නොරැවටෙන්න, මේ මායා ලෝකයයි

සිරිමහා බෝ සමිඳුන් සිප එන සුළඟේ. අපි මෙතෙක්‌ බොහෝ දේ කතා කළානේ. නිවැරැදිව අරි අටඟි මගෙහි පියවර තබන විට මතුවන ධම්ම විජය නුවණ, ප්‍රඥව හෙවත් ලොවේ සත්‍යතාවය පිළිබඳව ඇති වන්නාවූ අවබෝධය තුළින් මෙතැන් සිට ඉදිරියට සාකච්ඡා කරමු අපි. 'කාලේන ධම්ම සාකච්ඡා ඒතං මංගල මුත්තමං'.

නීවරණ ධර්මතා සඟවා දැහැන්ගත වී ඇතිකරගත්ත චිත්ත පාරිශුද්ධිය තුළින් විමර්ශනයක යෙදෙම අපි. කුමක්‌ද? කුමක්‌ ගැනද..?

බුදුපියාණෝ අපට හෙළි පෙහෙළි කර දුන් මේ මායාකාරී ලෝකය ප්‍රඥව තුළට සේන්දුවන ආකාරය. නුවණැසින් දර්ශනය වන ආකාරය.

එහෙම නම් ඔබට කිව හැකිද සුළඟේ, සත්වයා මේ තෙරක්‌ නොමැති සංසාරයේ ඇදගෙන යන බලවේගය කුමක්‌ද කියල. ඒ තමයි... මායා වේශයෙන් අප කරා එන ආත්ම දිට්‌ඨිය. ඉන්නවා තියනවා කියන මේ ආත්මීය සංකල්පය නිසා තමයි සත්වයා ලෝකය දිහා අනුවණින් බලන්නේ. ඒ නිසයි අසරණභාවයට පත් වන්නේ. වැරැදි දැකීමක්‌ ඇති වන්නේ. අංගුත්තර නිකායේ අයෝනිසෝ මනසිකාර සූත්‍රය කියනවා 'මහණෙනි, අනුවණින් මෙනෙහි කිරීම මහත් අනර්ථය පිණිස පවතී. මෙබඳු වූ අන් එක ධර්මයකුදු මම නොම දකිමි' කියා. ඒ නිසයි සත්වයා අසරණභාවයට පත්වෙලා ඉන්නේ. වැරැදි දැකීමක්‌ ඇතිවී තිබෙන්නේ. ඒ තමයි සුළඟේ, 'සක්‌ඛාය දිට්‌ඨිය' කියන සත්වයා භවයට බැඳුණු පළමුවන සංයොජනය වන්නේ. ලෝක සත්‍ය හෙළි කරගෙන ඒ සංයෝජන බිඳ දමන අයුරු හෙළිදරව් කරගෙනයි බෝසතාණෝ එදා බුද්ධත්වයට පත්වූයේ.

ලොකෝත්තර භාවයට පත්වී නිවනින් සැනසීමට නම් අපි භව සංයෝජන, භව බන්ධන සියල්ලම ලිහාගන්නම ඕන. මුලින්ම ලිහාගත යුත්තේ මේ සක්‌ඛාය දිට්‌ඨිය නමැති බන්ධනයයි. සත්‍ය දැකීම තුළින් සක්‌ඛාය දිට්‌ඨිය ලිහාගත්තාම කිසිදු ආයාසයකින් තොරව නිරායාසයෙන්ම විචිකිච්ඡාව, සීලබ්බතපරාමාස කියන සංයෝජන දෙකද ගැලවී යයි. කුමක්‌ද එසේ වීමට හේතුව?

හේතුව තමයි... කෙනෙක්‌ නොමැති බව වටහාගෙන ප්‍රථම වතාවට චතුරාර්ය සත්‍යය ස්‌පර්ශ කළානම් සැකයක්‌ ඇතිවීමට කිසිදු හේතුවක්‌ නැහැනේ තමා නිසි තැනට පැමිණ ඇති බවට. ආව පාර නිවැරැදි නිසානේ චතුරාර්ය සත්‍ය ස්‌පර්ශ කිරීමට, අවබෝධ කිරීමට හැකි වූයේ. 'ඒකායනෝ අයං භික්‌කවේ මග්ගෝ' එකම මඟක්‌ නම් තියෙන්නේ, ඒ පාරෙන් තමා නිසි තැනට පැමිණියේ නම් නිවැරැදියි නේද? වෙනත් මං නොමැති බව නොවැටහෙන්නේද? එසේ නම් සීලබ්බත පරාමාස නමැති භව සංයෝජන නිරායාසයෙන්ම සිඳී බිඳී ගිය බව නොවැටහෙන්නේද? පළමුවන වතාවට සත්‍ය අවබෝධ වූ කළ සක්‌ඛාය දිට්‌ඨිය, , සීලබ්බතපරාමාස යන භව සංයෝජන තුනම සිඳී බිඳී යන්නේ එලෙසනේ සුළඟේ.

