කන කෑමටත් වස විස යොදන කෑම වෙළෙන්දෝ


වර්තමානයේ වෙළෙඳපොළ ඉතා තරඟකාරිය. එම තරගකාරිත්වයට මුහුණ දීම සඳහා නිෂ්පාදකයන් සහ වෙළෙඳුන් විවිධ කූට උපක්‍රම භාවිත කරන්නෝය. භාණ්‌ඩවල ගුණාත්මකභාවය අඩුකර වෙළෙඳපොළට යෑවීම ද මොවුන්ගේ එක්‌ උපක්‍රමයකි. එහිදී එම භාණ්‌ඩය නිසි ප්‍රමිතියකින් තොරව අඩු පිරිවැයකින් නිෂ්පාදනය කර ගැනීමෙන් වැඩි ලාබ ඉපදවීම ඔවුනගේ අපේක්‍ෂාවයි. එහිදී භාණ්‌ඩයේ ගුණාත්මක භාවය සහ පාරිභෝගිකයා ගැන තඹසතයකට හෝ මායිම් නොකරන්නේය.

මිනිස්‌ සිරුරට අහිතකර ද්‍රව්‍ය පවා තම නිෂ්පාදක සඳහා යොදා ගනිති. ඔවුන්ගේ අපේක්‍ෂාව සිය ලාබය පමණකි. පාරිභෝගිකයාට සිදුවන අගතිය පිළිබඳව ඔවුන්ගේ තැකීමක්‌ නැත.

ආහාර මිනිසාගේ මූලික අත්‍යවශ්‍යාවන්ගෙන් ප්‍රධානම දෙයයි. වෙළෙඳපොළ තුළ ද ආහාර සඳහා ඇත්තේ ද විශාල ඉල්ලුමකි. කලක පටන් මේ කූට වංචනික නිෂ්පාදකයන් සහ වෙළෙඳුන් ආහාර ද්‍රව්‍ය සඳහා ද මිනිස්‌ සිරුරට අහිතකර නොයෙකුත් දෑ එකතු කරන බව නොරහසකි. මේ කිසිත් නොදන්නා පාරිභෝගිකයන් මේවා පරිභෝජනයට ගැනීම නිසා විවිධ ලෙස රෝගවලට ගොදුරුවෙති. එපමණකුදු නොව තම ජීවිතයෙන් පවා වන්දි ගෙවීමට සිදුවූ අවස්‌ථා බහුලය.

මෙලෙස මිනිස්‌ පරිභෝජනයට නුසුදුසු ලෙස නිෂ්පාදනය කර තිබූ සෝස්‌ ලීටර් දෙදහසක්‌, මිරිස්‌ කුඩු කිලෝ දහසක්‌ සහ කහ කුඩු කිලෝ හත්සියයක්‌ පසුගියදා පාරිභෝගික අධිකාරිය කළ වැටලීමකදී සොයා ගන්නා ලදී. මේවා අත්අඩංගුවට ගත්තේ කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ නිෂ්පාදනාගාරයකදීය.

චුයින්ගම් නිෂ්පාදනය සඳහා යොදා ගන්නා ගම් වර්ගයක්‌ සහ කල් ඉකුත් වූ බඩඉරිඟු පිටි යොදා ගනිමින් සෝස්‌ නිෂ්පාදනය කර තිබූ අතර මොවුන් ඒවා රතුපාට ගන්වා තිබුණේa රෙදි වර්ණ ගන්වන ඩයි වර්ගයක්‌ භාවිත කරමිනි. මිරිස්‌ කුඩු සහ කහ කුඩු නිපදවීමේදී භාවිත කර තිබුණේ කල් ඉකුත් වූ වටානා පිටි සහ බැදපු හාල් පිටිය. මේවාද වර්ණ කිරීමට යොදාගෙන තිබුණෙ රෙදි වර්ණ ගන්වන ඩයි වර්ගයි. 

මීට අමතරව මෙම නිෂ්පාදනාගාරය තුළ වැසිකිළි සේදීමට භාවිත කරන දියර සහ පිඟන් කෝප්ප සේදීමට ගන්නා සේදුම් දියර ද නිෂ්පාදනය කරති. මේ සඳහා වැඩි වශයෙන් යොදා ගන්නේ මිනිස්‌ සිරුරට ඉතා අහිතකර රසායනික ද්‍රව්‍ය වැනි දේවල් ය. මෙම අමනයින් සෝස්‌ නිෂ්පාදනය කිරීමට යොදාගෙන තිබුණේ එම දියර නිෂ්පාදනය කර ගැනීමේදී භාවිත කළ භාජනමය. මොවුන්ගේ ආහාර ද්‍රව්‍ය තිරිසන් සතෙකුටවත් පරිභෝජන සඳහා දීමට සුදුසු තත්ත්වයක තිබී නොමැත.

පාරිභෝගික සේවා අධිකාරිය වෙත ලැබුණු තොරතුරක්‌ මත කොළඹ දිස්‌ත්‍රික්‌ වැටලීම් ඒකකයේ නිලධාරීහු මෙම වැටලීම සිදු කළහ. එසේ නොවුණා නම් හිතක්‌ පපුවක්‌ නොමැති මේ අමනයන් තවමත් මේ ක්‍රියාවලිය දිගටම කරගෙන යන්නේය. දැනට මෙම නිෂ්පාදනාගාරය සීල් තබා ඇත. වෙළෙඳපොළට නිකුත් කිරීම සඳහා නිසි ප්‍රමිතියකින් තොරව නිෂ්පාදනය කර තිබූ මිරිස්‌ කුඩු, කහ කුඩු සහ සෝස්‌ පාරිභෝගික අධිකාරිය භාරයට ගෙන ඇත. තව නොබෝ දිනකින් මෙම වංචනිකයන් අධිකරණය හමුවට පමුණුවනු ලැබේ. ඉන්පසු ඔවුන්ට නිසි දඬුවම් ලැබෙනු ඇත.

නමුත් මෙම ප්‍රශ්නය එතැනින් අවසන් වේද?

නැවතත් ඔවුන් සමාජයට පැමිණ මෙවැනි වංචනික ක්‍රියා නොකරන්නේ යෑයි සහතිකයක්‌ දිය හැක්‌aකේ කාහටද? මෙවැනි ක්‍රියා අවසානයේ වන්දි ගෙවීමට සිදුවී ඇත්තේ පාරිභෝගියාටය.

ගයාන් සමරසිංහ

0 Comments

Contact Info

Lorem Ipsum is simply dummy text of the printing and typesetting has been the industry's.

Search This Blog

Categories

Subscribe Us