රාගය ගින්නකි ජීවිත වනසන

ඔබට මෙම ලිපියෙන් පෙන්වා දෙන්නේ මංගල සූත්‍රයේ සඳහන් තිස්‌හත්වැනි මංගල කරුණ වූ 'විරජං නම්වූ රාගාදී කෙලෙස්‌වලින් බැහැරවූ සිතක සැනසුම පිළිබඳවයි. රජස්‌ බැහැර කිරීම නම් කෙලෙස්‌ නම් වූ දූවිලිවලින් බැහැරවීමයි. බුදුදහමෙහි ප්‍රධාන වශයෙන් කෙලෙස්‌ තුනක්‌ මතුකොට දක්‌වයි. එනම් රාගය (ඇලීම), ද්වේෂය (තරහව) සහ මෝහය නම් වූ මුළාවයි.

බුදුරජාණන් වහන්සේගේ පැහැදිලි කිරීම් අනුව මනුෂ්‍යයන්ද ඇතුළුව සියලුම සත්වයින් දීර්ඝ කාලයක්‌ සසරෙහි දුක්‌විඳ තිබේ. එය පැහැදිලි කළේ අස්‌සු සූත්‍රයේදී 'දීඝරත්තං වො භික්‌ඛවේ දුක්‌ඛං පච්චනුභූතං' යනුවෙනි. දීර්ඝ වූ පැමිණි සසර ගමනේදී මෙන්ම මෙම ජීවිතයේද බොහෝ දුක්‌ඛ දොaමනස්‌සයන්ට සැබෑ හේතුව විමසා බලන්න. නුවණින් විමසා බලන්න. මෙම රාගය නම් වූ ආලය නිසා නොවේද? ආලය, ඇලීම, බැඳීම්, ආදරය, සෙනෙහස ආදී මේවායින් තොරව කෙසේ නම් ජීවත් වන්නේදැයි ඔබ විසින් සිතින් ප්‍රශ්න කරනු ඇත. ඔබට 'නැතුව බැරි' යෑයි ඔබ විසින් පවසන ඔය ආලය, ඇලීම, ආදරය නිසාම කොපමණ හඬා තිබේද? කොපමණ කඳුළු සලා තිබේද? සුදුම් හෙළමින් බලාගත් දෙසම බලාගෙන කල්ගතකොට තිබේද? මට සාපිපාසවක්‌, බඩගින්නක්‌ දැනෙන්නේ නැතැයි පවසමින් කයටද, සිතටද දුක්‌ දෙමින් හඬා වැටී තිබේද? මෙය රාගයේ හෙවත් ආලය නම්වූ ඇලීමෙහි ප්‍රතිවිපාකයන්ය.

එමෙන්ම රාගය නම්වූ කාම ආශාවෙන් යුතු ආලය හෝ ඇලීම, බැඳීම නිසා ලබන වේදනාව කොපමණද?

වරෙක තාවකාලික සුවයක්‌ දැනුනද, රාගයෙන් මත්ව, රාගයෙන් අන්ධව ක්‍රියාකිරීම නිසා තමාටත් අන් අයටත්, පරිසරයටත්, මිනිස්‌කමටත් සිදුවූ විපත නම් කෙසේ කවර ආකාරයකින් සඳහන් කරන්නද? ලෝකයේ පැවැත්ම සිදුවන්නේ රාගය සමගිනි. ලෝකය පවතින්නේ රාගය නිසා පිළිස්‌සෙමින් සහ අපමණ වූ දුක්‌ දොම්නස්‌වලින් පිරීනම්, අඩුම තරමේ රාගයේ පාලනයක්‌ ඇතිවීම හෝ රාගයේ පාලනයක්‌ ඇතිකිරීම අවශ්‍යය. ලොව පැවැත්මේදී රාගයෙන් සිදුවන විනාශය අඩ කර ගැනීමට හෝ තරමක්‌ හෝ නිදහස්‌වීමට බුදුදහමේ ශික්‌ෂාපදයක්‌ පෙන්වාදී ඇත. ගෘහස්‌ථ ජීවිතයක්‌ ගතකරන ඔබට ලබාදී ඇති නාමය නම් උපාසක - උපාසිකා නම් වෙයි. ඔබ විසින් ආරක්‌ෂා කළ සීලය වන්නේ පඤ්ඤසීලයයි. මේ බව පළමුවැනි මහානාම සූත්‍රයෙහි සඳහන් වෙයි. මෙම පඤ්චසීල ප්‍රතිපදාවෙහි තුන්වැනි ශික්‌ෂාපදය වන්නේ 'කාමේසු මිච්ඡාචාර වේරමණී සික්‌ඛා පදං සමාදියාමි' නමිනි. 'කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළකීමේ ශික්‌ෂා පදය සමාදන් වෙමි' නම් අදහස එහි ගැබ්වෙයි. විවාහ ස්‌වාමි පුත්‍රයෙක්‌ හෝ ස්‌වාමි දියණියක්‌ විසින් ඔවුනොවුන්ගෙන් බාහිරව කාමයන්හි හැසිරීම නම් කාමයෙහි වරදවා හැසිරීමයි. මෙසේ කාමයෙහි වරදවා හැසිරීම නම් රාගය තමා කෙරේත් අන්‍යයන් කෙරේත්, පරිසරය කෙරේත් විනාශය පිණිස බලපවත්වන්නට පටන් ගැනීමයි. පළමුකොට තමා කෙරේම ඇතිවන්නාවූ ආධ්‍යාත්මික පිරිහීමකි. විනාශයකි. දෙවනුව පරිසරය නම් මිනිස්‌ ප්‍රජාවගේ විනාශය සහ පිරිහීම පිණිස හේතුවන්නකි.

