌සේ නියර මතින් ශාන්ත ගමනින් යන පෙරහැර සැබැවින්ම සිත් ගන්නා සුලුය. අලුත් දවසට කරන ආශිර්වාදයකි. අපි පෙරහැර පිටුපසින් ගමන් කළෙමු.
වෙල් යාය මැද සුදු පිරුවටයකින් ආවරණය කොට වෙන් කළ ගොයම් රොදකි. එම සීමාව තුළ ගොක් කොළ, කෙසෙල් බඩවලින් සැරසූ මල් පැලකි. පෙරහැරින් ගමන් කළ අම්මඩුව කුඩා කතරගම දේවාලයේ ප්‍රධාන කපු මහතා මල්පැල පහනින් ආලෝකමත් කර සුබ නැකතින්, වාහල බෙර නාදය මැද රිදී දෑකැත්තෙන් ගොයම් අහුරු තුනක් කපා වෙන් කළේය. පසුව නැවත කපා ගත් ගොයම් අහුරු තුනත් රැගෙන මඟුල් බෙර, හේවිසි, හොරණෑ ශබ්ද පූජාව මැදින් පෙරහැර හුණුවල උයන්වත්තේ පිහිටි තාවකාලික දේවාලයට ගමන් කළේය. සුබ නැකතින් කරල් කපන රිදී දෑකැත්ත ද දේවතාභරණයක් ලෙස පාවිච්චියට ගනු ලබන්නේ අලුත් සහල් මංගල්‍යයේදී පමණි.
ප්‍රදේශවාසීන්ගේ අශිර්වාද මැද පෙරහැර දේවාලය බලා ගමන් කරන්නේය. සිරිත් පරිදි කරල් කැපීමේ මංගල්‍යයෙන් පසු ගොවීන් සුබ නැකතින් අස්‌වනු නෙළීමට පටන් ගෙන ඇති අයුරු මඟ දෙපස කුඹුරු යාය තුළින් නෙත ගැටිණි. දේවාල භූමියට හැරෙන බළන්ගොඩ, පැල්මඩුල්ල මාර්ගයේ දෙල්ගස් හන්දියේ සිටම විවිධ බඩු භාණ්‌ඩ, කැවිලි, පළතුරු ආදී විකුණන තාවකාලික වෙළෙඳ කුටිය. කිලෝ මීටරයකට වැඩි දුරක් ඇවිද පැමිණි කරල් පෙරහැර දේවාල භූමියට සේන්දු විය. විශාල පොල්වත්ත මැද ගොක් කොළ, කෙසෙල් බඩ සහ කොළ අතු ආදියෙන් අලංකාර කර ඉදිකළ තාවකාලිකව දේවාලයකි. පහුවදා අම්මඩුව කුඩා කතරගම දේවාලයෙන් පෙරහැරකින් වැඩමවාගෙන පැමිණි දේවතාභරණ සහිත රන්දෝලිය තාවකාලිකව තැන්පත් කර ඇත්තේ මෙම දේවාලයේය. සුබ නැකතින් හුණුවල වෙල් යායෙන් කපා ගත් ගොයම් අහුරු තුන තාවකාලිකව තැන්පත් කෙරෙන්නේ ද එම දේවාලයේය. පසුව එදින දහවල් වන තෙක් බැතිමතුන්ගේ අලුත් සහල් සහ පුද පඬුරු දෙවියන් උදෙසා පූජා කිරීමට අස්‌ථාව උදා වේ. එමෙන්ම පසුගිය වසර මුළුල්ලේම ජීවිතේ විවිධ අවස්‌ථාවන්වලදී කතරගම දෙවියන් වෙනුවෙන් වූ බාරහාර ඔප්පු කිරීමට ද මෙම ස්‌ථානයේදී අවස්‌ථාව උදා වී තිබේ.
