සුදු වීමේ මේනියාවෙන් අනතුරේ වැටෙන කළු ළඳුන්

ලංකාවේ හද්ද පිටිසර ගමක පාරක්‌ දිගේ ඇවිද යන කට්‌ට කළු එහෙත් දැකුම්කලු නව යෞවනියකි. ඇගේ එක්‌ අතක ඉහලා ගත් කුඩයකි. අනෙක්‌ අතේ ඇති අත් බෑගයේ ඇත්තේ සම සුදු කර ගන්නා ආකාරය පිළිබඳ උපදෙස්‌ අඩංගු රූපලාවන්‍ය සමාගමකින් දී තිබූ පොත් පිංචක්‌ සහ සම පැහැපත් කරන්නේ යෑයි කියන ආලේපන අඩංගු ඇසුරුමක්‌, හිසරදයට ගල්වන බාම් වර්ගයක්‌, පැරසිටමෝල් පෙති කිහිපයක්‌ සහ වෙනත් අඩුම කුඩුම කිහිපයකි. උදේ පාන්දරම කුඩයක්‌ ඉහලාගෙන යන්නේ ඇයි දැයි ඇගෙන් කෙනෙකු විමසුවොත් ඇය නිසැකවම ලබා දෙන පිළිතුර වන්නේ චර්ම පිළිකාවලින් බේරීමටත් සම දුර්වර්ණ වීම වළක්‌වා ගැනීමටත් තමන් එසේ කරන බවය. සම සුදු කර ගැනීම තම බලගතු ආශාව බවත් එසේ කර ගත්තොත් වඩා පුළුල් ලෝකයක්‌ තමා ඉදිරියේ විවෘතිත වන බවත් ඇය තව දුරටත් පවසන්නට බැරි නැත. මේ වර්තමාන ආසියානු සහ අප්‍රිකානු ස්‌ත්‍රීන්ගෙන් සාතිශය බහුතරයකගේ ආශාවේ මහා පොදු සාධකය වේ. ලංකාවේ ළඳුන් බොහෝ දෙනකුගේ අත් බෑගයට එබිකම් කළොත් සම සුදු කරන ජාතියේ ආලේපන ඩප්පියක්‌ දෙකක්‌ තිබෙනු ඇත.

මිනිස්‌ සමේ පැහැය කළු පැහැයේ සිට සුදු පැහැය දක්‌වා වෙනස්‌ වීම සිදු වූ ඓතිහාසික ක්‍රියාවලිය පිළිබඳව අපි පසුගිය ලිපියකින් පැහැදිළි කර ගත්තෙමු. පරිණාමිකව අපගේ සමේ පැහැය තීරණය කිරීම සඳහා මූලික වශයෙන් බලපාන සාධකය වන්නේ මෙලනින් වර්ණකය බවත්, මෙලනින්වල කාර්ය භාරය වන්නේ අපගේ සම හිරු එළියේ තිබෙන අහිතකර පාරජම්බුල කිරණවලින් ආරක්‍ෂාව සැපයීම බවත් ඒ අනුව අප පැහැදිළි කර ගත්තෙමු. උතුරු අර්ධ ගෝලයේ මිනිසුන්ට අඩු තීව්‍රතාවක්‌ සහිත හිරු එළිය යට පරිණාමය වන්නට සිදු වීම නිසාවෙන් ඔවුන්ගේ සමට මෙලනින් වර්ණකයේ පැවැත්ම ඒ හැටි වැදගත් නොවීම නිසාවෙන් ඔවුන්ගේ සම සුදු පැහැ වූ බවත් පැහැදිලි කර ගත්තෙමු. ඉන්දුනීසියානු කලාපයේ සුදු මේනියාව සඳහා පැහැපත් සමක්‌ ඇති ආර්යයන්ගේ ආනුභාවය, ශ්‍රී ලංකාව සැලකූ විට අඳුරු සමක්‌ තිබුණු ස්‌වදේශිකයන් පරයා ගොඩනැඟුණු ආර්ය සංස්‌කෘතිය අතීතයේදී කළු සහ අඳුරු සමක්‌ ඇත්තන් හීනමානයට ලක්‌ කරන්නට හේතු වන්නට ඇති බවත්, වස්‌කෝ ද ගාමා විසින් සුබ පැතීමේ තුඩුවෙන් එහාට තම නැව් යාත්‍රා කරවීමෙන් පසු ආසියානු රටවල් මත ඇති වූ අධිරාජ්‍යවාදී සූරා කෑමේ නව ලෝක තත්ත්වය විසින් අඳුරු සහ කළු සම් ඇති ආසියානුවන් මත ඉතා දරුණු වර්ණභෙදවාදයක්‌ සහ සුදු සමේ මේනියාවක්‌ උත්තරාරෝපණය කළ ආකාරයත් එම ලිපියෙන් වැඩිදුරටත් පැහැදිළි කර ගත්තෙමු. සූරා කන්නන්, වරප්‍රසාදලාභීන් වනාහී ධවල පැහැ ඡවි කල්‍යාණයකින් හෙබි ඇත්තන් බවත්, වහල්ලු, වැඩකරන්නන් සහ දිළින්දන් කළු සහ දුර්වර්ණ සම් ඇත්තන් බවටත් වන අධිපති මතවාදයක්‌ මුළු ලෝකය පුරාම පැළපැදියම් වූයේ බටහිර අධිරාජ්‍යවාදීන් විසින් ඇති කළ යටත් විජිත පාලන ක්‍රමයේ අතුරුඵලයක්‌ ලෙසිනි. අධිරාජ්‍යවාදීන් විසින් තම යටත් විජිත රාජ්‍යයන් අත්හැර යැමෙන් පසු එම සමාජ සංස්‌කෘතීන් තුළ පැළපැදියම් කර ගිය අතිශයින්ම සමාජ විරෝධී, මානව විරෝධී සුදු මේනියාව අද දවස වන විට වෙනත් වටයකින් අධිරාජ්‍යවාදීන්ට කළු ජාතීන් සූරා කෑමේ වෙළෙඳපොළ මෙවලමක්‌ ලෙස භාවිත කරන්නට අවස්‌ථාව උදා වී ඇත.

