'රන්ජා' හි ස්වර්ණා අක්කා නැතිනම් 'චන්ඩි රැජින' හෙවත් අපේ ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන පියුමි බොතේජූ ට පසුගිය දා මංගල සීනූ හැඬ වුණා. ඉතින් මේ අලුත් ආරංචිය මෙවර ඇය අපේ පිළිසඳරට කැන්දන්නට විශේෂ හේතුවක් වුණා.
ඔන්න පියුමි සුබ මංගලම් කිව්වා.
බොහොම ස්තුතියි
අපි මේ කතා කළේ අලුත ගෙනා මනමාලිගේ විස්තර දැන ගන්නයි?
ඇත්තටම හරිම සතුටුයි. ජීවිතයේ නව පිටුවක් පෙරළුණා. මම ආස කරන ගොඩක් ආදරේ කරන කෙනාව මට ලැබුණා.
තවම වෙඩින් එකේ වැඩ ඉවරත් නැහැ නේද?
ඔව්. වෙඩින් එක ඉවර වෙලා තවම දවස් දෙකයි නේ. හෙට තමයි අපේ හෝම් කමිං.
මංගල උත්සවය නම් හරි අපූරුවට තිබුණා කියලයි ආරංචිය ?
අපි දෙන්නම අදහස් කළේ අපේ විවාහ උත්සවය සාම්ප්‍රදායික ක්‍රමයට පවත්වන්නයි. බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේ තමයි විවාහ උත්සවය තිබුණේ. ඉතින් අපිට අවශ්‍ය සහ කැමැති විදිහට හැම දේම වුණා.
දෙන්නාගේ අදහස් යස අගේට ගැළපිලා තියෙන පාටයි?
අපේ අදහස් විතරක්ම නෙමෙයි අපේ ලග්නය, කැමැති කෑම බිම, ඇඳුම් පැළැඳුම් පවා යස අගේට ගැළපෙනවා.
මධු සමය ගත කරන්න විදෙස් ගත වෙන්න ඉන්නවයි කියන්නේ?
ඒ දෙවල් දැන්ම කියන්න බැහැ මොකද අපිට හොඳ යාළුවෝ ටිකක් ඉන්නවා නේ. එනිසා ගිහින් ඇවිත්ම කියන්නම් කෝ කොහේද ගියෙ කියලා. දැනට ඒක රහසක්.
පියුමිගේ අත ගත් කෙනා දේශපාලනයට සම්බන්ධයි කිව්වට ඉන් එහා යමක් නම් මෙතෙක් කල් පැවසුවේ නැහැ. ඉතින් දැන් වත් ඔහු ගැන විස්තර කියමුද?
ඔහු සුනෙත් අත්තිඩිය. කඩුවෙල නගර සභාවේ නාගරික මන්ත්‍රිවරයෙක්. මං පුංචි කාලේ ඉඳලම දන්න කියන කෙනෙක්. ඉතින් අද ඔහු මගේ සැමියා.
ඒ කියන්නේ බාල වියේ පටන් බැඳි පෙමක් වගෙයි?
නැහැ. එහෙමම කියන්න බැහැ.
එහෙනම්?
ඔහු මගේ අයියාගේ මිතුරෙක්. ඒ නිසා කුඩා කල සිට දන්නවා. අපි යාළුවෝ විදිහටයි දැන හඳුන ගෙන හිටියේ. ආදරවන්තයින් වුණේ පස්සේ.
මිතු දම පෙමකට මුල පිරුවේ කවුද?
ඔහු තමයි මුලින්ම ඒ ගැන කිව්වෙ.
ඉතින් ?
අපි ඉතින් යාළුවෝ නේ. අනික ඒ වෙනකොට ඔහු ගැන යම් පැහැදීමක් මගේ හිතෙත් තිබුණා.
ඒ කියන්නේ පියුමි එක පිම්මට කැමැත්ත දුන්නා.?
හොඳට දන්න කෙනෙක්. ආයිත් බොරු ආඩම්බරකම් ඕනේ නැහැ නේ. ඒ නිසා ඔහුගේ කැමැත්තට මමත් හා කිව්වා.
පියුමි - සුනෙත් පෙම්වතුන් වී කොතරම් කලක් වෙනවාද?
අපේ පෙම් කතාව වසර දෙකහමාරක් වෙනවා.
දැන් නම් පියුමිගේ අලුත් ගෙදර පදිංචි වෙන්න පුළුවන් නේද?
මං අලුතින් හදපු ගෙදර තව පුංචි පුංචි වැඩ වගයක් තියෙනවා. ඉතිරි වැඩ ටික නිම කරන්න සුනෙත් බාර ගත්තා. ඒ වැඩ ටිකත් ඉවර වුණහම අපි අපේම කැදැල්ලේ පදිංචියට යන්නයි හිතන් ඉන්නේ.
ඉදිරියේදී සුනෙත් සමග දේශපාලනයට සම්බන්ධ වෙන්න පියුම්ගේ අදහසක් නැද්ද?
ඒක නම් කවදාවත් වෙන්නේ නැහැ. එක ගෙදර දෙන්නෙක් දේශපාලනය කරන්න ඕනේ නැහැ. ඔහුගේ බිරිය ලෙස ඔහුගේ වැඩ කටයුතු වලට උදව් වෙනවා මිසක් දේශපාලනය කිරීමේ අදහසක් නම් නැහැ.
එතකොට පියුමි ගේ කලා කටයුතු ?
කලා කටයුතු ඒ විදිහටම සිදු වෙයි. මගේ රංගන කටයුතු වලට සුනෙත් ගෙන් තහංචි නැහැ. නමුත් පවුල් ජීවිතයට මුල් තැනක් දිය යුතු නිසා කලාවේ රැඳි සිටියත් අනවශ්‍ය ලෙස කාර්යබහුල වෙන එකක් නම් නැහැ.
අලුත් ජිවිතේ, අලුත් කැදැල්ලක නව බලාපොරොත්තුත් ඇතියි?
ඇත්තටම අපි පවුලක් වෙලා තවම දවස් දෙකයි. දැනට සැලසුම් නම් කිහිපයක්ම තියෙනවා. ඒවා ඉතින් ඉදිරියෙදී කතා බහ කරගෙන අපේ අනාගතේ ඒ අයුරින් සැලසුම් කරන්නයි හිතන් ඉන්නේ.
චන්ඩි රැජිනගෙන් පසු පියුමි ගේ රංගනය දකින්න ලැබුණේ නැහැ?
ඔව්. හැබැයි 'සඳ විනි විද' කියල. නවතම ටෙලි නාට්‍යයක විකාශය ඇරැඹුණා. එහි ප්‍රධාන චරිතයෙන් නැවත ප්‍රේක්ෂකයන්ට මේ දිනවල දැක ගන්න පුළුවන්.
ටානියා මෝසස්