ලංකාවේ ජීවත් වුණත් සිංහල හරියට කතා කර ගන්න බැරි අමුතු විදිහට වචන උච්චාරණය කරන තරුණිය මේ දිනවල හරිම ජනප්‍රියයි. ඉතින් සිංහල හොඳට ඉගෙන ගන්න හිතාගෙන ගුරුවරයකුත් නිවෙසටම ගෙන්වා ගන්නා ඇය ගුරුවරයාගේ කඩවසම් බවට වසඟ වී ඉගෙන ගැනිල්ල පැත්තකට දමා ඔහු හා හාද වන්නටයි දැන් උත්සාහය... ඉතින් ඇගේ මේ උත්සාහය සාර්ථක වේවිදැයි දැන ගන්න නම් සතියේ සෑම දිනකම රාත්‍රි 7.30ට ස්වාධින රුපවාහිනියෙ විකාශය වන 'කුටු කුටු මාමා' ටෙලි නාට්‍යයෙන් ඇය ඔබේ ආලින්දට එන තුරු බලා ඉන්නවා සිදුවෙ. ඒ කෙසේ ටීනා කිවු පමණින් මේ දිනවල ඈ නොහඳුනන කෙනෙක් නැති තරම් වුණත් සැබැවට නම් ඇය ඔබ අප කවුරුත් හඳුනන නව පරපුරේ රංගන ශිල්පිනියක් වන සුලේකා ජයවර්ධනයි.
“අම්මෝ ටීනා වගේ කතා කරන එක ලේසි නැහැ. දවස තිස්සේ දෙබස් කියලා හවස් වෙද්දි මගේ කටත් උළුක්කු වෙනවා. ඉතින් හැමදාම මම අපේ අධ්‍යක්ෂ තුමාගෙන් අමතර ගාස්තුවකුත් ඉල්ලනවා කටත් උළුක්කු කරගෙන දෙබස් කියන නිසා මට වැඩිපුර ගෙවන්න වෙයි කියලා. හැබැයි ඉතින් ඒ කැරැක්ටර් එකේ පොඩි චේන්ජ් එකකුත් තියෙනවා. “
හැබැයි ඉතින් සුලේකාටත් සිංහල කතා බහ අමාරුයි කියලයි සමහරු හිතන් ඉන්නේ?
අනේ මන්දා එහෙම හිතයිද කියලා. එක අතකට එහෙම හිතෙන එක ගැන පුදුම වෙන්න දේකුත් නැහැ. මොකද මේතෙක් මට ලැබුණු හැම චරිතයකම තියෙන්නේ නාගරික සමාජේ උසස් පැලැන්තියක ජිවත් වෙන සිංහල එහෙම ටිකක් කතා කරන්න අමාරු සෙල්ලක්කාර තරුණියන් ගේ චරිතනෙ. හැබැයි මට සිංහල හොඳට කතා කරන්න පුළුවන්.
හැමදාම ඔය වගේ කෙළිලොල් චරිත වලට කොටු වෙලා ඉන්නද කල්පනාව?
අනේ නැහැ. මම ඕනැම චරිතයක් බාර ගන්න සුදානම් ඒත් මගේ වෙනස් පෙනුම නිසාද මන්දා මට ලැබෙන්නේම නාගරික කෙළිලොල් චරිත. හැබැයි මේ දවස් වල හිරු නාළිකාවේ විකාශය වෙන ‘වස්සානේ ප්‍රේමයයි‘ කියන ටෙලි නාට්‍යයේ සොනාලි ගේ චරිතය නම් ටිකක් විතර ඇඩ්වාස්.
සුලේකා මේ දවස් වල බොහොම අවිවේකි හැඩයි?
නෑ මේ දවස් ටික විවේකිව ඉන්නත් මට වෙලාව තියෙනවා. හැබැයි පහු ගිය ටිකේ නම් කාර්යබහුල වුණා තමයි.
විවේකයක් නැතුව එක දිගට වැඩ කිරිමත් අපහසු නැද්ද?
බිසි වුණාම එකම දේ ගෙදර ඉන්න ලැබෙන්නේ නැති එකනේ. නමුත් සෙට් එකේදීත් කට්ටිය එකතු වුණහම හරිම විනෝදයි. ඒ නිසා මහන්සියක් දැනෙන්නේ නැති තරම්..
ගෙදර ඉන්නවාට වඩා සෙට් එකේ ඉන්න බොහොම කැමැතියි නේද?
ගෙදර ඉන්නත් ගොඩක් කැමැතියි. සෙට් එකේ ඉන්නත් කැමැතියි.