රාගය පාලනයකින් තොරවීමෙන්, කාමයන්හි වරදවා හැසිරීම නිසා පවුල් පරිසරය නොසන්සුන් වෙයි. ඔවුනොවුන් කෙරේ විශ්වාසය හා අවංකත්වය ගිලිහී යාම නිසා සණ්‌ඩු දබර, අමනාප සහ ජීවිත විනාශයන්ද සිදුවීමට අවස්‌ථාව සැලසෙයි. දරුවන් අනාථ වෙයි. නුගුණ පැතිරෙයි. භෝග විනාශයට පැමිණෙයි. බොහෝ දෙනාගේ අවඥවට ලක්‌වෙයි.

වර්තමානයෙහි රාගාදී සිතුවිලි බලවත්වීමෙන් යම් යම් අසංවර පුද්ගලයන් විසින් මව්වරුන්ට දියණිවරුන්ට කරන්නාවූ කරදර හා හිරිහැර වැඩිවෙමින් පවතී. ගෘහස්‌ථ ජීවිතයක්‌ ගතකරන ඕනෑම අයකුට යහපත්වූ විවාහ ජීවිතයක්‌ ගතකරන ආකාරය බුදුදහමින් පෙන්වාදී ඇත. සංවාස සූත්‍රයේදී පෙන්වා දෙන්නේ ' දේවෝ දේවියා සද්ධිං සංවසති' දෙවියෙන් විසින් දිව්‍යාංගනාවක්‌ සමග ගත කරන්නාක්‌ මෙන් පවුල් ජීවිතය ගතකරන ලෙසය. එහිදී ස්‌වාමි දියණියට සහ ස්‌වාමි පුත්‍රයාට ආරාධනා කරන්නේ එකහා සමානවම දෙදෙනා කෙරේම ශ්‍රද්ධා, ශීල, චාග, ප්‍රඥ නම් ගුණ සම්පත්නීන් දියුණුකරගන්නා ලෙසය. මෙම ගුණධර්ම දියුණු වනවිට රාගාදී කෙලෙස්‌වලට පාලනයකින් තොරව අසංවරව නැගී සිටීමට අවස්‌ථාවක්‌ නොලැබේ. පවුල් පරිසරයෙහි දෙවියන් දිව්‍යාංගනාවන් බඳු ස්‌වාමි භාර්යාවන් සහ බුදු අම්මලා, බුදු තාත්තලා වැනි දෙමාපියන් බිහිවෙන්නේ එවිටය. සමහර පුද්ගලයෝ සතුන් මෙන් හැසිරෙති. තිරිසන් සත්වයන්ට ලජ්ජාවක්‌, බියක්‌ හෝ ශික්‌ෂණයක්‌ නැත. උසස්‌ මනසක්‌ ඇතිව සිතන්නට පුරුදු කළ මනුෂ්‍යයන් එසේ නොවිය යුතුය.

කුස ජාතකයේදී කුස රජතුමාට රාගය නිසා තමා අගරජු බව අමතකවී ගියේය. රජකම දමාගොස්‌ ප්‍රභාවතිය වෙනුවෙන් වෙස්‌වළාගෙන අරක්‌කැමිකම කළේය. සත්වසක්‌ පුරා දුක්‌ වින්ඳේය. බෝධිසත් උතුමන් පවා එවැනි ස්‌වභාවයකට පත්කරවන්නට තරම් පාලනයකින් තොර රාගය බලවත්ය. සෝවාන් ආදි මාර්ග ඵලයන්ට පත්නොවූ එනමුත් අභිඥා ආදී ධ්‍යාන ලැබූ තවුසන් පවා බලවත්ව නමුත් යටපත්ව පැවැති රාගය මතුවී ධ්‍යානයන්ගෙන් පිරිහුණු බව දැක්‌වෙයි. ජාතක පොතෙහි එන මුදුලක්‌ඛණ කතාව එවැන්නකි. වර්තමායේ පවා වටිනා ජීවිත බොහෝ සේවාවන් සිදුකළ අය පවා රාගය නිසා කෙතරම් පිරිහී ඇත්දැයි ඔබටම වැටහෙනු ඇත.