කළු සම් සුදු කරන ගරිල්ලා මාකට්‌ එකේ තතු විත්ති 

උපතින්ම කළු හෝ තළෙලු පැහැ සම් ඇත්තියන් වන අප්‍රිකානු දුප්පත් ළඳුන්ගෙන් සියයට 45 ක්‌ පමණ සම් සුදු කරනවා යෑයි කියන ඊනියා ක්‍රීම් ජාති ශරීරවල උලති. නයිජීරියාව වැනි කට්‌ට කළු ළඳුන් වෙසෙන රටක සියයට 77 දෙනෙකු සම සුදු කරන ආලේපන වර්ග භාවිත කරන බව සොයාගෙන තිබෙනවා. සාපේක්‍ෂව පැහැපත් සමක්‌ ඇති ළඳුන් වෙසෙන අග්නිදිග ආසියාතික කලාපයේ පිලිපීන, මැලේසියානු, තායි සහ හොංකොං ළඳුන්ගෙන් සියයට 50 කට ආසන්න පිරිසක්‌ සම සුදු කරන රූපලාවන්‍ය නිෂ්පාදන භාවිතකරන බව සමීක්‍ෂණයකින් සොයාගෙන තිබෙනවා. මේ වන විට සුදු සමේ උමතුව ස්‌ත්‍රීන් විෂයෙහිලා පමණක්‌ බල පැවැත්වෙන තත්ත්වයක්‌ නොව, යොවුන් වියේ පිරිමිද සැලකිය යුතු පිරිසක්‌ සම සුදු කරන නිෂ්පාදන පරිභෝජනය කරති. 2010 වර්ෂයේ ඉන්දියාවේ සම් සුදු කරන රූපලාවන්‍ය නිෂ්පාදන වෙළෙඳපොළේ වටිනාකම ඩොලර් මිලියන 432 ක්‌ වූ අතර, 2012 දී ඔවුන් සම් සුදු කරන ක්‍රීම් ටොන් 232 ක්‌ වර්ගවල ගල්වාගෙන ඇත. ශ්‍රී ලංකාවේ තත්ත්වය ද මේ වන විට ඉන්දියාවේ තත්ත්වයෙන් වෙනස්‌ වන්නට බැරි බව හැඟී යයි. මහා ඉන්දියානු සංස්‌කෘතික ආක්‍රමණයක්‌ රූපවාහිනිs නාලිකා ඔස්‌සේ සිද්ධ වෙමින් තිබෙන අතර, අනෙක්‌ අතට ඉන්දියානු රූපලාවන්‍ය නිෂ්පාදන ආක්‍රමණයක්‌ ද සිදු වෙමින් තිබෙයි. ආසියාව පමණක්‌ සැලකූ විට ගෝලීය සමාගම් 60 කට අධික සංඛ්‍යාවක්‌ අතර ඇමරිකානු ඩොලර් බිලියන 20 ක පමණ වාර්ෂික ආදායමක්‌ කළු සම් සුදු කර දෙන ව්‍යාපාරය අත්පත් කර ගනිමින් සිටී. මෙම ලාභ වෙළෙඳාම වාර්ෂිකව සුපිරි වර්ධනයක්‌ අත්පත් කර ගනිමින් සිටී. එක්‌තරා ආකාරයක තරගකාරී උමතු ප්‍රචාරණ ව්‍යාපාරයක අණසකට ආසියාවේ සහ අප්‍රිකාවේ දුර්වර්ණ සම් ඇත්තන් ගොදුරු කර ගනිමින් සිටින බව ද පෙනේ. මෙම තත්ත්වය කොයිතරමට දුර දිග ගොස්‌ ඇත්දැයි කිවහොත්, අසුවල් දින ගණනකින් කළු සම් සුදු කර දෙන්නට තම නිෂ්පාදනවලට පිළිවන් වන බවට ද ඇතැම් සමාගම් පුරසාරම් ඇද බාති. මේ උමතු ආශාවේ ගොදුරු බවට පත් වන අඳුරු සහ කළු සම් ඇත්තන් සහ ඇත්තියන් ඉතා බරපතළ ලෙස මානසික රෝගීන් බවට ද පත් වෙමින් සිටී. කෙනෙකුගේ වටිනාකම, තත්ත්වය සහ ලස්‌සන තීරණය කරන එකම සහ තීරණාත්මක සාධකය සම සුදු වීම යෑයි මේ සමාගම් අසරණ මිනිසුන් සහ ගැහැනුන් මත සාහසික ලෙස තහවුරු කරමින් සිටී. ආසියාවේ පමණක්‌ නොව අප්‍රිකානු රටවලත් විවාහ පේක්‍ෂිත පුරුෂයන් සොයන තරමක්‌ සොයන්නේ පොත්ත සුදු ළඳුන් ය. කිසිදු මංගල දැන්වීමක කිසිදු ළඳක්‌ තම සමේ පැහැය කළු යෑයි කියන්නේ නැත. ඒ හැමෝම පැහැපත් ළඳුන් ය. මේ සෑම රටකම නිරූපිකාවන්a, නළු නිළියන් කිසිවකු කළු සම් ඇත්තන් හෝ ඇත්තියන් නොවේ. කොටින්ම කට්‌ට කළු මිනිසුන් ජීවත් වන දකුණු ඉන්දියාවේ හෝ අප්‍රිකාවේවත් කළු සම් ඇති නළු නිළියන් සොයා ගන්නට නොහැකිය. තම සමේ පැහැය, තම රූපය, තම ශරීර ඉන්ද්‍රියයන් අංග පුලාවකට නැතැයි සිතින් දුක්‌ වීම එක්‌තරා ආකාරයක මානසික රෝගයක්‌ වෙයි. බොඩි ඩිස්‌මොµsක්‌ ඩිසෝඩර් (Body dysmorphic disorder) ලෙස හැඳින්වෙන මෙම මානසික රෝගයට මේ රටේ යෞවන යෞවනියන් බුරුතු පිටින් රූපලාවන්‍ය සමාගම් විසින් ගොදුරු කරවමින් සිටී. 

කළු සම් සුදු කරන නිෂ්පාදනවල අනතුරුදායකත්වය.

