ජනප්‍රිය වාණිජ සිනමාවේ මෙන්ම සම්භාව්‍ය සිනමාවේ ද සිය නිසඟ කුසලතා විදහා පාමින් මෙකී කවර වර්ගයේ නිර්මාණයකට වුවද එකසේ සිය කැපවීම, ආදරය, කිසියම් වූ භක්තියකින් යුතුව පිරිනැමීමට නොපසුබට වූ ඈ පසුගිය කාලයේ මඳක් සිනමාවෙන් ඈත්ව සිටියේ සිය ජීවිතයේ තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් වූ මවු පදවිය ලැබීමේ භාග්‍යසම්පන්න අවස්ථාව වෙනුවෙනි. මේ වන විට ඇගේ දියණියට අවුරුදු 5 ක් සම්පූර්ණ වී හමාරය. නිළියකට තමන් බෙහෙවින් ආදරය කරන සිනමාවෙන් ඈත් වී සිටිය නොහැකිය. මවක් බිරියක් ලෙසින් ගෙවන වගකීම් සහගත ජීවිතය තුළ තම රංගනය ඔස්සේ යළිත් ඈ සිනමාවට වටිනාකමක් ලබා දෙන්නීය. කලකට පසු ඇගේ කලා දිවියේත්, පෞද්ගලික දිවියේත් තොරතුරු සමඟ හමු වූ මොහොතක කළ කතාබහකි මේ.
සිනමා දිවියේ අලුත් තොරතුරු මොනව ද?
පසුගිය කාලයේ ආරාධිත චරිතයක් රඟපෑවා ‘හීරෝ නීරෝ’ කියන චිත්‍රපටයේ. ඊට අමතරව මීට කලකට ඉහත මම රඟපෑව ‘නිම්නයක හුදකලාව’ චිත්‍රපටය තිරගත වෙන්න තිබෙනවා. තවත් අලුත්ම චිත්‍රපටයකට මේ දිනවල මඟ පාදා ගනිමින් යනවා.
නිම්නයක හුදකලාව’ චිත්‍රපටය ඔබේ දරුවා ලැබෙන්නේ කලින් කරපු එකක් නේද?
ඔව් දැන් අවුරුදු 5 - 6 ක් වෙනවා. ඒ චිත්‍රපටයට මම කැමැති ඒක වෙනස් ආරක තේමාවකින් යුත් චිත්‍රපටයක්. බූඩී මේ චිත්‍රපටයෙන් කතා කරන්නේ මනුස්සයකුගේ චුති සිත පිළිබඳයි. ඒක ටිකක් සංකීර්ණ කතාවක්. ප්‍රධාන චරිතය රඟපාන්නේ සෞම්‍ය ලියනගේ.
ඔබේ රංගනයක් අවසන් වරට ප්‍රේක්ෂකයන් දැක්කේ මම හිතන්නේ ‘දෝනි’ චිත්‍රපටයෙන්.
ඔව්. ඒක මම බබා ලැබුණාට පස්සෙ කරපු චිත්‍රපටයක්. මම හරිම කැමැතියි ඒ චිත්‍රපටයට. නමුත් මම නිසා එහි නිෂ්පාදකවරයාට විවිධ ගැටලුවලටත් මුහුණ දෙන්න සිද්ධ වුණා මම හිතන්නේ.
ඔබ ඔය කියන්නේ මොන වගේ ගැටලු ද?
නෑ පහුගිය කාලේ මාව චිත්‍රපටවලට ගත්තම විවිධ ප්‍රශ්නවලට මුහුණ දෙන්න වෙනවා වැනි කටකතාත් පැතිරුණානේ. ඒකත් සමහර වෙලාවට මම නිර්මාණවලට වැඩි දායකත්වයක් නොදන්න හේතුවක් වෙන්න ඇති.
පසුගිය කාලේ වැඩිපුරම ඔබ සිනමාවෙන් ඈත්වුණේ දරුවා නිසා නේද?
ප්‍රධානම කාරණය ඒක. කාන්තාවකට අම්ම කෙනෙක් වෙනව කියන එක තරම් භාග්‍යයක් තවත් තියෙයි කියලා මට හිතෙන්නේ නෑ. විශේෂයෙන් පළවැනි දරුවා ලැබීම මවකට විශාල වගකීමක්, යුතුකමක් තිබෙනවා ඉෂ්ට කරන්න. මම ඒ වෙනුවෙන් මගේ සම්පූර්ණ කාලයම කැප කළා. දරුවකුට කුඩා කාලයේදී අම්මා කෙනකුගෙන් ලැබෙන රැකවරණය ආදරය, ආරක්ෂාව ඒ කාලෙදි නිසි විදියට ලබා දෙන්න ඕන. දරුවකුට ඒ කාලෙදි ලබාදෙන ආදරය, සෙනෙහස, මානසික සුවය කිසි කලෙකදිවත් ආයෙත් දෙන්න බෑ.
කුඩා වයසට දරුවකුට අම්මා ළඟින් ඉඳගෙන ලබල දෙන මානසික සුවය හරිම වැදගත්. දරුවෙක් ලොකු වුණාම නම් දෙයක් කියලා තේරුම් කරල දෙන්න පුළුවන්. නමුත් නොතේරෙන වයසට ඒ සෙනෙහස අඩු වුණාම මනසින් දුක්වෙන්න ඉඩ තියෙනවා. ඒක මම මගේ දරුවට දෙන්න ඕන නෑ. අපි දරුවෝ හැදුවේ අපිට ඕන නිසා. ඒ නිසා එයා ආදරයෙන් රැකගැනීම අපේ යුතුකම. අනිත් පැත්තෙන් මේ කාලය ඇතුළත චිත්‍රපටයක රඟපෑවානම් 100% ක් මට චිත්‍රපටය තුළ ඉන්න නොහැකි වෙයි. එහෙම වුණොත් මා අතින් දරුවට වගේම චිත්‍රපටයටත් සිද්ධ වෙන්නේ අසාධාරණයක්.
