උසාවියෙන් කෙළවර වූ කෝටි 29 ක්‌ වටිනා තහනම් ප්‍රේමය


සිනමා නිළි ආක්‌ෂා සුධාරි හෙවත් ගමගේ ආශා නමැත්තිය පිළිබඳ පසුගිය දිනවල සමාජයේ මහත් කතා බහට ලක්‌විය. ඉන්දියානු ජාතිකයකු වන කේ. වී. ගෝපිරාඡ් නමැත්තෙකුට විරෝධව සාපරාධී විශ්වාසය කඩකිරීම හේතුවෙන් මෙරට අධිකරණය විසින් ඇයට රුපියල් ලක්‍ෂ තුන්සියයක ශරීර ඇපයක්‌ ඇතුළු තවත් ඇප කොන්දේසි කීපයක්‌ පමුණුවන ලද අතර සෑම ඉරු දිනකම පෙරවරු 9.00 ත් 12.00 ත් අතර කාලය තුළ ඇය රහස්‌ පොලිසිය ඉදිරියේ පෙනී සිටිය යුතු බවටද අධිකරණය විසින් නියෝගයක්‌ නිකුත් කොට ඇත. ඇය විසින් අධිකරණයට ප්‍රකාශ කර ඇති ආකාරයට සහ එම සිදුවීම මාධ්‍ය මගින් ප්‍රකාශය කළ ආකාරය අනුව පෙනී යන්නේ මේ සියල්ල "ප්‍රේමනීය ගනුදෙනුවක" අතුරු ප්‍රතිඵල වශයෙන් ඇයට විඳින්නට සිදුවී ඇති ප්‍රේමයේ දඬුවම් ලෙසය.

ආක්‌ෂා සුධාරි සැබැවින්ම රූමත්ය. සිනමාව රූපවාහිනිය දිගේ දිගු ගමනක්‌ යැම පිණිස ඇයට පැහැදිලිs මාවතක්‌ විය. දිනෙන් දින ජනප්‍රියත්වය ඇය සොයා පැමිණෙන්නට වූයේ ඇය සතු රූමත් බවත් රංගන කුසලතාවයත් හේතුවෙන්ය.

එහි ප්‍රතිඵලයක්‌ ලෙස ඉකුත් වසරේ ජනවාරි මස දිනක ඇය ඇතුළු තවත් පිරිසක්‌ ඉන්දියාව බලා පිටත්ව ගොස්‌ ඇත්තේ සිනමා නිර්මාණයක රූගත කිරීම් පිණිසය. මාධ්‍ය මගින් වාර්තා කර ඇති ආකාරයට ආක්‌ෂා සුධාරි සහභාගි වූ එම ඉන්දියානු සංචාරය ඇගේ ජීවිතයේ බොහෝදේ වෙනස්‌ කිරීමට තුඩුදුන් සංචාරයක්‌ වී ඇත.

ඇය ඉන්දියාවේ ගතකළ දින කීපය ඇතුළත ඇයට අමුත්තෙකු මුණගැසී ඇත්තේ ඇතැම්විට ඇයද අපේක්‍ෂා නොකළ අයුරින්ය. ඉන්දියන් ජාතිකයකු වන ඔහු නමින් කේ. වී. ගෝපිරාඡ් නම් විය. ආක්‌ෂා සුධාරි නම් සුරූපී නිළියගේ සහ ගෝපිරාඡ් නම් ඉන්දියානු ජාතික විවාහක පුද්ගලයාගේ දැස්‌ එකිනෙක මුණගැසෙන්නේත් ඇයගේ ඉන්දියානු සංචාරය අතරතුරය. ගෝපිරාඡ් විවාහකයකු වුවද ආක්‌ෂා සුධාරිගේ සුරූපී රූ සපුව ඉදිරියේ ඔහු වසඟ වූවා පරිදිය. ප්‍රේමය විශ්වීය හැඟීමක්‌ බැවින් එයට දේශ දේශාන්තර සීමා මායිම්, ආගම් කුළ සිරිත් ආදියෙන් පලක්‌ නැත. ආක්‌ෂා සුධාරි නම් සුරූපිණිය හමුවේ ඒ සියල්ල අලුයම ලූ කෙළ පිඬක්‌ සේ ඉවතහල ගෝපිරාඡ් ඇය ඉදිරියේ පවසා ඇත්තේ ඇයව විවාහ කර ගැනීමට තමන් සූදානම් බවත් ඒ සඳහා අවශ්‍යව ඇත්තේ ඇගේ "ආදරය" පමණක්‌ම වන බවත්ය.

ඉන්දියානු රූගත කිරීම අතරතුර තම ජීවිතයට එබිකම්කළ ගෝපිරාඡ්ගේ ඉල්ලීම පිළිබඳ දෙවරක්‌ සිතා බැලූ ආක්‌ෂා සුධාරි අවසානයේදී නිගමනය කර ඇත්තේ පළමුව සිදුවූ දැන හඳුනාගැනීම දෙවනුව ආදරයක්‌ බවට පත්කොට අවසානයේදී එය විවාහයකින් කෙළවර කර ගැනීමය. කඩවසම් බවින් මෙන්ම මිල මුදල් අතින් කෝටිපතියකු වූ ගෝපිරාඡ්ගේ ලෝකයේ දොර කවුළු සියල්ල ආක්‌ෂා සුධාරි නම් ලාංකික රංගන ශිල්පිනිය වෙනුවෙන් විවර වන්නට ගත්තේ එතැන් සිටය.

