විදේශ රටවලින් ලංකාවට ගෙන්වන පලතුරු අතුරින් විශේෂ තැනක් හිමිවන්නේ ඇපල් වලටය. ලංකාවේ රුපියල් ඩොලර් වී විදේශ විනිමය වෙනත් රටවලට ඇදී යන යුගයක ලංකාවේ ඇපල් වගා කල පරිඡ්ඡේදයක් තිබූ බව අසන විටද පුදුමය ගෙන දෙන්නකි.
1960-1977 යන කාලය තුළ අප රටේ යම් දේශීයත්වයට නැඹුරුවක් තිබූ කාලයක් යෑයි කීම නිවැරදියි. එවන් වූ වකවානුවක අප හමුදාවේ සේවය කර විශ්‍රාම ගිය මාර්ටින් නම් මේ මිනිසාට ලංකාවේ ඇපල් වගාකිරීමට සිතීම හාස්‍යගෙන දෙන්නක් වුවත් අවසානයේ අපව පුදුමයට පත්කරවන්නටද ඔහුට හැකිවිය.
නානුඔය ග්‍රේට්‌වෙස්‌ටන් කන්ද අවසානය වන වලපන ප්‍රදේශයේ මහඌව වතුයාය ආසන්න ප්‍රදේශය මෙම වගාවට සුදුසු ස්‌ථානයක් ලෙස මාර්ටින් තෝරාගත්තේ කෘෂිකර්මය ගැන මහත් වූ උගත් කමක් නිසා නොව පරිසරහිතකාමීව ජීවත් වූ ඔහුට සොබාදහම ගැන පරිසරය ගැන මැනවින් දැන හදුනගෙන සිටි නිසාය. අඩි 3000 ත් 5000 ත් අතර උස්‌වු කදුකරය තෝරාගත් ඔහු එහි සිට බලන විට පහළින් දිස්‌වූයේ මහියංගන ප්‍රදේශයත් එහි සිට කුඩාවට ගලන මහවැලි ගංගාවත්ය.
එක් පැත්තකින් වියළි කාලගුණයක් සහිත ප්‍රදේශයක් වන අතර අනෙක් පසින් ඒ ප්‍රදේශය වටවී ඇති ගේ්‍රට්‌වෙස්‌ටන් කඳු පංතියත්ය. මේ පරිසර පිහිටීම ඇපල් වගාව සාර්ථක වීමේ රහස බවට පසුව කල පරීක්‍ෂණ වලින් හෙළිවූයේය. ඇපල් වගාව වඩාත් සාර්ථක වූ රහස වූයේ ශුෂ්ක ප්‍රදේශයේ සිට හමාගෙන එන වියළි සහිත සුළඟ ගේ්‍රට්‌ස්‌වෙස්‌ටර්න් කඳුවැටිය මත හැපීමෙන් ඒ අවට වායුගෝලයේ ඇති සීතල ජල වාෂ්ප සමඟ මුසුවීම නිසා ඒ ප්‍රදේශයට පමණක් වෙනස් වූ කාලගුණික විපර්යාස තත්ත්වයක් හට ගැනීම ඇපල් වගාවට විශේෂ හේතුවක් වූහ.
පූජකවරයකු මාර්ගයෙන් ඇපල් පැළ කිහිපයක් විදේශ රටින් ගෙන්වාගත් මාර්ටින් ඉතාමත් කැපවීමෙන් මේ ප්‍රදේශයේ ඇපල් වගාව කරගෙන ගියේය. අවුරුදු 5-6 ක් පමණ කාලයක් ගෙවී යන විට ඉතා සරුවට වැඩුණු ඇපල් ගස් ඔහුට දැකගත හැකිවිය. එක් ගසකින් එන පැළ ගෙන තව තවත් ඇපල් වගාව වර්ධන කරගත් මාර්ටින් ගසේ වැඩීම සඳහා යොදාගන්නා ලද්දේ වියළි ගොම කූඩයකට ලුණු ප්‍රමාණයක් හා ගසේ කඳ කොටසේ යුෂ උරාබොන කෘමීන්ගෙන් බේරා ගැනීමට ගාන ලද රසායනික ද්‍රව්‍යයක් පමණි.
ඉතා සරුවට වැඩුණු ඇපල් වගාව බොහෝ ප්‍රසිද්ධ විය. අප රටේ කෘෂිකර්මය පිළිබඳ උපාධි අධ්‍යයනයෙහි නිරත ව සිටි ශිෂ්‍යයන් මෙන්ම ආචාර්යවරුන්ද මෙම ස්‌ථානයට පැමිණ විවිධ පරීක්‍ෂණ කළ අතර දෙස් විදෙස් සඟරාවල පවා මෙම ඇපල්වගාව පිළිබඳ විස්‌තර හා රූපරාමු පළකළේය.
