සම-ලිංගික අරුමයක්‌ ද?


සමලිංගික ප්‍රශ්නය දේශපාලන ප්‍රශ්නයක්‌ ලෙස දැන් කරළියට පැමිණ තිබේ. එය සමාජ ප්‍රශ්නයක්‌ ලෙස සමාජය සලකන බවක්‌ පෙනේ. ජී. එස්‌. පී. සහනය දෙනු පිණිස කොන්දේසියක්‌ ලෙස සමලිංගික අයිතිය පිළිගන්නා ලෙස ඉල්ලීමක්‌ කළ බවත් ජනාධිපතිවරයා එය ප්‍රතික්‍ෂේප කළ බවත් දැන් ප්‍රචලිත කරුණය.

රජයට පහර දෙන්නට මාර්ග සොයන විපක්‍ෂධාරීන් මේ කරුණ ප්‍රධාන සටන් පාඨයක්‌ සේ පාවිච්චි කරනු දක්‌නට ලැබුණි. කෙසේ වෙතත් ජනාධිපතිතුමා සමලිංගික කතාව ප්‍රතික්‍ෂේප කොට ඇත.

එහෙත් සමලිංගික යන කරුණ බැහැර කළ හැක්‌කක්‌ නොවේ. මෙය නොදැනුවත් ජනතාව සලකන්නේ කතා නොකළ යුතු මාතෘකාවක්‌ හැටියටය. නමුත් සමලිංගික යනු කුණුහරුපයක්‌ නොවේ. 

ස්‌ත්‍රී - පුරුෂ යනු විරුද්ධ ලිංගිකයන්ය. පෙම් සබඳතා කායික සබඳතා ආවාහ විවාහ සිදුවන්නේ ස්‌ත්‍රී පුරුෂයන් අතරය. විරුද්ධ ලිංගිකයන් අතරය. ඊට ප්‍රධාන හේතුව ඔවුනොවුන් කෙරෙහි ආකර්ෂණය ඇති වන්නේ විරුද්ධ ලිංගිකයන් අතර වීමය.

ප්‍රශ්නය නම් ස්‌ත්‍රී පුරුෂයන් වශයෙන් එකිනෙකා කෙරෙහි ආකර්ෂණ සිතක්‌ පහල නොවන අයද මිනිස්‌ ලොවෙහි සිටීමය. ඔවුන් ආසා කරන්නේ ආකර්ෂණය වන්නේ තමන්ගේ වර්ගයාට පමණි. ස්‌ත්‍රීන් නම් ස්‌ත්‍රීන්ට පමණි. පුරුෂයන් නම් පුරුෂයන්ට පමණි. අප සමලිංගිකයන් යෑයි හඳුන්වන්නේ ඔවුන්ය.

සමලිංගිකයන් අති විශාල පිරිසක්‌ සමාජයේ නැත. ඕනෑම රටක සමාජයක සමලිංගික හැඟêම් තිබෙන පිරිස්‌ සිටින්නේ ස්‌වල්ප දෙනෙක්‌ පමණි.

අප වැඩි දෙනෙක්‌ ලියන්නේ දකුණු අතිනි. ඉදහිට වමතින් ද ලියන්නෝ සිටිති. සමලිංගික අය ද සැලකිය යුත්තේ එබඳු පිරිසක්‌ ලෙසය. වමතින් ලිවීම අසාමාන්‍ය නොවන්නා සේම විරුද්ධ ලිංගිකයන් කෙරෙහි ආශක්‌ත නොවන පිරිසක්‌ අප අතර සිටීම පුදුමයක්‌ ලෙස සැලකිය යුතු නැත.

