ආත්‍රයිටිස්‌ සුවයට වෙනිවැල්ගැට

ප්‍රශ්නය - පසුගිය සතියේදී අප ඔබ සමඟ සාකච්ඡා කළේ කෝමාරිකාවලින් ආත්‍රයිටිස්‌ වේදනාව නැති කර ගන්නා විදිය ගැනයි. අද අප ඔබෙන් විමසන්නට බලාපොරොත්තු වෙනවා වෙනිවැල්ගැට ගැන. වෙනිවැල්ගැට යොදාගෙන ආත්‍රයිටිස්‌ සුව කිරීම සහ වේදනාව නැසීම ගැන ඉන්දියන් ආයුර්වේද ගුරුකුලවල සඳහන් වනවා නේද?

වෛද්‍ය වසන්ත උදයජීව - Coscinium Fenestratum යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙන වෙනිවැල් ලොව පුරා ප්‍රචලිතව පවතින්නේ වේදනා නාශකයක්‌ සහ පිටගැස්‌ම නාශකයක්‌ හැටියටයි. ආයුර්වේදය, යුනානි, සිද්ධ, පාරම්පරික සිංහල වෙදකම කාම්බෝජයේ කෲ ඛෙමර් වෙදකම සහ වියට්‌නාමයේ සාම්ප්‍රදායික වෙදකම යන වෛද්‍ය ක්‍රමවලදී වෙනිවැල් බහුල වශයෙන් යොදාගෙන ඖෂධ හදනවා. විවිධ උණ වර්ග, දියවැඩියාව, බඩවැලේ හටගන්නා ඇතැම් රෝග සහ නාග දෂ්ඨකිරීම් යනාදියට ඖෂධ හැදීමට වෙනිවැලි සාරය යොදා ගත්තා. සාමාන්‍යයෙන් දේශීය වෛද්‍ය දැනුම අනුව වෙනිවැලේ ගුණ තිබෙන්නේ එහි ගැටවලයි. කිසියම් ගසක හෝ වැලක හටගන්නා ගැටවල ආහාර සහ පෝෂ්‍ය පදාර්ථ ගබඩා වීමේ ක්‍රමවේදයක්‌ තිබෙනවා. මේ නිසා වෙනිවැල් සාරය ලබා ගැනීමේදී එහි ගැට පරිහරණය කරනවා නම් තමයි ඉතාම හොඳ. Berberine, Palmatine, Jatrorrhizine යන ප්‍රධාන සංඝටක මෙහි අඩංගුයි. 

ප්‍රශ්නය - ආත්‍රයිටිස්‌ සුවයට වෙනිවැලිගැට යොදා ගන්නේ කොහොමද?

වෛද්‍ය වසන්ත උදයජීව - සාමාන්‍යයෙන් අපේ ජනයා ඕනෑම ඇඟපත අමාරුවකදී වෙනිවැල්ගැට ටිකක්‌ තම්බලා බොන්න පුරුදුවෙලා ඉන්නවා. මෙයට ඉඟුරු සහ කොත්තමල්ලි එකතු කළාම වඩා හොඳයි කියන එක තමයි පොදුÊපිළිගැනීම සහ සත්‍යය. ඒ පදනම උඩ ආත්‍රයිටිස්‌ වේදනාව හැදෙන්නට පෙර වෙනිවැල්ගැට ටිකක්‌ බිව්වාම යම් සහනයක්‌ ලැබෙනවා. එය දීර්ඝ කාලීන සහනයක්‌ නොවෙයි. හැබැයි පහත සඳහන් වට්‌ටෝරුව අනුව සකසා ගන්නා ආලේපය ආත්‍රයිටිස්‌ සන්ධි ඉදිමුමට සහ සන්ධි වේදනාවට ඉතාම හොඳයි.

ආලේපය සාදා ගන්නා හැටි

සියඹලා, වරා, කහ, අත්තන, කුඹුරු, එඬරු, නිකදළු, කරපිංච, මදුරුතලා, මුරුංගා, වංඇපල යනාදියෙහි පත්‍ර අහුර බැගින් ගෙන වෙනිවැල්ගැට ග්‍රෑම් 100 ක්‌ සමඟ එකතු කර පත 8 එකට සිදුවාගන්න. මේ දිවරය ඉදිමුන වේදනා සහගත සන්ධිවල, මද උණුසුමක්‌ තිබියදී ගාන්න.

මීට අමතරව පතොක්‌ කොළයකින් භාගයක්‌, පොල්කිරි බෝතල් භාගයක්‌, දෙහි ඇඹුල් කෝප්පයක්‌, එකට එක්‌කර වියළි මිරිස්‌, සිද්දිගුරු, වගපුල්, කළුදුරු, අසමෝදගම්, පෙරුම්කායම්, අබ, රත්හඳුන්, අගිල් පනම් දෙක බැගින් ගෙන අඹරා, කකාරා තෙල් මට්‌ටමට හිඳෙන තුරු සිට ඉදිමුන සන්ධිවල ආලේප කළ විට වහාම සුවය ලැබෙනවා. මේ සියලු ප්‍රතිකාර කිරීමට කලින් සුදුසු වෛද්‍යවරයකුගෙන් උපදෙස්‌ ලබා ගන්නවා නම් වඩාත් සුදුසුයි.

Post a Comment

0 Comments