දේවාල භූමිය ද පිරී ඇත්තේ විවිධ බඩු භාණ්‌ඩ, රසකැවිලි, සෙල්ලම් බඩු පිරුණු වෙළෙඳ කුටිවලිනි. කරල් පෙරහැර පැමිණීමත් සමග දේවාල භූමිය ද බැතිමතුන්ගෙන් පිරී ගියේය. දේවාලය ඉදිරියේ ආශිර්වාද කරන කපු මහතාගෙන් ආශිර්වාදය ලැබ ගන්න බැතිමතුන් පෝළිමේය. දෙවියන් වැඳ පුදා ගන්න බැතිමතුන් ඊළඟට ඇදෙන්නේ වෙළෙඳ කුටි වෙතටය. සැබැවින්ම දේවාල භූමිය එකම සැණකෙළියකි. සෙල්ලම් බඩු අතින් ගත් පුංචි උන් සතුටින් දුව පනිති. රෙදිපිළි, ගෘහ භාණ්‌ඩ මිලට ගන්න වැඩිහිටි තරුණ කාන්තාවෝ පොර කති. සියලුම ප්‍රදේශවාසීන් සිරිත් පරිදි මෙම අලුත් සහල් මංගල්‍යයට පැමිණෙන බව ප්‍රදේශවාසීහු කිහිප දෙනෙක්‌ම එම ස්‌ථානයේදී අපට පැවසූහ.
''මේ මංගල්‍යය පටන් ගත්ත කාලේ ඉඳල මෙතැන බිස්‌නස් කරන්න මම එනවා. ඉස්‌සර කාලේට වඩා දැන් දෙවොල්පොළට මිනිස්‌සු එනවා. ඒත් කඩ වැඩි නිසා බිස්‌නස් අඩුයි. මෙතැන හාස්‌කම් තියෙන තැනක්. එක සැරයක් ආපු කෙනෙක් අනිවාර්යයෙන්ම ඊළඟ අවුරුද්දෙත් මෙතැනට එනවා...''
දින දෙකක් පුරා පැවැත්වෙන අලුත් සහල් මංගල්‍යය ගැන ටොයිස් බඩු වෙළෙඳාමේ නිරතව සිටි දේවකගේ මතය එයයි. පසුව අපි පුංචි දරුවකු සමග සෙල්ලම් බඩු තෝරන පියකු සමග කතා කළෙමු. ඔහු විපුලය.
''මෙතැනට ඇවිත් බාර වුණහම එයකාරයෙන්ම ඉෂ්ට වෙනවා කියලා අපිට විශ්වාසයක් තියෙනවා. ගොවිතැන්වලින් ගන්න අස්‌වැන්නෙන් මුල්ම පංගුව අපි දෙවියන්ට වෙන් කරනවා. ඒ කොටස මෙතැනට ගෙනත් දෙවියන්ට පූජා කරනවා. මේ ගම්වල ගොඩක් අය ගොවිතැන් බත් කරන මිනිස්‌සු. ඒ හැම කෙනෙක්‌ම අලුත් වර්ෂයට යන්න මෙතනට ඇවිත් දෙවියන්ගෙන් අවසර ගන්නවා...'' ඒ කහවත්තේ විපුලගේ විශ්වාසයයි.
මහ පොළොවේ අයිතිය බුදුන් වහන්සේ සතු බව බෞද්ධ සමාජයේ විශ්වාසයයි. එකී විශ්වාසය මත වගා කටයුතුවල නිරත මිනිසුන් සිය අස්‌වැන්නේ අග්‍ර කොටස බුද්ධ පූජාව සහ දේව පූජාවට වෙන් කිරීම අප සමාජයේ සිරිතකි. ශ්‍රී දළදා මාලිගාව හා ජයශ්‍රී මහා බෝධිය කේන්ද්‍ර කොටගෙන ලක්‌දිව පුරා අලුත් සහල් මංගල්‍යය වර්ෂිකව ඉෂ්ට සිද්ධ කෙරේ. එහෙත් මෙම මංගල්‍යය ඊට එහාට භාරතයේ සහ ලක්‌දිව ජන ජීවිත හා බැඳුණු, චාරිත්‍ර, ඇදහිලි, පුද සිරිතක් ලෙසද හැඳින්විය හැකි බව සබරගමු ඓතිහාසික අම්මඩුව කුඩා කතරගම දේවාලයේ බස්‌නායක නිලමේ උදය ඇමිටියගොඩ බණ්‌ඩාර පැවසුවාය.
