ලෙඩරෝග, මාරක සහ මරනය කල් දැමීම


බොහෝ දෙනෙක්‌ බොහෝ දේ ගැන සිතති. එහෙත් මරණය ගැන සිතක්‌ ඇති නොවේ. යම් ප්‍රමාණයකින් එබඳු හැඟීමක්‌ ඇති වන්නේ මළගෙදරකට ගියවිට පමණි. තමාගේ මරණය සිදුවන හැටි ප්‍රවීණ ජ්‍යෙතිෂවේදියකු වෙතින් කල්තබා දැන ගන්නේ නම් මරණය වුවද කල් දැමිය හැකිය.

ජ්‍යෙතිෂවේදීන් පලාපල ප්‍රකාශ කිරීමේදී මරණය ගැන කථා කරන අවස්‌ථා අඩුය. වඩාත් කතා කරන්නේ අපලය ගැනය. අපලයට එහා ඇති මාරකය ගැන සඳහන් කිරීමට එඩිතර නොවන අවස්‌ථාද වේ. එයට හේතුව කෙනකුට ආත්මීය බියක්‌ ඇති කිරීමට ඇති අකමැත්ත නිසාය.

හැම කෙනෙක්‌ම මරණය හිසින් ගෙන උපදිති. පුරාණාචාර්යවරුන් ජන්මියකුගේ ආයු කාලය මැන බැලීම සඳහා දශා ක්‍රමයක්‌ දී ඇත. මේ කලියුගයට විංශෝත්තරි දශාව උචිත යෑයි අනුමත කළ පරාසර උතුමෝ ග්‍රහයන් නව දෙනාට පූර්ණායු කාලය වන අවුරුදු 120 බෙදා දී ඇත. ඒ හැම ග්‍රහයෙකු විසින්ම මනුෂ්‍යයා පාලනය කරනු ලබයි. රවි සහ සඳු මුළු ජීවිතයේම භාර ධුර කොටස්‌ දෙක පිළිබඳ වගකීම භාරගත්හ. රවි විසින් අස්‌ථි පංජරයත්. සඳු විසින් චින්තනයත් භාරගනු ලැබීය. බුධ කෙනකුගේ ඉගෙනීම පිළිබඳ වගකීම උසුලයි. ගුරු විසින් ඔහුගේ ධන ශක්‌තිය හා පුත්‍ර අයිතිය භාරගනු ලැබීය. කුජ පුද්ගලයකුට අයත් එඩිතර බව හා ආයුධ පරිහරණය පිළිබඳ වගකීම උසුලයි. සිකුරු ආදරය පමණක්‌ නොව කලාකාමී බවත්, විවාහයත් පිළිබඳ කළමනාකරුය. සෙනසුරු අනෙක්‌ කිසිම ග්‍රහයකුට අයත් නැති වැඩට වෙහෙස දැරීමේ වගකීමත්, දුක්‌ කරදර ආදී හිරිහැර කොටසත් බලාගනී. ශරීරයේ ඇති නහර සහ ස්‌නායු කොටස්‌ පිළිබඳ භාරකාරත්වය රාහුට හා කේතුට පැවරී ඇත.