ඉතිරි සංයෝජන කාමරාග, පටිග, රූප රාග, අරූප රාග, මාන, උද්දච්ඡ, අවිද්‍යා යන සංයෝජන ආත්මභව හතක්‌ තුළදී ගැලවී යා යුතුමය. ඒ ස්‌වභාව දහමේ නියමයයි.

මේ සත්‍ය දර්ශනය කරගැනීම පිණිස බුදුපියාණන්ගෙන් ලැබෙන මනරම් කර්මස්‌ථාන කෙතරම් අපූර්වද? ඇත්ත අවබෝධ නොකළහොත් ආත්ම දිට්‌ඨියෙන් මුලාවී අතරමං වන්නේ මේ 'මම' ය.

ලෝක විදු බුදු පියා

ලෝකයම හෙළි කළා

ලෝකයේ ඇත්ත තතු

දැක නිවී යනු කියා

ඉතින් සුළඟේ, ලෝකයේ ඇත්තම ඇත්ත තමයි කිසිම දෙයක්‌ නිත්‍ය නොවීම. මේ නිත්‍ය ලොවක්‌ නොවේ. සිඳෙන බිඳෙන ලොවකි. මායාවකි. 'ලු-ජතීතී පළු-ජතීතී ලෝකෝ' මුළු ලොවම අනිත්‍යය. අනිත්‍ය ස්‌වභාවය අප ඉදිරියේ යවුල් බෙර ගසද්දී අපි දෙසවන් යොමු කරන්නේ නැත. සඳ මෙන් බබලද්දී අපි නෙත් යොමු කරන්නේ නැත. වෙනස්‌වන ලෝකයේ නිත්‍ය නොවන ලෝකයේ තමා පමණක්‌ නිත්‍ය යෑයි සිතමින් කල් ගෙවනවා. අනිත්‍ය යෑයි කීවාට බැහැ. පළමුවන වතාවට චතුරාර්ය සත්‍යය අවබෝධ වී ස්‌ථිර විය යුතුමය'. 'මඟ හොඳට තිබේ නම් ඇයි මං මුලා වන්නේ'.

බුදුපියාණෝ හරිම ලස්‌සනට මාවත සුද්ධ කර දුන්නාට නැවත වල් බිහිවෙමිනුයි පවතින්නේ. ඒත් කම් නැත. වීර්යයෙන් පවිත්‍ර කරගෙන යන්න පුළුවන්කම තියෙනවා තාමත්. වීර්යය මතම තමා සියල්ල සිදුවන්නේ. වීර්යය තිබේ නම් අතීතයේ, ඊයේ, අනාගතයේ, හෙට කියමින් කල් මරන්න කොහෙත්ම ඕන නෑ. වර්තමානය එනම් මේ මොහොතේ තමයි සත්‍ය දැකගත හැකි වන්නේ. මේ අකාලික වූ දහමෙහි, බුදුපියාණෝ කියනවා 'මහණෙනි, ඇත්ත ඇති සැටියෙන් දැකීම මහත් අර්ථය පිණිස පවතී' කියා.

එහෙනම් සුළඟේ, ආත්මභාවය නමැති වැරැදි දැකීම, නිවැරැදි කරගත හැකිවන්නේ ක්‍රියාකාරීත්වය තුළින් සත්‍ය පිරිසිඳ දැකීමෙන් පමණි. එහෙනම් අපි සත්‍ය ගවේෂණයක යෙදෙමු මෙතැන් සිට.

ඉතින් සුළඟේ.. මේ ඉන්න මම කියන පුද්ගලයා විභේදනය කර සුන්බුන් බවට පත් කර ඊටත් එහායින් තිබෙන ලෝකයේ සත්‍ය ස්‌වභාවය වන හිස්‌ අවකාශය වටහාගෙන නිවී යැම තමයි මහා ප්‍රඥව කියන්නේ.

