කාන්තාවන් ගැබ් ගැනීමට පෙර අවධානය යොමු කළයුතු කරුණු කීපයක්

ගැබ් ගැනීමට පෙර රුබෙල්ලා එන්නත ලබා ගෙන තිබිම

සාමාන්‍යයෙන් ගැහැනු දරුවන්ට පාස‍ලේදී රුබෙල්ලා එන්නත ලබා දීම සිදුවෙනවා. නමුත් එසේ ලබාගෙන නැති තරුණියක් ගැබ් ගැනීමට පෙර රුබෙල්ලා එන්නත ලබා ගැනීම අවශ්‍යයි. ගර්භණී කාලයේදී පළමු මාස තුනේ මවට රුබෙල්ලා රෝගය වැළඳුනහොත් එයින් දරු   ගැබට විශාල බලපෑම් ඇති වෙනවා. මෙහිදී මවට රෝග ලක්ෂණ දැනෙන්නේ අඩුවෙන් වුණත් මුල් තුන් මාසයේදී මවට වැළඳුන රුබෙල්ලා රෝගය නිසා දරුවා අංග විකල වීමට තිබෙන හැකියාව ඉතාමත් වැඩියි. මෙහිදී මුල් තුන් මාසය පිළිබඳව සඳහන් කළත් මුල් තුන් මාසයෙන් පසුව වුවත් ගැබිනි මවකට රුබෙල්ලා වැළඳුන විට කුස තුළ හිඳින දරුවාට එයින් විවිධාකාර වූ අහිතකර බලපෑම් ඇති වෙනවා. එනිසා ගැබ් ගැනීමට පෙර කාන්තාවක් අනිවාර්යයෙන්ම රුබෙල්ලා එන්නත ලබාගත යුතුයි. යම් කාන්තාවක් තමා රුබෙල්ලා එන්නත ලබාගෙන ඇති බව නිශ්චිතව නොදන්නේ නම් ඒ පිළිබඳ සැකයක් ඇත්නම් වෛද්‍යවරයකු ගේ උපදෙස් මත රුධිර පරීක්ෂණයක් කරවා ගෙන එය නිශ්චය වශයෙන්ම දැනගන්නට පුළුවන්.පැ‍පොල රෝගයට එන්නත ලබා ගැනීමත් අනිවාර්ය යනුවෙන් බොහෝ කාන්තාවන් වෛද්‍යවරුන් වෙතින් විමසනවා. මෙය රුබෙල්ලා මෙන් අනිවාර්යයෙන්ම ගත යුත්තක් ලෙස සැලකෙන්නේ නෑ. ඒ වගේම රුබෙල්ලාවලින් තරම්ම මේ රෝගයෙන් කළලයට හානි සිදු වන්නේත් නෑ. නමුත් යම්  යම් හානි සිදු වීමට අවකාශයක් නැත්තෙත් නෑ. ඒ නිසා පැ‍පොල රෝගය කලින් වැළඳී නැති කෙනෙක් නම් පැ‍පොල එන්නත ලබා ගැනීමේ වරදකුත් නෑ.

ෆෝලික් අම්ලය ගැනීම

ගැබ් ගැනීමට අපේක්ෂා කරන කාන්තාවක් ඊට මාස තුනකට පෙර සිට ෆෝලික් අම්ලය ගැනීම ඉතාම වැදගත්. දරුවාගේ ස්නායු පද්ධතිය මැනවින් සකස් වීම සඳහා මෙම විටමින් වර්ගය ඉතාමත් වැදගත් වෙනවා. ෆෝලික් අම්ලය අපේ ශරීරයේ ස්වභාවයෙන්ම පවතිනවා. නමුත් එය නියමිත මට්ටමට පවතිනවාද නැද්ද කියලා අප දන්නේ නෑ. ඒ නිසා තමයි ෆෝලික් අම්ලය පෙති වශයෙන් ලබා ගත යුතු වන්නේ. මෙය සිරුරට අහිතකර වන්නෙ නෑ. මිලද ඉතාමත්ම අඩු පෙත්තක්. ගැබ් ගැනීමට මාස තුනකට පෙර සිට දිනකට පෙති එක බැගින් ෆෝලික් අම්ලය ලබා ගත යුතුයි. ගැබ් ගැනීමෙන් පසුවත් මුල් තුන් මාසයේ ලබා ගැනීම අවශ්‍යයි.

තමන් තුළ රෝග තිබේ නම් ඒවා සමනය කර ගැනීම

මෙහිදී අප විශේෂයෙන් අවධාරණය කරවන්නේ දිගු කාලීනව පවතින රෝග තත්ත්වයන් ගැනයි. නිදසුනක් ලෙස යම් කාන්තාවකට දියවැඩියා රෝගය පවතින්නේ නම් එය හොඳින් පාලනය කරගත යුතුයි.
දියවැඩියාව පාලනය වී නැති කාන්තාවකට දරුවකු පිළිසිඳ ගත හොත් ඒ දරුවා අංග විකල වීමට වුව හැකියාවක් තිබෙනවා.ඒ වගේම අධික රුධිර පීඩනය, හෘද රෝග, තයිරොයිඩ් ග්‍රන්ථියේ ආබාධ ආදී දිගු කාලීනව ඖෂධ ගන්නා රෝග යම් කාන්තාවකට පවතින්නේ නම් ඒ රෝග හොඳින් පාලනය කර ගෙන දරුවකු ගැන සිතිය යුතුයි. ඒ සම්බන්ධයෙන් වෛද්‍ය උපදෙස් ලබා ගැනීමද ඉතාමත්ම වැදගත්. ඒ වගේම කිසියම් කාන්තාවක් රක්තහීනතාවය හෙවත් ‍ලේ හිඟකමෙන් පෙළෙන්නේ නම් ගැබ් ගැනීමට පෙර ඖෂධ හා ආහාර මගින් රුධිරය සාමාන්‍ය මට්ටමට පත් කර ගත යුතු වෙනවා.

තරබාරු වීම සහ අධික කෙසඟ වීම

මේ දෙකම ගැබ් ගැනීමේදී සුදුසු තත්ත්වයක් නොවෙයි. මෙහිදී අධික කෙසඟ භාවය ඩිම්බ මෝචනය සිදුනොවීමට හෝ එය ප්‍රමාද වීමට හේතුවක් විය හැකියි. නමුත් ඔසප් වීම ක්‍රමානුකූලව සිදු වෙනවා නම් කෙසඟ  කාන්තාවකට වුණත් ගැබ් ගැනීම සම්බන්ධ ගැටලු මතු වන්නේ නෑ.
එසේ වුවත් තරබාරු අයට නම් ගැබ් ගැනීම ප්‍රමාද වීම සඳහා එය හේතුවක් විය හැකියි. එනිසා ව්‍යායාම හා ආහාර පාලනය මගින් එවැනි අය සිරුරේ බර අඩු කර ගැනීම අවශ්‍යයි.

සාකච්ඡා කළේ
ඉන්දු පෙරේරා