මුදලට ඉංග්‍රීසියෙන් ඉගෙන ගැනීමේ සාපය!


ජාත්‍යන්තර පාසල්වල අධ්‍යාපනය හැදැරූ සිසුන් රජයේ පාසල්වල උසස්‌ පෙළ පංතිවලට ඇතුළත් කරගෙන ඇත. එය මේ දිනවල උණුසුම් පුවතක්‌ වී ඇත්තේ ය. මෙම පුවත මවන්නේ "ජාතික පාසල් සුරැකීමේ සංවිධානය" යෑයි කියා ගන්නා උපතක්‌ හෝ විපතක්‌ නැති සංවිධානයකි. මෙය ජුගුප්සාජනක සංවිධානයකි. කොටින්ම කිවහොත් මෙම ක්‍රියාවලිය තුළ සැඟවුණු අර්ථයක්‌ ඇත.

ජාත්‍යන්තර පාසල් රට පුරා ඇත. මේවා ලියාපදිංචි කර ඇත්තේ ව්‍යාපාර සමාගම් ලෙස ය. රට පුරා ඇති ජාත්‍යන්තර පාසල් නොයෙක්‌ ගණයට වැටේ. ඇතැම් ජාත්‍යන්තර පාසල් ඉහළම ධනවතුන්ගේ හා දේශපාලනඥයන්ගේ ළමුන් අධ්‍යාපනය ලබන්නාහ. ඒවායේ විදේශ සිසුවෝ ද අධ්‍යාපනය ලබති. ඒවායේ වාරික ගාස්‌තු ද ඉතා ඉහළ ය. තවත් ජාත්‍යන්තර පාසල් රට පුරා ඇත. ඒවායේ වාරික ගාස්‌තු එතරම් ඉහළ නොවේ. මේවායේ අධ්‍යාපනය ලබනුයේ මධ්‍යම පංතිකයන්ගේ හා රජයේ රැකියාවල නිරත පුරවැසියන්ගේ දරුවෝ ය. රජයේ පාසලකට ළමයකු ඇතුළත් කිරීමට බොහෝවිට හොර ඔප්පු සෑදිය යුතුය. හොර ලයිට්‌ බිල්, හොර වතුර බිල්, හොර දුරකථන බිල් හා හොර අඹුවන්ගේ නම් ද ඇතුළත් කර ගත යුතුව ඇත. මේවාට අකමැති මේවාට පෙළඹිය නොහැකි දෙමාපිය කොටසක්‌ ඉහත පැවැසූ ආකාරයේ ජාත්‍යන්තර පාසල්වලට සිය දරුවෝ ඇතුළත් කරති. ඒ සඳහා ඇතුළත් වීමේ ගාස්‌තු වශයෙන් වැය වන්නේ සුළු මුදලකි. ගත වන්නේ විනාඩි කිහිපයකි. මන්ත්‍රීතුමාගෙන් හෝ ඇමැතිතුමාගෙන් ලියුම් උවමනා වන්නේ නැත. ක්‍රමය ඉතා පහසු ය. අධ්‍යාපනය ඉංග්‍රීසි බසිනි. රජය හැම විටම කියන්නේ ද ඉංග්‍රීසියෙන් ඉගෙන ගන්නා ලෙස ය. මේ කියන හැම වාරයක්‌ වාරයක්‌ පාසාම බණ්‌ඩාරනායක ශ්‍රීමතාණන්ට ද දෙහි ගෙඩි දෙක තුනක්‌ කපන්නට අමතක නොකරනවා සේම, ඔය චන්ද්‍රිකාගේ තාත්තා යෑයි ද කියා දමන්නේ ය. ඉතිං මේ ජාත්‍යන්තර පාසල්වලට ඇතුළත් කරනු ලබන දරුවෝ හොඳින් ඉංග්‍රීසියෙන් අධ්‍යාපනය ලබන්නාහ. ලෝකය දෙස ඉක්‌මනින් දකින්නාහ. රජයෙන් පිනට පාසල් පොත් ලබන්නේ ද නැත. කමිස කලිසම් ලබන්නේ ද නැත. සපත්තු මේස්‌ ලබන්නේ ද නැත. බොහෝ විට මේ දරුවන්ගේ දෙමාපියෝ රජයට බදු ද ගෙවන්නෝ ය. කොටින්ම කිවහොත් රජයට ද මෙයින් සිදුව ඇත්තේ නඩත්තු වියදම් අඩුවීම ය. මේ දරුවන්ගේ දෙමාපියන් සිදුකරනුයේ රජයට හා රටට සේවයකි. ඔවුහු අවුරුදු ගණනාවක්‌ නිදහස්‌ අධ්‍යාපනය භුක්‌ති නොවිඳින්නාහ. කරුමයකට මෙන් මේ කියන බොහෝ ජාත්‍යන්තර පාසල්වල උසස්‌ පෙළ පංති නැත. එනයින් මෙම ජාත්‍යන්තර පාසල්වල ඉගෙනුම ලබන දරුවන් රජයේ පාසල්වල උසස්‌ පෙළ පංතිවලට ඇතුළත් වන්නාහ. මෙහි ඇති වරද කිම?