සුලේකාට හොඳ යහළුවෝ ටිකක් සෙට් වෙලා වගෙයි?
හම්... ඔව් හැබැයි යාළුවෝ හිටියට මම ඒ හැමෝම ආශ්‍රය කරන්නේ අතේ දුරින්. පෞද්ගලික දේවල් නම් කොහෙත්ම කියන්න යන්නේ නැහැ. හැබැයි ඒ හැමෝටම මං ආදරෙයි.
කලා ක්ෂේත්‍රයේ අවංක යාළුවො නැහැයි කියන කතාව ඔබත් විශ්වාස කරනවා එහෙනම්?
අනිවාර්යෙන්ම..ඒ කතාව ඇත්ත. මට තවම එවැනි අත්දැකීම් වලට මුහුණ දෙන්න වෙලා නැහැ. නමුත් ඔය කතාව මේකේ විතරක් නෙමෙයි හැම ෆීල්ඩ් එකටම පොදු දෙයක්.
සුලේකා දැන් නම් ටිකක් මහත් වෙලා?
ඔව්. චුට්ටක් මහත් වුණා. හැබැයි දැන් මං ඩයට් කරන නිසා ආයිත් ට්කක් කෙට්ටු වෙයි.
එහෙම වෙන්නේ එක්කෝ සතුට වැඩි කමටද නැත්නම් කට පරිස්සමක් නැති කමටද?
මගේ කට නම් පොඩ්ඩක් වත් පරිස්සම් නැහැ. හැම වෙලේම මොනවා හරි කා ගත්ත ගමන්මයි. අඩුම ගානේ බිස්කට් එකක් හරි හොයාගෙන කනවා. පහු ගිය කාලේත් රට ගිහින් හැම දාම උදේට කෑවෙ බර්ගර්. ඉතින් මහත් වෙන එක අහන්නත් දෙයක්යැ.
රංගනය නිසා දැන් ඔබේ අධ්‍යාපන කටයුතු අතර මඟ නතර වෙලාද?
නැහැ නැහැ. මේ සැප්තැම්බර් වල මං ව්‍යාපාර සහ කළමනාකරණ ඩිග්‍රි එක ස්ටාට් කරන්නයි හිතන් ඉන්නේ.
රංගනය වෘත්තීය කරගන්න සුලේකාගේ අදහසක් නෑ වගෙයි?
රංගනය කියන්නේ මං බොහොම ආසාවෙන් සහ ගෞරවයෙන් කරන දෙයක්. ඕනම දෙයක් කරන්න උගත් කමක් තිබීය යුතුයි කියලා මං විශ්වාස කරනවා. ඉස්සර නම් ගොඩක් අය නිළියෝ දිහා බැලුවේ උගත් කමක් නැතුව කිසිම දෙයක් කර ගන්න බැරි වුණු නිසා නිළියන් වුණා කියලයි. ඉතින් මං ඒ වගේ දේවල් අහන්න කැමැති නැහැ. මට අවශ්‍ය වෙන්නේ උගත් කමත් එක්ක මේ මාවතේ වෘත්තීය ගමනක් යන්නයි.
මීට කලින් නම් ඔබට බැංකු නිලධාරිණියක් වීමේ සිහිනයක් තිබුණු වග මතකයි?
මගේ අම්මත් බැංකු නිලධාරිණියක් නිසා මටත් එවැනි රැකියාවක නියැලෙන්න තවම කැමැත්ත තියෙනවා. ඉතින් අපි බලමු ඉදිරියේදි හැම දේම බැලන්ස් එකේ කෙරෙයි.
කවදා හෝ ඔබේ සහකරු ඔබට රංගනයෙන් ඉවත් වෙන්නයි කිව්වොත් සුලේකා මොනවගේ තීරණයක් ගනිවිද?
රංගනය කියන්නේ මගේ කැමැත්ත සහ දක්ෂතාව. එය හැමෝටම කරන්න පුළුවන් දේකුත් නෙමෙයි. නමුත් මට ඒ හැකියාව සහජයෙන් ලැබිලා තියෙනවා. ඉතින් මට ආදරය කරන කෙනා මගේ ඒ හැකියාව සහ දක්ෂතාව තේරුම් ගත යුතුයි. ඔහුට මාව තේරුම් ගන්න බැරි නම් ඉතින් එවැනි පුද්ගලයෙකු වෙනුවෙන් මගේ හැකියාව කැප කිරීමේ තේරුමක් නැහැනේ.
ටානියා මෝසස්