''අතීතයේ පටන් සිංහල ජන සමාජයේ ප්‍රධාන ජීවනෝපාය කෘෂිකර්මාන්තයයි. වැවයි, දාගැබයි. ගමයි, පන්සලයි මුල් කරගෙන ගොඩනැඟුණු අප සමාජයේ විවිධ ඇදහිලි හා විශ්වාස සමග පුද සිරිත් චාරිත්‍ර හා බැඳුණු කෙම් පහන් විධි සමූහයක් තිබුණා. වැවෙන්, කෙතෙන් කුස පුරවා ගත් හෙළයා ආධ්‍යාත්මික ගුණධර්ම ඉගෙනගත්තේ පන්සල දේවාල තුළින්. ඒ අනුව හෙළ ගැමි සමාජය දෙවියන්, බුදුන් මහා සංඝයා හා ධර්මය අදහන ස්‌වාභාවික සම්පත් ආරක්‍ෂා කරන ශාන්ත දැහැමි සමාජයක් වුණා. විහාර, දේවාලවල පෙරහැර හැරුණු විට සී සෑම, අස්‌වනු නෙළීම, අස්‌වැන්න ගබඩා කිරීමේ සිට අනුභවය දක්‌වා වූ ක්‍රියාදාමයන් මංගල්‍යයන් ලෙස හැඳින්වුණා. බෝග සම්පත් ලබාගන්න කොට අස්‌වැන්න සරු කර ගන්න උපකාර වෙච්ච දෙවියන්ට, ජීවීන්ට කොටසක් වෙන් කරන එක කළගුණ සැලකීමක් බව සමාජයේ මතයයි. ලක් රජයේ රජවරු පවා කිහිප වරක්‌ම ශ්‍රී මහා බෝධියට, දන්ත ධාතූන් වහන්සේට රාජ්‍යයෙන් පුදා ඇති බව අතීත වංශකතාවල කියෑවෙනවා. මේ සිරිත් අද සමාජයේ වියෑකිලා යනවා. මම මේක නැති වෙන්න දෙන්නේ නෑ. දැනට අවුරුදු විස්‌සක් විතර අඛණ්‌ඩව මම මේ චාරිත්‍ර කරගෙන එනවා. ඉදිරියටත් මම ඉන්නකම් මේ මංගල්‍යයන් ඒ විදිහටම කරගෙන යනවා. රටේ දේවාලවලට නිවැරැදි නායකත්වයක් ලබාදෙනවාම් මේ සිරිත් සමාජයෙන් ඈත් වෙන්නේ නෑ...''
අම්මඩුව කුඩා කතරගම දේවාලයේ නැකැත් රාළ විසින් අලුත් සහල් මංගල්‍යය පැවැත්වීමට නැකැත් වට්‌ටෝරුව සැකසීමෙන් අනතුරුව ඒ බැව් බස්‌නායක නිළමේතුමාට දැනුම් දෙනු ලැබේ. එම සුබ හෝරාව අනුව තේවාව කර කපු නිළයන් දරන කපු මහත්වරු ප්‍රධාන රාජකාරී පංගු කොටස්‌කරුවන් සිය නිළයන්ගේ කාර්යය ඉටු කරමින් දේවතාභරණ සහිත රන්දෝලිය මහ දේවාලයෙන් පිටතට වැඩමවා පුද සිරිත් පවත්වමින් පෙර සිරිත් අනුව මඟුල් බෙර, හේවිසි හොරණෑ ශබ්ද පූජා පවත්වමින් පෙරහැරකින් හුණුවල උයන්වත්තේ තාවකාලික දේවාලයට වැඩමවාගෙන එනු ලැබේ. එසේ වැඩමවාගෙන පැමිණි දේවතාභරණ සහිත රන්දෝලිය තාවකාලිකව තැන්පත් කර ඇති දේවාල භූමිය දැන් එකම හිස් ගොඩකි. කරල් මංගල්‍යයෙන් පසුව අඩ හෝරාවක් ගොවී ගොස් අවසානය. දේවාල සම්ප්‍රදායට ආවේණික සබරගමු නැටුම් ඇතුළු විශේෂ දේව වත් පිළිවෙත් පවත්වමින් පසු දේවතාභරණ සහිත රන්දෝලිය නැවත අම්මඩුව කුඩා කතරගම දේවාලයට වැඩමවාගෙන යැමට සියල්ල සූදානම්ය.
