ගුරුකමට නිගරු කළ අමන තකතීරු

ඇගේ උප්පැන්න සහතිකයේ සඳහන් හැබෑ නම එය නොවුවද ඕ අතිශයින් ම සුරූපී නිසාම සුරූපී යන නමින් ඇයව හැඳින්වීම යෙහෙකැයි මට හැඟෙයි.

එතරම් වත් පොහොසත්කමක්‌ නැති එහෙත් කිසිදු අඩුපාඩුවක්‌ නැති කාගෙන්වත් කිසිදා කිසිම වරදක්‌ නොඇසූ වචනයේ පරිසමාප්තාර්ථයෙන් ම යහපත් වූ දෙමාපිය යුවළගේ එකම දරුවා වූ සුරූපී ඉගෙනුමට බොහෝ සමත්කම් දැක්‌වූවාය. ගමේ පාසලෙන් අ.පො.ස. සා/ පෙළ කඩඉම ඉතා ඉහළින් තරණය කළ ඕ අනතුරුව සිය උසස්‌ පෙළ කඩඉම තරණයකර වියතියක වීමේ උදාර අරමුණ පෙරදැරිව ගමෙන් නගරයට පිවිසියේ සිය ආදරණීය දෙමාපියන්ගේ බලවත් පෙරැත්තය නිසාමය.

"සල්ලි ගැන උඹ හිතන්න ඕන නෑ මගේ රත්තරනේ. අපටයි කියල හුඟක්‌ ඉන්න එකක්‌යැ. අපේ එකම බලාපොරොත්තුව උඹනේ රත්තරනේ. මම ඔක්‌කොම බලාගන්නම් උඹට තියෙන්නේ ඉගෙන ගන්න එක විතරයි. ඒ සුරූපීගේ පියා නිතර දෙවේලේ කී කතාවකි.

"පංතිවලටයි, ඇඳුම් පැළඳුම් වලටයි බස්‌ වලටයි මොන තරම් සල්ලියක්‌ ඕනැද තාත්තේ? ඒ ලෙවල් පාස්‌වෙලා කැම්පස්‌ යනකොට ඊට වඩා දහ ගුණයක්‌ සල්ලි ඕන. මට තාත්තා දුක්‌ විඳිනවා බලාගෙන ඉන්න බෑ අම්මේ. මම මංත්‍රීතුමා හමුවෙලා අපේ දුක කියලා මොකක්‌ හරි රස්‌සාවක්‌ ඉල්ල ගන්නවා." සුරූපී තම මව සමඟ කීවාය.

"එපා එපා රත්තරනේ.. තාත්තා කොහොම කොහොම හරි ඒවා බලා ගනීවි. උඹට තියෙන්නේ ඉගෙන ගන්න එක විතරයි." මව ද ඇගේ හිතුවක්‌කාර අදහසට හරස්‌ කපමින් කීවාය.

සුරූපී අතිශයින්ම රූමත් බව යළිත් සඳහන් කරමි. ඕ පැහැපත්ය. කදිම සිරුරකින් හෙබි ඇය වෙතින් පළවූ ප්‍රසන්න පෙනුම ඇගේ පියකරු සිනාව කාගේත් සිත්ගත් සෙයකි. වරක්‌ ඇය දෙස බැලූ අයෙක්‌ යළිත් වරක්‌ ඇය දෙස හැරී හෝ නොබැලුවා නම් එය විශ්මයකි. ඕ පාසලේ විදුහල්පතිතුමා, සමස්‌ත ගුරු මණ්‌ඩලය හා සියලුම සහෝදර සිසුන්ගේ නොමඳ ආදරයට සැලකිල්ලට පාත්‍රව යෙහෙන් අකුරු කරමින් සිටියාය.

පාසලේ පමණක්‌ නොව ගමේද ඇයට හිමිව තිබුණේ එවන් ස්‌ථානයකි. ඇගේ දෙමාපියන්ගේද, යහ පැවැත්ම ඊට තවත් හේතු කාරණා සපයන්නට ඇත.

