බෝනොවන රෝග


තරබාරුවට නිශ්චිත හේතුවක්‌ පැවසිය නොහැකි යෑයි ශ්‍රී ලංකාවට පැමිණි ඇමෙරිකානු විශේෂඥ වෛද්‍යවරයෙක්‌ පසුගියදා ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන් හමුවේ දේශනයක්‌ පවත්වමින් පැවසීය. මෙම දේශනය අවසානයේදී ශ්‍රී ලංකාවේ විශේෂඥ වෛද්‍යවරුන් කිහිපදෙනෙක්‌ ඇමෙරිකානු විශේෂඥ වෛද්‍යවරයාගේ ප්‍රකාශයට එරෙහිව අදහස්‌ දැක්‌වූහ. තරබාරුවට හේතු තිබෙනවා. තෙල් සහිත ආහාර, සීනි සහිත ආහාර අධික ලෙස අනුභවය, ව්‍යායාම නොකිරීම ආදී හේතු තරබාරුවට මුල්වන බව එම වෛද්‍යවරු කරුණු සහිතව අදහස්‌ දැක්‌වූහ. එම කරුණු දැක්‌වීම හමුවේ ඇමෙරිකානු විශේෂඥ වෛද්‍යවරයා මඳක්‌ පසුබසින්නට විය.

පසුව හෙළිවූයේ එම ඇමෙරිකානු වෛද්‍යවරයා විසින් මෙම අදහස්‌ ප්‍රකාශ කර ඇත්තේ සිය පර්යේෂණ සඳහා අවශ්‍ය මුදල් ආධාර ලබාගැනීමේ පසුබිම සකසා ගැනීමට බවය.

අප මෙම සිද්ධිය අනාවරණය කළේ වර්තමානයේ පවතින රෝග බිය ඇතිකිරීමේ ජාවාරමක්‌ හෙවත් මාෆියාවක්‌ පවතින බවට එක්‌ නිදසුනක්‌ ලෙසයි.

මේ වන විට අප රට තුළද බෝ නොවන රෝගවලට ගොදුරුවන පුද්ගලයන්ගේ සංඛ්‍යාව ඉහළයන්නට පටන්ගෙන ඇතැයි වෛද්‍යවරු පවසති. එනම් දියවැඩියාව, අධි රුධිර පීඩනය, ස්‌ථුලතාව, පිළිකා, හෘදයාබාධ ආදියයි.

මෙම රෝග බෝ නොවන රෝග ලෙස පැවසුවත් මේවා ජාන මගින් පරම්පරාවට යා හැකි රෝග ලෙසද වෛද්‍යවරු පවසති. එසේනම් බෝ නොවන රෝග ලෙස පැවසීමටද නොහැකිය. නමුත් බෝවන රෝග ලෙස අප හඳුන්වන්නේ රෝගියකු ඇසුරු කිරීමෙන් තවත් පුද්ගලයෙකුට එම රෝගය වැළඳීමේ හැකියාව සහිත රෝග සඳහාය. එනිසා මෙම රෝග බෝ නොවන රෝග ලෙස හඳුන්වයි.

ශ්‍රී ලාංකික අපට දියවැඩියාව, අධි රුධිර පීඩනය, ස්‌ථුලතාව, පිළිකාව, හෘදයාබාධ වැනි බෝ නොවන රෝග ඇතිවීමේ අවදානම වර්තමානයේ සුලභ වී ඇත්තේ අපගේ ජීවන රටාවේ පවතින වරදකිනි. පිළිකා රෝගය හැර අතීතයේදී මෙම සෙසු රෝග අප හැඳින්වූයේ සල්ලිකාරයන්ට වැළඳෙන රෝග ලෙසය. එනිසා මීට දශක දෙකකට පමණ පෙර දියවැඩියාව, අධිරුධිර පීඩනය, හෘදයාබාධ, ස්‌ථුලතාවය වැනි රෝග ගැන ඇතැම් දෙනා පැවසුවේ ආඩම්බරයෙනි. පැපොළ, ක්‌ෂය රෝගය, මන්දපෝෂණය වැනි රෝගවලින් එදා බොහෝ දෙනා පෙළෙද්දී දිය වැඩියාව, අධිරුධිර පීඩනය හෘදයාබාධ වැනි රෝග වැළඳෙන්නේ චීස්‌, බටර්, මස්‌ මාළු, වැඩිපුර අනුභව කරන සුව පහසු දිවියක්‌ ගත කරන පුද්ගලයන්ට ලෙස සිතූහ.