සුදු බව ඇති කරන ඇතැම් නිෂ්පාදන පිළිබඳ අපේ රටේ සහ පිටරටවල කර ඇති රසායනාගාර පරීක්‍ෂණවල ප්‍රතිඵල ශරීර සෞඛ්‍යයට හිතකර නොවන බවයි, පැවසෙන්නේ. තහනම් කර ඇති විෂ රසායනික සංයෝග මුසු සම සුදු කරන නිෂ්පාදන ප්‍රමිතීන් හා නීති රීති තදින් ක්‍රියාත්මක වන යුරෝපා රටවලින් පවා සුලභව හමු වීම නිසාවෙන් සුදු කරන රූපලාවන්‍ය නිෂ්පාදන සම්බන්ධයෙන් සහේතුක ධවල භීෂණයක්‌ ලොව පුරා ඇති වී ඇත. ලන්ඩන් නුවර සුපිරි සාප්පු සංකීර්ණවල අලෙවියට තබා තිබූ එවන් නිෂ්පාදන සම්බන්ධයෙන් එරට බලධාරීන් කර ඇති පරීක්‍ෂණවලින් හෙළි වී ඇත්තේ එවැනි හානිකර රසායනික ද්‍රව්‍ය අඩංගු නිෂ්පාදන දහස්‌ ගණනක්‌ එරට තුළ අලෙවි කෙරෙන බවය. එම නිෂ්පාදන බොහොමයක්‌ ගෙන්වා තිබී ඇත්තේ අපේ රටට ද එවැනි නිෂ්පාදන ගෙන එනු ලබන ඉන්දියාව, පාකිස්‌තානය හා තායිලන්තය වැනි රටවලිනි. ((http://www.mirror.co.uk/news/uk-news/toxic-skinwhitening- products-discovered-5419527)) ශ්‍රී ලංකාවේ පරිසර යුක්‌ති කේන්ද්‍රය විසින් 2013 වර්ෂයේදී සිදු කර ඇති අධ්‍යයනයක දී හෙළිදරවු වී ඇත්තේ මෙරට අලෙවි කෙරෙන සම් සුදු කරන නිෂ්පාදන බොහොමයකම පාහේ දැඩි අවදානම් මට්‌ටමකින් රසදිය අන්තර්ගතව තිබුණු බව ය. මේ ඇතැම් නිෂ්පාදන විලවුන්, සුවඳ විලවුන් හා ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය ලබා තිබුණු ඒවා ද වන බව පැවසේ. මෙම ආන්දෝලනාත්මක හෙළිදරවු කිරීමෙන් පසු රට තුළ මෙම මාරාන්තික ආලේපන පිළිබඳ බරපතළ කථිකාවක්‌ ඇති විය. කෙසේ වෙතත් දින 14 කින් සියල්ල අමතක කර දමන ජාතියක සම් සුදු කරන නිෂ්පාදනවල වර්තමාන පැටිකිරිය නැවත නැවත සොයා බලනු වටී. 