ඕස්‌ටේ්‍රලියාවේ සිට හදිසියේම අප රටට විශේෂ අධ්‍යයන කණ්‌ඩායමක් පැමිණියේද මේ කාලයේය. මාර්ටින්ගේ ඇපල් වත්තට ගිය ඔවුන් ඉතා සරුවට විශාලව වැඩුණු ඇපල් ඵලදාව දැක පුදුමයට පත්වූහ. තමාගේ ඇපල් වගාවේ සාර්ථක වීමේ සාස්‌තරය ඉතාමත් සතුටින් අමුත්තන්ට ප්‍රකාශ කළ ඇපල් මාර්ටින් පුලුවන් උපරිම ආකාරයට විදෙස් අමුත්තන්ට සංග්‍රහ කරන්නටද අමතක නොකළේය.
සියලු විමර්ශන කටයුතු අවසන් කළ ඔස්‌ටේ්‍රලියානු කණ්‌ඩායම මාර්ටින් හට අලුත් උපදෙස් මාලාවක් ලබාදුනි.
ඉතාමත් හොද වර්ගයේ ඇපල් පැළ ඔහුට ලබාදෙන බවත් ඒ පැළ මේ ගස් අතරට සිටුවන ලෙසත් තවදුරටත් උපදෙස් දී ඒ කණ්‌ඩායම ලංකාවෙන් පිටව ගියහ. පොරොන්දු වූ පරිදිම ඉතාමත් ඉක්‌මනට ඕස්‌ටේ්‍රලියාවෙන් ඇපල් පැළ එවන ලද අතර ලබාදුන් උපදෙස්‌ද මාර්ටින් අනුගමනය කළේ ඇපල්වගාව සම්බන්ධව හසල දැනුමක් ඕස්‌ටේ්‍රලියානු කණ්‌ඩායමට ඇති නිසාය.
මාස කිහිපයක් ගතවන විට ඇපල් මාර්ටින්ට දැකගත හැකිවූයේ එවන ලද පැළ සිටුවීමෙන් පසු සරුවට වැඩුණු ඇපල් වගාව මලානික වෙමින් යන බවත්ය. ඉතා කඳුළුපිරි දෙනෙතින් තම වගාව දෙස බලාසිටි ඇපල් මාර්ටින් රටේ අගමැතිතුමාටත් ප්‍රධාන කෘෂිකර්ම අධ්‍යක්‍ෂතුමාටත් මේ බව කෙසේ හෝ සැලකර සිටියහ.
එවකට ප්‍රධාන කෘෂිකර්ම අධ්‍යක්‍ෂව සිටි ඩොක්‌ටර් ජෝකින් මහතා වෙත මෙම පණිවුඩය සැලකිරීමෙන් පසුව විශේෂ කමිටුවක් පත්කළ අතර එම කමිටුව විසින් ඇපල් ගසෙහි කොටස් හා ඒ ආශ්‍රිත පස්‌ද වැඩිදුර පරීක්‍ෂණයන් සඳහා ගෙන එන ලදී. කෘෂිකර්ම අධ්‍යක්‍ෂතුමා කරන ලද පරීක්‍ෂණයන් වලින් පසු නිර්දේශයක් ලබාදුන්නේය. ඒ අලුත සිටුවන ලද ඇපල් පැළ ඉතාමත් ඉක්‌මනින් ගලවා ඉවත් කරන ලෙසත් එම පැළ පසෙහි හා අවට ඇති ඇපල් ගස්‌වල සාරවත් බව විනාශ කිරීමට තරම් ප්‍රබල හැකියාවක් ඇති බවය.
ඕස්‌ටේ්‍රලියාවේ විශේෂ ආදායමක් වූ ඇපල් වගාව ලංකාවේ ව්‍යාප්ත වීමෙන් තම රටට ලැබෙන ආදායම ගැන කලබල වූ ඔවුන් සිදුකළ අපරාධයට විරුද්ධ වීමට තරම් හැකියාවක් අප රටට නොතිබිණි.
එදා සිදුකළ වගා විනාශයෙන් පසු ඉතා කුඩා ප්‍රදේශ කිහිපයකට එනම් මහඌව, හරස්‌බැද්ද, වත්තේද ඇපල් වගාව ඉතා සුළුවට කරගෙන ගිය අතර, අද වනවිට ඇපල් පමණක් නොව පැපොල් ඇට ටිකද (ගස් ලබු බීජ) අපට අහිමිකර ඇතිබව අත්දැකීමෙන් අප දන්නෙමු.
රටත් ලෝකයත් එදා මෙන්ම අදත් මවිත කරවන්නට උත්සහ කළ පරිසරයට, සොබා දහමට ආදරය කළ ඇපල් මාර්ටින් වැනි මිනිසුන් අප අතර අදටත් සිටිය හැකි අතර ඔවුන් සැමවිටම අප රටට ලබාදෙන්නේ ලාංකීය අභිමානයයි.
ප්‍රියනන්ද අබේසිංහ