ජීවිතය ජයගන්න ධනාත්මකව සිතන්න


ජීවිතයේ එක් පියවරක් හෝ ඉදිරියටයාම ඔබ අප කාගේත් අරමුණක්. ඒ සදහාය් අප කවුරුත් වෙහෙසෙන්නේ. නමුත් බොහෝදෙනෙක් තම ජීවිතය ගෙවා දමන ආකාරය ගැන බලනවිට ඔවුන් තමන්ට ලැබුණු මේ අගනා ජීවිතයෙන් නිසි ප්‍රයෝජනයක් ගන්නවද, තම ජීවිතය දෙස කෙතරම් සුභවාදීව බලනවාද යන්න පිලිබදව ඇත්තේ එතරම් සතුටුදායක තත්වයක් නොවෙයි. අද අප අතර ජීවත්වන වැඩි පිරිසක් තමන් ගැන හෝ තමන් ලද දේ ගැන එතරම් සෑහීමකට පත්වන්නේ නෑ. නිරන්තරයෙන්ම ඔවුන් පසුවන්නේ යම්කිසි අසුභවාදී ආකල්ප සමූහයක් සමග. මේ හේතුව නිසාම අද බොහෝ පිරිසකට එක් පියවරක් හෝ ඉදිරියටයාම ටිකක් අපහසු තත්වයකට පත්වී තිබෙනවා. එසේනම් ඒ තත්වය නැතිකරගෙන ජීවිත ගමනේ ඉදිරියට යා හැකි “ධනාත්මක චින්තනයක් ” (  Positive Thinking ) ඔබ තුල ගොඩ නගාගතහොත් ඔබට අද සිටිනා තැන සිට එක් පියවරක් හෝ ඉදිරියට යා හැකිවේවි.


අප සෑමදෙනාගේම ජීවිතවල ඇති පරාජයන් හා ඇද වැටීම් බොහොමයි.ලොව දිනූ පුද්ගලයන්ගේ ජීවිත දෙස බැලූවිටද අපට පසක්වන්නේ ඔවුන්ගේ ජීවිතද මෙවැනි පරාජයන්ගෙන් හා ඇදවැටීම්වලින් යුක්ත වී ඇති බවයි. නමුත් වෙනස වන්නේ ඔවුන් ඒ පරාජයන් මතින් නැගී සිට ජීවිතය දෙස ධනාත්මක ආකල්පයකින් බලා ජීවිතය  ඉදිරියට  ගෙන යාමයි.



ධනාත්මක චින්තනය යනු කුමක්ද-What does “Positive Thinking” mean?



ධනාත්මක චින්තනය යනු ජීවිතයේ කුමන අවස්ථාවක් උදාවුවද ඒ ගැන සුභවාදීව බැලීමයි. උදාහරණයක් ලෙස යම්කිසි කෙනෙකුගේ රැකියාව අහිමිවූවයි සිතන්න. එවැනි විටක බොහෝ දෙනෙක් කරනුයේ ඒ අහිමිවීම පිලිබදව සිත සිතා ලතවීමයි. එසේ ඒ ගැනම සිත සිතා සිටීමෙන් ඇති පලයක් තිබෙදයි ඔබ මොහොතකටවත් සිතුවාද? ඇත්තටම ඒ ගැනම කල්පනා කර කර සිටීමෙන් සිදුවන්නේ ඔබගේ වටිනා කාලය අපතේ යැවීමක් සහ ඔබ සිතින් තව තවත් දුර්වලවීමක්. යම් හෙයකින් ඔබගේ රැකියාව අහිමිවූවානම් ඔබ කලයුත්තේ ඔබගේ සිත ශක්තිමත් කරගෙන අහිමි වූ රැකියාවටත් වඩා හොඳ රැකියාවක් සොයා ගැනීමයි. එවිට ඔබට හැගීයාවි ඔබ මෙතෙක් කළ රැකියාවට වඩා අලුත් රැකියාව ඉතා උසස් බව. අද ව්‍යාපාරික ලෝකයේ ඉතා ඉහලින් සිටින ව්‍යාපාරිකයන් බොහෝ දෙනෙක් ඒ තත්වයට පත්වී සිටින්නේ ඔවුන්ගේ රැකියාව අහිමිවීමේ ප්‍රතිපලයක් ලෙස. එනම් ඔවුන් රැකියාව අහිමිවීම ධනාත්මක ලෙස බලා ඒ අවස්ථාවෙන් සුභවාදී ජීවිතයකට මුලපිරීමක් සිදුකරගෙන තිබීමයි.



