ඇය හැඩකාරය, කටකාර ය. ඇගේම වචනවලින්ම කීවොත් හැම වෙලේම ෆුල් ජොලියේ ඉන්න කැමැති මේ රුවැත්තිය ප්‍රියසාද් දියණියො තිදෙනාගේ වැඩිමහලු දියණියයි. එසේ කියු සැනින් මේ කතා කරන්නේ ජනප්‍රිය රංගන ශිල්පිනි ඩිනක්ෂි ප්‍රියසාද් ගැන බව ඔබ හඳුනා ගන්නවා නොඅනුමානයි.
ඩිනක්ෂි අල්ල ගන්න නම් ලේසි නැහැ?
පහු ගිය දවස් වල පොඩි පොඩි වැඩ වගයකට හිර වුණු හින්දා මිසක් නැතිනම් එච්චර අමාරු නම් නැහැ.
පහු ගිය දවස් වල සැහෙන්න මහන්සි වුණාලු නේද?
ඔව් නේ.. ඒ මගේ විභාගේ නිසා. මං ඇඟලුම් නිෂ්පාදනය සහ කළමනාකරණය පිළිබඳ උපාධියක් කරනවා. ඉතින් ඒකේ තවත් වසරක වාර අවසන් විභාගයකට තමයි පහු ගිය දවස්වල හති දාගෙන පාඩම් කළේ.
හම්.. ඒ පහු ගිය දවස් නේ. ඒ හැරුණම සාමන්‍යයෙන් ඩිනක්ෂිගේ දවස ආරම්භ වෙන්නේ කොහොමද?
නිශ්චිත කාල සටහනක් නම් නැහැ. ෂුටිං තියෙන දවස්වල බොහොම අකැමැත්තෙන් හරි පාන්දර හතරට නැගිටිනවා. හැබැයි නිවාඩු දවස් වලට සමහර විට දහය වෙනකනුත් නිදි. ඉතින් දවස පටන් ගැනීමේ කිසි පිළිවෙළක් නැහැ.
හැම දේම ඔහොම අපිළිවෙළද?
නැහැ. නැහැ. මං කරන වැඩ හරි පිළිවෙළට කරනවා. මේ පිළිවෙළක් නැහැයි කිව්වේ, ජීවිතේ සහ මගේ අනාගතේ පිළිවෙළකට සැලසුම් කරලා නැති නිසා.
ඩිනක්ෂි ගේ හරි අපූරු විනෝදාංශ තියෙනවා කියලා අපිට ආරංචි වුණා?
පැරැණි චිත්‍රපට සහ පරැණි ගීත අහන්න මං හරි කැමැතියි.
බලපු ලස්සනම පැරැණි චිත්‍රපටය මොනවද?
ඔක්කොම කියන්න ගියොත් නම් ලියන්න ඉඩ නැති වෙයි. ‘මාතලන්‘ චිත්‍රපටයට මං හරිම කැමැතියි. ඒ වගේම ‘සංදේශය‘, ‘රන්මුතු දූව‘, ‘විරාගය‘, ‘ආදර කතාව‘ ඒ වගේ මං කැමැති තව චිත්‍රපට කිහිපයක්.
අනිත් විනෝදාංශ ගැනත් කියමු නේද?
ඒ මොනවද?
ඇයි කෑම වලට තියෙන කෑදර කම?
කෑම කන්න කැමැතියි තමයි. හැම වෙලේම වෙනස් වෙනස් කෑම ජාති ට්‍රයි කරන්න මං හරි කැමැතියි. ඒත් සමහර වෙලාවට හපන්න කම්මැලි කමට නොකා ඉන්න වෙලාවලුත් තියෙනවා. පොඩි කාලේ ඉඳන් එක එක කෑම ජාති හදලා තියෙන නිසා මට හොඳට උයන්න පුළුවන්. පොඩි කාලේ අම්මිගෙන් තමයි ඒවා ඉගෙන ගත්තේ,
දැන් නම් කෑමක් කනකොට ඒක හදලා තියෙන්නේ කෙහොමද කියලා කියන්න පුළුවන්. අනෙක දැන් ඉන්ටර්නෙට් එකෙනුත් රෙසපි අරගෙන හදන්න පුළුවන්නේ.
යන යන තැන සෙල්ෆි ගහන එකත් දැන් අලුත්ම විනෝදාංශය නේද?
හා හා.. මං හිතන්නේ ඒක බලන් ඉන්න අය අපිට වඩා ලොකු විනෝදාස්වාදයක් ලබනවා ද කොහේදො.. සෙල්ෆි කියන්නේ අපේ ජෙනරේෂන් එකේ වසංගතයක් නේ.
දැනටමත් මගේ ෆෝන් එකේ ෆොටොස් 7000 විතර තියෙනවා. මෙමරි කාඩ් එකත් ෆුල්. ඒත් මොනා කරන්නද අපි ඉතින් ඒවට හරි ආසයි. අනික ඒකේ ඇති වැරැද්දකුත් නැහැ, කාටවත් හානියකුත් නැහැනේ.. හැබැයි මේ ට්‍රෙන්ඩ් එකත් තව කාලෙකින් නැති වෙලා යයි.