විශ්වයේ ගමන් කරන ග්‍රහයන්ට යට සඳහන් කළ කාරක අයිතිය පැවරූ ඉසිවරු එය කර ඇත්තේ කිසියම් පදනමකට රීතියකට අනුවය. රටක්‌ රාජ්‍යයක්‌ දේශපාලන නායකයන් විසින් පාලනය කරන්නාක්‌ මෙන් ග්‍රහ මඬුල්ල විසින්ද පුද්ගලයකුගේ ජීවන ගමන මෙහෙයවනු ලබති. අවුරුදු 120 කට පරමායුෂ අයත් කළ පුරාණාචාර්යවරු එම ග්‍රහයන් නව දෙනා අතර එම වයස්‌ කලාපය බෙදා දී ඇත්තේ සම සමව නොවේ. ඒ ඒ කටයුතු සඳහා කෙනකුට අවශ්‍ය වන පමණ අනුවය. එතැනින් නොනැවතී එක්‌ ග්‍රහයකුට අයත් වර්ෂ ගණන සියලුම ග්‍රහයන්ගේ පාලනයට ද යටත් කොට ඇත. නිදසුනක්‌ දක්‌වතොත් සඳුට අයත් වර්ෂ 10 ක විංශෝත්තරී දශා කාලය වු එම දශ වර්ෂය යළි සඳු, කුජ, රාහු, ගුරු, ශනි, බුධ කේතු හා සිකුරුටත් යම් ප්‍රමාණයක්‌ පවරාදී ඇත. එක්‌ ග්‍රහයකුගේ දශා කාලය ග්‍රහයන් 09 දෙනා අතර බෙදීයන විට ග්‍රහයන් 9 දෙනාට අයත් කොටස්‌ ප්‍රමාණය 8 - 1 ක්‌ වෙයි. යළි එක්‌ දශාවක්‌ මහ දශා, අතුරු දශා, විදශා සූක්‍ෂ්ම දශා හා ප්‍රාණ දශා වශයෙන් ද බෙදා දී ඇති අයුරින් කෙනකුට මුළු ජීවිත කාලය තුළදී දශා දහස්‌ ගණනක්‌ ගෙවෙයි. මේ දශා මෙසේ ගෙවෙද්දී එම දශාධිපති ග්‍රහයන් අතර ආපෝ, තේaජෝ, වායෝ, පඨවි හා ආකාශ වශයෙන් තවත් පංච භූත ශක්‌තියකින් වෙලා ශක්‌තිමත් කර ඇත. ඒ වූ කලී ලණු පොටවල් පහකින් අඹරා සකස්‌ කළ ශක්‌තිමත් කඹයක්‌ වැන්න.

අපේ ශරීරයේ ක්‍රියාකාරිත්වය අනුව සමහර විටෙක මේ පංච මහා භූත ශක්‌තියෙන් එකක්‌ දෙකක්‌ කැඩී යා හැකිය. තවත් සමහර විටෙක තුනක්‌ හතරක්‌ කැඩී යා හැකිය. අලුත් කඹයක වුවද ලණු පොටවල් දෙක තුනක්‌ කැඩී ගිය පසු ඒ කඹයේ ශක්‌තිය අඩපණ වෙයි. ආපෝ, තේජෝ, ආදී පංච භූත ශක්‌තියෙන්ද දෙක තුනක්‌ කැඩී ගියවිට අංශභාග රෝගී තත්ත්වයකට පත් විය හැකිය. පංච භූත ශක්‌ති පහම කැඩී ගියවිට මියගියා වේ. එතැන සිට ශරීරයේ ක්‍රියාකාරිත්වයක්‌ නැත.

පංච මහා භූතයන් විසින් හා දශාධිපති ග්‍රහයන් විසින් පුද්ගලයකු ටික ටික මරයි. හිසේ කෙස්‌ මරා දමනු ලැබූ විට කෙස්‌වල දීප්තිමත් කළු පැහැය නැතිවී සුදු පැහැයට හැරෙයි. නැතහොත් සියල්ල ගැලවී යයි. හම හැකිලෙනවා යනු හම මරා දැමීමය. ඇස්‌ පෙනීම අඩුය යනු ඇස මරා දැමීමය. කන් ඇසීම අඩු වෙනවා යනු කනට අයත් කොටස්‌ මැරී යැමය. මොළය මැරුණත් හදවත මැරී නැත්නම් ලෙඩෙකු වශයෙන් පුද්ගලයා සිහිය නැති ප්‍රාණියකු බවට පත්කර සයනගත කරයි. මොළය මැරෙන විටම විඥාණය මියයයි. විඥානය මියගිය විට ජීවත්වීමට අවශ්‍ය ආහාර අවශ්‍ය නැති වෙයි. ඒ නිසා දුබල වන හෘදයවස්‌තුව අඩපණ වී ක්‍රියාවිරහිත වීමත් සමඟ මරණයට පත්වෙයි. ඒ ස්‌වාභාවික මරණයේ හැටියි. එහෙත් මනුෂ්‍යයාට විවිධ ආකාරයෙන් මරණය ළඟාවෙයි. කෙනෙක්‌ රිය අනතුරකින් මියයති. තවත් කෙනෙක්‌ සර්ප විෂකින් මිය යති. තව කෙනෙක්‌ ජලයේ ගිලී මියයති. සැත්කමකින් මිය යන්නෝද වෙති. සිය දිවි නසා ගන්නෝද වෙති.