රජය විසින් මීට වසර කිහිපයක සිට 6 වැනි වසරේ සිට ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනය ඇරඹුයේ ය. ඒ තෝරාගත් පාසල්වල ය. 6 වසරේ සිට 11 වසර දක්‌වා ඉංග්‍රීසියෙන් හැදැරුයේ විෂයයන් හතරකි. එලෙස ඉංග්‍රීසි මාධ්‍ය ඇරඹූ පාසල් විශාල ප්‍රමාණයක්‌ ඒ ඉංග්‍රීසි අධ්‍යාපනය වැඩිකල් යන්නට මත්තෙන් කඩා වැටුණේ ය. ඒ පළමු කොටම ඉංග්‍රීසියෙන් විෂය කරුණු කියා දීමට ගුරුවරුනට ඉංග්‍රීසි බැරි නිසා ය. ඉංග්‍රීසි මාධ්‍යයෙන් යම් මට්‌ටමක එකී රජයේ පාසල්වල අධ්‍යාපනය පැවතුණ ද, උසස්‌ පෙළ පංති සඳහා එකී පාසල්වල ඉංග්‍රීසි මාධ්‍ය පංති උදෙසා සිසුන් සොයා ගන්නට තරම් නොහැකි විය. සාමාන්‍ය පෙළ දක්‌වා ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය හැදැරූ ළමුන්ගෙන් ඉතාම අල්ප ප්‍රමාණයක්‌ උසස්‌ පෙළ ඉංග්‍රීසි මාධ්‍ය පංති සඳහා ඇතුළත් වන්නේ ය. අනෙක්‌ ළමුන් පිරිස ගතානුගතිකව උසස්‌ පෙළ සඳහා සිංහලම තෝරා ගන්නේ ය. මේ නිසා රජයේ පාසල්වල උසස්‌ පෙළ ඉංග්‍රීසි මාධ්‍ය පංති වැසී ගියේය. මේ වසරේ ආසන්නතම සිද්ධිය වනුයේ ඊයේ පෙරේදා ගාල්ල සවුත්ලන්ඩ් බාලිකා විදුහලේ ඉංග්‍රීසි මාධ්‍ය උසස්‌ පෙළ පංති වසා දැමීම ය. ඒ, ඒ සඳහා ප්‍රමාණවත් විද්‍යා, ගණිත සිසුන් නොමැතිකමිනි. කොළඹ ප්‍රධාන පෙළේ පාසල්වල ඉංග්‍රීසි මාධ්‍ය උසස්‌ පෙළ පංති සඳහා ඕනෑ තරම් ඇබෑර්තු ඇත. විශේෂයෙන් විද්‍යා හා ගණිත අංශය සඳහා ය. මෙතෙක්‌ කලක්‌ කොළඹ හා අනෙකුත් ප්‍රධාන නගරවල රජයේ පාසල්වල උසස්‌ පෙළ පංති පවත්වාගෙන ගියේ, ජාත්‍යන්තර පාසල්වල ළමුන් එම රජයේ පාසල්වලට ඇතුළත් කර ගැනීමෙනි. කොටින්ම කිවහොත් රජයේ පාසල්වල උසස්‌ පෙළ ඉංග්‍රීසි මාධ්‍ය දිව්වේ ජාත්‍යන්තර පාසල්වලින් බඳවා ගත් ළමුන්ගෙනි. කිව යුතු තවත් සත්‍යයක්‌ වනුයේ මුස්‌ලිම් සිසු සිසුවියන්ගෙන් ද මේ රටේ ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනය සඳහා මහත් රුකුලක්‌ සැපයී ඇත. මෙය ද වසන් කළ නොහැකි සත්‍යයකි. උසස්‌ පෙළ ඉංග්‍රීසි මාධ්‍ය පංති පවත්වාගෙන යැමට නම්, ජාත්‍යන්තර පාසල්වල ළමුන් ඒ සඳහා ඇතුළත් කර ගත යුතු වග ඇතැම් ප්‍රධාන පෙළේ විදුහල්වල විදුහල්පතිවරුද ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇත. දැන් එක්‌ විටම රජයට, ජාත්‍යන්තර පාසල්වල දරුවන් රජයේ පාසල්වල උසස්‌ පෙළ ඉංග්‍රීසි මාධ්‍ය පංතිවලට අනවශ්‍ය වී ඇත. ජාත්‍යන්තර පාසල්වල අධ්‍යාපනය ලැබූ දරුවන් රජයේ පාසල්වලට ඇතුළත් කිරීම වැළැක්‌වීම සඳහා චක්‍රලේඛයක්‌ නිකුත් කොට ඇත. "පාසල් සුරැකීමේ සංවිධානය" නමින් වූ පෙර මුලින්ම කියූ සංවිධානයක්‌ විසින් මේ මේ ක්‍රියාවලියට අත්වැල් සපයමින් සිටී. මේ සංවිධානයේ නම මෙලෙස වෙනස්‌ විය යුතු වන්නේ ය. එය "ජාත්‍යන්තර පාසල් සුරැකීමේ සංවිධානය" විය යුතු ය.

