හඳහන් 3 ක්‌ ඇති මෝදි


ගැහැනියකගෙන් වයස දැන ගැනීම අපහසු වන්නේ යම් සේද, එසේම දේශපාලනඥයකුගෙන් උපන් වෙලාව දැන ගැනීම ද දුෂ්කරය. මේ අනුව ඔවුහු තමන් උපන් වෙලාව නැකත යනාදිය ගැන හෙළිදරව් කිරීම හෝ හඳහන ප්‍රසිද්ධ කිරීම නොකරති. ඉන්දියාවේ නව අගමැති නරේන්ද්‍ර මෝදි පිළිබඳ තත්ත්වයද මෙයමය. ඔහුගේ නිවැරැදි හඳහන සෑදීම සඳහා අවශ්‍ය නිවැරැදි උපන් වේලාව මත බේදයට තුඩුදී තිබේ. ඔහු 1950 සැප්තැම්බර් 17 වැනිදා උදේ 10.00 ට උපන් බව පිරිසක්‌ කියති. තවත් පිරිසක්‌ කියන්නේ එය උදේ 11 විය යුතු බවය. මේ නිසා මෝදිගේ ජීවිත පලාපල කියන විට උපන් වේලාවන් දෙකම සැලකිල්ලට ගෙන හඳහන් දෙකක්‌ සාදා ඒ දෙකෙහිම තිබෙන පොදු ලක්‍ෂණ සැලකිල්ලට ගත යුතුය. ඉන්දියාවේ ප්‍රධාන ජ්‍යෙdතිෂ ගුරුකුල තුනක්‌ මෝදිගේ ලග්නය ගැන මත තුනක්‌ දරති. ඔහු කන්‍යා ලග්න හිමියකු බව කොටසක්‌ කියති. ඊළඟ පිරිස කියන්නේ ඔහු තුලා ලග්න හිමියකු බවය. මේ අතර වැඩි දෙනාගේ පිළිගැනීම ඔහු වෘශ්චික ලග්න හිමියකු බවය. ඒ උදේ 11.00 උපන් වෙලාව ලෙස ගෙන සෑදූ හඳහනට අනුවය. උපන් වේලාව උදේ 10.10 ට අනුව ගණන් බැලීමේදී නරේන්ද්‍ර මෝදි තුලා ලග්න හිමියෙකි. එම ලග්නයට අනුව සෑදූ හඳහනේ කියෑවෙන පරිදි සිකුරු උච්චව පවතින අතර සෙනසුරු සමග ඒකාබද්ධව ඇත. රාහු බලවත් වන අතර සතුරන් ජය ගැනීමට පුළුවන. සූර්යයා, කේතු සහ කුජ සමග රාශිගතව සිටින අතර චන්ද්‍රයා සහ අඟහරු හඳහනේ දෙවැනි කොටුවෙහි බලවත්ව සිටින අයුරු පෙනෙයි. එසේම චන්ද්‍රයා සහ අඟහරු මතින් රාහු ගමන් කරන බවක්‌ පෙනෙන්නට තිබීම නිසා අනාගත අපලකාරී තත්ත්වයක්‌ පෙන්නුම් කරයි. මේ අනුව නරේන්ද්‍ර මෝදි අනාගතයේදී මුදල් කළමනාකරණය සම්බන්ධයෙන් ගන්නා තීරණ වැරදී යැමට ඉඩ ඇති අතර අනවශ්‍ය වියදම් ද බහුලව පෙන්නුම් කරයි. කෙසේ වුවද තුලා ලග්නය මූලික කරගත් කේන්ද්‍රයට අනුව අනාවැකි කියූ දෛවඥයන් වැඩි දෙනා සඳහන් කළේ නරේන්ද්‍ර මෝදි කිසි විටෙකත් ඉන්දියාවේ අගමැති නොවන බවය. උදාහරණයක්‌ වශයෙන් ඉන්දියාවේ නාග්පූර් ප්‍රදේශයේ සිටින සුප්‍රකට දෛවඥයකු වූ Abhishak soni ඉකුත් පෙබරවාරි 14 වැනිදා කියා සිටියේ මාර්තු අප්‍රේල් සහ මැයි යන මාස තුන මෝදිට ඉතාම නරක බවය. එහෙත් මෝදි අගමැති ලෙස දිවුරුම් දෙන්නේ ද මැයි මාසයේදීය. සෝනිට අනුව 2013 අප්‍රේල් 29 වැනිදා සිට 2014 ඔක්‌තෝබර් 29 දක්‌වා කාලය තුළ මෝදි සතු තීරණ ගැනීමේ හැකියාව රාහු විසින් අවුල් කරනු ලබන්නේය. එහෙත් 2013 අප්‍රේල් 29 වැනිදා සිට මේ දක්‌වා මෝදි ගත් එකම තීරණයක්‌වත් වැරදී නැත. අභිෂෙක්‌ සෝනිගේ අනාවැකියට අනුව වසර 2011 නොවැම්බර් 28 වැනිදා මෝදිට චන්ද්‍රයාගේ මහ දශාව ලබන අතර එය අවුරුදු 10 ක්‌ ඉදිරියට පවතින්නේය. 

