විවාහ මංගල්‍යය සැණකෙළියක් කරගත්තාට යුගදිවිය සැණකෙළියක් නොවේ

විවාහය මිනිස් ජීවිතයේදී හමුවන සොඳුරුතම සන්ධිස්ථානයකි. එසේම අපගේ සංස්කෘතියට අනුවද එය ඉතා වැදගත් අධ්‍යාත්මික හා සමාජීය ගාම්භීර වූ අවස්ථාවකි. අලුත් පවුලක ආරම්භය සනිටුහන් කරන මෙම වැදගත් අවස්ථාව අද වන විට එමගින් ආරම්භ කරන නව ජීවිතයට ගැටලු ගොන්නක් උත්පාදනය කරන්නක් බවට පත්ව තිබේ. මෙය ඉතාම ඛිෙදනීය තත්ත්වයකි. අද මංගල දිනය තරම් ‘විකිණෙන’ වෙළෙඳ සංකල්පයක් තවත් ලංකාවේ නැති තරම්ය. අද මංගල උත්සවවල පැවතිය යුතු ගාම්භීර බව ඉක්මවා ගිය ‘සංදර්ශන’ තත්ත්වයකට පත්ව තිබේ. තම මංගල උත්සවයද මෙවැනි සංදර්ශනයක් කර නොගතහොත් එය මහා මදිකමක් ලෙස සිතීමට අද තරුණ ප්‍රජාව ‍පොළඹවා ඇත්තේද මේ සේවා සපයන වෙළෙඳ ප්‍රජාවන්ම බව ඉතා පැහැදිලිය. 

මේ කුළුගැන්වීම්වලට හසුව අද තරුණ තරුණියන්ද තම මංගල උත්සවය ව්‍යාජ සුරලොව සිරියක් ආටෝප කරගන්නට ගන්නා උත්සාහයන් අනන්තය. තම දෙමාපියන්ට ඇවිටිලි කරමින් ගේ දොර ඉඩකඩම් විකුණා, උකස්කර හෝ මංගල උත්සව සඳහා මුදල් සොයා ගන්නා දරුවෝ සමාජයේ සිටිති. එසේම තම සේවා ස්ථානවලින්, බැංකුවලින් මෙම ‍පොලී පදනම මතද මුදල් ලබාගෙන තම මංගල උත්සවවලට වියපැහැදම් කර වසර ගණන් එම ණය මුදල් ගෙවමින් දුක් විඳින අය අපට සමාජයේදී අනන්තවත් මුණ ගැසෙති.
තරුණ දූ දරුවෙනි, සිතා බලන්න. මංගල දිනයක් අලංකාරවත්ව, ගාම්භීර ගතියකින් යුතුව පැවැත්විය යුතුමය එහි විවාදයක් නැත. නමුත් මේ සුළු කාලය සඳහා තමනට දරාගත නොහැකි තරමේ මුදලක් වියපැහැදම් කිරීම නම් සැබවින්ම අනුවණකමකි. තමන්ගේ දෙමාපියන්ට හැකි ආකාරයට සැලසුම් සහගතව සකසුරුවමකින් යුතුව එය කළ හැකිය. උදාහරණයක් ලෙස මනාලිය හැඩගැන්වීම සඳහා ලක්ෂ ගණන් අයකරන ප්‍රසිද්ධ රූපලාවන්‍ය ශිල්පිනියෝ අප රටේ සිටිති. ඒ සඳහා හැකියාව ඇති අය ඒ අයගේ සේවාව අත්වින්දාට කම් නැත. නමුත් තම තමන්ට ඇති හැකියාවට අනුව බොහෝ සුන්දර ලෙස මනාලියන් හැඩගන්වන්නට දක්ෂ ජනකාන්ත නොවූ ශිල්පීහු ද ඕනෑ තරම් සිටිති. ‍

පොදුවේ ගත්විට සෑම මංගල සේවාවක්ම එසේය. තමන්ට දරාගත නොහැකි මිල ගණන්වල සේවා ලබාගෙන නව යුගදිවිය ණය ගෙවන්නට කැප නොකොට කල්පනාකාරීව තම මංගල උත්සවය සංවිධානය කර ගැනීමට සෑම තරුණalt තරුණියක්ම සිහි තබා ගත යුතුය. මංගල දිනය යනු පැය කීපයකට මිහිපිට සුරලොවක් මවාගැනීම නොවේ. මංගල දිනයෙන් ආරම්භ වන සුන්දර මොහොතේ සිට මුළු ජීවිතයම සුරවිමනක් කර ගැනීමට උත්සාහ දැරීමය. මංගල උත්සවයෙන් පසු සියල්ල අවසන් වන්නේ නැත. ඔබ යුවළක් ලෙස ජීවිතය ගොඩනගා ගැනීමට කිසියම් ආර්ථික ස්ථාවරයක් අවශ්‍ය වෙයි. එබැවින් ජීවිතයේ ආරම්භයේදී පුහු ආටෝපවලට විශාල මුදලක් නාස්ති නොකොට ඒවා දෙදෙනාගේ අනාගත සුබසිද්ධිය සඳහා ප්‍රවේශම් කරගනිමින් කටයුතු කිරීම ඉතාම වැදගත් වෙයි. අන්‍යයන් කරන්නන් වා‍ලේ ඒවාට ගැති නොවී තවත් කෙනෙකුගේ මංගල උත්සවයකට වඩා ඉහළින් කිරීමේ තරගයට අවතීර්ණ නොවී තමන්ගේ ඇති හැකියාවට අනුව අනාගතයට බරක් නොවන විවාහ මංගල උත්සවයකට යොමුවීම වැදගත්ය.

මංගල උත්සවයේදී වැදගත් වන අධ්‍යාත්මික සමාජමය අංගවලට මුල්තැනදී අපේ චාරිත්‍ර වාරිත්‍ර විධි නිසි අයුරින් අනුගමනය කරමින් චාම් එහෙත් ගාම්භීර මංගල උත්සවයක් සඳහා හතර වරිගය එකතු කර ගත හැකිය. එසේ නොමැතිව මඟුල් ගෙය කානිවල් එකක් නැතහොත් සැණකෙළියක් කර ගත්තාට යුගදිවිය යනු සැණකෙළියක් කානිවල් එකක් නොවන බව තරයේම සිතට ගැනීම ඔබගේ වගකීමකි.  

උපදෙස්
සමාජසේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා
අනුෂා ගෝකුල ප්‍රනාන්දු විසිනි

නිර්මලා කුමාරි සේනාරත්න