සදාචාරය සහ සාරධර්ම

ඇතැම්විට සදාචාරය හා සාරධර්ම අතර සමානතා මෙන්ම අසමානතා ද විද්‍යමානවේ. සදාචාරය සැමවිටකදීම විශ්ව සම්මතයට අනුකූලය. සාරධර්ම සංස්‌කෘතික පසුතලයට සාපේක්‌ෂව වෙනස්‌ වේ. මනුෂ්‍යත්වය පිළිබිඹු කරවන සාරධර්ම හැම විටකදීම උසස්‌ය. මිනිස්‌ සමාජයේ ඒකීයත්වය සුරක්‍ෂිත කිරීමේලා සාරධර්ම වැදගත් කාර්යභාරයක්‌ ඉටු කරනු ලබයි. ඒ නිසා සෑම විටකදීම සාරධර්ම සමාජය තුළ පැවැතිය යුතුය. සාරධර්ම සියලු දෙනාගේම ගෞරවයට ලක්‌ විය යුතුය. මානව සමාජයේ සුරක්‍ෂිත පැවැත්ම සහතික කරනුයේ සාරධර්ම මගිනි. සාරධර්මවල යම් සීමාවක්‌ විද්‍යමාන වේ නම් ඒ එකී සාරධර්ම අයත් මානව කණ්‌ඩායම සතු වපසරියයි. මේ නිසා විවිධ ආගම්, ජාති, සංස්‌කෘති, භාෂාව හා පංතිවලට අයත් සාරධර්ම වෙන් වෙන්ව පවතියි. සමහර සාරධර්ම බොහෝ මානව කණ්‌ඩායම්වලට පොදු අනන්‍යතා ලක්‍ෂණ ප්‍රකට කරයි. තවත් සමහර සාරධර්ම සමානතාවට වඩා විවිධත්වය හා ප්‍රතිපක්‍ෂය පෙන්වයි. ඇතැම් විටකදී මෙසේ සාරධර්ම විවිධ හා ප්‍රතිපක්‌ෂ වන හෙයින් එසේ වෙනස්‌කම් දක්‌වන පුද්ගලයන් අතර ගැටලු හා අර්බුද පැණනඟියි. මෙබඳු ගැටලු මතුවූ අවස්‌ථාවේදී ඒවා සදාචාරයට කෙතරම් එකඟ වන්නේ දැයි සැලකීම නිවැරදි බවට හේතුවකි.

සියලුම සාරධර්මවලට එක හා සමාන විය නොහැකි මන්දැයි මෙබඳු අවස්‌ථාවේදී පැනයක්‌, ඇතිවේ. එසේ නොවෙනස්‌ වන සාරධර්ම ලෝකයේ කුමන ආගමක, සංස්‌කෘතියක හෝ භාෂාවක නොමැත. සාරධර්මවල පදනම සැකසී ඇත්තේ සමාන අදහස්‌ හා ආකල්ප දරන පුද්ගල කණ්‌ඩායම් අතර බැඳීම වර්ධනය කිරීම වන හෙයින් එකී විවිධතාව විද්‍යා මාන වීම සාමාන්‍ය කරුණකි. සමාන පුද්ගල කණ්‌ඩායම් එකට බැඳ තබන අතර විවිධතා දක්‌වන මානව කණ්‌ඩායම්වල විද්‍යමාන විවිධත්වය වඩාත් ඉස්‌මතු කරලීම සාරධර්ම මගින් නිරායාසයෙන් සිදු වේ. නමුදු සාරධර්ම කොට්‌ඨාස අතර සදාචාරය පදනම් කරගත් සාරධර්ම හුදෙක්‌ මෙකී තත්ත්වයට වඩා හාත්පසින්ම වෙනස්‌ය. සදාචාරය පදනම් කරගනු ලැබූ සාරධර්ම ආගම, සංස්‌කෘතිය, භාෂාව ආදී පටු දෘෂ්ටියක සිරවී නොමැති හෙයින් එහි වඩා පුළුල් දර්ශනයක්‌ ගැබ්වී ඇති බව පෙන්වා දිය හැක. නමුදු සදාචාරය පදනම් වූ සාරධර්ම ඇත්තේ ඉතා අවම ප්‍රතිශතයකි.

