ස්‌පර්ශය සහ තෙරපුම මගින් රෝග සුවය

දියේ ගිලෙන පුද්ගලයා පිදුරු ගහේත් එල්ලී සිය ජීවිතය බේරාගැනීමට වෙර දරනුමෙන් හෘදයාබාධ, දියවැඩියාව, අධිරුධිර පීඩනය, වකුගඩු රෝග, පිළිකාව, ඇතුළු මරණය කරා ඉතා ඉක්‌මනින් සමීපවන රෝග වැළඳුන පුද්ගලයෝ බටහිර වේවා, ආයුර්වේද වේවා, විකල්ප වෛද්‍ය ක්‍රම වේවා ඕනෑම වෛද්‍ය ක්‍රමයක පිහිට පතති. මේ සෑම වෛද්‍ය ක්‍රමයකින්ම සිදුකරනුයේ රෝගීන් සුවපත්කර නීරෝගී බවට පත් කිරීමය.

ඉන්දියාවේ මුම්බායි විශ්ව ශක්‌තිය මගින් ස්‌පර්ශය, ස්‌නායු තෙරපුම භාවිතකර රෝගීන් සුවපත්කරන මහාචාර්යවරයකු වන වෛද්‍ය ශෂිකාන්ත් එස්‌. සෙත් මහතා ද වසර 30 කට අධික කාලයක්‌ තිස්‌සේ ලොව බොහෝ රටවල සංචාරය කරමින් සිය වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමය පිළිබඳව දේශන පැවැත්වීම සහ රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ කටයුතුවල නිරත වේ.

ශ්‍රී ලංකාවටද නිතර පැමිණෙන වෛද්‍ය සෙත් මහතා මේ දිනවල බම්බලපිටිය ශර්බරි උද්‍යාන මාවතේ පිහිටි සන්ෂයින් හෝටලයේ නැවතී සිට ශ්‍රී ලාංකිකයිනට සිය ප්‍රතිකාර කිරීමේ කටයුතුවල නිරත වේ.

සිය ප්‍රතිකාර ක්‍රමය පිළිබඳව වෛද්‍ය සෙත් මහතා අප සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්‌වෙමින් පැවසූ අදහස්‌ මෙසේය.

මෙලොව ජීවත්වන අප සෑම පුද්ගලයකුටම අවුරුදු 125 ක පමණ ආයු කාලයක්‌ උරුමව තිබෙනවා. නමුත් අපගේ ජීවන රටාව අනුව මතුවන ලෙඩ රෝග නිසා එම ආයුකාලය කෙටිවෙනවා. විශේෂයෙන්ම දියවැඩියාව, හෘදයාබාධ, අධිරුධිර පීඩනය, වකුගඩු රෝග පිළිකාව ඉන් ප්‍රධාන තැනක්‌ ගන්නවා.

ආතරයිටිස්‌, හන්දිපත් අමාරුව වැනි රෝග නිසා අපගේ එදිනෙදා සාමාන්‍ය ජීවිතය ගතකිරීමට බාධා මතුවෙනවා.

මෙවැනි අවස්‌ථාවලදී අප බොහෝ දෙනා පුරුදු වී සිටින්නේ වේදනා නාශක ඖෂධ පෙති, කරල් ආදිය පාවිච්චි කිරීමටයි. මෙවැනි ඖෂධ දීර්ගකාලයක්‌ පාවිච්චිකරන විට අතුරු ආබාධ ඇති වෙනවා.

මා උගත් වෛද්‍ය ක්‍රමය වනුයේ ලොව පවතින විශ්ව ශක්‌තිය රෝගී පුද්ගලයකුගේ ශරීරය තුළට ඇතුළු කර ප්‍රතිකාර කිරීමයි. ඒ සඳහා තම ශරීර ස්‌පර්ශය, තෙරපුම ආදී ක්‍රම භාවිත කරනවා.

මෙම ප්‍රතිකාර ක්‍රමවලට අමතරව විශේෂිත කෝප්ප භාවිතකර ශරීරයේ රෝගී ස්‌ථාන අවට තෙරපුම ද යොදා ගනු ලබනවා.

මෙම ප්‍රතිකාර මගින් රෝගීන් සුව කිරීම සාර්ථක බව ඔබ ඔප්පු කරන්නේ කෙසේද?

මම මෙම වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමයේ නිරතව සිටින්නේ වසර 30 කට අධික කාලයක්‌ තිස්‌සේ. මම 1994 වසරේ සිට ශ්‍රී ලංකාවට එනවා. ලංකාවේ බොහෝ ප්‍රදේශවල රෝගීන් මා හමුවී ප්‍රතිකාර ලබාගෙන තිබෙනවා. පිළිකා රෝගීන්, ස්‌නායු ආබාධ රෝගීන්, හෘද රෝගීන්, වකුගඩු රෝගීන්, ලියුකේමියා දරුවන්, දරුඵල ප්‍රමාද අඹු සැමියන් ආදී විවිධ පුද්ගලයන්ට මා ප්‍රතිකාර කරනු ලැබුවා. බොහෝ දෙනෙක්‌ ඉන් සාර්ථක ප්‍රතිඵල ලැබුවා.

වෛද්‍ය සෙත් මහතා ඒ බව සනාථ කිරීම සඳහා රෝගීන් කිහිපදෙනකු විසින් ඔහුවෙත එවා ඇති ලිපි කිහිපයක්‌ අපට පෙන්වීය.

රෝගවලට ප්‍රතිකාර කිරීමේදී රෝගියාගේ වයස, මතුව ඇති රෝග තත්ත්වය මත ප්‍රතිකාර කළ යුතු කාලය තීරණය වෙනවා.

අප රෝගී වෙනවා කියන්නේ ශරීරයේ ඇති ඉන්ද්‍රියයන්ගේ ක්‍රියාකාරිත්වය දුර්වල වීමයි. එය හඳුනාගෙන ප්‍රතිකාර කිරීමේදී ප්‍රතිකාර වගේම අපගේ ජීවන රටාවන් නිවැරදි කරගත යුතුයි. ඒ සඳහා ලබාදෙන උපදෙස්‌ අනුගමනය කරමින් ප්‍රතිකාර ලබාගත්තොත් ඉතා ඉක්‌මනින් රෝග සුවකර ගත හැකියි. එසේම අප නිෂ්පාදනය කරන ශාකසාර ඖෂධ නිසි ලෙස භාවිත කළොත් අතුරු ආබාධ රහිතව නීරෝගී දිවියක්‌ ගතකළ හැකි බවට මා සහතික වෙනවා.

උපාලි ද සේරම්
පිංතූර - ධර්මසේන වැලිපිටිය

Post a Comment

0 Comments