විද්‍යාව දියුණුවන්නට වසර ලක්‍ෂ ගණනකට පෙරදී ජ්‍යෙdතිෂය මෙලොවට දායාද කළ ඉසිවරුන් විසින් කෙනකු මිය යැම සඳහා ග්‍රහ පිහිටීම දායක වන අයුරු අපූරුවට විග්‍රහ කළහ. රාශියක්‌ කොටස්‌ තුනකට බෙදා දක්‌වා රාශි 12 ට අයත් කොටස්‌ දෙර්කාණ වශයෙන් නම් කළ ඒ උත්තමයෝ පුද්ගලයකුගේ මරණයට මෙම දෙර්කාණ සම්බන්ධ වන හැටි විග්‍රහකර ඇත. දෙර්කාණ 36 ගිනි දෙර්කාණ, ආයුධ දෙර්කාණ සර්ප දෙර්කාණ, පාශ දෙර්කාණ, ජල දෙර්කාණ ආදී වශයෙන් හඳුන්වා දී පුද්ගලයකුගේ මරණයට ඇති දෙර්කාණ නෑකම විග්‍රහ කර දක්‌වා තිබේ.

කෘර හෙවත් ගිනි දෙර්කාණ 11 ක්‌ ද ජල දෙර්කාණ 6 ක්‌ද, ආදී වශයෙන් දෙර්කාණ 36 වර්ග කොට දක්‌වා ඇත. එපමණක්‌ නොව පුද්ගලයකුගේ මරණය මග තොටේදීද, සිය නිවසේ දීද, අනුන්ගේ තැනකදී ද ආදී වශයෙන් හඳුනා ගැනීමට චර, තිර, උභය න්‍යායක්‌ ඉදිරිපත් කර ඇත.

කේන්ද්‍රයේ 8 වන රාශිය ලෙඩ රෝග ගැන කියන තැනයි. 8 සිටින ග්‍රහයා, 8 දකින ග්‍රහයා හෝ අට අධිපති ග්‍රහයා රෝග මතුකිරීමට දායක වෙයි.

ග්‍රහයකුට 8 නොපෙනුනත්, 8 වැන්නේ ග්‍රහයකු නැතත් 8 වැන්නට අයත් ග්‍රහයාට හිමි ලෙඩක්‌ වෙයි. රවි අටේ හෝ 8 වැන්නට නෑකම් ඇති කෙනකු නම් ගින්න හෝ උෂ්ණයට අයත් රෝගයක්‌ මතු කරයි. සඳු එසේ වූයේ නම් ජලය නිසා හෝ බඩයැම නිසා රෝගියකු බවට පත්වේ. බුධගෙන් නම් මොළයේ උණ රෝගයක්‌ නිසාද ගුරුගෙන් නම් මානසික රෝගයකින්ද නැතොත් සොයා ගැනීමට අපහසු රෝගයකින්ද සිකුරුගෙන් නම් බීමත්කම නිසා ද සෙනසුරුගෙන් නම් බඩගින්න නිසාද මරණය වීමට ඉඩ ඇත. අටවැන්නේ ග්‍රහයන් කීප දෙනකු වෙතොත් හෝ දැකීම වෙතොත් ලෙඩ කීපයක්‌ම විය හැකිය. අටවැන්න චර රාශියක්‌ නම් සංචාරයකදී හෝ පිට දේශයකදී ද තිර රාශියක්‌ නම් තම නිවෙසේදීම ද උභය රාශියක්‌ නම් අනුන්ගේ තැනකදී ද මරණය වෙයි.