සාරධර්ම හා සදාචාර ව්‍යවහාරය

පංචශීල ප්‍රතිපදාවේ අන්තර්ගත වනුයේ ද සාරධර්ම පද්ධතියකි. සැදැහැවත් බෞද්ධයෙකු තුළ පැවතිය යුතු මූලික ගුණයහපත්කම පංචශීල ප්‍රතිපදාව මගින් ඉදිරිපත් වේ.බුදුරදුන් විසින් අනුදැන වදාළ නමුදු පංචශීල ප්‍රතිපදාව තුළ අන්තර්ගත වනුයේ බුදුදහමට පමණක්‌ සීමා වූ සාරධර්ම වපසරියක්‌ නොවේ. පංචශීල ප්‍රතිපදාවෙන් ඉදිරිපත් වන මුලික සදාචාරමය ප්‍රස්‌තුත පහ මෙලොව වාසය කරන ඕනෑම අයෙකුගේ නිරර්බුද පැවැත්මට අදාළය. එබැවින් මේ තුළ හුදෙක්‌ බෞද්ධ සාරධර්මවලට පමණක්‌ සේ සීමා කර දැක්‌විය නොහැකි විශ්වමය සදාචාර පද්ධතියක්‌ ගැබ්වේ. ජීවත් වීමේ අයිතිය, පෞද්ගලික දේපළ අයිතිය, නිරර්බුද පවුල් සංස්‌ථාව, සත්‍ය සන්නිවේදනය හා නොමුළාවූ සිsහිය සහිතව සාවද්‍ය පෙළඹීම්වලින් තොරව කටයුතු කිරීමේ අයිතිය යන මූලික සදාචාර ප්‍රස්‌තුත පහ මෙමගින් ඉදිරිපත් කෙරේ. මෙම මූලික සදාචාර ප්‍රස්‌තුත පහ නොබිඳ කටයුතු කිරීම මගින් සමාජ සංස්‌ථාවන්හි පැවැත්ම සුරක්‍ෂිත වේ.

මෙබඳු සාරධර්ම පද්ධති ආගම ඇසුරේ මෙන්ම ඉන් පරිබාහිරව වුවද පැවැතිය හැක. ඇතැම් විට ආගම මගින් නිර්දේශිත ඇතැම් සාරධර්ම සදාචාරයට පටහැනි අවස්‌ථාවද මතුවිය හැක. මුස්‌ලිම් ජනතාව වෙසෙන රටවල ඉස්‌ලාම් දහමේ නිර්දේශිත ආගමික සාරධර්ම මත පදනම්ව එරට නීතිය ක්‍රියාත්මක වේ. මේ නිසා එරටවල අධිකරණ පද්ධති මගින් විද්‍යමාන වනුයේ ඉස්‌ලාම් දහමේ නිර්දේශිත දණ්‌ඩන ක්‍රමයකි. මරණීය දණ්‌නය, අවයව සිඳීම, කස පහරදීම වැනි දඬුවම් ක්‍රම වරදකරුවන් සඳහා භාවිත වනුයේ එබැවිනි. මරණීය දඬුවම වුවද එල්ලා මැරීමට අමතරව හිස සිඳ දැමීම, වස පෙවීම, විදුලි පුටුවේ හිඳුවීම, වෙඩි තැබීම, ගල්ගසා මැරීම, උග්‍ර විෂ සහිත රසායනික එන්නත් ලබාදීම වැනි කෲරතර ක්‍රම භාවිත වීම සිදුවනුයේ එබැවිනි. මරණ දඬුවම පැණවීම පවා සම්මත සදාචාරය අනුව සාවද්‍ය වන විටක එම දඬුවම් දීමේ ක්‍රමවේදය අතිශයින්ම ම්ලේච්ඡ ස්‌වභාවයක්‌ ගැනීම ශිෂ්ට සම්පන්න මනුෂ්‍ය සමාජයට පමණක්‌ නොව සාමාන්‍ය සත්ව ස්‌වභාවයට වුවද නොගැළපේ. යම් පුද්ගලයකු නිදහසේ දිවිගෙවීම සමාජයට අනතුරුදායක වනුයේ නම්, කළ යුතු වඩා නිවැරැදි දේ වනුයේ ම්ලේච්ඡ කෲර ක්‍රම භාවිතකර ඒ පුද්ගලයාගේ දිවි තොර කිරීම නොව පුනරුත්ථාපනය කර නැවත සමාජයට ප්‍රවිශ්ඨ කළ හැකි මට්‌ටමකට පත්කිරීමයි. අංගුලිමාල තෙරුන් පිළිබඳ පුවතින් පැහැදිලි වනුයේ සමාජය පිලිකුල් කළ දරුණු මිනීමරුවකු අර්හත් ශ්‍රාවකයකුගේ මට්‌ටමට සංවර්ධනය කළ හැකි බව බුදුරදුන් ඉතා ප්‍රායෝගිකව පෙන්වා ඇති අයුරුයි. මෙය බෞද්ධ අධ්‍යාපන මනෝවිද්‍යාවේ ඇති සුවිශේෂීතාවයයි.