සම සුදු කරන බොහොමයක්‌ නිෂ්පාදනවල අඩංගු වන සුලභ රසායනික ද්‍රව්‍යයන් වන්නේ රසදිය, (mercury) හයිෙඩ්‍රාක්‌විනෝන් , (hydroquinone) ටි්‍රටිනොයින් (tretinoin) සහ විවිධ ස්‌ටීරෝයිඩ වර්ග වෙයි. මෙම රසායනික සංඝටක යුරෝපා සංගමයේ රටවල රූපලාවන්‍ය නිෂ්පාදනවල අන්තර්ගත කිරීම තහනම් කර ඇති රසායනික සංඝටකයන් වෙයි. පොදුවේ මෙම විෂ සංයෝග අඩංගු නිෂ්පාදන දීගු කාලයක්‌ භාවිත කිරීමෙන් සම මත ස්‌ථිර කැලැල් ඇති වීම, චර්ම පිළිකා, ආසාදනවලට සහ හිරු එළියේ ඇති අහිතකර කිරණ වලට ඔරොත්තු දීමේ චර්මය සතු ස්‌වාභාවික හැකියාව බරපතළ ලෙස අඩපණ වීම, දරුණු අක්‌මා සහ වකුගඩු ආබාධවලට හේතු වන තත්ත්වයක්‌ බවත් විශේෂඥයින් ප්‍රකාශ කරයි. කෙසේ වෙතත් මෙවැනි සම් සුදු කරන නිෂ්පාදනවල අඩංගු රසායනික ද්‍රව්‍යයන් පිළිබඳ හරි විස්‌තරයක්‌ ඒවායේ ලේබල්වල සඳහන් කර නොමැති වීමද මෙම නිෂ්පාදන සම්බන්ධයෙන් වන තවත් ගැටලුවකි. වයස අවුරුදු 14 - 30 අතර කාන්තාවන් සහ ගර්භනී කාන්තාවන් මෙම නිෂ්පාදන වැඩි කලක්‌ භාවිත කිරීමෙන් බරපතල සංකූලතාවලට ගොදුරු විය හැකි බව ඉන්දියාවේ මැක්‌ස්‌ හෙල්ත් කෙයා ආයතනයේ චර්ම රෝග විශේෂඥ වෛද්‍ය නිටින් වලියා මහතා අවධාරණය කරයි. (Dr Nitin Walia, consultant dermatology, Max Healthcare.) සම සුදු කරන රසායනික ද්‍රව්‍ය බොහොමයකින්ම සිදු කෙරෙනුයේ මතු පිට චර්මය ඉවත් කිරීම, (උදාහරණ හයිෙඩ්‍රාක්‌විනෝන්) හෝ සමේ මෙලනින් විනාශ කර දැමීමයි. මෙලනින් යනු ඝර්ම කලාපික රටවල මිනිසාගේ පැවැත්මේ තීරණාත්මක සාධකයකි. එවිට අහිතකර සූර්ය කිරණවලින් සමට ලැබෙන රැකවරණය තවදුරටත් නොලැබී යනු ඇත. අනෙක්‌ වැදගත් කාරණාවක්‌ වන්නේ ඝර්ම කලාපික රටවල ජනතාවගේ කායික මානසික සුවතාවය සඳහා කිව නොහැකි තරමේ ප්‍රතිලාභ රාශියක්‌ සූර්ය කිරණෙන් ලැබීමයි. උදෑසන හිරු එළියෙන් ලැබෙන එක්‌ මාහැඟි ප්‍රතිලාභයක්‌ වන්නේ විටමින් ඩී සිරුරට අවැසි තරමින් ලැබීමයි. විටමින් ඩී ඌණතාව හන්දිපත් අමාරුව, ඔස්‌ටියෝෙµdරෝසිස්‌ රෝගය සහ ඇතැම් පිළිකා වලට ද ප්‍රබල හේතුවක්‌ වෙයි. හිරු එළියෙන් ලැබෙන තවත් එවැනි ප්‍රතිලාභයක්‌ වන්නේ සතුටුදායක සහ යහපත් සිතුවිලිsවලට හේතු වන ඉeඒ-eබාදරචයසබ නමැති රසායනිකය මොළය මගින් වැඩි වැඩියෙන් නිෂ්පාදනය කිරීමයි. 

((https://www.sciencenewsforstudents.org/article/sun light-makes-pleasure-chemical-body ) ) අහෝ ෙ€දයකි. සුදු වීමේ මේනියාව විසින් අපේ ළඳුන්ට කායික සහ මානසික සතුටද අහිමි කර ඇතz මෙවැනි ළඳක්‌ හොල්මනක්‌ සේ සුදු පැහැ විය හැකි මුත්, අඩු වයසින් හොල්මන් අතරට යන්නට ද අවස්‌ථාව ලබන්නියන් බව සිහි තබා ගැනීම වැදගත් වනු ඇත.

සුද්දන්ගේ කළු, දුඹුරු මේනියාව. 