සාමාන්‍ය පෙළ දක්‌වා ජාත්‍යන්තර පාසල්වල ඉගෙනුම ලබන දරුවන්ට, එම බොහෝ පාසල්වල උසස්‌ පෙළ පංතිවල විද්‍යාගාර ආදී පහසුකම් නැත. මේ නිසා රජයේ පාසල්වල උසස්‌ පෙළ පංති සඳහා මේ දරුවන් ඇතුළත් කිරීමට ඒ දෙමාපියෝ උනන්දු වෙති. මේ නිසා අද බොහෝ ජාත්‍යන්තර පාසල්වල උසස්‌ පෙළ පංති වැසී යැමේ තර්ජනයක්‌ පවතී. ඔවුන්ගේ ව්‍යාපාරික අරමුණු බිඳී යැමේ තර්ජනයක පවතී. මේ ජාත්‍යන්තර පාසල් හිමිකරුවන් පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කිරීමට දැන් සැලසුම් සකස්‌ කර හමාරය. මෙලෙස සිය ජාත්‍යන්තර පාසල් හැරදා ගියහොත් තම පෞද්ගලික විශ්වවිද්‍යාලවලට ද ළමුන් ඉතිරි වන්නේ ද නැත. මේ ජාත්‍යන්තර පාසල් කරවනුයේ කවර කවර අධ්‍යාපන බලධාරීන් දැයි කවුරුත් දනිති. ජාත්‍යන්තර පාසල්වල ඉගෙනුම ලැබූයේ ද පරදේශක්‌කාරයන්ගේ දරුවන් නොවේ. රටට බරක්‌ නොවී අවුරුදු එකොළහක්‌ සිය ශ්‍රමයෙන් දහඩිය මහන්සියෙන් උපයා ගත් මුදලින් සිය දරුවනට මේ දෙමාපියෝ ඉගැන්වූහ. අවුරුදු එකොළහක්‌ රටට බරක්‌ නොවී ඉගෙන ගත් මේ දක්‍ෂ දරුවන් රජයේ පාසල්වලට භාරගත යුත්තේ මල් පොකුරක්‌ දී ඉඹලාය· මේ ජාත්‍යන්තර පාසල්වල ඉගෙනගත් ළමුන් රජයේ පාසල්වලට ඇතුළත් කර ගැනීමෙන් ඈත දුෂ්කර දුප්පත් දරුවනට මං ඇහිරෙන්නේ නැත. මේ නිසා සැබෑ ලෙසම සිදුවනුයේ ජාත්‍යන්තර පාසල්වල උසස්‌ පෙළ පංති වැසී යැමේ තර්ජනයකි. මේ දිනවල එය සොයා බැලුවහොත් සොයාගත හැක. ඇතැම් ජාත්‍යන්තර පාසල්වල බලධාරීන් රජයේ පාසල්වල විදුහල්පතිවරුනට දුරකථන ඇමතුම් පවා