කිසියම් සාරධර්ම පද්ධතියක්‌ සම්මත සදාචාර ව්‍යවහාරය ඉක්‌මවා ක්‍රියා කිරීම සාවද්‍යය. සාරධර්මවල සීමාව නම් සදාචාරයයි. සාරධර්ම කිසිසේත් සදාචාරය නොඉක්‌මවිය යුතුය. සාරධර්ම යනු සදාචාරයේ උපකුලකයක්‌ මිස කිසිදු විටක සාරධර්ම සදාචාරයේ සර්වත්‍ර කුලකය කර නොගැනීමට තරම් අප ප්‍රවේශම් හා බුද්ධිමත් විය යුතුය. සමය, සංස්‌කෘතිය, භාෂාව හා ජාතිය බඳු දේ නිසා අප තුළ ගොඩනැඟê ඇති සාරධර්ම කිසිදු අවස්‌ථාවක සම්මත සදාචාරය නොඉක්‌ම වීමට වගබලා ගැනීම යහපත්ය. එබඳු දේ නිසා මානවයා වහා ආවේගශීල Sවීමට ඉඩ ඇති බැවින් සාරධර්ම සුරක්‍ෂිත කිරීම පිණිස යෑයි සිතා සදාචාරය කඩකිරීමට පෙළඹිය හැකි අවස්‌ථාවලින් හැකිතාක්‌ ඉවත්ව කටයුතු කිරීම වැදගත්ය. සමහරු ඒ බැව් හොඳින් දැන දැනම බලලෝභය නිසා අනුන්ව ඒ සඳහා සාවද්‍ය සේ පොළඹවනු පෙනේ. යමෙකු නොදැන වැරදි කිරීමට වඩා හොඳින් දැන වැරදි කිරීම මහත් බරපතල අපරාධයක්‌ වනුයේ එබැවිනි. නීතිය අනුව පවා එබඳු අයට කිසිදු අවස්‌ථාවකදී අධිකරණයෙන් සමාවක්‌ නොලැබේ. බුද්ධිය, උගත්කම අසරණයන් රැකීම පිණිස භාවිත කළ යුතු මිස ඔවුන්ව වඩාත් පෙළීම හා සිය කුටුම්භ සංරක්‍ෂණය පිණිසම භාවිත කිරීම අනර්ථකාරීය.