එදා සල්ලිකාරයන්ට වැළඳුණ ලෙඩ රෝග වර්තමානයේ බහුලවී ඇත්තේ අප සියලු දෙනා සල්ලිකාරයන් බවට පත්වී ඇති නිසාදැයි කියා ගැටලුවක්‌ද මතුවේ. නමුත් සැබෑ සත්‍ය එය නොවේ. වර්තමානයේ ඇති වෛද්‍ය පහසුකම්වල දියුණුව නිසා ලෙඩ රෝග හඳුනා ගැනීමේ අවස්‌ථාව ඉහළ ගොස්‌ තිබේ.

අතීතයේදීත් මෙම රෝගවලට ගොදුරු වූ අය සිටියහ. නමුත් නිසි වෛද්‍ය පහසුකම් නොමැතිවීම නිසා රෝගීන් හඳුනා ගැනීමට නොහැකි විය. එනිසා අධිරුධිර පීඩනයෙන්, හෘදයාබාධවලින් මිය ගිය පුද්ගලයන් ගැන එදා බොහෝ දෙනා හැඳින්වූයේ හඳුනාගත නොහැකි රෝගවලින් මිය ගිය පුද්ගලයන් ලෙසය. ඉහෙන් බහින ලෙඩක්‌ තිබුණේ නැහැ. ගහක්‌ ගලක්‌ වගේ හිටිය මනුස්‌සයා, මැරුණෙ. හූනියමක්‌ කරලා වෙන්න ඇති සමහරු පැවසූහ.

නමුත් දැන් මේ සියලු රෝග හඳුනා ගැනීමේ පහසුකම් ඉතා සුලභවීම නිසා ඕනෑම රෝගයක්‌ ගැන ඉතා පහසුවෙන් තොරතුරු අනාවරණය කරගත හැකිය.

නිරෝගී බව උතුම් සම්පත බව බුදුන් වහන්සේද දේශනා කර ඇත. එය සෙසු ආගමික නායකයෝද ප්‍රකාශ කර තිබේ.

නමුත් වර්තමානයේ මෙම රෝග සම්බන්ධව ජනතාවට දැඩි ආදරයකින් කරුණාවකින් පවසන්නේ වෛද්‍යවරුන්ට වඩා වෙනත් පිරිසකි. ඔවුන්ගේ අරමුණ සිය නිෂ්පාදන අලෙවි කර ගැනීමය. ආහාරපාන සහ ඖෂධ ව්‍යායාම උපකරණ ඉන් ප්‍රධාන තැනක්‌ ගනී.

පොල්තෙල්වල කොලෙස්‌ටරෝල් අධික බව පවසමින් එළවළු තෙල් අපගේ පරිභෝජනයට හඳුන්වාදුන්නේ බටහිර වෙළෙඳ සමාගම්ය. එනිසා පොල්තෙල් පමණක්‌ නොව පොල්කිරිද ආහාර සඳහා යොදා ගැනීමට අපගේ ගෘහණියෝ බිය වූහ. නමුත් ගාන ලද පොල්වල ඇති තෙල් පහසුවෙන් ශරීරයට ජීර්ණය නොවේ. එනිසා කපාපු පොල් හෝ ගාන ලද පොල් සුළු ප්‍රමාණයක්‌ ආහාරයට ගැනීම අගුණ නැති බව වෛද්‍යවරු පැවසුවත් බොහෝ දෙනා එය පිළිගන්නට මැළිවෙති. පිටි කළ පොල්කිරි උකුකිරි තරමට හානිකරය. එනිසා ආහාර සකස්‌ කිරිමේදී පොල්කිරි හැකි පමණ දියට සකස්‌ කළ යුතු බවට වෛද්‍යවරු උපදෙස්‌ දෙති. නමුත් තවමත් බොහෝ ගෘහණියෝ පිටි කළ පොල්කිරි බහුලව භාවිත කරති. පහසුවටත් ලෙහෙසියටත් ආහාර පිස ගතහැකිවීම ඊට ප්‍රධාන හේතුවයි.

චොක්‌ලට්‌ කන්න එපා, කේක්‌ කන්න එපා, සකස්‌ කළ ආහාර කන්න එපා, පිටි කෑම කන්න එපා යෑයි පැවසුවත් එම ආහාර වෙළෙඳපොළේ බහුලව ඇත.