යමෙකුගේ කේන්ද්‍රයේ රවි 10 ත් කුජ 4 ත් සිටියේ නම් උසකින් වැටී මරණය වෙයි. ශනි 4 ත් සඳු 7 ත් කුජ 10 ත් නම් ළිඳකට හෝ ජලාශයකට වැටී මියයයි. රවි - සඳු කන්‍ය වේ සිටියදී එතැනට අශුභ ග්‍රහ දෘෂ්ටි වැටෙතොත් නෑදෑයන් නිසා මරණය වේ. නැතොත් ඥාතීන් නිසා සිය දිවි හානිකර ගනී. ධනු මීන, කන්‍යා, මිථුන යන උභය රාශියක්‌ ලග්නවී ලග්නයේ රවි - චන්ද්‍ර වෙතොත් දියේ ගිලීමෙන් මරණය වන බව ජාතක පරිජාත සංග්‍රහයේ සඳහන් වේ. ශනි කටකයේත්, සඳු මකරයේත්, උපතේදී සිටියේ නම් උදර රෝගයක්‌ නිසා මරණය වෙයි. සඳු, මේෂ, වෘශ්චික රශියක පාපීන් අතර සිටියේ නම් ආයුධයකින් මරණය වෙයි. සඳු පාප පීඩිතව පාපීන්ට මැදිව කන්‍යාවේ වෙතොත් ලේ නරක්‌ වීමෙන් ද මරණය වෙයි. සඳු පාපීන්ට මැදිව මකරයේ වෙතොත් නැතහොත් කුම්භයේ වෙතොත් එල්ලීමෙන් සිය දිවි හානිකර ගනී. පිළිස්‌සීමකින් හෝ හදිසි අනතුරකින්ද විය හැකිය.

ශුභ ග්‍රහයකුගේ දැකීමක්‌ නොලද පාපීන් උපතේදී 5, 9 යන තැනක සිටියේ නම් බලහත්කාරකමකින්ද, අෂ්ටම දෙර්කාණය යෙදුණේ නම් සර්පයකු නිසා ද මරණය සිදුවේ. හත්වැන්න කන්‍යාව වී සඳු තවත් පාපියකු සමඟ එහි වෙතොත් සිකුරු ග්‍රහයා ද මේෂයේ වූයේ නම් රවි ලග්නයේ නම් කාන්තාවක අතින් මරණය වේ.

එහෙත් ජාතකයේ සඳහන් වන්නේ 5, 9 යන රාශිවල සිටි බලවත් පාපියාට ශුභ දෘෂ්ටි නොලදොත් බන්ධනයකට හසුවීමෙන් මරණය වන බවත්. 22 වන දෙර්කාණය (අටේ මුල් අංශක 10) අසුවී නම් මරණය සැහැසිය. සඳු කන්‍යාවේ හත් වැනි රාශියේ පාපියකු සමඟ නම් රවි ලග්නයේත් සිකුරු මීනයේත් වූයේ නම් බිරිය නිසා බිරිය අතින් හෝ කාන්තාවක අතින් මරණය වේ. ඒ බව සාරාවලියෙහි සඳහන් වේ.

ශනි - රවි - කුජ යන ග්‍රහයන් තිදෙනා උපතේදී සිවු වැන්නේ සිටියදී නැතොත් ශනි 10 සිටියේ නම් උලක්‌ හෝ ආයුධයක්‌ ඇනීමෙන් මරණය වෙයි. ලග්නයේ රවිත්, පස්‌වැන්නේ කුජත්, නවයේ සඳුත් සිටි විටද එසේ වෙයි. එම යෝගයේදී කුජ ග්‍රහයා සෙනසුරුට පෙනුනොතA ගසකට, කඳකට යටවීමෙන් හෝ පොලු පහරකින් මරණය වන බව සාරාවලිය කියයි.