කාලීන බව හා ආගමික ප්‍රතිමාන

රටක නෛතික ව්‍යවස්‌ථාව සකස්‌ කිරීමට බෙහෙවින් උපස්‌ථම්භක වනුයේ සදාචාරයයි. ඇතැම් අවස්‌ථාවල දී කිසියම් රටකට, සංස්‌කෘතියකට, ජාතියකට, භාෂාවකට හෝ පුද්ගල කොට්‌ඨාශයකට අනන්‍ය වූ සාරධර්ම පවා මේ සඳහා උපස්‌ථම්භක වේ. මෙබඳු සාරධර්ම පවා සම්මත සදාචාරය සමග නොගැටී එක්‌ව පවතින්නේ නම් එහි කිසිදු වරදක්‌ නැත. මෙහි වරද වන්නේ මෙබඳු පැනවීම සම්මත සදාචාරය සමග ගැටෙන අවස්‌ථාවලදීය. එවිට කුමක්‌ සිදු කළ යුතු ද යන ගැටලුවකට මිනිසුන්ට මුහුණ පෑමට සිදුවේ. දාර්ශනික දෘෂ්ටිකෝණය අනුව හා ආචාර විද්‍යාව අනුව එබඳු අවස්‌ථාවලදී ක්‍රියා කළ යුතු වනුයේ සාරධර්ම අනුව නොව සදාචාරය අනුවය. එබඳු අනුචිත සාරධර්ම නෛතික ව්‍යවස්‌ථා සඳහා භාවිත කිරීමෙන් වැළකීම වැදගත් වනුයේ නෛතික ව්‍යවස්‌ථාවේ නීතිරාමුව උල්ලංඝනය කිරීමට සම්මත සදාචාරය මගින්ම අවස්‌ථා සැලසීම කිසිසේත් යෝග්‍ය නොවන හෙයිනි. නෛතික ව්‍යවස්‌ථාව හා සදාචාරය අතර ගැටලු ඇතිවිය හැකි එබඳු පැනවීම නොතිබීම රටක ශක්‌තිමත් නෛතික ව්‍යවස්‌ථාවක්‌ ක්‍රියාත්මක වන බවට එක්‌ වැදගත් සාධකයකි. මිනිසුන් අතර සදාචාරය සුරක්‍ෂිත කිරීම නීතිය මගින් අපේක්‍ෂිත ප්‍රධානතම කාර්යයක්‌ වේ.

සදාචාරය රටවල්, සංස්‌කෘති, ජාති, භාෂා හෝ පුද්ගල කොට්‌ඨාස අනුව සීමා කර දැක්‌විය නොහැකි බැවින් සාරධර්ම හා සදාචාරය අතර ගැටලු පැනනැඟුණු අවස්‌ථාවලදී ක්‍රියා කළ යුතු වනුයේ වඩා පුළුල් පදනමකින් යුක්‌ත සදාචාරය අනුවය. නමුදු මේ තත්ත්වය විද්‍යාත්මකව අවබෝධ කර නොගත් අය සදාචාරය ඉවතලා සාරධර්ම පමණක්‌ සුරක්‍ෂිත කළ යුතු බව පවසනුයේ සාරධර්මවලට හිමි සීමාසහිත බව සැලකිල්ලට නොගනිමිනි. එසේම සිය අභිමත සාරධර්ම මූලික කරගැනීම නිසා වෙනත් අය විසින් ගරු කරන සාරධර්ම යටපත් විය හැකි බවද සිහියට ගැනීම වටී. බෞද්ධයින් සිද්ධස්‌ථානකට ප්‍රවේශවීමේදී හිස්‌වැසුම් ඉවත් කරන අතර ඉස්‌ලාමිකයින් සිය සිද්ධස්‌ථානවල ආගමික වතාවත්වලදී හිස්‌ වැසුම් පැළඳීම අනිවාර්යය. බොදු සංස්‌කෘතික සාරධර්ම අනුව හිස්‌ වැසුම් ගැලවීම මගින් ආගමික ගෞරවය සංකේතවත් කෙරෙන අතර ඉස්‌ලාම් සංස්‌කෘතික සාරධර්ම අනුව හිස්‌ වැසුම් පැළඳීමෙන් සිය ආගමික ගෞරවය පළ කරනු ලබයි. බෞද්ධ දෘෂ්ටිකෝණය අනුව විවාහය හා අඹුසැමි සබඳතා එක්‌වෛවාහික සහකාරියකට හෝ සහකරුවෙකුට සීමා විය යුතුවීම සාරධර්මයක්‌ සේ පිළිගැනෙන අතර ඉස්‌ලාමික දෘෂ්ටිකෝණය අනුව විවාහය හෝ අඹුසැමි සබඳතාව සහකාරියන් සත්දෙනෙකු දක්‌වා දීර්ඝවීම සාරධර්ම සම්බන්ධයෙන් ගැටලුවක්‌ නොවන බව දක්‌වා තිබේ. මෙහිදී සදාචාරය අනුව සැලකීමට වඩා කාලීන සමාජ අවශ්‍යතාවයට මුල් තැනක්‌ ලබා දී ඇති බව පෙනේ.