දැනට පවතින රාහුගේ අතුරු දශාව ලැබුවේ 2013 අප්‍රේල් 28 වැනිදාය. මේ වසරේ ඔක්‌තෝබර් 29 වැනිදා දක්‌වා බ්‍රහස්‌තිපතිගේ අතුරු දශාවක්‌ද මෝදිගේ ජීවිතයට බලපෑම් කරනවා ඇත. "චන්ද්‍රයා සහ රාහු ඒකරාශි වීම එතරම් සුබ දෙයක්‌ නොවේ. නරේන්ද්‍ර මෝදිගේ ජන්ම කේන්ද්‍රය රාහු විසින් කඩා බිඳ දමනු ලැබ තිබේ. 'ඔහුගේ ජීවිතය අවුල් කරන්නේ රාහු යෑයි දෛවඥ සෝනි පවසා තිබේ.

එහෙත් වෘශ්චික ලග්නයට අනුව සාදනු ලැබ ඇති කේන්ද්‍රයේ එන පරිදි නරේන්ද්‍ර මෝදි යනු සැලකිය යුතු තරම් වැදගත් ක්‍රියාකාරිත්වයක්‌ ඇති පුද්ගලයෙකි. ඔහු සතු ආත්ම ශක්‌තිය ඉතා ඉහළය. ව්‍යාපාරික ජීවිතයේදී ඔහු ඉතා දඩබ්බර පුද්ගලයෙකි. ඔහු හැම විටම අනුගාමිකයකු නොව නායකයෙක්‌ බවට පත්වෙයි. ඔහු බැංකුකරුවකු වී නම් ඉතා ඉහළ තත්ත්වයකට පත් වීමට ඉඩ තිබුණ අතර විද්‍යාර්ථියකු වී නම් ඉහළම තනතුරකට පත්වනවා ඇත. ව්‍යාපාරික ජීවිතයේදී ඔහුගේ ගමන නිරතුරුවම වැටී ඇත්තේ රළු මාවතක්‌ ඔස්‌සේය. 

නරේන්ද්‍ර මෝදි නිතරම අන් අය පරීක්‍ෂා කර බලයි. ඔහු සිනමාවට අවතීර්ණ වූයේ නම් අති දක්‍ෂ අධ්‍යක්‍ෂවරයකු වන නමුත් ඔහු කවදාවත් නළුවකු නොවිය යුතුව සිටි කෙනෙකි. මන්ද යත් අධ්‍යක්‍ෂකමට ඇති ඉවසිල්ල නළුකමේදී ඔහුට නැත.

මුදල් පරිහරණයේදී ඔහු ඉතා ප්‍රවේශම් සහගත පුද්ගලයකු බව ඔහුගේ කේන්ද්‍රය පෙන්වයි. ඔහු මුදල් වැය කිරීමට ඉතා ලෝභ නමුත් මුදලට කෑදර නැති බව කේන්ද්‍රය තවදුරටත් දක්‌වයි. ඔහු ව්‍යාපාරිකයකුව සිටියේ නම් ඉතා ඉක්‌මනින් විශ්‍රාම ගන්නා බව පෙනෙයි. කොටස්‌ වෙළෙඳපොළ සහ කර්මාන්ත ගැන ඔහු තුළ මහත් උනන්දුවක්‌ තිබේ. එහෙත් කොටස්‌ වෙළෙඳපොළ තුළ අවදානම් සූදු ක්‍රීඩාවක යෙදීමටද ඔහු තවදුරටත් කැමැති වන්නේ නැත.

කෙසේ වුවද නැවත වරක්‌ කිව යුතුව ඇත්තේ නරේන්ද්‍ර මෝදිගේ උපන් වෙලාව පිළිබඳ ව්‍යාකූලත්වය නිසා ඔහුගේ කේන්ද්‍රය සකස්‌ කර ඇත්තේ ආසන්න වශයෙන් බවය. එබැවින් සියලු පලාපල සකස්‌ වන්නේ ද ආසන්න වශයෙනි.

(අන්තර් ජාලයෙනි)
අශේන් රඹකොස්‌වැව 

Post a Comment

0 Comments