අවසඳු, කුජ, ශනි හා රවි 8, 10, 1, 11 වැනි තැනක වෙතොත් මරණය පොලු පහරකිනි. එම ග්‍රහයන් 10, 9, 1, 5 යන තැනෙක වූයේ නම් ගින්නෙන් හෝ දුම් හිරවීමෙන් මරණය වේ. කුජ 4 ත් රවි 7 ත් ශනි 10 ත් වෙතොත් ආයුධයකින්, ගින්නෙන් හෝ රාජ උදහසින් මරණය වෙයි. තුවාලයකින් සැත්කමකින් හෝ සතකු විසින් හපා කනු ලැබීමකින් මරණය සිදුවන්නේ ශනි 2 ත්, සඳු 4 ත්, කුජ 10 ත් සිටියොත්ය. එයම වාහනයක්‌ නිසාත් විය හැකිය. පොඩි පට්‌ටම් වී මරණය සිදු වන්නේ කුජ 7 ත් ශනි - චන්ද්‍ර - රවි ලග්නයේත් සිටියොත්ය. කුණු අශූචි මැද මරණය වන්නේ කුජ ලග්නයේත් ශනි මේෂයේත් සඳු මකරයේ හෝ කුම්භයේත් වෙතොත්ය. අව සඳු 10ත් රවි 7 ත් කුජ 4 ත් සිටියත් එසේය.

4 වැන්න සිවු පා රාශියක්‌ නම් සිවුපා සතකු නිසා මරණය වෙයි. කුජ 7 ත් ශනි චන්ද්‍ර රවි ලග්නයේත් වෙතොත් මරණය සැත්කමකිනි.

බලවත් කුජ අව චන්ද්‍රයා දකීද ශනි 8 වැන්නේද වී නම් අර්ශස්‌ අමාරුව නිසා මරණය වේ. රවි ලග්නයේත් කුජ 5 ත් ශනි 8 ත් හා සඳු 9 යේත් වෙයි නම් විදුලි සර වැදීමෙන් මරණය වෙයි. නැත්නම් තාප්පයකට හෝ බිත්තියකට යට වීමෙනි.

22 වන දෙර්කාණ හිමියාගේ ශනි අනුව මරණය සිදුවේ. 22 වැනි දෙර්කාණයට 8 වැන්න බලකරුය. ලග්නය මේෂ වී අංශක 25 පමණ නම්. එවිට 22 වන දෙර්කාණය 8 වැන්නේ බලකරු වෙයි. ඒ නිසා මරණය හදිසි අනතුරකිනි.

දෙර්කාණ 36 න් 22 වන දෙර්කාණය මරණයට හෝ බරපතළ තත්ත්වයකට හේතුව බව පත පොතේ සඳහන් වේ. (මේෂාද්යේ දෙර්කාණේ කෘර ග්‍රහ වික්‍ෂිප්තේච සංයුතේ)

ලග්නයේ සිටි ගහයා නවාංශක පාලක ග්‍රහයා හෝ එම ග්‍රහයන් සමඟ යෝග වූ ග්‍රහයා නැතොත් දෘෂ්ටිය දෙන ග්‍රහයා අනුව මරණය සිදුවේ. භට්‌ටෝත්ඵල මතය අනුව මේෂයේ නම් ගවයන් වැනි සතුන් හැසිරෙන තැනෙක වෘෂභයේ නම් ගොවි බිමෙක, මිථුනයේ නම් ගෙදර, කටකයේ නම් ජලාශ්‍රිතව ආදී වශයෙනි. මරණයේ සිහි නැතිව සිටින කාලය ලග්න උදාවට ගතවන කාලයයි. උදා( ලග්නය ලග්නාධිපති විසින් දකිනු ලැබේ නම්, කාලය දෙගුණ වේ. ශුභයකුට පෙනේ නම් කාලය තෙගුණ වේ. ශුභයන් දෙදනකුට පෙනෙයි නම් කාලය 6 ගුණයකි. අශුභයන් දැකීමෙන් කාලය වෙනස්‌ නොවේ.