සෙල්ෆි නිසා අපහසුවට පත් වෙලාම නැද්ද?
එහෙම අනවශ්‍ය ප්‍රශ්න නම් මේ වන තෙක් ඇවිත් නැහැ.
ඩිනක්ෂිට විවේකයක් ලැබුණහම මොකද කරන්නේ කියලා ඇත්තම කියමු නේද?
නිදාගන්නවා...ඇත්තම කියනවා නම් වැඩිපුරම ඒ දේ තමයි කරන්නේ. මට නිදා ගන්නේ නැතුව වැඩ කරන්න හරි අමාරුයි
අක්කලා නංගිලා ඉන්නකොට රණ්ඩු වලිනුත් අඩුවක් නැහැ නේ?
ඔව් ඔව්. හැම වෙලේම වගේ මොනව හරි රණ්ඩුවක් තමයි. හැබැයි ටික වෙලාවයි. රණ්ඩු වුණේ මොකටද කියලා එතකොට මතකත් නැහැ.
වැඩි පුර රණ්ඩු වෙන්නේ මොනවටද?
අපි තුන් දෙනාම අපේ ඇඳුම් මාරු කර ගෙන අඳිනවා. සමහර වෙලාවට ශනූ මගේ ඇඳුමක් හරි සපත්තුවක් හරි මටත් නොකියා හෙරෙන්ම ඇඳන් යනවා. හැබැයි ඉතින් එයාගේ මෝඩකම කියන්නේ, ඇඳන් ගිහින් ෆොටො අරන් ඉන්ස්ටග්‍රම් ශෙයාර් කළාහම මට අහුවෙනවා. ඉතින් ඔන්න වලි..එතකොට එයත් “ඇයි ඔයා මගේ අර ඇඳුම ඇඳන් ගියේ කියලා මට මතක් කරලා ෆොටො එකත් එවනවා. එතකොට ඉතින් කට පියාගෙන ඉන්නයි වෙන්නේ.
වැඩි පුර හොර වැඩ කරන්නේ අක්කාද නංගිද?
අපෝ නංගි තමයි. එයාට හොඳට කරන්න පුළුවන් හොර වැඩ. හැබැයි ඉතින් හොර වැඩේ කළත් මෝඩ විදිහට කරන නිසා අහු වෙනවා.
දැන් ඉතින් ආදරේ කරන වයසක මිසක් රණ්ඩු වෙන වයසක නෙමෙයි නේද ඉන්නේ?
ආදරේ කරන්න ගිහිනුත් රණ්ඩු වෙයි කියලා තමයි ආදරේ නොකර ඉන්නේ.
කල වයසත් හරි යාගෙන එන එකේ ගෙදරින් ඔහොම ඉන්න දේවිද?
අපෝ නෑ. අම්මා මේ වෙද්දි පටන් අරන් ඉන්නේ. මට දෙන්නේ තව අවුරුද්දයිලු. ඊට පස්සේ ගෙදරින් එළවයිද දන්නෑ
එහෙනම් ඉක්මනට තැනක් හොයා ගන්න වෙයි?
ඔව්. තනියම ඉන්න හරි තැනක් හොයා ගන්න වෙයි .
තනියම ඉන්න ඔච්චරටම කැමැතිද?
මැරි කරපු කට්ටියගේ දේවල් අහන කොටයි දකින කොටයි මැරි කරන්න හිතෙන්නේ නැහැ. නිදහසකුත් නැහැ, අනික කියන දේ අහගෙන ඉන්න එපැයි. අනේ මට නම් බෑ එහෙම ඉන්න. මං කැමැති ෆුල් ජොලියේ ඉන්නයි.
හැමදාම එහෙම ඉන්න බැහැ නේ?
ඔව්. ඔය කිව්වට ඉතින් මටත් තියෙන ප්‍රශ්න එක්ක හැම වෙලේම එහෙම ඉන්න බැහැ තමයි.
මොනවද අප්පේ ඔච්චරටම තියෙන ප්‍රශ්න?
ඇයි දැන් අපේ අම්මාගේ අවුරුද්දක පරිවාස කාලේ... එතකොට ෂුටිං.. හැබැයි ඉතින් ෂුටිං නම් මං කැමැත්තෙන් කරන්නේ.
ඔව් එහෙම වෙන්න එපැයි. හොඳ ගෙවිමකුත් තියෙනවානේ. හැබැයි ඉතින් වියදමත් ඒ වගේම සැරයි මගේ හිතේ?
අනේ... එහෙම නෑ. මාව දන්න අය දන්නවා මං හරි ලෝබයි කියලා. වියදම් කරනවා නම් ඉතින් වැඩිපුරම කන්න තමයි.
ටානියා මෝසස්
ඡායාරූප - ශයින් හසිත් වික්‍රමනායක
රසඳුන ඇසුරිනි