"රත්තරනේ...... අද තාත්තා ගෙදර එනකොට ටිකක්‌ රෑ වේවි. මගේ තුනටිය ඇවිලිල්ලක්‌ හැදිල දැන් දවස්‌ තුන හතරක්‌ වෙනවා. මයෙ පුතේ..... හොඳ එකී වගේ රෑ වෙන්න කලින් කඩේට දුවලා වරෙන්........" එදා සවස පහට පමණ අම්මා සුරූපී ඇමතුවේ එසේය.

"හා අම්මේ...... මම ගිහින් එන්නම්. මොනවද ගේන්න ඕන?" අම්මාට ඇගේ ප්‍රතිචාරය එසේ විය. 

ගෙන ආ යුතු බඩු කිහිපයක්‌ සඳහන් කළ මව ඇයට ඒ සඳහා මුදල් ද දුන්නාය.

"දොළ පාර පාළුයිනෙ රත්තරනේ. ඒ පැත්තෙන් යන්න එපා. ටිකක්‌ දුර වුණාට කාරි නෑ රවුම් පාරෙන් ගිහින් වරෙන් රත්තරනේ." ඕ වැඩිදුරටත් කීවාය.

"මොකට මොකාට බය වෙන්නද අම්මේ." අපේ ගමනේ මේක" සිනාසෙමින් කී සුරූපී මිදුලට බැස්‌සාය.

"මගේ අහිංසකීට තුණුරුවන්ගේ සරණයිෘ" නොපෙනී යන තම ආදරණීය දියණිය දෙස දෑස නොසලා බලාගෙන සිටිමින් ඒ ආදරබර මව සිතින් පතන්නට ඇත.

"අම්මා මට දොළ පාරෙන් යන්න එපා කියන්න ඇත්තේ කැලෑ පාර පාළු නිසා වෙන්න ඇති. ඒත් බය වෙන්න කාරණයක්‌ නෑ. රවුම් පාරෙන් යන්න ගියොත් කිලෝමීටර් දෙකක්‌ විතර. මම යනවා දොළ පාරෙන්." එසේ සිතූ සුරූපී ප්‍රධාන පාරෙන් කුඩා අතුරු පාරකට පිවිසියාය.

ඇයට එම පාර දිගේ වැඩිදුරක්‌ යැමට ඉඩ නොලැබිණි. ඈත එන පිරිමියකුගේ ඡායාවක්‌ දුටු ඇයට එක්‌තරා අන්දමක බියක්‌ ද ඇති විය. එහෙත් ආපසු නොහැරුණු ඕ පෙරටම ගියේ ගතට සිතට දිරිය එක්‌ කරමිනි.

"හත් දෙයියනේ. ඒ අපේ සිංහල සර් නේ. මම බය වෙච්ච තරමක්‌." ඊළඟ පියවර කිහිපය තබද්දී ඉදිරියට එමින් සිටි පුද්ගලයා හඳුනාගනිමින් ඒ එසේ සිතුවාය.

"හලෝ............. සුරූපී........ කොහේද කෙල්ලෙ මේ කැලේ මැදින් මේ හැන්දැවේ දුවන්නේ.?" ළඟටම ආ ගුරුවරයා කට පුරා සිනා සෙමින් ඇය ඇමතුවාය.

"කඩේ යනවා සර්..... අම්මා අසනීපෙන්, තාත්තත් ගෙදර නෑ." ඕ සිනාසෙමින් එසේ පිළිතුරු දුන්නාය.

තම ගුරුවරයා ඕනෑවටත් වඩා තමාට සමීප වෙමින් තමා දෙසට හෙලූ බැල්ම සුරූපිගේ හද සසල කිරීමට සමත් විය. ඕ බිය වෙමින් අඩි කිහිපයක්‌ පස්‌සට ගියා ය.

"මම ගිහින් එන්නම් සර්...... අම්මා මඟÊබලාගෙන ඇති" කී ඕ ආපසු හැරුණාය.

