'ස්‌පා'වල රස්‌සාව කල්බ්වලට වඩා හොඳයි


සම්බාහන මධ්‍යස්‌ථානයක්‌ නොමැති නගරයක්‌ මෙරට නැති තරම්ය. කොළඹ නගරය තුළ රාත්‍රි සමාජශාලා හතු පිපුණු ගානය. කොළඹින් එපිට රත්නපුරය, අනුරාධපුරය, නුවරඑළිය නගරවල ද රාත්‍රි සමාජශාලා විවෘතව තිබේ. ඊට අමතරව අප්‍රසිද්ධියේ කාන්තාවන් ගණිකා වෘත්තියේ යොදවන තැන් මෙරට සෑම නගරයකම වගේ තිබේ. මේ සෑම තැනකම කෙරෙන්නේ එකම දෙයකි. ඒ අසරණ කාන්තාවන් ගණිකා වෘත්තියේ යෙදවීමය. මේ වන විට මුළු රටම ගණිකා තිප්පොළක්‌ වී අවසානය. ඒ තිප්පොළේ සළෙලුන් ඉදිරියේ දුහුල්පට උනා දමන කාන්තාවක්‌ම, මුදලට රෙදි ගැලවෙන ජීවිතවල ඇතුළාන්තය අපට කීවාය. වසර විස්‌සකට ආසන්න කාලයක සිට ගණිකා වෘත්තියේ අත්දැකීම් සහිත ඇය දැන් රාත්‍රියට සමාජ ශාලාවකත්, දිවා කාලයේ සම්බාහන මධ්‍යස්‌ථානයකත් සේවය කරන්නීය. සුපිරි ගණිකා තිප්පොළවලදී ඔවුන්ට වන අසාධාරණයන් ගැන කියාගැනීමට කෙනෙක්‌ නැතිව සිටින මොහොතක ගෙන්දගම් පොළොවේ හොඳින් තෙම්පරාදු වී සිටින ත්‍රිරෝදකරුවෙක්‌ ඇය අපට මුණගැස්‌සුවේය. එහෙත් මේ දෙදෙනාගේම නම් ගම් හෙළි කිරීම ඔවුන්ගේ ජීවිතවලට අවදානමකි. එහෙයින් අපගේ ගමන් සගයා වන ත්‍රිරෝදකරු 'ආටා මල්ලි' යනුවෙන් ද, ඔහු හඳුන්වා දුන් කාන්තාව 'කැරොකේ අක්‌කා' යන මන(කල්පිත නම්වලින් හැඳින්වීම අපේ කැමැත්තය. මෙතැන් සිට පෙළගැසෙන්නේ 'කැරොකේ අක්‌කා අපට කියන කතාවේ තෙවැනි කොටසය.

 ''නයිට්‌ ක්‌ලබ්වලට ගොඩක්‌ම එන්නේ ජීවිතය හොඳට එන්ජෝයි කරන මිනිස්‌සු. එහෙම එන සමහර අය බිව්වට පස්‌සෙ හැසිරෙන්නෙ පිස්‌සො වගෙයි. ළඟට ගන්න කෙල්ලට දස වද දෙනවා. බලෙන් අරක්‌කු පොවනවා. අරක්‌කු වීදුරුවලට හොරාට මත් පෙති දාලා දෙනවා. උන්ට ඕන අපිට වැඩි වුණාට පස්‌සෙ යට ඇඳුම් ගලවලා අපිව නටවන්න. එහෙම නටනකොට අපේ පපුව අස්‌සට සල්ලි කොළ දානවා. එක එක දේවල් කරනවා. වැඩි වෙලා සෝපාවල වැතිරිලා ඉන්නකොට ඇඳුම් තෙත් වෙන්න ඇඟට වතුර වක්‌කරනවා. ඒවා උමතු රෝග. වැඩියෙන්ම ඔය වැඩ කරන්නෙ මදාවි කොල්ලො. ක්‌ලබ් ඇතුළට ඒ වගේ කස්‌ටමර්ලා එනවා දැක්‌කම කෙල්ලො හැංගෙනවා. එහෙම සෙට්‌ එකකට කොටු වෙච්ච දවසට එළිවෙනකොට සෝපාවක්‌ උඩ දොයිය පතං තමයි. කිසිම සම්තින් එකකුත් නෑ. වෙරි හිඳුනට පස්‌සෙ ඇඟේ අමාරු හොඳ කරගන්න තවත් කීයක්‌ හරි වියදම් කරන්න ඕනා...''