වෙනත් ආගම්වල පූජක පක්‍ෂයට මුදල් භාවිතය එම ආගමික සාරධර්ම අනුව සාවද්‍ය නොවෙතත් බෞද්ධ භික්‌ෂූන් වහන්සේලාට ස්‌ථවිරවාදී ප්‍රාතිමොක්‍ෂ විනය නීති පද්ධතිය යටතේ අකැපය. සර්වාස්‌තිවාදී, මහා සාංඝික වැනි වෙනත් ස්‌ථවිරවාදී නොවන සම්ප්‍රදායන්වල කාලීන සමාජ අවශ්‍යතාවක්‌ සේ සලකා පිළිගත් දසවස්‌තුවට මුදල් භාවිතය ඇතුළත් කර ඇත. නමුදු කාලීන සමාජ අවශ්‍යතාවන්වල විපර්යාසයන්හි ගොදුරක්‌ නොවී බුද්ධ වචනයේ ඓතිහාසික නියම ස්‌වරූපය එලෙසින්ම සුරක්‍ෂිත කළ ලක්‌දිව මහාවිහාරීය සම්ප්‍රදාය ගුරුකොට සැලකූ ස්‌ථවිරවාදී පක්‍ෂය මුදල් භාවිතය මූලික භික්‌ෂු පරමාදර්ශ හා නොසැසඳෙන බැවින් එය ප්‍රතික්‍ෂේප කළහ. එය ඇවතක්‌ වනුයේ ස්‌ථවිරවාදී භික්‌ෂු සාරධර්ම අනුව මිස සදාචාරයට නොගැලපෙන නිසා නොවේ. මුදල් භාවිතය සාමාන්‍ය සදාචාරයට එකඟය. මේ නිසා භික්‌ෂූන් වහන්සේලා මුදල් භාවිත කිරීම රටේ නෛතික ව්‍යවස්‌ථාව යටතේ දඬුවම් ලබාදිය හැකි වරදක්‌ නොවේ. එය අවතැන් වනුයේ ථෙරවාදී භික්‌ෂු ප්‍රතිමානවලට පමණක්‌ නොගැලපෙන බැවිනි. එම නිසා මුදල් පරිහරණයෙන් වැළකීම ථෙරවාදී භික්‌ෂු සාර්ධර්ම හා ප්‍රතිමානවලට පමණක්‌ ගැලපෙන බව සැලකීම වඩා උචිතය.