"මේ සුරූපී....... ඔහොම චුට්‌ටක්‌ ඉන්න. මට හන්දියෙන් එද්දී අමතක වුණා. මට රතු පාට පෑනකුත් අරගෙන එන්න. ආ මෙන්න සල්ලි." ගුරුවරයා එසේ කීවේය.

"සල්ලි ඕන නෑ සර්........ මම ගේන්නම්." අවස්‌ථාවෝචිතව කී ඕ යන්නට සැරසෙද්දී කඩිනම් ගමනින් ඇය අසලට ආ ගුරුවරයා ඇයට රුපියල් පන්සියයේ නෝට්‌ටුවක්‌ දිගු කළෙන් ඕ එය ගත්තාය.

"ඔයාටත් ඕන කරන දෙයක්‌ තියෙනවා නම් ඔය සල්ලි වලින් ගන්න සුරූපී" ඔහු පිටුපා යන ඇය දෙස බලමින් කීවද, ඊට කිසිවක්‌ නොකී ඕ කඩිනම් ගමනින් පෙරට ගියාය.

මද දුරක්‌ ගිය ඕ ආපසු හැරී බැලුවාය. ගුරුවරයා එතැනම නතර වී තවමත් තමා දෙසම බලාගෙන සිටන අයුරු දුටු ඕ තවත් තැති ගත්තාය.

නොසන්සුන් සිතින් යුතුව කඩේට ගිය ඕ අම්මා කී බඩු ටික ද ගුරුවරයා ගෙනෙන්නට කී පෑන ද මිලට ගෙන ආපසු හැරුණාය.

"රවුම් පාරෙන් යනවද? දොළ පාරෙන් යනව?" ඇගේ සිත දෙගිඩියාවෙනි.

"සර්...... ගෙදර යන්න ඇති. ඔන්න ඔහෙ දොළ පාරෙන්ම යනවා." යෑයි සිතූ ඕ කඩේ ළඟ හන්දියෙන් අතුරු පාරට පිවිසියාය. කඩිනම් ගමනින් පෙරට පියවර තැබුවාය.

"සුරූපී..... " පාළු පාර අයිනේ තිබූ මහ ගසකට මුවා වී සිටි ගුරුවරයා එක්‌වරම එසේ අමතමින් පාරට පනිද්දී ඇය අතිශය බියට පත් වූවාය. එහෙත් ඒ බවක්‌ පළ නොකළ ඕ..... "සර්..... ගෙදර ගියේ නැද්ද?" යෑයි ඇසුවාය.

"මම හිටියා ඔයා එනකල්. "මගේ පෑන ගෙනාවද?" අසමින් ඔහු ඇයට ළංවිය.

"ආ ඔව් සර්....... මෙන්න" කියමින් ඇය එය ඔහුට දිගු කළාය.

පෑන ගෙන සාක්‌කුවේ ගසා ගත් හේ ඇය දෙස මනමාල බැල්මක්‌ හෙළද්දී සුරූපී ඒ වග දුටුවාය.

"මෙන්න සර්ගෙ ඉතුරු සල්ලි" ඕ ඔහුගේ මුදල් ඔහුට දුන්නාය.

"එපා........ ඔයා තියාගන්න කෙල්ලෙ" ඔහු සිනාසෙමින් කීවේය.

"අනේ එපා සර්.... ගන්න ගන්න" ඕ එසේ කියමින් ඔහුට ළංවෙද්දී ඔහු ඇගේ සුරතින් අල්ලා ගත්තේය.

"අනේ සර්....... මාව අත අරින්න. කවුරු හරි දක්‌කොත්" ඕ හැඬුම්බර ස්‌වරයෙන් බැගෑපත් වූවාය.

"ඒ දැක්‌කොත් නේ. අපි ටිකක්‌ එහාට යමු." ඔහු ඇගේ සුරත දැඩිව අල්ලා ගෙන ඕ බැද්ද තුළට ඇදගෙන යන්නට තැත් කළේය.

