ලාංකේය සිනමාවට අලුතින්ම එකතු වුණු 'ප්‍රවේගය' චිත්‍රපටයේ 'උදාරි' ගේ චරිතයට පණ පොවමින් ඔබ හමුවට එන ඇය අපේ රිදී තිරයට පෑයු අලුත් තාරකාවයි. සිනමා අඹරේ දිගු ගමනක් යන්නට පෙරුම් පුරන ඇය හා කතා බහකට මෙවර 'තරුවක් සමඟ වරුවක්' විශේෂාංගය වෙන් වුණා. ඉතින් ප්‍රවේගයේ උදාරී නැතිනම් සැබෑ ජීවිතයේ උදාරී පොරේරා, ඇගේ වත ගොත අප හා බෙදා ගන්නට එකතු වුණේ බොහොම උනන්දුවෙන්.
උදාරී, උදාරී ගැන හැඳින්වීමක් කරන්නකෝ?
ඔබ අහන්නේ මොන උදාරි ගැනද,
මං මුළින්ම අහන්නම් උදාරි පොරේරා ගැන?
හා.. උදාරී කියලා තමයි මාව හදුන්වන්නේ මගේ සම්පුර්ණ නම ශෂිකා උදාරි පෙරේරා. නමුත් ශෂිකා කියන නම මේ ක්ෂේත්‍රයේදි භාවිත කරන්නේ නැහැ.
උදාරි ගේ ගම් පළාත, පවුලේ විස්තර එහෙමත් දැන ගන්නත් කැමතියි?
ගම වත්තල. නමුත් දැන් පදිංචිය නම් නාවල. පාසල් ගියේ වත්තල සාන්ත ආනා බාලිකාවටයි. පවුගේ මට ඉන්නේ නංගිලා දෙන්නෙක් විතරයි.
දන්න තරමින් ඔබේ මුල්ම වෘත්තීය රංගනය නොවෙයි?
ඔව්. මම මුලින්ම සේවය කළේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමෙයි. ඉන් පසු නිවේදන කටයුතුවලත් නියැලුණා. දැන් මගේම ව්‍යාපාරයක් කරගෙන යනවා.
කලා ක්ෂේත්‍රයට පිවිසෙන්නේ නිළියක් ලෙසයි?
නැහැ. මම මුලින්ම මේ ක්ෂේත්‍රයට පා තබන්නේ නිරූපිකාවක් ලෙසයි, ඒ කාලයේදීම ඉරාජ් සහ සංගීත්ගේ රන් රන් රන් ගීතයේ විඩියෝවට සම්බන්ධ වුණා. ඒ විෂුවල් එකෙන් ලැබුණු ජනප්‍රියත්වය ඔස්සේ දැන්වීම් සහ මියුසික් විඩියෝස් සැහෙන ප්‍රමාණයකට දායක වෙන්න මට අවස්ථාව ලැබුණා.
නිරූපණ ශිල්පිනියක් වූ උදාරීගේ රංගනයේ ඇරැඹුම කොතැනද?
'සිනිඳු පියාපත්' කියන ටෙලි ඩ්‍රාමා එකෙන් තමයි මුළින්ම රංගනයට එකතු වුණේ. එහි සරෝජා කියන කැරැක්ටර් එකටත් හොඳ ප්‍රතිචාර තිබුණා. නමුත් ඊට පස්සේ ටික කාලයක් මගේ ව්‍යාපාර කටයුතු නිසා රංගන කටයුතු වලින් ඈත් වුණා.
ප්‍රවේගය ට උදාරිගේ ප්‍රවේශය සිදු වෙන්නේ කොහොමද?
මම ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සේවය කරන කාලයේදී තමයි දිනක් සදේශ් මහතා මාව දැකලා තියෙන්නේ. පසුව ඔහු මගේ මිතුරියක් මාර්ගයෙන් මගේ දුරකතන අංකය ඉල්ලාගෙන කතා කළා. පසුව මේ චිත්‍රපටයට ඔහු මාව තෝර ගත් චරිතය ගැන විස්තර කළා. මටත් පිටපත කියවද්දි ඒ චරිතය තුළ යමක් කරන්න පුළුවන් බව වැටහුණා. අනෙක හොඳ නිෂ්පාදකවරයෙක් සහ අධ්‍යක්ෂකවරයෙක් යටතේ හොඳ නිර්මාණයකට එකතු වෙන්න මගෙත් බලාපොරොත්තුවක් තිබුණා. ඉතින් ප්‍රවේගය මගේ ඒ බලාපොරාත්තුවට ඉටු කර ගන්න ලැබුණු හොඳ අවස්ථාවක්.
එහෙනම් දැන් කියන්නකෝ අපිට ඒ උදාරී ගැන?
ඒ උදාරිත් මේ උදාරී වගේමයි. ඇය සහ මං අතර ලොකු වෙනසක් තිබුණේ නැහැ. ඇයත් සාමන්‍ය ජීවිතයක් ගත කරන අහිසංක යුවතියක්. ආදරය නිසා නොයෙකුත් බලපැම් හමුවේ තමයි ඇයට ජීවිතය ගෙවන්න සිදුවෙන්නේ.