කිහිපවිටක්‌ම මමත් ඒ උමතු රෝගීන්ට කොටුවෙලා තියෙනවා. මේ ෆීල්ඩ් එකට ආපු මුල් දවස්‌වලම මම මුහුණ දුන්නු සිද්ධියක්‌ මට අද වගේ මතකයි. එතකොට මම වැඩ කළේ කොල්ලුපිටියේ ප්‍රසිද්ධ නයිට්‌ ක්‌ලබ් එකක. රෑ 12 ට විතර ලසසන, කඩවසම් කොල්ලො හතර දෙනෙක්‌ ආවා. උන්ව දැක්‌කම නිකන්ම හිත ඇදිලා යනවා. ඒ තරම් හැඩයි. කොල්ලො එනකොටම අපේ කෙල්ලොත් ගිහිල්ලා ඇඟේ එල්ලුනා. ඒත් උන් පයිසෙකට ගණන් ගත්තේ නෑ. ඇවිත් සැටියක වාඩි වෙලා ටිකක්‌ ඉන්නකොට මම ගිහිල්ලා කතා කළා. එක කොල්ලෙක්‌ මාව ඇදලා කකුල උඩින් වාඩි කරගත්තා. මමත් හරි ආසාවෙන් පූස්‌ පැටියා වගේ ඇඟට තුරුලු වුණා. අන්තිමට කොල්ලො තුන්දෙනෙත් බලලා, බලලා ක්‌ලබ් එකේ හිටපු විසේකාරම කෙල්ලො තුන්දෙනාව ළඟට ගත්තා...''

''ඒ කොල්ලො බොන්න ගත්තේ ක්‌ලබ් එකේ තිබුණු ඉස්‌තරම්ම අරක්‌කු බෝතලයක්‌. බයිට්‌, සිගරට්‌, ශක්‌තිජනක පාන බෝතල්වලින් ටේබල් එක පිරෙව්වා. අපිත් හරි සතුටින් උන් කියන විදිහට හිටියා. ඒ කොල්ලොයි, අපියි හොඳට බිව්වා. බෝතලය ඉවර වෙන්නත් කලියෙන් තවත් බෝතලයක්‌ ගෙන්නුවා. දෙවැනි බෝතලයේ කාලක්‌ විතර ඉවර වෙනකොට කොල්ලන්ගේ ඇඟ ඇතුළේ හිටපු යක්‌කු හොඳටම කුලප්පු වෙලා තිබුණා. ඒත් ඒ කොල්ලො කවුරුවත් ඩාන්සින් µaලෝ එකට ගියේ නෑ. වාඩි වෙලා හිටපු තැනම නැඟිටලා ඩාන්ස්‌ කළා...''

''ටික වේලාවක්‌ යනකොට මට මාව පාලනය කරගන්න බෑ. හොඳ සිහියට එනකොට මගේ යට ඇඳුනුත් නෑ. මුළු ඇඟම තෙමලා. එක කෙල්ලෙකුගේ ඇඟ තැනින්, තැන හපලා. ඒත් ඒකීට තේරිල නෑ. අපි හතරදෙනාම වැටිච්ච, වැටිච්ච තැන්වල. උන් බිල ගෙවලා ගිහිල්ලා. හැබැයි අපි හතරදෙනාගේම පපුව අස්‌සේ රුපියල් දාහ කොළේ ගානේ ගහලා ගිහිල්ලා තිබුණා. පස්‌සෙ තමයි දැන ගත්තේ අපිට හොරා අපේ අරක්‌කු වීදුරුවලට මත් පෙති දාලා කියලා. ඒ ඇවිල්ලා හිටපු කොල්ලො හතරදෙනාගෙන් කෙනෙක්‌ ඒ කාලේ හිටපු ඇමැතිවරයෙක්‌ගේ පුතෙක්‌. අනිත් තුන්දෙනා එයාගේ යාළුවො. ඊට පස්‌සෙත් ඒ කොල්ලො ක්‌ලබ් එකට ආවා. මම නම් පැත්ත පළාතකට ගියේ නෑ. හැබැයි කතා කරලා කරදර කළෙත් නෑ. ඒ කොල්ලො කොහොමත් හැමදාම එක කෙල්ලෙක්‌ව ගත්තේ නෑ. ඒ සිද්ධියෙන් පස්‌සෙ අදටවත් මම නයිට්‌ ක්‌ලබ්වලට සාය, ගවුම් ඇඳගෙන යන්නේ නෑ. ඩෙනිම් කලිසම්ම තමයි අඳින්නේ. ඩෙනිම් ඇඳගෙන ඉන්නකොට කස්‌ටමර්ලා වැඩිය කැමැති නෑ. ඒත් අපේ ආරක්‍ෂාවට හොඳයි...''