ගමන දුරය. කිලෝ මීටර් දහහතකට වැඩිය. බලන්ගොඩ, පැල්මඩුල්ල පැරැණි මාර්ගයේ කිරඹ, මාකඳුර, නරිස්‌ස, බටදූරේ මාර්ගය ඔස්‌සේ පෙරහැර අම්මඩුව දේවාලයට ගමන් කිරීමට නියමිතය. ගමන කෙතරම් දුෂ්කර වුවද ගතට, සිතට වෙහෙසක් නැත. මග දිගට දන්සැල්ය. පිපාසයක් නොදැනන තරම්ය. අලුත් සහල් බතින් කුස පිරී ගොස්‌ය. එහෙත් ගැමි ගෙවල්වල පිළියෙළ වූ රසම රස කැවිලි බන්දේසි දකින විට නම් තොලකට තෙත් වන්නේය. දවස කළුවර වීමත් සමග පෙරහැර තවත් විචිත්‍රවත් විය. විදුලි පහන් නැති පෙරහැර ආලෝකවත් වී තිබුණේ තෙල් පන්දම්වලිනි. ඝන අන්ධකාරයේ මඟ දෙපස ජන ගඟකි. බැතිමතුන් දෙවියන් උදෙසා වෙන් කරන ලද බව බෝගයන්හි මුල් කොටස, පුද පඬුරු පූජා කරන අයුරු අතිශය භක්‌තිවන්තය. දුරකතර ගෙවා පැමිණි පෙරහැර මධ්‍යම රාත්‍රිය පැමිණීමට හෝරා දෙකකට පමණ පෙර මහ දෙවොළ කරා සැපත් විය. දේවතාභරණ සහිත රන්දෝලිය ශබ්ද පූජා මධ්‍යයේ ගෙවැදීම ද සිදුකෙරිණි. අනතුරුව රැගෙන ආ වී කරල් මුළුතැන්ගේ තුළදී සහල් බවට පත්ව දේව දානය ද පිළියෙළ කිරීම සිදු විය. එය මුළුතැන් බෑම යනුවෙන් ද හැඳින්වේ. පසුව දෙවියන්ට පූජා කළ කොටසින් බැතිමතුන්ට ලබාදීම සිදුකෙරිණි. දේව දානයේ අනුභාවයෙන් බැතිමතුන්ගේ ලෙඩ රෝග ආදිය සුව වී නිරෝගීවීම, දීර්ඝායුෂ ලැබීම, නුවණ පහළ වනු ඇති බව සමාජයේ විශ්වාසයයි. එහෙයින් ප්‍රදේශයේ සෑම නිවසකම සමාජිකයන් එදින කුඩා කතරගම දේවාලයට පැමිණ සිටි බව ගැලු ජන ගඟෙන් තහවුරු විය.
මේ අලුත් සහල් මංගල්‍යය ලංකාවේ දේවාල තිස් එකේදීම සිදු කළ යුතු බව සැබෑය. එහෙත් එය එසේ සිදු වේද යන්න අපි නොදනිමු. මහ කතරගම දේවාලයට අලුත් සහල් මංගල්‍යය අමතක වුවද අම්මඩුවේ කුඩා කතරගම දේවාලයට නම් දෙවියන් වෙනුවෙන් කරන පුද සිරිත් කිසිවක් අමතක වී නැති බව ප්‍රදේවාසීන්ගේa විශ්වාසයයි. පෙළපතින් දේව රාජකාරියට කැපවුණු අයට දේව රාජකාරිය පවරන්නේ නම් මේ පුද සිරිත් කිසිවක් අකලට මියෑදෙන්නේ නැත.
තරංග රත්නවීර