සමාජ ආකල්ප හා මානව සබඳතා

බ්‍රහ්මචර්ය වාසය හෙවත් ලිංගික ජීවිතයෙන් මුළුමනින්ම වැළකීම ථෙරවාදී භික්‌ෂු සම්ප්‍රදායයට අනන්‍ය වූ සාරධර්මයකි. වෙනත් ආගම්වල පූජක පක්‍ෂය විෂයයේ මෙබඳු සාරධර්මයක්‌ ක්‍රියාත්මක නොවේ. නෛෂ්ක්‍රම්‍යය යන සාරධර්මය ස්‌ථවිරවාදී විනය ශික්‍ෂපාද මගින් අධි ශීල, අධි චිත්ත හා අධි ප්‍රඥා ශික්‍ෂාවන් මගින් හික්‌මවන භික්‌ෂූන් වහන්සේලා සතුව පැවැතිය යුතු මූලික භික්‌ෂු ප්‍රතිමානයක්‌ වූ බඹසර හැසිරීම ලෙස දක්‌වා ඇත. නමුදු සාමාන්‍යයෙන් විවාහයට ඇතුළත්ව ලෝකසම්මතව ලිංගික දිවියක්‌ ගෙවීම සාවද්‍ය චර්යාවක්‌සේ නොසැලකේ. ගිහියෙකු තනිකඩව ජීවිතාන්තය දක්‌වා දිවි ගෙවීම නම් ඇතැම් විටක අනුන්ගේ වැරදි ආකල්පවලට ලක්‌වීමට හේතුවක්‌ විය හැක. නමුදු හුදෙක්‌ ලිංගික බෙලහීනතාව හැර වෙනත් පුද්ගලික හා සමාජයීය හේතු නිසාද ඒ ආකාරයෙන් දිවිගෙවන අය මේ සමාජයේ නොමැතිවා නොවේ. අනාගාමී මාර්ගඵලයට ගිහිs පැවිදි බේදයකින් තොරව පත්විය හැක. අනාගාමි වීමේදී කාමරාග පටිඝ සංඥා සියල්ල ප්‍රහීණ වී යයි. බුදුරදුන් ධරමාන කාලයේදී එබඳු අය බහුලව වාසය කර ඇති බව ඡත්තපාණි හා ධම්මික උපාසක වැනි චරිත අනුව පැහැදිලි වේ. අනාගාමී මගඵලපත් ගිහි උවසුවෙකු තුළ කාමරාග ප්‍රහීණ බැවින් විවාහය හෝ ලිංගික දිවියට රුචිකත්වයක්‌ ඇති නොවීම ස්‌වාභාවිකය. එය නෂ්ටකාම හෝ ලිංගික බෙලහීන බව නිසා ඇතිවන්නක්‌ නොව මතු නැවත සසර නූපදින පරිදි ප්‍රහීණකර ඇති ආශ්‍රව රහිත බව නිසා ඇතිවන්නකි. අද ඇතැම් අය අතර පිරිසිදු පැවැත්ම පිළිබඳ යම්කිසි උනන්දුවක්‌ දක්‌නට ලැබේ. බොහෝ විට ගිහිව සිට විදර්ශනා භාවනාවේ යෙදීම නිසා කාමාශාව අඩු කළ අය සිටිය හැක. ඔවුන් පැවිදි නොවුණද භික්‌ෂූන් හා සමානව ජීවත් වන උදවිය බව සැලකිය හැක.