"අනේ සර්............. එපා එපා මට බෑ" ඕ හඬන්නට පටන් ගත්තාය.

"බය වෙන්න එපා කෙල්ලෙ. මම උඹට වරදක්‌ කරන්නෙ නෑ. දඟලන්නෙ නැතුව හිටපං හොඳ එකී වගේ" ඔහු එසේ කියමින් ඕ පාරෙන් මඳක්‌ ඔබ්බේ කැලය තුළට ඇදගෙන ගියේය.

"අනේ බුදු සර් එපා එපා. මට යන්න දෙන්න... මම කෑ ගහනවා." ඕ මහ හඬින් කීවාය.

"කෑ ගැහුවොත් මිරිකනවා තොගේ බෙල්ල. මම කියන දේට එකඟ වුණොත් උඹට යන්න දෙනවා. නැත්තම් ඉතිං උඹේ මිනිය තමයි මහ උන්ට දකින්න වෙන්නෙ." ඔහු ඇයට මාරාන්තික තර්ජනයටක්‌ එල්ල කළාය.

"මට බෑ සර්... මට බෑ සර්ට දෙවියෙක්‌ විදියට මම සැලකුවෙ. අනේ ඇයි සර් සර්ගෙ දුවක්‌ වගේ ඉන්න මට මෙහෙම අපරාධයක්‌ කරන්න හදන්නේ?" ඕ හඬා වැළපෙමින් ඇසුවාය.

"අපරාධයක්‌ නෙවෙයි කෙල්ලෙ මේ. කෑ නොගහ පාඩුවෙ හිටපං හොඳ එකී වගේ" ගුරුවරයා ඇගේ ගෙල වට තම සුරත දමා ඇයව සිප ගනිමින් කීවේය.

ඕ මහත් පිළිකුළෙන් යුතුව ඔහු ඉවතට තල්ලු කරද්දී ඔහු ඇදගෙන වැටිණි. ඕ දුවන්නට සැරසුණාය. අභාග්‍යයකි. ඇගේ කකුලක්‌ ඔහුට හසුවිය.

ඔහු ගොදුරක්‌ කරා පනින වෘකයකු මෙන් ඇය තමා වෙතට ඇද ගනිමින් ඇය හැඳ සිටි ගවොම ක්‍ෂණයෙන් ඉරා දැමුවේය.

"බුදු අම්මෝ......... බුදු අම්මො.... මාව බේරාගනියෝ" ඇය නැගූ විලාපය බැද්ද පුරා දෝංකාර විය.

එවේලේ පාරේ යමින් සිටි ගැමියෙකුට ඇගේ විලාපය ඇසිණි. ඔහු විලාපය ආ දෙස මඳක්‌ විපරමින් යුතුව බැලුවේය. බැද්ද තුළ පාළු තැනක අඩ නිරිවත් තරුණියක්‌ යම් අයෙක්‌ හා පොර බදන අයුරු දුටු හේ වහා ක්‍රියාත්මක විය. හේ වහා ගමට දිව්වේය. ගම්මුන්ට පුවත දැන්වීය.

ගම්මු හතරපස්‌ දෙනෙක්‌ කඩු පොලු රැගෙන වහාම එතැනට දිව ආවේ විනාඩි ගණනාවක්‌ ඇතුළතය.

"මේ දර හේරත්ගෙ කෙල්ල නේද?" ගම්මු සිද්ධිය සෝදිසි කරමින් විමසූහ.

"එතකොට කවුද මේ අපරාධකාරයා" කෙනෙක්‌ ඇසීය.

"හත් වලාමයි. මේ අර ඉස්‌කෝලෙ මහත්තයා නේද?" ගැමියෙක්‌ ඔහු හඳුනා ගනිමින් හිසේ අත තබා ගත්තේය.

"ඉස්‌කෝලෙ මහත්තයා? ඉස්‌කෝලෙ මහත්තුරු ඔහොම තිරිසන් වැඩ කරනවද? හොඳටම ගහලා බඳිමු ගහක" තවත් ගැමියෙක්‌ යෝජනා කළේය.