කස්‌ටමර්ලා අපිට එහෙම දෙයක්‌ කළා කියලා බවුන්සර් ඇක්‌සන් ගන්නේ නෑ. නයිට්‌ ක්‌ලබ් අයිතිකාරයෝ බවුන්සර්ලට උපදෙස්‌ දීලා තියෙන්නෙ ගනුදෙනුකරුවන් නැති කරගන්නේ නැතිව සේප් එකේ වැඩේ කරගෙන යන්න කියලා. දෙපිරිසක්‌ අතර ගැටුමක්‌, බිල් ගෙවන්නෙ නැතිව යන්න ගියොත් තමයි බවුන්සර්ලා ක්‍රියාත්මක වෙන්නේ. අනෙක්‌ සිද්ධිය නම් මතක්‌ වෙනකොටත් අප්පිරියයි. ඒක වුණේ බම්බලපිටිය සී සයිඩ් එකේ නයිට්‌ ක්‌ලබ් එකකදී. එදා රෑ 10 ට විතර මැදිවියේ දෙන්නෙක්‌ ඇවිත් වටපිට බලලා මට කතා කළා. මමත් සිරික්‌කිය දාගෙන ළඟට ගියා. වීඅයිපී රූම් ගියේ. පැයක්‌ විතර යනකොට ඒ අයගේ තව යාළුවෙක්‌ ආවා. පිරිමි තුනයි මමයි. ඒ කස්‌ටමර්ලත් හොඳට බිව්වා. මම හොරාට බොනකොට බලෙන් පෙව්වා. ඊට පස්‌සෙ උන් තුන්දෙනා මාව සම්බෝල කළා. එළිවෙනකම් හිටියා. අන්තිමේ මට වෙරි වැඩිකමට සැටිය උඩම නින්ද ගිහිල්ලා. එදා රෑ මට රුපියලක ආදායමක්‌ නෑ. ඊට පහුවෙනිදා දවසේම නිදාගත්තා. ගුටි කාලා වගේ ඇඟ රිදෙනවා. එදායිං පස්‌සේ මම ක්‌ලබ් එකට ගියෙත් නෑ...''

''එහෙම වුණහම නම් ක්‌ලබ් ජීවිත එපා වෙනවා. සතියක්‌, දෙකක්‌ ක්‌ලබ් එක පැත්තවත් බැලුවේ නෑ. ඒත් අතේ සල්ලි නැති වෙනකොට ආයෙමත් වෙන තැනක වැඩට ගියා. ඒ ජීවිතේට හුරු වුණහම වෙන ජොබ් එකක්‌ කරන්නත් බෑ. ජොබ් එකක්‌ කරලා මාසෙ අන්තිමට පඩියක්‌ ගන්නවා වගේ නෙමෙයි, නිතරම අතේ සල්ලි ගැවසෙනවා. ක්‌ලබ් එකෙන් එළියට එන්නෙ කීයක්‌ හරි අරගෙන. අලුතින් ගිය ක්‌ලබ් එකට එන කස්‌ටමර්ලා අඩුයි. සමහර දවසට රුපියලක ආදායමක්‌ නෑ. රෑ එළිවෙනකම් සෙන්ට්‌, පවුඩර් ගාගෙන ඉඳලා එළිය වැටෙනකොට ගෙවල්වලට යනවා. මාසයක්‌ විතර වැඩ කළා. ආදායමක්‌ නැති තැන වෙනත් කල්බ් එකක වැඩට ගියා. එතැන වලි ගුලක්‌. හැමදාම මොකක්‌හරි කේස්‌ එකක්‌. පස්‌සේ එතැනිනුත් නතර වෙලා සම්බාහන මධ්‍යස්‌ථානයක වැඩට ගියා...''

''නයිට්‌ ක්‌ලබ්වලට වඩා සම්බාහන මධ්‍යස්‌ථාන හොඳයි. සිගරට්‌ අරක්‌කු බොන්න ඕන නෑ. නිදිවරන්න ඕන නෑ. අපි ගෙනියන කෑම එක කාලා පාඩුවේ රස්‌සාව කරන්න පුළුවන්. එකම අවුල දවසේ ගතමනාව අඩුයි. සමහර සම්බාහන මධ්‍යස්‌ථානවලට දවසටම කස්‌ටමර්ලා දෙන්නයි. උදේ ඉඳලා වේලිලා හවසට හිස්‌ අතිං ගෙදර ගිහින් තියෙන දවස්‌ අනන්තයි. එහෙම වුණහම හවසට කා එක්‌ක හරි ඉඳලා කීයක්‌ හරි හොයාගන්න ගෑනුත් ඉන්නවා. ගොඩක්‌ම සම්බාහන මධ්‍යස්‌ථානවලදී කෙරෙන්නෙ ඒක තමයි. නැති නම් ඔය සම්බාහන මධ්‍යස්‌ථානවල වැඩ කරන කෙල්ලො සම්බාහනය ගැන මෙලෝ දෙයක්‌ දන්නේ නෑ. ඔයිල් ටිකක්‌, ක්‍රීම් ටිකක්‌ ගාලා ඇඟ, මිරිකලා, අතගානවා. ටික වේලාවක්‌ යනකොට කස්‌ටමර්ලා වචනේ දානවා. මුලින්ම අපි ඉතිං ලොකු ලයින් එකක්‌ අල්ලලා ගාන ටිකක්‌ උස්‌සලා තියෙනවා. සම්බාහන මධ්‍යස්‌ථානවලට ඇවිත් තෙම්පරාදු වෙච්ච කස්‌ටමර්ලා කෙළින්ම අපිව බින්දුවටම දාලා තමයි කතා කරන්නේ. අන්තිමේ රුපියල් දාහටත් ගෑනු මිනිස්‌සුත් එක්‌ක ඉන්නවා. උපරිම පැයයි, ලොකු කරදරයක්‌ නෑ. සමහර බැඳපු මිනිස්‌සු ඇවිත් මාර අඳෝනා දෙන්නෙ. 

