මනම්පේරිගේ මතකයත් සමග නික්‌ම ගිය ඇලඩින් මාමා

බෝමිරිය ප්‍රදේශයේ සමාජ සේවකයෙකු වූ කොස්‌ගොඩ ගේ දොන් ඇලඩින් (79) මිය ගියේය. මොහු ගැන විශේෂයෙන් යමක්‌ ලිවිය යුතු වන්නේ ඔහු ඉතිහාසගත මිනිසෙකු බැවිනි. එදා 1971 කැරැල්ල සමයේ මුළු රටේම ආන්දෝලනයට ලක්‌වූ කතරගම රූමතිය ප්‍රේමවතී මනම්පේරී සිය කරාබු යුගලය ගලවා සිය මවට දෙන්න යෑයි බාර දුන්නේ මේ ඇලඩින් මහතාටය.

ඇලඩින් මහතා ඉපදුනේ 1934 මාර්තු 12 වන දින බෙලිඅත්ත අගුල්මඩුව ගමේය. ආර්ථික ගැටළු මැද ළමා විය ගෙවා දැමුණු ඔහුගේ පවුලේ තවත් සොහොයුරන් දෙදෙනෙක්‌ සහ සොහොයුරියකි. ඔවුන් තෝමස්‌, ඇල්බට්‌ සහ පිනෝනා යි. කතරගම රූමතිය ඝාතනයට මොහොතකට පෙර ඇය කරාබු යුගල ගලවා තමාට දුන් අයුරු ඇලඩින් තම බිරිඳ වන ඒ. එල්. ඩී. පුෂ්පාවතීට කියා තිබුණේය. මේ පුෂ්පාවතී තම සැමියා ගැන මතකය අවදි කළේ මෙසේය.

එයා මට හමුවුණේ නුවර පෙරහැර බලන්න ඇවිත්. අපේ ගම නුවර ගඩලාදෙනිය. එයා ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්‌ථාවේ රියදුරෙක්‌ ලෙසයි සේවය කළේ. අපි හම්බන්තොට ඉරිගේෂන් එක කිට්‌ටුව කුලී ගෙදරක ඉන්නකොටයි ඔය සිද්ධිය වුණේ. එතකොට ලොකු දුවට වයස අවුරුදු දෙකකයි. හම්බන්තොට දිසාපති තුමා ඇවිල්ල මහත්තයව එක්‌ක ගියා. වතුර බෙදන්න. ඒ කාලෙ භීෂණය තිබුණු නිසා කවුරුත් බයෙන් හිටියෙ. ගෙවල්වලට වතුර බෙදන බවුසරේ වැඩ කරන නිසා එයාව හැමෝම දන්නවා.

ඔය රූප රැජිනට කරදර කරලා මරන්න අරන් යනකොට අපේ මහත්තයව අඳුරගෙන "ඇලෙඩින් මාමේ මේ කරාබු දෙක අම්මට දෙන්න" කියලා අඬල කියලා තිබ්බ. එයා ඊට පස්‌සේ ඒ කරාබු දෙක ගිහින් දුන්නා කියලයි කිව්වෙ. ඒ සිද්ධිය ගැන කියනකොට එයාගෙ ඇස්‌වලට හැමදාම කඳුළු ආව. පස්‌සෙ කාලෙක එයාගෙ අතින් අනතුරක්‌ වෙලා රස්‌සාව නැති වුණා. සත පහක්‌ වත් ආණ්‌ඩුවෙන් හම්බවුණේ නැහැ. ඒ ගැන හරි දුකින් හිටියේ.

ඇලඩින් මහතා මියයන විට පදිංචිව සිටියේ 88/20 සේසත් නිවාස, ඉහළ බෝමිරිය ලිපිනයේය. ඔහුට එක්‌ පුතෙකි. ඒ චමින්ද කුමාරය. දියණියන් තිදෙනෙකි. ලසන්තා කුමාරි, මධුකා නිශාමලී රසිකා සුභාෂිනී ය. රස්‌සාව නැතිවූ දින සිට කුලී රථ රියදුරෙකු වූ ඇලඩින් තම දරු පවුල රැක්‌කේය. ඔහුට පුදුම පහනක්‌ තිබුනේ නැත. එහෙත් හොඳ හිතක්‌ තිබුණේය. එදා ප්‍රේමවතී මනම්පේරි බේරා ගැනීමට මේ හිත හොඳ මිනිසාට ඕනෑකම තිබුණේය. නමුත් හදවතින් හඬා වැටෙනවා හැර කළ හැක්‌කක්‌ නොතිබිණි. ඇන්ටන් ජෝන්ගේ ප්‍රේමවතී මනම්පේරි ගීතයේ ඇලඩින් මාමේ යන කොටස අසන හැම විටකම හඬා වැටුණු මේ මිනිසා අවසානයේ සියල්ල හැරදා ගියේය. ඔහුගේ අවසාන කටයුතු පසුගියදා සවස ඉහළ බෝමිරිය පොදු සුසාන භූමියේදී සිදු කෙරිණි.

(විශේෂ ස්‌තුතිය - ජාතික ඉතිරීමේ බැංකුවේ පත්මසිරි ගුණවර්ධන මහතාට)

කඩුවෙල - සුගත් ප්‍රේමතිලක

0 Comments

Contact Info

Lorem Ipsum is simply dummy text of the printing and typesetting has been the industry's.

Search This Blog

Categories

Subscribe Us