සුළඟේ... මම පුංචි වදනක්‌ කියන්නම් ඔබට. ලෝකයේ තිබෙන සියලුම දේවල් විභ-ජ වාදය අනුව බෙදා බැලූ කල අන්තිමට බෙදන්නට කිසිවක්‌ ඉතිරි නොවෙයි. කිසිත් නැත හිස්‌ අවකාශය පමණි. ඒකනේ... සුළඟේ... බුදුපියාණෝ ලෝකය මායාවක්‌ බව පවසන්නේ.

සුළඟේ... අපි බලමු... මේ 'මම' ඉන්නවානේ. අපි මුලින්ම සිතයි, කයයි බෙදා වෙන් කර බලමු. මම ඉන්නවාද දැන්? නැහැ.. නැහැ.. නැහැ.. ඉන්නවා කියන ආත්ම දිට්‌ඨිය අහෝසි වෙනවා. තියනවා කියන ආත්ම දිට්‌ඨිය නම් ඉතිරිවෙනවා. හිත... ඉන්නවාද? නැහැ. හිත තියෙනවා. කය.. ඉන්නවාද? නැහැ. කයද තියනවා. මම නැහැ. හිතක්‌ තියෙනවා. කයක්‌ තියෙනවා.

කයද බෙදූ කල කය නැතිවී ගොස්‌ කැබැලි තිස්‌ දෙකක්‌ පමණක්‌ ඉතිරි වෙයි. තාමත් තියෙනවා කියන ආත්ම දිට්‌ඨිය ඉතිරිව තිබේ. එහෙම නම් සුළඟේ... අපි ධාතු මනසිකාරය අනුව විභේදනය කර බලමු. මේ සියලුම කැබලි, පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන එකිනෙකාගේ සහයෝගයෙන් සහජාතව පවතින ශක්‌ති සතර නුවණැසින් වෙන්කර බැලුවාම කිසිත් නොමැත. ශුන්‍ය බවට නැතහොත් හිස්‌ අවකාශය බවට පත්වෙයි. ඇයි...? එකිනෙකාගේ සහයෝගය නැතිව එකඳු ශක්‌තියකටවත් තනියම පැවැතිය නොහැකි නිසයි ඒ. එසේ නම් මේ ලෝකය මායාවක්‌ නොවන්නේද?

මගේ සම්බුදු පියා

විභ-ජවාදය සොයා

බෙදාලා ලෝකයම

දිග හැරලා පෙන්නුවා



ලෝකයක්‌ නෑ මෙතන

මේක මායාවක්‌ය

භයානක බොරුවක්‌ය

හිතට ගනු ගැලවෙන්න



ඉවත් වනු වහා මිස

කියන්නට කිසිත් නැත

මෙන්න බුදු පණිවිඩය

ඔබ වෙතට ගෙනෙමි මම

ඉතින් සුළඟේ 'මම' විභේදනය කර බලන විට සිතකුයි, කයකුයිද, කය බෙදා බලන විට කැබලි තිස්‌ දෙකක්‌ද, කැබලි සියල්ල බෙදා බලන විට කිසිත් නොමැති බවද වටහා ගනිමින් බුදුපියාණෝ ලෝක මායාව හෙළිකරගෙන ඇත්ත දැක නිවී යැමට මේ බඹයක්‌ දිග කය නිර්දේශ කළහ.

ඒත් ඉතින් සුළඟේ, මමත්, නැහැ. කයත් නැහැ. නමුත් තාමත් හිත තියෙනවානේ..?' 'අන්තෝජටා බහිජටා ජටාය ජටිතොපජා' හොඳයි එහෙම නම් අපි 'හිත' පිළිබඳව විමර්ශනයක යෙදෙමු අපි මුණගැසෙන ඊළඟ දිනයේ. සීලයේ පිහිටලා සමාධිමත් වෙලා සමාධියෙන් ඇතිවන උපේක්‌ෂා බලයෙන් විමසලා අපි ප්‍රඥව පහළ කර ගනිමු. තුණුරුවන් සරණයි ඔබට. ආයුබෝවන් යළිත් අපි මුණගැසෙන තුරා....!

divaina

Post a Comment

0 Comments