''ගෑනි මිනිහා ගැන හිතන්නෙ නෑ. ජීවිතය එපා වෙලා. ඒකයි ඔයා ගාවට ආවේ...' අඳෝනාව විතරයි. සමහර මෝල්කාරයෝ එක, එක පෙති ගහල ඇවිත්, පැය දෙක ඉඳලා යනවා. පනහ පැනපු වයසක කොල්ලෙක්‌ව සෙට්‌ වුණ දවසට නම් නාන්න වෙන්නෙ. 'අනිත් දවසෙත් ඔයාම එන්න' කියලා කීයක්‌ හරි වැඩියෙන් දීලා යනවා. කොච්චර සල්ලි දුන්නත් මම නම් වයසක අය ආපු වේලාවට ටිකක්‌ වහං වෙනවා...''

''සම්බාහන මධ්‍යස්‌ථානත් කිහිපයක්‌ම මාරු කරලා කොල්ලුපිටිය සී සයිඩ් එකේ 'ස්‌පා' එකක වැඩට ගියා. එතැන හොඳට වැඩ තිබුණා. කොල්ලුපිටියේ ඉඳලා වැල්ලවත්තට යනකම් සී සයිඩ් එකේ සම්බාහන මධ්‍යස්‌ථානවලට කොහොමත් හොඳට බිස්‌නස්‌ තියෙනවා. විදේශීය සංචාරකයොත් එනවා. එතැන මම අවුරුදු ගානක්‌ වැඩ කළා. එතැන වැඩ කරනකොට තමයි මේ ඉන්න තැනත් සෙට්‌ වුණේ...''

කැරෝකේ අක්‌කා මොහොතකට කතාව නතර කළාය. වීදුරු කවුළු තුළින් හිරු එබිකම් කරයි. නිදිවර්ජිත අපේ ගත, සිත දැන් නම් විඩාපත්ය. නිදි කිරා වැටෙන ගානය. කැරොකේ අක්‌කාගේ මුහුණ ද මළානික වෙලාය. එහෙයින් නැවත හමුවන බලාපොරොත්තුවෙන් අපි ඇයගෙන් සමුගැනීමට සූදානම් වීමු.

''තාම කතාව කියලා ඉවර කළේ නෑ. තව ගොඩාක්‌ තියෙනවා. මම මේ ෆීල්ඩ් එකට කැමත්තෙන් ආපු කෙනෙක්‌ නෙමෙයි. මාව බලහත්කාරයෙන් මේ නරා වළට ඇදලා දැම්මා. දැන් මම මේකෙන් ගොඩ එන්න හිතන්නේ නෑ. මම වගේම මේ වළට වැටිච්ච, ඒ ගැන කියන්න කැමැති කෙල්ලෝ ඕන තරම් ඉන්නවා. මම ඔයාලට ඒ අයව හඳුන්වා දෙන්නම්...''

අපි ඇයගෙන් සමුගෙන පාරට බැස්‌සෙමු. උදා හිරු එළියෙන් දවස ආලෝකවත් වෙලාය. සේවා ස්‌ථානවලට, ගමන් බිමන් යන මිනිසුන් සහිත රථ වාහනවලින් මහ මඟ පිරී යැමට තව වැඩි වේලාවක්‌ නැත. එහෙත් අපේ ආටා මල්ලිට මේ ජීවිතය හුරුය. බොහෝ දිනවල ඔහු නිවසට යන්නේ එළිය වැටෙන විටය. එහෙත් ඔහු දවසටම ඇහැ පියා ගන්නේ පැය හතරකටත් අඩු කාලයකි. ජීවත්වීම උදෙසා කරන සටනේදී ඔහුට නින්ද ආගන්තුකය.

තව දවසක හමු වන බලාපොරොත්තුවෙන් මම ආටා මල්ලිගෙන් ද සමුගත්තෙමි...

විෂුල කෝදාගොඩ

Post a Comment

0 Comments