මේ ලෝකයේ ස්‌වභාවය එයයි. සමලිංගිකයන්ට ආශාවන් පහල වන්නේ තමන්ගේ වර්ගයා කෙරෙහි පමණය. එය ඔවුන්ගේ වරදක්‌ නොවේ. එය ඔවුන්ගේ ශරීරයේ ජීව විද්‍යාත්මක ස්‌වභාවයය. විරුද්ධ ලිංගිකයන් කෙරෙහි ආකර්ෂණය ගෙන එන හෝමෝනයන් ඔවුන්ගේ ශරීරයේ නැත. එය ඔවුන්ගේ වරදක්‌ නොවේ. ඔවුන්ද අපේ සමාජයේ සාමාජිකයන් ලෙස සැලකිය යුතුය.

ප්‍රසිද්ධ දේශපාලනඥයන් අතර ව්‍යාපාරිකයන් අතර සමලිංගිකයෝ සිටිති. ඔවුහු මුළු ජීවිත කාලයේදීම විවාහ නොවෙති.

ඇතැම් පවුල්වලද මෙවැනි දරුවන් සිටී. කරුණු නොදන්නා මව්පියෝ එම දරුවන්ට විවාහවන ලෙස බලකරති. ඇතැම් විට සමලිංගික හැඟêම් සහිත තරුණ තරුණියෝ මව්පිය ඉල්ලීම නිසා විවාහ වෙති. සමාජ බලපෑම නිසා විවාහ වෙති. එහිදී සිදුවන්නේ අනෙක්‌ පාර්ශවයේ ගැහැනිය හෝ පුරුෂයා අවාසනාවන්ත තත්ත්වයට පත්වීමය. බාහිරව විවාහයක්‌ ලෙස පෙනුනද එහි ඇතුළත ජීවිතය ශෝකාකූලය.

සම - ලිංගිකයන් ප්‍රශ්නයක්‌ බවට පත් වන්නේ එවිටය. ඔවුන්ට තමන් කැමති වර්ගයේ පිරිසගෙන් කෙනෙකු හා විවාහ වීමට ඉඩ දෙන්නේ නම් වඩා හොඳ නොවේද? ඇතැම් දියුණු බටහිර රටවල් සමලිංගිකයන්ට විවාහ වීමේ අවසරය නීත්‍යානුකූලව දී ඇත්තේ එබැවිනි. මෙය කුණුහරුපයක්‌ නොවිය යුත්තක්‌ ලෙස සැලකීම සැබවින්ම අපේ නොදියුණු කමේ ලකුණක්‌ ලෙස සැලකිය නොහැකිද? ජී. එස්‌. පී. දෙන්නට හදන යුරෝපා සංගමය කියා ඇත්තේ සමලිංගිකයන් යෑයි හඳුනා ගන්නා අයට වෙනස්‌ කම් නොකරන්නැයි යන්නය. ඒ ඉල්ලීම හොඳ දෙයකි. සමලිංගිකයන් යනු අපේ සමාජයට වෙනත් අද්භූත ලෝකයකින් පහල වූවෝ නොවෙයි. ඔවුන්ටත් දෙමව්පිය සහෝදර සහෝදරියන් සිටිති. ඒ නිසා සමලිංගික තැනැත්තා අපේ සමාජ සාමාජිකයෙකි. අනෙකුත් සියලු කාරණා අතින් ඔහු අපට සමානය. ලිංගික හැඟêම් පිළිබඳ ප්‍රශ්නයේදී හැර රැකියාවලට ගැනීමේදී ඔහු සමලිංගිකයෙකු දැයි සොයා බැලීම අනවශ්‍ය කාරණාවක්‌ය යන්න දියුණු රටවැසියන්ගේ පිළි ගැනීමයි.

අප නැවත සිහිපත් කළ යුතු දෙයක්‌ ඇත. දකුණතින් ලියන පිරිස වැඩි වුවද වමතින් ලියන්නෝද සිටිති. එහෙත් වමතින් ලියූ පලියට අපි ඔහු රැහෙන් පන්නා දමන්නෙමුද?

චන්ද්‍රසිරි දොඩන්ගොඩ

0 Comments

Contact Info

Lorem Ipsum is simply dummy text of the printing and typesetting has been the industry's.

Search This Blog

Categories

Subscribe Us