රවි චන්ද්‍ර දෙදෙනාගෙන් ප්‍රබලම පිහිටීම බලන්න. මේ දෙදෙනාගෙන් ප්‍රබලයා ගුරුට අයත් දෙර්කාණයේ පිහිටා ඇත්නම් මැරුණු අය දෙව් ලොවින් පැමිණි අයෙකි. චන්ද්‍රයාගේ හෝ කිවිගේ දෙර්කාණයක නම් මිනිස්‌ ලොවින් පැමිණි අයෙකි. රවි ගේ හෝ කුජ ගේ දෙර්කාණයක නම් මෘත්‍යq ගණයේ පෙර ආත්මයක උපන්නෙකි. ශනිගේ බුධ දෙර්කාණයේ නම් අපායෙන් පැමිණි කෙනෙකි.

ශුභ ස්‌ථාන අධිපති ග්‍රහයන් තිදෙනා සිවු වැන්නේ යෝග වන අවස්‌ථාවක්‌ වෙතොත් එයින් පළකරන්නේ ඒ සිය නිවස තුළ බොහෝ සෙනඟ රැස්‌වෙන අවදියක්‌ බවය. එහෙම වන්නේ දුවගේ පුතාගේ මංගල්‍යයත්, දැරියක මල්වර වීමත් බඳු එකකි. එකී රාශියේ දුෂ්ට ස්‌ථාන අධිපතින්ගේ යෝග වීමක්‌ වෙතොත් එයින් ඉඟිකරන්නේ ලෙඩක්‌ විපතක්‌ හෝ මරණයක්‌ නිසා සෙනඟ එකතුවන බවකි. එසේ වෙතොත් කළ යුත්තේ පිරිත් පිංකමක්‌ දානයක්‌ වැනි දෙයකින් නිවසට සෙනඟ රැස්‌ කිරීමකි. එවිට පළමු විපත මඟ හැරේ.

බොහෝ දෙනෙක්‌ බොහෝ දේ ගැන සිතති. එහෙත් මරණය ගැන සිතක්‌ ඇති නොවේ. යම් ප්‍රමාණයකින් එබඳු හැඟීමක්‌ ඇති වන්නේ මළගෙදරකට ගියවිට පමණි. තමාගේ මරණය සිදුවන හැටි ප්‍රවීණ ජ්‍යෙdතිෂවේදියකු වෙතින් කල්තබා දැන ගන්නේ නම් මරණය වුවද කල් දැමිය හැකිය.

ඒ අවදියේ මා කොළඹ නාලන්දා මහා විද්‍යාලයේ ගුරුවරයෙකි. දෙහිවලට නුදුරු බෙල්ලන්විල ප්‍රදේශයේ හිතවත් මහත්මයකුගේ නිවසේ පහසුකම් ඇති කාමරයක නවාතැන් ගෙන සිටියෙමි.

අන්‍යාගම්කාර ජෝශප් නමැති මිත්‍රයෙක්‌ මට විය. හෙතෙම මාපියන්ගේ විරෝධය මත විවාහයක්‌ කර ගත්තේය. ජෝශප්ගේ මල්ලී බර්නාඩ්ය. ඔහුද සිය සොයුරුගේ පෙම්වතියගේ නැඟණිය සමඟ මිත්‍ර විය. මෙය ඔවුන්ගේ පවුලේ අර්බුදයකට හේතු විය. මේ සිද්ධිය නිසා බර්නාඩ් හොඳටම කලකිරීමට පත්ව සිටියේය. දිනක්‌ හැන්දෑවේ හෙතෙම දුක්‌මුසු මුහුණකින් යුතුව දෑසේ කඳුළු රඳවාගෙන මා සිටි නවාතැනට පැමිණියේය. ඔහුගේ එක අතක ලියමනක්‌ විය. අනෙක්‌ අතේ කුඩා බෝතල් කුප්පියක්‌ විය. හෙතෙම තමා අත වූ ලිපිය මට භාර දෙමින් එය ඔහුගේ සොහොයුරාට හෝ පියාට භාර දෙන ලෙස දන්වා සිටියේය. ඔය පුංචි බෝතලය කුමක්‌ දැයි මම ඇසුවෙමි. ඔහු කිසිවක්‌ නොකියා වැළපෙන්නට විය. ඔහු අස්‌වසමින් මම යළිදු ඒ ප්‍රශ්නයම ඇසුවෙමි. කුප්පියේ ඇත්තේ ඇසිඩ් බවත් තමා සිය දිවි නසාගන්නා බවත් ඔහු මට දැන්විය.