ද්වේෂයද බලවත් ක්‌ලේශයකි. ද්වේෂය හෙවත් තරහව පුද්ගලයකුගේ සිතට පැමිණි කල හොඳ - නරක නොදකියි. 'කුද්ධෝ අත්ථං න ජානාති' කිපුණු තැනැත්තේ යහපත නොදකී' යනුවෙන් පැවැසුවේ එබැවිනි. දෙව්දත්, සුප්පබුද්ධ රජ, මාගන්දියා වැනි ගිහි පැවිදි අයද බුදුරදුන් වැඩසිටි දවසම ද්වේෂය නිසා බලවත් ලෙස පිරිහිණි. අංගුත්තර නිකායේ කෝධන සූත්‍රයේ ද්වේෂයේ හෝ ක්‍රෝධයේ ආදීනව පිළිබඳ සඳහන් කොට ඇති අර්ථ කිහිපයක්‌ මෙසේය.

'කෝධනෝ දුක්‌ඛණ්‌ණෝ හෝති

අථෝ දුක්‌ඛම්පි සේති සෝ

අථෝ අFථං ගහෙත්වාන

අනFථං අධිපජ්ජති'

'කිපෙන සුළු වූයේ දූර්වර්ණ වෙයි. මේ නිසාම දුකසේ නිදන්නේය. අර්ථය අනර්ථය ලෙස ද වැරැදි දේ අර්ථවත් දේ ලෙසද සිතයි'

'කුද්ධෝහි පතිරං හන්ති

කුද්ධෝ හන්ති සමාතරං

කුද්ධෝහි බ්‍රාහ්මණා හන්ති

හන්ති කුද්ධෝ පුථුජ්ජනං'

'කිපියේ පියා නසයි. කිපියේ මව නසයි. කිපියේ පැවිදි උතුමන් නසයි. කිපියේම පුහුදුන් අය සාමාන්‍ය වැසියෝ ද නසයි.

ද්වේෂය, රාගයට වඩා ඉක්‌මන්ය. ද්වේෂය බලවත්වූ විට රාගයටත් වඩා බලවත් විපත් තමාට මෙන්ම අනුන්ටද කරයි. පාලනය කොට නැතිකිරීමට නම් මෛත්‍රිය නිරන්තරයෙන් පුරුදු කළ යුතුය. මෛත්‍රිය බලවත් කුසලයකි. ද්වේෂයට පත්වූ තැනැත්තා ජීවිත නසන අතර මෛත්‍රී පුද්ගලයා පත්වූ තැනැත්තා ජීවිත නසන අතර මෛත්‍රී පුද්ගලයා ජීවිත රකී. සියලු සතුන්ට කරුණා මෛත්‍රිය දක්‌වයි. ද්වේෂයෙන් යුතු පුද්ගලයා විසින් සුවඳ විලවුන් ආලේප කොට වටිනා ඇඳුමින් සහ ආභරණවලින් සැරසුනද දුර්වර්ණය නපුරුය. අප්‍රසන්නය. මෛත්‍රී තැනැත්තා චාම් වුවද දහස්‌ ගණන් වටිනා ඇඳුමින් පැළඳුමින් නොසැරසුනේද ඉතාමත් ප්‍රසන්නය. පින්බරය. සත්පුරුෂ තැනැත්තෝ ද්වේෂ සහගත පුද්ගලයාගෙන් ඈත්වන අතර මෛත්‍රී සහගත පුද්ගලයා වෙතට සමීප වෙයි.

මෝහය නම් මුලාවයි. මෙලොව ඇති සියලුම සවිඤ්ඤාණික, අවිඤ්ඤාණික වස්‌තූන්වල ඇති අනිච්ච, දුක්‌ඛ, අනාත්ම ස්‌වභාවය තේරුම් නොගත්තේ එම වස්‌තූන් වෙනස්‌ නොවන සේ සිතා සිතින් අල්ලාගෙන තෘෂ්ණාවෙන් අකුසල් රැස්‌ කරගනී. එම පන ඇති හෝ පන නැති වස්‌තු දිරායන විට වෙනස්‌වනවිට අත්හැරෙන විට බලවත් සේ දුකට පත්වෙයි. මේ නිසා රාග, ද්වේෂ, මෝහ ආදී කෙලෙස්‌ දුහුවිලි නැතිවීම මංගල කරුණකි. ඔබට ධර්මාවබෝධය වේවා!

ආචාර්ය පූජ්‍ය මිරිස්‌සේ ධම්මික හිමි : divaina.com

Post a Comment

0 Comments