බුදු දහම හා ධනාත්මක චින්තනය


ධනාත්මක චින්තනය (Positive Thinking) පිළිබඳ නූතන මනෝ විද්‍යාඥයන් හා අධ්‍යාපනඥයන් විශේෂ අවධානයක් යොමු කර ඇති බව පෙනේ. මීට දෙදහස් පන්සිය පනස් වසරකට පෙර ලොව පහළ වූ බුදු රජාණන් වහන්සේ ද මේ පිළිබඳ ගැඹුරින් අවධානය යොමු කොට ඇත. බුද්ධ චරිතය, බුද්ධ දේශනා හා ශ්‍රාවක චරිත අධ්‍යයනය කරන විට ධනාත්මක චින්තනයේ ඵලය මැනවින් පිළිබිඹු වේ.


තම අරමුණ ඉටු කරගැනීමේදී විවිධ බාධා සහ දුෂ්කරතාවන්ට මුහුණ පෑමට සිදු වෙයි. එම බාධක හා දුෂ්කරතා ජය ගැනීමට තම නොසැලෙන චින්තනය වෙසෙසින්ම ම වැදගත් වෙයි. බෝ මුල වෙත පැමිණි බෝසතුන් බුදු වීම සඳහා ඇති කරගත් චතුරංග වීර්යය ධනාත්මක චින්තනයේ සුවිශේෂ අවස්ථාවකි.



1. සිරුරේ සම් ගැලවී විසිර ගියත් බුදු වී මිස නොනැගිටිමි.



2. සිරුරේ නහර ගැලවී විසිර ගියත් බුදු වී මිස නොනැගිටිමි.



3. සිරුරේ ඇට කටු ගැලවී විසිර ගියත් බුදු වී මිස නොනැගිටිමි.



4. සිරුරේ මස් ලේ විසිර ගියත් බුදු වී මිස නොනැගිටිමි.



මෙලෙස ඇති කරගත් අධිෂ්ඨානය නිසා බුද්ධත්වය වැනි උත්තරීතර පදවියක් ලබාගැනීමට උන් වහන්සේ සමත් වූ හ. දිව්‍ය බ්‍රහ්ම මනුෂ්‍යාදීන්ගේ වැඳුම් පිදුම්වලට ලක් වූහ. අධිෂ්ඨානශීලි නොසැලෙන චින්තනයකින් ක්‍රියා කළ නිසා බුදු පදවිය හිමි කරගැනීමට බෝසතුන්ට හැකි වූවා සේ ඕනෑම පුද්ගලයෙකු නොසැලෙන සිතකින් ක්‍රියා කරන්නේ නම් ලද නොහැකි ජයග්‍රහණයක් නොමැත.



යම් ක්‍රියාවක් ආරම්භ කිරීමේදී “මට පුළුවන්, මම ප්‍රතිඵලය ලබාගන්නවා, මම දිනනවා” යනාදි හැඟීමෙන් යුතුව ක්‍රියා කිරීමෙන් සාර්ථක ප්‍රතිඵල ලබාගත හැකියි. එසේ නොවී යම් ක්‍රියාවක් ආරම්භයේදී එහි ප්‍රතිඵල ගැන සැකයක් ඇති කරගෙන ක්‍රියා කරන්නේ නම් ඉන් සාර්ථක ප්‍රතිඵල නෙළාගත නො හැකි ය. “ නැහැ, බැහැ” ආදි සෘණාත්මක ආකල්පයෙන් ක්‍රියා කරන්නාට ජීවිතයේ සාර්ථක ප්‍රතිඵල නෙළාගැනීමට නොහැකි ය. හැම දෙයක් ම අමාරු, අපහසු, නොහැකි දේ ලෙස සිතීම පරාජිතයාගේ ස්වරූපයයි. එසේ සිතන කිසිවෙකුට සමාජයේ ශ්‍රේෂ්ඨ පුද්ගලයන් විය නොහැකි ය. ඇතැමුන් ජීවිතයේ දියුණුව දෛවයට භාර කරයි. “මේ අපි ලබා උපන් හැටි, අපේ කරුමෙ තමයි, ලැබෙන දෙයක් ලැබේවි” මෙසේ සිතා ක්‍රියා කරන්නා සමාජයේ පසුපසට යයි. දියුණුව ලබා සමාජයේ ඉදිරියට යෑමට නොහැකි ය. සමාජයේ දියුණුව කරාපිය නගනුයේ අලුත් දේ සිතන, නිර්මාණශීලීව කටයුතු කරන පුද්ගලයන් පමණි.



