පීනසයට ප්‍රත්‍යක්‍ෂ කසායක්‌


පීනස්‌ රෝගයේ ස්‌වභාවය ගැන පසුගිය සතියේ අපි කරුණු සාකච්ඡා කළා. එමෙන්ම ඒ සඳහා අත්බෙහෙත් වර්ග කිහිපයකුත් සඳහන් කළා. මේ සඳහා තවත් අත්බෙහෙත් වර්ග තිබෙනවද?

වෛද්‍ය දුමින්ද රණවීර - පීනස සඳහා නාසයට උරන්නට සුදුසු තෙල් වර්ග කිහිපයක්‌ සහ කුඩු වර්ග කිහිපයක්‌ ගැන පාරම්පරික සිංහල වෙදකමේ මෙන්ම බුද්ධදාස නමැති සිංහල බෞද්ධ රජතුමා විසින් ලියන ලද ආයුර්වේද වෛද්‍ය ග්‍රන්ථයක්‌ වන සාරාර්ථ සංග්‍රහයේත් සඳහන් වෙනවා. හැබැයි සාමාන්‍ය අත්බෙහෙත් මෙන් මේ ඖෂධ වර්ග පාවිච්චි කරන්නට බැහැ. එහි මාත්‍රාව හුඟක්‌ම වැදගත්. රෝගියාගේ උස, මහත, බර, වයස, නාඩි ස්‌පන්දනය වන රිද්මයේ වෙනස්‌කම් යන සියල්ල අනුව විවිධ පුද්ගලයන් විෂයයෙහි මාත්‍රාව වෙනස්‌ වෙනවා. මේ බෙහෙත් වැරදියට පාවිච්චි කළොත් නාසයට ඇස්‌වලට සහ කන්වලට ඉතා නරක ලෙස බලපානවා. හැබැයි අප පසුගිය සතියේ විස්‌තර කෙරුණු ගොටුදඬු, වළඟසාල්, රතුලූනු පානය වගේම ගොටුකොළ සහ රතුලූනු යුෂ ප්‍රතිකාරය දිගටම කළ විට පීනසට වෙන බෙහෙත් නොගෙන සෑහෙන සුවයක්‌ ලබාගන්නට පුළුවන්.

ප්‍රශ්නය - පීනස කර කළාම මොළය නරක්‌ වෙන බවට කතාවක්‌ ගැමි ජනයා අතර තිබෙනවා. ඒ වගේම සෙම නරක්‌ කළාමත් මොළයට බලපෑමක්‌ ඇති වී පිස්‌සු හැදෙන බවට මතයක්‌ තිබෙනවා. මෙය ඇත්තද?

වෛද්‍ය දුමින්ද රණවීර - මොළය සහ පීනස අතර කිසිදු සම්බන්ධයක්‌ නැහැ. එසේම සෙම නරක්‌ වීමෙන් මොළයට එක එල්ලේ බලපෑමක්‌ වන්නේ නැහැ. ගැමියන් මොළය නරක්‌ වෙනවා කියල කියන්නේ පිස්‌සු හැදෙන එකට. "පිස්‌සු" කියන්නෙ මානසික රෝගයක්‌. එය ඇතිවන්නේ ස්‌නායු බිඳවැටීමක්‌ මත මොළයේ තිබෙන යම් යම් කලාපවලට බලපෑමක්‌ ඇතිවීමෙනුයි. මේ අතර තවත් මතයක්‌ තිබෙනවා. ඔළුවට තෙල් දැම්මම මොළයට බහිනවා කියලා. ඉහත සඳහන් සියලුම මතවාද බොරු. මොළය කියන්නෙ නාසයට කන්වලට සහ ඇස්‌වලට සම්බන්ධ නමුත් ශරීරයේ හිස්‌ කබලේ වෙනම කුටීරයේ පිහිටා තිබෙන ඉන්ද්‍රියක්‌. නාසය, කන, ඇස යන ඉන්ද්‍රීන් මෙයට සම්බන්ධ වන්නේ ස්‌නායු මගින්. ස්‌වභාවධර්මය විසින් හිස්‌ කබල තුළ මොළය තැන්පත් කර තිබෙන්නේ බලගතු පහරකින් වුව හානියක්‌ සිදු නොවන ආකාරයටයි. හැබැයි සෙම නිසා මෙහෙම දෙයක්‌ විය හැකියි. හිතන්න, සෙම නරක්‌ වීම නිසා ඇස, කන, නාසය යන ඉන්ද්‍රීන්වල මොළය කරා යන ස්‌නායුවල මුල් කොටස්‌ ආසාදනයක්‌ සිදුවුවහොත්, එතැනින් විෂබීජයක්‌ ගමන් කර මොළය කරා සේන්දු වුණොත් අන්න එවිට ඉතා නරක තත්ත්වයක්‌ ඇතිවිය හැකියි.

ප්‍රශ්නය - පීනස්‌ රෝගය සඳහා ඔබ ඊළඟට නිර්දේශ කරන්නේ මොනවද?

වෛද්‍ය දුමින්ද රණවීර - ඊළඟට මම කියන්නම් වසර දහස්‌ ගණනක්‌ පැරණි කසායක්‌. එහි වට්‌ටෝරුව මෙසේයි.

සිරිතේක්‌කු, කර්කටක සිංගි, සුවඳ කොට්‌ටන්, වදකහ, කොත්තමල්ලි, වියළි ඉඟුරු.

මේ සියල්ල ඔබට ළඟම පිහිටි බෙහෙත් කඩයකින් මිලට ගන්න පුළුවන්. මේ ඖෂධ කලං 2 බැගින් ගෙන වතුර කෝප්ප 8 ක්‌ දමා මඳගින්නේ උතුරුවන්න. එම වතුර කෝප්ප 8 වතුර කෝප්ප 1 කට සිඳ කෝප්ප භාගය බැගින් උදය සහ සවස පානය කළ යුතුයි. දින 10 ක්‌ මෙය කළ විට පීනස ක්‍රමයෙන් අඩු වෙනවා. මේ කසාය නවත්වා දින 10 ක්‌ අත්හැර නැවත දින 10 ක්‌ පානය කරන්න. ටික කලක්‌ මෙසේ කළ විට පීනස නිට්‌ටාවටම සුවපත් වෙනව. හැබැයි මතක තබාගන්න පීනස්‌ රෝගියකු ගත යුතු ආහාර සහ ඔහු ස්‌නානය කළ යුතු ආකාරය ගැන පසුගිය සතිවල පළවූ උපදෙස්‌ මේ කසාය බොන අතර මෙන්ම පීනස්‌ සුව වූ පසුත් වලංගු බව.

(නොමිලේ උපදෙස්‌ සඳහා 0372249276, 0773018158 යන අංකවලින් විමසන්න.)

සාකච්ඡා කළේ සංඛනාද වෙදගෙවත්ත

Post a Comment

0 Comments