දිනක ඉසුරුමත් ඉන්දියානු ජාතිකයෙකුගේ ආදරණීය බිරිඳ වීමේ අභිලාශයෙන් ආක්‌ෂා සුධාරි ගෝපිරාඡ්ගේ ලෝකයේ අයිතිකාරිය වී ඇත්තේ ගසක්‌ වටා වැලක්‌ එතෙන්නා සේ දැඩි සමීප බවකින් යුක්‌තවය. ඇගේ ආදරය වෙනුවෙන් අතදිගහැර මුදල් වියදම් කර ඇති ගෝපිරාඡ්ගේ අභිලාශය වී ඇත්තේද සුරූපී ලාංකික නිළියක්‌ අනාගතයේ දිනක තම බිරිඳ බවට පත්කර ගැනීමය. 

මේ අතර රූගත කිරීමක්‌ පිණිස ඉන්දියාව බලා පිටත්ව ගිය ආක්‍ෂා සුධාරි නැවත සියරට පැමිණ ඇත්තේ ඉන්දියාවේදී මුණගැසුණු අහඹු පෙම්වතා පිළිබඳ අපමණ සිහින ගොන්නක්‌ද තනි නොතනිය පිණිස තමන් සතු කරගනිමින්ය.

මේ අතර 2014 වසරේ තවත් දිනක ගෝපිරාඡ්ගේ ඉල්ලීම පිට ආක්‌ෂා සුධාරි ඩුබායි සංචාරයක්‌ සඳහා පිටත්ව යන්නේ තම ඥති සොයුරියක්‌වද ඒ ගමන සඳහා සහභාගි කරවා ගනිමින්ය. ව්‍යාපාරික පන්තියේ ගුවන් ටිකට්‌පත් මගින් ඩුබායි බලා පිටත්ව වන ආක්‌ෂා සුධාරි වෙනුවෙන් ඩුබායිවල පිහිටි අති සුඛෝපභෝගි හෝටල් කාමරයක්‌ වෙන්කරන ගෝපිරාඡ් එහිදී ඇයට අවශ්‍ය සියලු සැප සම්පත් ලබාදී ඇත්තේ ආදරය ඉදිරියේ මිල මුදල් තුට්‌ටුවකට මායිම් නොකරමිනි. දින කීපයක්‌ තම පෙම්වතිය සමඟ ගතකර ඇති ගෝපිරාඡ් එහිදීද ප්‍රකාශ කර ඇත්තේ තමන් නුදුරේ දිනක ඇයව විවාහ කර ගන්නා බවත් ඒ වන විට ඇගෙන් තොර ලොවක්‌ තමන් සතු නැති බවත්ය. එහිදී ගෝපිරාඡ්ගේ ආදරය වෙනුවෙන් ඇයට පුදකළ නොහැකි කිසිවක්‌ තිබී නැත.

ඩුබායිවල පිහිටි ඛනිජ තෙල් සමාගමක ඉහළම නිළයක්‌ දරන ගෝපිරාඡ්ගේ අනාගත බිරිඳ වීමට ආක්‌ෂා සුධාරි සතු රූමත් බව පමණක්‌ම ප්‍රමාණවත් නැත. ඒ සඳහා සුදුසු වටපිටාවක්‌ද ඇය සතුව තිබිය යුතුය. ඇගේ වුවමනා එපාකම් පිරිමසාලීම පිණිස ඉදිරිපත් වන්නේද ගෝපිරාඡ්ය. 

එතැන් සිට ආක්‌ෂා සුධාරිගේ වුවමනා එපාකම් පිරිමසාලීම පිණිස ගෝපිරාඡ්ගේ මිල මුදල් මෙරටට ගලා එන්නේය. ඒ ආකාරයෙන් ගෝපි රාඡ් විසින් ඇයට ලබාදී ඇති "ආදරණීය තිළිණයන්" අතර දෙහිවල දුම්රියපළ පාරේ පිහිටි සුපිරි නිවසක්‌ වන අතර එහි වටිනාකම ලෙස සඳහන්ව ඇත්තේ රුපියල් මිලියන 25 ක්‌ය. දියමන්ති එබ්බවූ ස්‌වර්ණාභරණ, රුපියල් ලක්‍ෂ 45 ක්‌ පමණ වටිනාකමින් යුත් රොලැක්‌ස්‌ වර්ගයේ අත් ඔරලෝසුව උපන්දින තෑග්ගක්‌ ලෙස ලබාදීමට නියමිතව තිබූ අධි සුඛෝපභෝගි මෝටර් රථයක්‌ ඒ අතර විය. ඉසුරුමත් මිනිසෙකුගේ බිරිඳක්‌ වීමට එවැනි දේ අත්‍යාවශ්‍ය සාධක බැවින් ආක්‌ෂා සුධාරි කිසිවිටෙකත් තිළිණ ලෙස ලැබෙන දැ ප්‍රතික්‌ෂේප කොට නැත. මේ ආකාරයට ගෝපිරාඡ් විසින් ප්‍රදානය කළ "මිල අධික ආදරණීය තිළිණයන්" මෙරටට පැමිණ ඇත්තේ ආක්‌ෂා සුධාරි සතු රූමත් බවත් ඇය විසින් ගෝපිරාඡ් වෙත ඒ වන විට තිළිණ කොට තිබූ සීමා මායිම් නැති ආදරයත් හේතුවෙන්ය. 

