වඳ වූ බවට සැක කළ ලොව විශාලතම මී මැස්සා පණ පිටින් සොයා ගැනේ


වඳ වී ගොස් ඇතැයි විශ්වාස කළ ලොව විශාලතම මී මැස්සා දශක ගණනාවකට පසු යළි සොයා ගැනීමට හැකි වී තිබේ.

වැඩුණු පුද්ගලයෙකුගේ මහපටැඟිල්ලක් තරම් විශාලත්වයෙන් යුත් යෝධ මී මැස්සා හමු වී ඇත්තේ, වැඩි වශයෙන් ගවේෂණයට ලක් නොවූ ඉන්දුනීසියානු දූපතකිනි.

දින කිහිපයක් පුරා පැවති ගවේෂණ කටයුතුවලින් අනතුරුව වනජීවී විශේෂඥයින් පිරිසක් විසින් සජීවී තනි මී මැස්සෙකු සොයා ගනු ලැබිණි.

ගැහැණු සතෙකු වන මී මැස්සාගේ ඡායාරූප ගැනීමට මෙන් ම දර්ශන ලබා ගැනීමට ද ඔවුන්ට හැකි වී ඇත.

අදාළ මී මැසි වර්ගය වොලස්ගේ යෝධ මී මැස්සා ලෙස හඳුන්වනු ලබයි. බ්‍රිතාන්‍ය පාරිසරික විද්‍යාඥයෙකු සහ ගවේෂකයෙකු වූ ඇල්ෆ්‍රඩ් රසල් වොලස් (Alfred Russel Wallace) විසින් 1858 වසරේදී එම මී මාසි වර්ගය හඳුන්වා දීම හේතුවෙන් එලෙස නම් කර තිබේ.

1981 වසරේදී එම වර්ගයේ මී මැස්සන් ප්‍රභේද කිහිපයක් සොයා ගැනුණ ද ඉන්පසු එම කෘමීන් දක්නට ලැබුණේ නැත.

පසුගිය ජනවාරි මාසයේදී ගවේෂක කණ්ඩායමක් මීට වසර සිය ගණනකට පෙර වොලස් ගිය මග ඔස්සේ ඉන්දුනීසියාව හරහා ගවේෂණ චාරිකාවක නිරත වී ඇත්තේ, යෝධ මී මැස්සන් සොයා ඡායාරූප ගැනීමේ අරමුණිනි.


"වඳ වී ගොස් ඇති බවට විශ්වාස කර සිටි මේ 'පියාඹන දැවැන්තයා' අප ඉදිරිපිට දකින්න ලැබුණු මොහොතේ අපි පුදුම වුණා," මෙම සුවිශේෂී කෘමියා පළමු වරට ඡායාරූපයට සහ දර්ශනයට හසු කර ගත් පාරිසරික ඡායාරූප ශිල්පී ක්ලේ බෝල්ට් පැවසීය.

"මේ විශාල සහ ලස්සන කෘමියා දකින්න ලැබීමත්, මගේ හිස අසලින් පියාඹා යන ශබ්දය ඇසීමත් මට අදහා ගත නොහැකි වුණා."

වොලස්ගේ යෝධ මී මැස්සා (Megachile pluto)


  • පියාපත් දිග හැරීමෙන් පසු සෙන්ටිමීටර් 6ක් පමණ විශාලත්වයෙන් යුතු වොලස්ගේ යෝධ මී මැස්සා ලෝකයේ විශාලතම මී මැස්සා ලෙස සැලකේ.
  • ගැහැණු මී මැස්සන් වදය සාදන්නේ වේ තුඹස් තුළය. මෙය ගස්වල ඇති ලාටු රැගෙනවිත් වේයන්ට ආක්‍රමණය කළ නොහැකි පරිදි කූඩුවක ආකාරයට සකස් කෙරේ.
  • චාර්ල්ස් ඩාවින් සමග එක්ව පරිණාමවාදය ඉදිරිපත් කළ වොලස් මෙම මී මැස්සන් හඳුන්වා දී තිබුණේ, "අං කුරුමිණියෙකු වැනි අඬු සහිත විශාල කළු දෙබරෙකු වැනි කෘමියෙකු" ලෙසය.


  • වඳ වෙමින් පවතින ඇවිදින මාළුවා
  • වඳ වී යාමේ අනතුරේ සිටින සත්ව විශේෂ මොනවාද?

ගවේෂණයට එක්ව සිටි ප්‍රින්ස්ටන් විශ්වවිද්‍යාලයේ කීට විද්‍යාඥ සහ මී මැස්සන් පිළිබඳ විශේෂඥ එලි වයිමන් පැවසුවේ, මෙම සොයා ගැනීම හරහා මී මැස්සන්ගේ ජීවන ඉතිහාසය හැදෑරීමටත්, යෝධ මී මැස්සන් වඳ වීම පාලනය කිරීමටත් අවස්ථාවක් හිමි වී ඇති බවය.

වඳ වී ගිය ප්‍රභේදයන් සොයා ක්‍රියාත්මක කෙරෙන ලෝක ව්‍යාප්ත වැඩසටහනට සාපේක්ෂව ගෝලීය වනජීවී සම්මේලනය (Global Wildlife Conservation) මෙම ගවේෂණයට සහය දී තිබේ.

www.bbc.com

Contact Info

Lorem Ipsum is simply dummy text of the printing and typesetting has been the industry's.

Search This Blog

Categories

Subscribe Us