ඒ මා ජ්‍යෙdතිෂයට නැඹුරුව සිටි යුගයකි. තක්‌කාල කේන්ද්‍රයක්‌ මනසින් ගොඩනඟා ගැනීමේ පුළුවන්කම මට විය. ලග්නය කටක වී සඳු 8 වැන්නේත් සෙනසුරු ලග්නයේත් බව වැටහිණි. මාරක හෝරාවක්‌ද උදාවී තිබිණි. විනාඩි ගණනක්‌ ඔහුගේ අරමුණ ප්‍රමාද කළොත් ජීවිත හානිය වළක්‌වා ගත හැකි බවක්‌ද හැඟුණි.

ලිපිය මා අතට දී ඔහු මගෙන් සමුගෙන පියවර කීපයක්‌ ගමන් කළවිට මම ඔහුගේ නම කියා අමතා ආපසු කැඳෙව්වෙමි.

මැරෙන්නට පුළුවන් නම් උගුර කට පුච්චාගෙන මැරෙන්න එපා. ඊට පහසුයි එල්ලිලා මැරෙන එක. ටිකක්‌ සිටින්නැයි කී මම අර බාල්දියේ ගැට ගසා ඇති කඔය අරගෙන පහළවත්තේ අඹ අත්තක එල්ලෙන එක පහසුයෑයි කී මම එම කඹය ලියා ඔහු අතට දී වස කුප්පිය මට දියන් කියා බලෙන් මෙන් එය ලබා ගත්තෙමි.

කඹයත් රැගෙන ගෙල වැලලාගෙන එල්ලීම සඳහා ඔහු පහත්වෙද්දී මම යළිත් ඔහු නතර කර, ඔහෙම හිටින්· උඹ මාවත් අමාරුවේ දමන්නයි හදන්නෙ. ඇවිත් පොලිසියටත් ලිපියක්‌ ලියා දීපන්" යෑයි දන්වා සිටියෙමි. මුලදී ඔහු එයට අවනත නොවූවත් පසුව මගේ අදහසට එකඟ කර ගතහැකි විය. ඔහුගේ දිවි නසා ගැනීමේ සිත මට වෙනස්‌ කළ හැකි විය. එසේ කළ හැක්‌කේ තමා තමාටම පැරැදී සිය දිවි නසා ගැනීම වැනි තීරණයකට එළැඹි අවස්‌ථාවක පැමිණි, තිර, උභය රාශියත් මාරක දශාවකට සම්බන්ධ වූ විටෙක වෙනත් අයුරකින් එය කළ හැකි වෙයි . ඒ සඳහා යටත් පිරිසෙයින් වසරකට දෙතුන් වරක්‌වත් තම ජන්ම කේන්ද්‍රය පරීක්‍ෂා කර බැලීමට උනන්දු විය යුතුය. නැතිනම් බලවත් ග්‍රහයකු රාශි මාරුකරන අවස්‌ථාවලදීත් කේන්ද්‍රය පරීක්‍ෂා කර බැලිය යුතුය.

- ආචාර්ය  පියසේන රතුවිතාන

Post a Comment

0 Comments