ගම්මු එතැනට කඩා පනිද්දී ගුරුවරයාට කට උත්තර නැතිවිය. හේ දුවන්නට තැත්a කළ ද ඔවුන්ගෙන් ඉඩක්‌ නොලැබිණි. ඔවුහු තම මුගුරුවලින් ඔහුට නිර්දය ලෙස පහර දුන්නේ ඔහු බැගෑපත් වෙමින් වැඳ වැටෙද්දී ය. දුව යන ඔවුහු ඔහු අල්ලා ගසක බැන්දොaය.

අහිංසක සුරූපී නිරුවතින් බිම වැටී විලාප නඟන්නට වූවාය. ගැමි කතක්‌ වහා තමා හැඳ සිටි උඩ චීත්තය ගලවා ඇයට ඇන්ඳවූවාය.

"උඹට ඉස්‌කෝලකාරයා අපරාධයක්‌ කළාද කෙල්ලෙ?"

ගැමියෙක්‌ ඇසීය.

සුරූපී හඬමින් හිස වැනුවාය.

"ඔය කෙල්ල ගෙදර එක්‌කගෙන පලයල්ල. කවුරු හරි බයිසිකලයක්‌ තියෙන කෙනෙක්‌ පොලිසියට පලයල්ලා. මේකව ලිහන්න එපා පොලිසියෙන් එනකල්." පිරිසට නායකත්වය දුන් ගැමියා කීවේය.

"අනේ මට සමාවෙන්න... මට යන්න දෙන්න....... මාව පොලිසියට භාරදෙන්න එපා." ගුරුවරයා බැගෑපත් විය.

"තමුසෙ ගුරුවරයෙක්‌ද ඕයි? තමුසෙගෙන් ඉගෙන ගනිපු අර අසරණ කෙල්ලට අපරාධයක්‌ කරන්න හැදුවෙ මොන හිතකින්ද ඕයි.....? තමුසෙටත් ඔය වයසෙ දූලා දෙන්නෙක්‌ ඉන්නවා නේද? අනෙක තමුසෙ මහන වෙලා ඉඳලා සිවුරු ඇරපු මිනිහා. තමුසෙ බණ දහම් එහෙමත් හොඳට දැන දැන නේ මේ අහිංසක කෙල්ල විනාස කරන්න හැදුවෙ. හරි නම් තමුසෙ පණ පිටින් හම ගහන්නයි වටින්නෙ."ගම්මු අවලාද නැගූහ.

"මේකා ගුරුවරයෙක්‌ නෙවෙයි තිරිසනෙක්‌. මේ ගමේම හොර ගෑනු තුන්දෙනෙක්‌ ඉන්නවා මේකට. රෑට මඟුලෙ යනවා. උදේට අගේට සුදු කලිසම ඇඳගෙන ඉස්‌කෝලෙ යනවා." තවත් ගැමි කතක්‌ කෝපයෙන් කීවාය.

ගැමි තරුණයකුගේ දැනුම් දීම මත පොලිසිය ස්‌ථානයට ආවේය. ගම්මුන්ගේ නිර්දය ප්‍රහාරයට ලක්‌ව සිටි ගුරුවරයා බැමිවලින් මුදාගෙන ප්‍රදේශයේ රෝහල වෙත ගෙන යන ලදී. ඉතා අසාධ්‍ය තත්ත්වයේ පසුවූ හෙතෙම දිස්‌ත්‍රික්‌කයේ මහ රෝහල වෙත මාරු කර යවන ලදී.

ගැමි කතුන් විසින් වත්තම් කරගෙන නිවෙසට කැටුම ගිය සුරූපී මහ හඬින් හඬන්නට වූවාය. ඇයට කථා කර ගන්නටවත් බැරි තත්ත්වයක ඇය සිටියේය. ගැමි කතක්‌ ඇගේ මවට විස්‌තරය කීවාය. අසරණ ඕ මහ හඬින් විලාප නඟන්නට වූවාය.