ජෛන සාධුවරුන් වර්තමානයේ පවා ඉන්දියාවේ සුලබව වාසය කරන බව දැකගත හැකිය. ජෛන පැවිදි සම්ප්‍රදාය දිගම්බර හා ශ්වේතාම්බර යනුවෙන් දෙකොටසකි. මින් ශ්වේතාම්බර කොටස සිය වස්‌ත්‍ර ලෙස සුදු ඇඳුම් භාවිත කරන අතර යටිකයේ යම්තම් විළි වැසීම සඳහා ඉතා කෙටිරෙදි කඩක්‌ පමණක්‌ ඔවුහු හඳිති. දිගම්බරයින් දිසාව සිය වස්‌ත්‍ර ලෙස සලකන අතර ඔවුහු සම්පූර්ණයෙන්ම නග්නව වෙසෙති. මුළුමනින්ම නග්ග බව පිරිසිදු උසස්‌ ජෛන සාරධර්මයක්‌ සේ සැලකේ. නිඝණ්‌ඨ යන වචනයේ නිරුක්‌ති සේ ඔවුන් දක්‌වනුයේද කෙළෙස්‌ ගැට නොමැති බවයි. ඇඳුම් හැඳීම කෙළෙස්‌ ඇතිවීමට හේතුවක්‌ බව සලකන ඔවුහු පරිපූර්ණ චිත්ත පවිත්‍රතාව නග්න බවින් ලැබිය යුතු බව සලකති. නමුදු සාමාන්‍ය සදාචාරය අනුව නග්න බව තදබල අශිෂ්ට ක්‍රියාවක්‌ සේ සැලකේ. මේ නිසා ජෛන සමය සාරධර්ම හා ශිෂ්ට ලෝක සම්මත සදාචාරය අතර ගැටලුවක්‌ මෙහිදී පැනනඟින බව පෙනේ. ලෝක ව්‍යවහාරය අනුව නිරුවත හා ලිංගිකත්වය අතර සබඳතාවක්‌ ඇතැයි ඔවුන් විසින් වරදවා හඟින බැවිනි. මෙහිදී සදාචාරය අර්ථ කථනය කරනු ලබන ආකාරයේද සුළු දුබලතාවක්‌ පවතින බව පෙනේ. නිරුවත හෝ අඩනිරුවත වුවද ලිංගිකත්වය උද්දීපනය කළ හැකිය. නමුදු ලිංගිකත්වය නිරුවතෙහි අනිවාර්ය ප්‍රතිඵලයක්‌ නොවන බව නොදැනීම මීට හේතුවයි. නිරුවත නැතිව වුවද කාමය, උද්දීපනය විය හැක. සිරුරේ සැබෑ අවලක්‍ෂණ නිරුවත තුළින් හෙළි වේ. වස්‌ත්‍ර සිරුරට අලංකාරය එක්‌ කරයි.

විවිධ අවස්‌ථාවලදී සමාජයේ පිළිගැනීම් අනුව සාරධර්ම හා සදාචාරය අතර ගැටුම්කාරී තත්ත්වයක්‌ ඇතිවන බව පෙනී යයි. එසේම සාරධර්ම අතර පවා එකිනෙක ප්‍රතිවිරෝධී අවස්‌ථා මතුවිය හැක. වඩා ප්‍රබල සංස්‌කෘති, ආගම්, ජාති යන මානව කොට්‌ඨාසවල සාරධර්ම දුබල මානව කොට්‌ඨාසවල සාරධර්ම යටපත් කරනු දැකිය හැක. බටහිර ජාතීන්ට දිගුකලක්‌ යටත් විජිතයක්‌ව තිබූ බැවින් නිවහල් රටක්‌ව අතීතයේ පැවැති සාරධර්ම වෙනුවට බටහිර රටවල ව්‍යාප්තව ඇති ඇතැම් සාරධර්මවල ආභාසය මෙරටටද ලැබී තිබේ. එබඳු ඇතැම් සාරධර්ම මෙරට ජන සංස්‌කෘතියට කිසිසේත්ම නොගැලපෙන ඒවා වුවද බටහිර ගැති ස්‌වරූපය යටත් විජිත මානසිකත්වය මගින් සකස්‌ කර තිබීම නිසා කිසිදු අපහසුවකින් තොරව ඒවා මෙරට තුළ ශීඝ්‍රව ව්‍යාප්ත වෙමින් පවතී. සංවර්ධන කාර්යයන් සඳහා උපදෙස්‌ පතා අප අත දිගු කරනුයේ බටහිර රටවල මිණුම්දඬු වෙත වීම මානසික ගැති බව ප්‍රදර්ශනය වන මෙබඳු එක්‌ අවස්‌ථාවකි.

දර්ශනපති සුජිත් නිශාන්ත හේවගේ

Post a Comment

0 Comments