”නාචින්තයන්තෝ පුරිසෝ විසේස මධිගච්ඡති” යන බුද්ධ දේශනාව අනුව අලුත් දේ නොසිතන පුද්ගලයා දියුණුවට පත් නොවන බව සඳහන් වේ. අද කළ යුතු දේ දැන් මහන්සියි, දැන් බැහැ, දැන් සීතලයි, දැන් ඌෂ්ණයි, දැන් නිදිමතයි කියා පසුවට කල් දැමීම තම පරිහානියට බාධාවක් පමණක් නොව පසුතැවීමට පවා හේතු වෙයි.සෑම මිනිසෙකු තුළ ම නිර්මාණශීලී දක්‍ෂතා පවතී. ඒවා ඉස්මතු කරගත හැක්කේ උත්සාහය හා චිත්ත ශක්තිය මගිනි. සිතේ ඇති වන අවිදු, පසුබට හැඟීම් නිසා බොහෝ පිරිස් පරිහානිය කරා ම යති.



පුද්ගල අපේක්‍ෂා සාර්ථක කරගැනීම සඳහා පුද්ගල චර්යාව හා සිතිවිලි කෙසේ සකස් විය යුතු ද යන්න බුදුරදුන් සූත්‍ර ධර්ම රැසකින් පෙන්වා දී ඇත. කරණීය මෙත්ත සූත්‍රය අනුව තමා පළමුව “ අත්ථ කුසල” පුද්ගලයෙකු විය යුතු ය. අත්ථ යනු අරමුණ යි. කුසල යනු දක්‍ෂතාව යි. තම අරමුණ ඉටු කරගැනීමට තමා දක්‍ෂයෙකු වීම මෙහිදී අදහස් කෙරෙයි. අරමුණ සාර්ථක කරගැනීමේදී තමා විසින් ඇති කරගත යුතු දක්‍ෂතා 15ක් පිළිබඳ කරණීය මෙත්ත සූත්‍රයේ සඳහන් වෙයි. එම කරුණු 15 අතර ‘සක්කෝ ‘ යන පළමු ගුණය සුවිශේෂ වේ. පොත පත කියවීමෙන්, ලිවීමෙන් අසා හෝ බලාසිටීමෙන් නැත හොත් ප්‍රගුණ කොට පුරුදු පුහුණු කරගන්නා විවිධ දක්‍ෂතා පුද්ගලයාට ඇති කරගැනීම ඉතා වැදගත් වෙයි. අදක්‍ෂ පුද්ගලයාට සමාජයේ ඉදිරියට යෑමට නොහැකි ය. මෙලොව පරලොව දෙලොව ම පරාජිතයෙක් වෙයි.



කුසල් හෙවත් දක්‍ෂතා දියුණු කරගැනීම දෙලොව හිත සුව පිණිසත්, අකුසලය අයහපත පිණිසත් හේතු වෙයි. අතීතයේ හෝ පෙර ආත්මයක පුරුදු පුහුණු කරගත් කුසල් ඇත්නම් මෙලොවදී හෝ පරලොවදී තම හිතසුව පිණිසත් අකුසලය අහිත පිණිසත් පැවතීම ලෝක ස්වභාවයකි. එනිසා පුද්ගලයා පරිත්‍යාගය, මෛත්‍රිය කරුණාව, ප්‍රඥාව යන කුසල සිතිවිලි උපදවාගෙන ඒ අනුව ක්‍රියා කළ යුතු ය. බුදු දහම පුද්ගලයාගේ දියුණුවට මඟ පෙන්වා ඇති දහමකි. ඒ තුළ කිසිදු බල කිරීමක් නොකෙරේ. බුදුරදුන් දිනක් බමුණෙකු අමතා. “බමුණ, ඔබ කැමති නම් ඉදිරියට යන්න, අකමැති නම් ඉදිරියට ;නාඑන්න” යනුවෙන් දේශනා කොට ඇත. ඉන් පැහැදිලි වන්නේ සිතා මතා බුද්ධියෙන් තීරණ ගැනීමට බුදු දහම පුද්ගලයාට නිදහස දී ඇති අයුරු යි. බමුණා අමතා බුදුරදුන් එහිදී පැහැදිලි කර දෙන ලද්දේ දියුණුව කරා පියනැඟීමට නම් පුද්ගල චිත්ත ශක්තිය, බුද්ධිය හා උත්සාහය අවශ්‍ය ම බවයි. යම් ක්‍රියාවක් කිරීමේදී