ආහාරයට ගුණයෑයි පවසන කෑම බීම වෙළෙඳපොළේ ඇත්තේ දුලභවය. එනිසා එම ආහාර පානවල මිල ගණන්ද අධිකය.

මෙම තත්ත්වය මත බොහෝ දෙනා සිදු කරන්නේ සුලභව ඇති සිරුරට එතරම් හිතකර නැතැයි පවසන ආහාර පාන පරිභෝජනය කර බෝ නොවන රෝග වැළඳී ඇතැයිද කියා දැනගැනීම සඳහා වෛද්‍ය පරික්‍ෂාවන්ට යොමුවීමය. ඉන් පසු ඒ සඳහා ඖෂධ භාවිත කරති.

කල් තබාගත හැකි ලෙස සකස්‌ කළ මස්‌ වර්ග වැඩිපුර ආහාරයට ගැනීමෙන් පිළිකා රෝග ඇතිවිය හැකි බවට අනතුරු අඟවති. නමුත් එම මස්‌වර්ග වෙනුවට විකල්ප ආහාර වෙළෙඳ පොළේ සුලභ නැත. එබැවින් වස විස යෑයි පවසමින් එම ආහාරම අපි පරිභෝජනය කරමු. ඒ අතර පිළිකා භීතියකින්ද පෙළෙමු. ඉන් පිළිකා පමණක්‌ නොව මානසික ආතතියද ඇති වේ.

හෘදයාබාධ, අධිරුධිර පීඩනය, දියවැඩියාව යන රෝගවලට ප්‍රධාන හේතුවක්‌ ලෙස මානසික ආතතිය හඳුනාගෙන ඇත. ඒ අනුව බෝ නොවන රෝග සම්බන්ධව අතවශ්‍ය ලෙස කෙරෙන ප්‍රචාරයන් නිසාද එම රෝගවලට ගොදුරුවීමේ අවදානමක්‌ පවතී.

මෙම තත්ත්වය නිසා බොහෝ දෙනා නිකරුනේ රෝගීන් බවට පත්ව සිටිති. එනිසා ඔවුන් නිතර රජයේ රෝහල් සහ පෞද්ගලික රෝහල් සායන වෙත ගොස්‌ තම නිරෝගී බව ගැන පරීක්‍ෂා කරගනිති. නිරෝගී බව සඳහා වෛද්‍ය පරික්‍ෂා සඳහා යොමු වීම හොඳ සෞඛ්‍ය පුරුද්දකි. නමුත් මෙම පුරුද්ද රෝග භීතිකාවක්‌ බවට පත්වුවහොත් එය තවත් බෝ නොවන රෝගයක්‌ බවට පත්වේ.

එනිසා බෝ නොවන රෝග ගැන පවසනවා හා සමානව ඉන් වළකින ආකාරයත් ඒ සඳහා ගත යුතු ආහාර පාන ජනතාවට පහසුවෙන් ගත හැකි වෙළෙඳපොළක්‌ ඇති කළ යුතුය.

වර්තමානයේ ජනතාව අතර පවතින මානසික ආතතිය නැතිකර ගැනීමට ගත හැකි පියවර පිළිබඳව ජනතාව දැනුවත් කිරීම පමණක්‌ නොව ඒ සඳහා පහසුකම් පිළිබඳවද පැවසිය යුතුය. එනම් සතුටින් විවේකීව දවසේ පැයක්‌ පමණ හෝ ගත කිරීමට යොමු විය යුතුය. එහිදී ගීත ගායනයට යොමුවීම හෝ සංගීතය රසවිඳීම, මල් වගා කිරීම, ක්‍රීඩා කටයුතුවල යෙදීම, සුරතල් මසුන් ඇතිකිරීම, පොත් පත් කියවීම තමා තුළ යම් ගැටලුවක්‌ පවතීනම් එය සිතේ සිරකරගෙන නොසිට විශ්වාසවන්ත මිතුරකුට පවසා සිත සැහැල්ලු කර ගැනීම ආදී කටයුතු තුළින් පවතින මානසික ආතතිය සමනය කරගත හැකිය.

සීනී, ලුණු, තෙල් බහුල ආහාර ගැනීම වෙනුවට පෝෂ්‍යදායී ආහාර ගැනීමට යොමුවිය යුතුය එහිදී එළවළු, පලතුරු, ධාන්‍යවර්ග ආදිය දිනපතා ආහාරයට එක්‌කර ගත හැකිය.