සුරූපීට අපරාධයක්‌ සිදුව නොතබිණි. එහෙත් සිදු වූ සිද්ධියෙන් අතිශය කම්පාවටත් ලැඡ්ජාවටත් පත් ඕ තම කාමරයට වැදී දොර වසා ගෙන ඇඳෙහි වැතිර මහ හඬින් හඬන්නට පටන් ගත්තාය. මොහොතකදී ඇය නිහඬ වූයෙන් ඇයට නින්ද යන්නට ඇතැයි මව සිතුවාය.

හැන්දැවේ පියා ගෙදර ආවේ මහ හඬින් හඬාගෙනය. ඔහුට මගදී පුවත සැලව තිබිණි.

"රත්තරනේ දොර ඇරපං මගෙ රත්තරනේ." ඔහු මහ හඬින් හඬමින් ඇගේ කාමරයේ දොරට ගැසුවේය.

ඇගෙන් කිසිදු ප්‍රතිචාරයක්‌ නොලදින් හේ දොර කඩා දැමුවේය.

"හත් දෙයියනේ මගේ අහිංසක කෙල්ල." ඇඳ ළඟ බිමවැටී සිටි ඇය දකිමින් හේ විලාප නැඟීය.

මව තමා පෙළමින් සිටි දිගු කාලීන අසනීපයට ප්‍රතිකාර වශයෙන් ගෙනැවිත් තිබූ බේත් පෙති සිය ගණනක හිස්‌ කවර ඒ අසල වැටී තිබුණෙන් සිදුව ඇත්තේ කුමක්‌ දැයි කාටත් අවබෝධ වූයේ ක්‍ෂණයකිනි.

ඇයව වහාම ප්‍රදේශයේ රෝහල වෙත ගෙන යන ලදුව ඉතා අසාධ්‍ය තත්ත්වයෙන් යුතුව අම්පාර මහ රෝහල වෙත මාරු කර යෑවිsණි.

තත්ත්වය මෙසේ පවතිද්දී අර අසමඡ්ජාති ගුරුවරයාට හිතවත් ප්‍රදේශයේ විදුහල්පතිවරයෙක්‌ වෙතින් ඇගේ පියාට බරපතල බලපෑම් එල්ල වෙමින් තිබේ. ඒ ඇයව දූෂණය කිරීමට තැත් කිරීම පිළිබඳ ඔහු විසින් පොලිසියට කරන ලද පැමිණිල්ල ඉල්ලා අස්‌කර ගැනීමටය. නො එසේ නම් ලබන අගෝස්‌තුවේ පැවැත්වෙන අ.පො.ස. උ. පෙළ විභාගයට පෙනී සිටීමේ අවස්‌ථාව ඇයට අහිමි වන බවට ද තර්ජනයකි.

සුළු පැමිණිල්ලක්‌ නම් එසේ ඉල්ලා අස්‌කර ගත හැකි බව සැබෑය. ගුරුවරයකු තම ශිෂ්‍යාවක බලහත්කාරයෙන් දූෂණය කිරීමට තැත් කිරීම යනු බරපතල අපරාධයකි. එවන් බරපතල පැමිණිල්ලක්‌ ඉල්ලා අස්‌කර ගත හැකිද?

බරපතල අපරාධයක්‌ සිදු කිරීමට තැත් කළ තුච්ඡ ගුරුවරයා වෙනුවෙන් පෙනී සිටින අයට ද එරෙහිව ඌව පළාතේ මහ ඇමැතිවරයා ඇතුළු අධ්‍යාපන හා පොලිස්‌ නිලධාරීන්ගේ දැඩි අවධානය කඩිනමින් යොමු වේවා යි අහිංසක දැරියලේ (සුරූපිගේ) නාමයෙන් ඉල්ලා සිටිමු.

සුරූපී යන නම මනඃකල්පිතය. මෙම අවාසනාවන්ත සිදුවීමට පසුබිම මහියංගනය ප්‍රදේශයයි.

කේ. ඩබ්ලිව්. ගුණවර්ධන