1. ආරම්භ ධාතු (යමක් ආරම්භ කිරීමට)



2. නික්ඛම ධාතු (ඉදිරියට කරගෙන යාමට)



3. පරක්කම ධාතු (බාධා මැඬගෙන යාමට)



4. ථාම ධාතු (බලවත් වීර්යයෙන් කිරීමට)



5. ඨීති ධාතු (ස්ථාවරම සිටීමට)



6. උපක්ඛම ධාතු (උපක්‍රමශීලී වීමට)



උත්සාහය තිබිය යුතු ය. එසේ නොවුව හොත් ක්‍රියාවක් ඉදිරියට කරගෙන යාමට හෝ සාර්ථක ප්‍රතිඵල නෙළාගැනීමට නොහැකි ය. තම ශක්තිය හා හැකියාව පිළිබඳ සැකයෙන් තොරව විශ්වාසවන්ත බව ඇති කරගත යුතු ය. තම හැකියාව තමා විසින් ම පිළිගෙන ආත්ම විශ්වාසයෙන් ක්‍රියා කිරීමෙන් පමණක් ම සාර්ථක ප්‍රතිඵල නෙළාගත හැකි ය. කුසීතකමින් පසුබැසීමෙන් ක්‍රියා කිරීමේ සෘණ මනෝභාවය දුරු කළ කල්හි තමා පිළිබඳ තමාට විශ්වාසය ගොඩනඟාගත හැකි ය. අලස මානසික බවින් යුතු පුද්ගලයන්ට සමාජය තුළ දියුණුව සලසාගත නොහැකි ය.



තමන් යම් ක්‍රියාවක් සාර්ථක ප්‍රතිඵල ලැබීමේ අරමුණින් කරගෙන යන කල්හි ඊට බාධා ඇති විය හැකි ය. බාධා ඇති වූ පමණින් උත්සාහය බිඳදමාගත යුතු නො වේ. විකල්ප ක්‍රම තුළින් තම ජයග්‍රහණයේ දොරටු විවර කරගත යුතු ය. ඇතැමුන් තමන්ට ඇති ශක්තිය හඳුනාගෙන නැත. වෙනත් අයෙකු දෙන උපදෙස් හෝ පිළිගෙන උනන්දුව ඇති කර නොගනියි. එබඳු තැනැත්තාට දියුණු විය නොහැකි ය. සෑම ජයග්‍රහණයකට ම මාවතක් ඇත. ඒ මාවත තම බුද්ධියෙන් සොයාගත යුතු ය. එහෙත් අනුන් දෙන උපදෙස් තමන්ට ගැළපේ දැ යි සිතා බැලීම ද කළ යුතු ය. උගතුන්, බුද්ධිමතුන්, ලේඛකයන් ඔවුන්ගේ ජීවිත ශ්‍රේෂ්ඨ බවට පත් කරගෙන ඇත්තේ ස්වකීය ශක්තිය හඳුනාගෙන ක්‍රියා කිරීමෙනි. ඒ බව ඔවුන්ගේ චරිත අධ්‍යයනයෙන් පැහැදිලි වෙයි.



එදා බුදුරදුන් ස්වකීය බුද්ධිය යොදවා ක්‍රියා කිරීමෙන් තිලොවට ම ශ්‍රේෂ්ඨ නායකයෙකු බවට පත් විය. එම පිළිවෙත අනුගමනය කළ ගිහි – පැවිදි දෙපිරිස ද ලෝකයේ ශ්‍රේෂ්ඨත්වයට පත් ව දෙලොව දියුණුව සලසාගත්හ.



විතාරන්දෙණියේ වජිරවංස හිමි

හම්බන්තොට සිංහගිරි විහාරාධිපති
සූරියවැව ජාතික පාසලේ ආචාර්ය
බොදු සංරක්ෂණ පදනමේ සභාපති