මේ වන විට දිනෙන් දින දලුලන ආදරය හමුවේ දිගු කලක්‌ එකිනෙකා නොදැක සිටීම තරමක්‌ අසීරුය. ඔවුන්ගේ ප්‍රේමනීය ගනුදෙනුවට වසරක්‌ පිරුණා පමණය. ඔය අතර නැවත වතාවක්‌ ආක්‌ෂා සුධාරි අමතමින් ගෝපිරාඡ් ඉල්ලා ඇත්තේ නැවත වතාවක්‌ විවේකය පිණිස ඩුබායි වෙත පැමිණෙන ලෙසය. එයට තවත් විශේෂ හේතුවක්‌ වී ඇත්තේ පසුගිය ජනවාරි 15 වැනි දිනට ගෝපි රාඡ්ගේ උපන් දිනයද යෙදී තිබීමය. එබැවින් ගෝපි රාඡ්ගේ ආදරණීය ඉල්ලීම කිසි ලෙසකින්වත් ප්‍රතික්‌ෂේප කළ නොහැකිය. ඇය එහි යා යුතුමය. එවර සංචාරය සඳහා ආක්‌ෂා සුධාරි ඩුබායි බලා පිටත්ව යන්නේ තනිනොතනිය පිණිස තම මවද සහභාගි කරවා ගනිමින්ය. තම අනාගත ස්‌වාමිපුරුෂයාගේ උපන් දින සැමරුම පිණිස ඩුබායි බලා පිටත්ව යන ලාංකික නිළියගේ අනාගත සිහින එකින් එක බොඳව යන්නට ගන්නේ දෙවන වරට කරන ලද ඩුබායි සංචාරයේ දින කීපයක්‌ ගතව යැමෙන් අනතුරුවය. හිම මෙන් පිරිසිදුව තිබූ ඇගේ ආදරය මදින් මද දියව යන්නට පටන්ගෙන ඇත්තේ එතැන් සිටය.

ඒ වන විටත් තමන් වෙනුවෙන් කෝටි ගණනාවක්‌ වියදම් කොට ඇති ඉන්දියානු ජාතික පෙම්වතා සතුව තවත් මැලේසියානු ජාතික පෙම්වතියක්‌ සිටින බව දැන ගන්නා ආක්‌ෂා සුධාරිට හැඟෙන්නේ තමන් මෙතෙක්‌ දිනක්‌ තහනම් ගසක ගෙඩි කෑ බවය. වසරක පමණ කාලයක්‌ පැවැති ගෝපිරාඡ්, ආක්‌ෂා ප්‍රේමණීය ගනුදෙනුවට තිත වැටෙන්නේ එම සිදුවීමත් සමඟය. එවර ඇය නැවත සිය මවද කැටිව නැවත සියරට බලා පැමිණෙන්නේ තම ප්‍රාණ සම ඉන්දියානු ජාතික පෙම්වතා වූ ගෝපිරාඡ් කෙරෙහි උපන් කළ කිරිමෙන් යුතුවය.

මේ වන විට ගෝපිරාඡ් ආක්‌ෂා ආදරය අධිකරණය දක්‌වා දුරදිග ගොස්‌ ඇත. ලාංකික නිළියගේ ආදරය පිණිස ගෝපිරාඡ් වැයකොට ඇති මුදලෙහි අගය රුපියල් දාහතර කෝටි විසිනව ලක්‍ෂයක්‌ පමණ අගයකින් යුක්‌තය. ගෝපි රාඡ් විසින් එවැනි මුදලක්‌ වැයකොට ඇත්තේ ඇගේ ආදරයේ සොඳුරු සැමරුම් පිණිස බව වාර්තා වී හමාරය. ඒ සඳහා ආක්‌ෂා සුධාරි විසින් මිල මුදල් හැර තම ජීවිතයේ වටිනා බොහෝ දේ ගෝපිරාඡ් ඉදිරියේ ප්‍රදානය කර හමාරය. මේ වන විට ගෝපිරාඡ් ආක්‌ෂා සුධාරි පෙම්පලහිලව්ව අධිකරණ කටයුත්තක්‌ ලෙස විභාග වෙමින් පවතින අතර ප්‍රේමයත් වෛරයත් අතර වෙනසෙහි තරම ඔවුන් දෙපළට හැඟී යැමට තවත් කලක්‌ ගතවනු ඇත.

රුවන් ජයවර්ධන

Post a Comment

0 Comments