දී නියෝග කරනුයේ තමුන්ගේ ළමුන් රජයේ පාසල්වලට ඇතුළත් නොකර ගන්නා ලෙස ය. මේ තර්ජනය වෙනත් වචන යොදා ගම්වල අහිංසක දරුවන්ගේ පිටේ තබා කඩුවෙන් කපන්නට හදන්නේ ය. ගම්බද දරුවන් උසිගන්වන්නට හදන්නේ ය. ජාත්‍යන්තර පාසල්වල ඉගෙන ගත් දරුවකුට ඕනෑම වේලාවකට රජයේ පාසලකට ඇතුළත් වීමට ඇති අයිතිය මූලික මිනිස්‌ අයිතියකි. ඉගෙනීමේ අවස්‌ථා ඇහිරීමට කිසිවකුටත් අයිතියක්‌ නොතිබිය යුතු ය. මෙය අහුරන්නේ ජාත්‍යන්තර පාසල් අයිතිකරුවෝ ය. සැබෑ තත්ත්වය එය ය. සැබෑ සිද්ධිය එය ය. පහේ ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකත් වී උණු උණුවේම පහේ ශිෂ්‍යත්වය අහෝසි කරන බව ප්‍රකාශ කරති. සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වූ විට කියන්නේ තමන්ට කැමති පාසලකට ළමයෙකුට උසස්‌ පෙළ සඳහා ඇතුළත් විය නොහැකි වග ය· දැන් අලුත්ම සෙල්ලම වී ඇත්තේ ජාත්‍යන්තර පාසල්වල අධ්‍යාපනය හැදැරූ සිසුන් රජයේ පාසල්වල උසස්‌ පෙළ පංතිවලට ඇතුළත් නොකර ගත යුතු වග ය. මෙම චක්‍රලේඛණ නිකුත් කරනුයේ මේ රටේ හතළිස්‌ ලක්‍ෂයක්‌ වූ දරු දැරියන්ගේ නිදහස්‌ අධ්‍යාපනය සුරැකීමට නොව තම හිතුවතුන්ගේ ජාත්‍යන්තර පාසල් කඩාවැටීම නැවැත්වීමට ය. මෙකී ජාත්‍යන්තර පාසල්වලට ළමුන් ඇතුළත් කළ දෙමාපියන්ට මෙම ව්‍යාපාරික ජාත්‍යන්තර පාසල් සුරැකීමට හෝ නඟාසිටුවීමට කිසිදු උවමනාවක්‌ නොමැත. උවමනාව වී ඇත්තේ තම දරුවනට ලොවට ගැළපෙන අධ්‍යාපනයක්‌ කොතැනකින් හෝ ලබාදීමට ය.

නිහාල් කරුණාරත්න

Post a Comment

0 Comments