පැහැපත් සමක්‌ ඇති අයෙකු නිතර හිරු රශ්මියට නිරාවරණය වීමේ දී එසේ ඔහුගේ හිරු එළියට නිරාවරණය වන ස්‌ථාන අඳුරු පැහැ වීමක්‌ සිදු වෙයි. (Tanning) මෙය ද අහිතකර පාරජම්බුල කිරණවලින් අපේ සම ආරක්‍ෂා කර ගන්නට සම වැඩි වැඩියෙන් මෙලනින් නිෂ්පාදනය කිරීමේ ප්‍රතිඵලය නිසාවෙන් සිදු වන්නකි. ධනවත් සුදු ව්‍යාපාරිකයන් තම ධනය විය පැහැදම් කරගෙන ලොව ඝර්ම කලාපීය රටවල සංචාරය කරන්නට පටන් ගැනීමත් සමග එම රටවල්වල හිරු එළියට සම නිරාවරණය වීමේ ප්‍රතිඵලයක්‌ ලෙසට ඔවුන්ගේ සම් පදම් වන්නට විය. මෙම දුඹුරු පැහැයෙන් පදම් වූ සම යනු ලොව වටා සංචාරය කරන්නට හැකියාවක්‌ සහිත ධනවත් යුරෝපීයයන්ගේ ලක්‍ෂණයක්‌ ලෙස යුරෝපා සමාජය තුළ පැළපදියම් වන්නට විය. ආසියාවේ හා අප්‍රිකාවේ මිනිසුන් සුදු උමතුවකින් ආතුර වෙත් දී යුරෝපා ජාතීන් අද වැඩි කැමැත්තක්‌ දක්‌වන්නේ සම දුඹුරු පැහැ කර ගන්නට ය. සම් දුඹුරු කර ගැනීම අද වන විට යුරෝපා තරුණ ප්‍රජාව අතර එක්‌තරා උමතුවක්‌ බවට පත්ව ඇත. පදම් වීමේ උමතුව (ඕබ ඵ්බස්‌)Ê නමින් අද යුරෝපා රටවල රූපලාවන්‍ය ආයතන ද බිහි වෙමින් තිබේ. යුරෝපා සංචාරකයන් ආසියානු සහ අප්‍රිකානු රටවලට ඇදී එAමටත්, එසේ පැමිණෙන සුදු ජාතික ගැහැනුන් සහ පිරිමින් එම රටවල වෙරළ තීරයන් අඩ නිර්වස්‌ත්‍රයෙන් යුතුව ආක්‍රමණය කරන්නටත් ප්‍රබල හේතුවක්‌ වන්නේ සුද්දන් තුළ ඇති වී තිබෙන මෙම µeන්ටසික මානසික තත්ත්වයයි. තවද තමන් සතු කළු වහලුන් සංඛ්‍යාව අනුව කෙනෙකුගේ ධනවත්කම මනින ක්‍රමයක්‌ එකල යුරෝපා සමාජය තුළ පැළපදියම් වී තිබිණ. ඒ අනුව කළු ළඳුන් වැඩි සංඛ්‍යාවක්‌ සමඟ යහන්ගත වීම තම සමාජ තත්ත්වය පෙන්නුම් කිරීමේ උමතු මානසික තත්ත්වයක්‌ ද යුරෝපා ජාතීන් අතර ප්‍රචලිත විය. අදටත් කළු සහ දුඹුරු ළමිස්‌සියන් සොයා ආසියාවට සහ අප්‍රිකාවට ඇදෙන සංචාරකයින් ගණන නිමක්‌ නැත. ආසියානු හා අප්‍රිකානු ජනතාව තම ස්‌වභාව ධර්මයෙන් ලද ආරක්‍ෂාව බල්ලට දමා සුදු වෙන්නට අනතුරුදායක සහ අනුවණ ක්‍රියාමාර්ග වලට එළැඹෙත්දී අද යුරෝපා රටවල්වල සෞඛ්‍ය බලධාරීන්ට ඇති වී තිබෙන ප්‍රශ්නය වී ඇත්තේ සුදු ජාතිකයින් සම දුඹුරු පැහැයෙන් පදම් කර ගැනීම සඳහා කරනු ලබන අනතුරුදායක සහ අනුවණ ක්‍රියා මාර්ගවලින් තරුණ පරම්පරාව ගලවා ගැනීම ය. ((http://www.skincancer.org/prevention/tanning/tanning-addiction)) 

මේ අනුව නූතන වෙළෙඳපොළ බලවේග විසින් ලෝක ගෝලයේ ධ්‍රැව දෙකක දෙවිධියක උමතුවක්‌ නිර්මාණය කර ඇති බවත් මෙම උමතුව විසින් සමස්‌ත ලෝක ගෝලයම ලස්‌සන, වසඟය, තත්ත්වය කියන සංකල්ප මත සූරා කමින් සිටින බවත්, මෙම සූරා කෑමේ යාන්ත්‍රණය තුළ දිනෙන් දින අනතුරේ වැටෙන අසරණ ගැහැනුන් සහ පිරිමින් බේරා ගැනීම සඳහා අප වහ වහා මෙම උමතු වෙළෙඳපොළ නියාමනය, පාලනය සහ ප්‍රමිතිගත කළ යුතුව ඇති බවත් අවධාරණය කරමු.

* ගැමුණු සාලිය පෙරේරා 
ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ
සංගමයේ බදුලු දිස්‌ත්‍රික්‌ ශාඛාවේ මාධ්‍ය ප්‍රකාශක.

Post a Comment

0 Comments