තමාට ඇති දේවල් පිලිබදව සිතන්න – Concentrate on what you have instead of wishing for what you don’t have



ධනාත්මක චින්තනය පුරුදු පුහුණු වීමටනම් මුලින්ම ඔබ, ඔබ ගැන සුභවාදීව සිතය යුතුයි. විශේෂයෙන්ම තමාට ඇති දේවල්, තමාගේ වටිනාකම්, තමා අන් බොහෝ දෙනාට වඩා වාසනවන්තබව සිතිය යුතුයි. නමුත් අද බොහෝදෙනා තමාට අහිමි දේ පිලිබදව සිතමින් කාලය කා දමනු විනා තමන්ට ඇති දේ පිලිබදව කිසිම ඇගයීමක් කරන්නේ නෑ. බොහෝ ශරීර අබාධ ඇති අය අතරේ ඔබ කෙතරම් වාසනාවන්තදයි සිතන්න.  එතුලින් ඔබට ඔබේ ජීවිතය ජය ගැනීමේ මූලික අරමුණ ඇති කර ගත හැකිය.



තමන්ට හැකි බව විශ්වාශ කරන්න – You can do anything if you believe in yourself



ඔබට ඔබේ ජීවිතය ජය ගෙන ඉදිරියට යා යුතු නම්, නිරන්තරයෙන්ම ඔබ, ඔබ ගැන විශ්වාසය තබා ගත යුතුයි. ඔබට ඕනෑම දෙයක් කිරීමට ශක්තිය ඇතිබව විශ්වාශ කරන්න. “නැහැ”, “බැහැ” යන වචන ඔබ ඔබගේ ශබ්දකෝෂයෙන් ඉවත් කර දැමිය යුතුයි. සැමවිටම “මට පුළුවන්” යන ධනාත්මක විශ්වාශයෙන් ඔබ කටයුතු කළහොත් ඔබටත් නොදැනීම ඔබ වඩා සාර්ථක පුද්ගලයකු වේවි. එවිට ඔබ තුල කෙතරම් දක්ෂකම් ඇත්දයි ඔබට හදුනාගන්නටත් පුළුවන්.

“මම කෙසේ හෝ මගේ ජීවිතය ජයගන්නවා” යන ආත්ම විශ්වාශය ඔබතුල ඇත්නම් ඔබේ ජීවිතය මීට වඩා සාර්ථක එකක් කර ගැනීමට හැකිය.


මෙනිසා ඔබට ඔබේ ජීවිතය අදට වඩා සුන්දර කරගෙන පියවරෙන් පියවර ඉදිරියට යාමට අවශ්යනම් වහා කලයුත්තේ ඔබ සිතන විදිය වෙනස් කර ගැනීමයි. මෙතුවක් ඔබ නිරන්තරයෙන්ම ජීවිතය දෙස සර්ව අසුභවාදීව බැලුවේනම්, ඔබ දැන්ම එය වෙනස් කරගන්න. ඔබ සිතනවාට වඩා ඔබට බොහෝ දේ හිමිව ඇත. ඒ හිමිවූ දේ තුලින් ඔබට ඉදිරියට යා හැකිය. ඒ ගමන කිසිවෙකුටත් නතර කර නොහැක. එසේනම් අදම

“ධනාත්මකව සිතන්න”, “ධනාත්මකව කතා කරන්න”, “ධනාත්මකව ක්‍රියා කරන්න”. හෙට නොව දැන්ම එය ආරම්භ කරන්න පමා නොවන්න.