සීනි, ලුණු සහ තෙල් සහිත ආහාරපාන පාලනයකින් යුතුව ගතයුතුය. පලතුරු වර්ග වුව වැඩිපුර ආහාරයට නොගත යුතුය. එහි ඇති ෆෘක්‌ටෝස්‌ නමැති සීනි වර්ගයද ශරීරයට වැඩිපුර එක්‌වීම දියවැඩියාවට හොඳ නැත.

අඩි 5 ක්‌ උසස්‌ පිරිමියකුගේ බර රාත්තල් 120 ක්‌ද ගැහැනියකගේ බර රාත්තල් 115 ක්‌ද තිබීම නිරෝගී දිවියකට ප්‍රයෝජනවත්ය. මෙම බර පුද්ගලයන්ගේ උස අනුව තීරණය කරගැනීම සඳහා උස වැඩිවන සෑම අඟලකටම රාත්තල් 04 ක්‌ එකතු කර ගත යුතුය. උස අඩුවන සෑම අඟලක්‌ සඳහාම රාත්තල් 04 ක්‌ අඩුකර ගත යුතුය. තමාගේ උසට සරිලනව තිබිය යුතු බර වැඩිනම් එය තරබාරු තත්ත්වයකි. උසට සරිලන ලෙස බර අඩුනම් එය මන්දපෝෂණ තත්ත්වයකි. වැඩිවී ඇති බර වෛද්‍ය උපදෙස්‌ මත අඩුකරගැනීමට පියවර ගත යුතුය. එය ආහාර පාලනය සහ ව්‍යායාම මගින් සිදුකර ගත හැකිය

හෘදයාබාධ වැළඳෙන රෝගීන් ගෙන් 60% ක්‌ම ඊට පෙර පපුවේ වේදනාවක්‌ නොතිබුණ අය වෙති.

පපුවේ වම් පැත්තේ ඇතිවන වේදනාව හෘදයේ දොaෂයක්‌ නිසා ඇති වන්නේ කලාතුරකිනි. හෘදයේ වේදනාවක්‌ අඩුම ගණනේ මිනිත්තු කිහිපයක්‌ පවතී.

පපුවේ මැද ඇරඹී එය පපු තෙරපන්නා බඳු ලෙස ඉතා දැඩිව දැනේ. වම් අත පහළට හෝ හක්‌ක දෙසට එම වේදනාව විහිදී යා හැකිය. පිටපැත්තේ උරපතු ඇට දෙක අතරට (කොදුඇට පෙදෙසට) දිව යා හැකිය. බඩේ දැවිල්ල, අධිකව දහදිය දැමීම, වමනය ඔක්‌කාරය, පපුවේ ගැස්‌ම, හිසකරකැවිල්ල, හුස්‌ම ගැනීමේ අපහසුතාව හෘදයාබාධයකදී මතුවේ. එබැවින් සෑම පපුවේ වේදනාවක්‌ම හෘදයාබාධයක්‌ ලෙස සිතා අනවශ්‍ය බියක්‌ ඇතිකරගත යුතු නැත. නිසි වෛද්‍ය උපදෙස්‌ මත එය හඳුනාගත හැකිය.

අප මෙලෙස පවසන්නේ හෘදයාබාධ, අධික රුධිර පීඩනය, දියවැඩියාව, ස්‌ථුලතාව යන බෝනොවන රෝග සතියෙන් දෙකෙන් සුව නොවන රෝග බැවිනි. මේ රෝග සඳහා දීර්ඝ කාලීනව ප්‍රතිකාර ගතයුතුව ඇත.

ඇතැම්විට මුළු ජීවිත කාලයටම බෝ නොවන රෝග සඳහා ප්‍රතිකාර ගත යුතුව ඇත.

වර්තමානයේ බෙහෝ පිරිස්‌ සිදුකරනුයේ බෝ නොවන රෝගවලින් ජනතාව මුදා ගැනීමට පියවර ගනු වෙනුවට එම රෝග වැළඳුන විට පාලනය කර ගැනීමට අවශ්‍ය උපදෙස්‌ ප්‍රචලිත කිරීමය. මේ සඳහා මෙවැනි රෝග පාලනයට ඇති ඖෂධ සමාගම් ඉතසිතින් ආධාර උපකාර කරති. එය නොදන්නා අහිංසක ජනතාව සතුටින් බෝ නොවන රෝග වැළඳ ගෙන මුළු ජීවිත කාලය පුරාම දුක්‌ විදිති.

උපාලි ද සේරම්

Post a Comment

0 Comments