උදාරීගේ කතාවට මොනවගේ ප්‍රතිචාර ලැබේවිද?
ප්‍රවේගය තවත් සින්තටික් සුරංගනා කතාවක් නෙමෙයි. උදාරි වගේම මෙහි එන අනෙක් චරිත සහ සෑම සිදු විමක්ම අපේ එදිනෙදා ජීවිතවල හමුවන, අපි ප්‍රායෝගිකව මුහුණ පාන අභියෝග ගැනයි මේ චිත්‍රපටය ඔස්සේ දිග හැරෙන්නේ. ඒ නිසා දැනටමත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා.
උදාරිගෙන්, උදාරීට සාදාරණයක් ඉටු වුණා යැයි සිතනවාද?
දැන් බලද්දී ආසයි. අනිත් අයට මගේ රංගනයේ අඩු පාඩු පේනවා ඇති. නමුත් මේ මගේ පළමු සිනමා රංගනය නිසාදෝ මගේ රඟපෑම් ගැන මට පුදුම ආසාවක් දැනෙනවා. මට පෙන්නෙම මම හරි ලස්සනට ඒ චරිත කරලා තියෙනවා වගෙයි.
පුළුල් තිරය පිළිබඳ කිසිදු අත්දැකීමක් නොමැතිව මෙවන් නිර්මාණයකට සම්බන්ධ වීම අභියෝගයක් වුණේ නැද්ද?
දරාගන්න බැරි අභියෝග නම් තිබුණේ නැහැ. අපහසු වුණේ කැමරාව ඉස්සරහ ආදරේ කරන්න විතරයි. නමුත් ඩොනල්ඩ් අයියා සහ හේමාල් ගෙන් මට හොඳ මඟපෙන්වීමක් වුණා වගේම ප්‍රවීණයන්ගෙන් පවා මට ලොකු සහයෝගයක් ලැබුණා.
කැමරාව ඉස්සරහ ආදරය කරන්න අපහසු වුණේ සැමියා ළඟ හිටපු නිසාද?
ඔහුව මට හමු වුණෙත් මියුසික් වීඩියෝ කරන්න ගිහින්. ඔහුත් මේ ක්ෂේත්‍රයට සම්බන්ධ කෙනෙක් නිසා අනිත් අයට වඩා හොඳින් ඔහුට මගේ අඩු පාඩු හඳුන ගන්න පුළුවන්. ඉතින් ඒ කාණාව නිසා ඔහු ඉස්සරහ රඟපාද්දි මට ලැජ්ජා හිතෙනවා. නමුත් ආදර ජවනිකා කරද්දී නම් ඔහුටම ටිකක් ඉරිසියා හිතිලාද කොහේදෝ පැත්තකට වෙලා හිටියා. ඒ වෙලාවට මං දන්නවා එයා පැත්තකට යන්නේ බලන් ඉන්න බැරි නිසා බව.
දැන් තවත් ආරාධනා ලැබෙනවා ඇතියි නේද?
ඔව්. ආරාධනා ලැබුණා. හැබැයි එකකටවත් තවම හා කිව්වේ නැහැ.
ඒ ඇයි?
ලැබෙන හැම නිර්මාණයකටම එකතු වෙනවාට නම් සැමියාගෙන් එතරම් කැමැත්තක් නැහැ. ඔහු මට ලැබෙන හැම නිර්මාණයක් ගැනම හොඳ අධ්‍යයනයක යෙදෙනවා. ඉතින් හොඳ නිර්මාණයකට ඔහු මාව යොමු කරයි. ඇත්තටම මාව කන්ට්‍රෝල් කරන රිමෝට එක තියෙන්නේ ඔහු ගේ අතේ.
උදාරි, රිදී තාරකාවක් පමණක් වේවිද?
එහෙම නැහැ. ටෙලි නාට්‍ය සහ වේදිකා නාට්‍ය වලටත් සම්බන්ධ වෙලා ඒ අත්දැකීම් ලබන්නත් මගේ ලොකු කැමැත්තක් තියෙනවා.
උදාරිගේ නර්තන හැකියාවෙන් ප්‍රයෝජනයක් ගන්න අදහසක් නැද්ද?
තියෙනවා, තියෙනවා. ඉදිරියේදි ඒ ගැන බලන්න ඕනේ ඇත්තටම රංගනයට වඩා මගේ හැකියාව තියෙන්නේ නර්තනයටයි.
ඔබ කලින් කලට විවිධ ක්ෂේත්‍ර තෝරා ගත් කෙනෙක්. රංගනයත් කෙටි කලකට සීමා වේවිද?
රඟපෑම මගේ වෘත්තීයවත් විනෝදාංශයවත් නෙමෙයි. එය මට දෙවියන්ගෙන් ලැබුණු තෑග්ගක්. ඉතින් ඒ ටැලෙන්ට් එක මම අත අරින්නේ නැහැ.
ලිව්වේ ටානියා මෝසස් සිළුමිණට