පහුගිය කාලේ වැඩිය වැඩ නොකළ නිසා ඔබ උදාසීන වෙලා ද?
කොහෙත්ම නෑ. මම හරිම ආසාවෙන් ඉන්නේ චිත්‍රපටයක රඟපාන්න. මගේ සිනමා ජිවිතේ නිර්මාණ අතර ඉරි ගහගෙන බෙදාගෙන හිටියේ නෑ කවදාවත්. ජනප්‍රිය රැල්ලේ විනෝදාත්මක චිත්‍රපටි වගේම, සම්භාව්‍ය ගණයේ උසස් නිර්මාණවලත් මම රඟපෑවා. මේ කොයි එකටත් මගේ කැපවීම එක වගේමයි. ඒක එදා වගේම අදත් එහෙමයි. ඉස්සර කරපු කැපකිරීම් නිර්මාණයක් වෙනුවෙන් තවමත් මට කළ හැකියි. එහෙම කරන්න බෑ කියල හිතෙනවනම් මම බාරගන්නේ නෑ.
ඇත්තටම පසුගිය කාලේ ඔබට චිත්‍රපටවලට ආරාධනා ලැබුණෙම නැත්ද?
ආරාධනා නොලැබුණා නොවෙයි. එක චිත්‍රපටයක නම් මම විශේෂිත ආරාධිත චරිතයක් රඟපෑවා. සමහර චිත්‍රපට මගේ හිතට හරි ගියේ නෑ.
දැන් ඔබේ දවස ගෙවෙන්නේ කොහොම ද?
බොහෝ දවස්වල මගේ කාලයෙන් වැඩි කොටසක් ගත වෙන්නේ දුව පෝෂියාගේ වැඩවලට. එයා දැන් නර්සරි යනවා. බැලේ ක්ලාස් එකකට ගෙනියනවා. ඊට අමතරව සුපුරුදු පරිදි මගේ කටයුතුවල නිරත වෙනවා. අපේ නාළිකාවේ පරිපාලන කටයුතුවලට කාලය වැය වෙනවා. ඒ සමඟම ෂෙරීන් කුමාරතුංග සහ මම එකතු වී ආරම්භ කරපු ආයතනයේ මිස් ශ්‍රී ලංකා සඳහා සිදුකරන වැඩ කටයුතුත් මේ අතර තිබෙනවා. මේවා මම රැකියාවක් හැටියට මුදල් හම්බ කිරීමම පරමාර්ථ කරගෙන කරන ඒවා නොවෙයි.
එතකොට ඔබේ තාත්තට හිමිව තිබූ තිමති ස්ටුඩියෝ සමූහයේ වැඩ කටයුතු බලන්නේ ඔබ නොවෙයි ද?
නෑ. තාත්තගේ ව්‍යාපාර සියල්ලම තාත්තා නැතිවුණාට පස්සේ කරගෙන යන්නේ අම්මයි.
ඔබ ඔබේ සැමියා රොෂාන්තගේ ව්‍යාපාරවලට සම්බන්ධ නැත්ද?
නාළිකාවේ කටයුතු සඳහා පමණයි මම මැදිහත් වෙන්නේ. මාධ්‍ය කටයුතුවල යෙදෙද්දි කවදාවත් මට ගැටලු පැන නැඟුණු අවස්ථාවලට මුහුණ දෙන්න සිද්ධ වෙලා නෑ. මෙතන ඉන්න බොහෝ දෙනෙක් මගෙන් පස්සෙ මේ ක්ෂේත්රයට ආපු අය. මම සිනමාවට ඇවිත් දැන් අවුරුදු 25 ක් වෙනවා. මේ කාලය ඇතුළත සිනමාව වගේම මාධ්‍යය ගැනත් මට අත්දැකීම් රැසක් ලබාගන්න පුළුවන් වුණා. ඒ නිසා ඒ වැඩ කටයුතු මම ගැටලුවක් නැතිව කරගෙන යනවා. රොෂාන්තගේ අනිත් ව්‍යාපාර කටයුතුවලට මගේ මැදිහත් වීමක් නෑ. ඔහු ඒවා ඔහුගේ ස්වාධීනත්වයෙන් කරගෙන යනවා.
ඔබ චිත්‍රපට නිෂ්පාදිකාවක් වෙන්න යනවා කියන එක අලුත් ආරංචියක්?
මම මුලින් කිව්වේ අලුත් චිත්‍රපටයකට මඟ හදාගෙන යනවා කියලා. ඒක නිෂ්පාදනය කරන්න ඉඩ තිබෙනවා. ප්‍රධාන චරිතය රඟපාවි. අධ්‍යක්ෂණය නම් මගේ නොවෙයි. ඒ ගැන වැඩිදුර විස්තර පස්සෙ කතා කරමු.
සිනමාවේ අර්බුදයක් තිබෙනව කියලා බොහෝ දෙනෙක් කියද්දි ඔබ නිෂ්පාදිකාවක් වෙන්න සූදානම් වෙනවා?
මම චිත්‍රපට නිෂ්පාදනය කරන්නේ සිනමාවට තිබෙන ආසාවට. සල්ලි හම්බ කිරිමට මූලික පරමාර්ථය කරගෙන නොවෙයි. නමුත් චිත්‍රපටයට යන වියදම ඇතුළුව මුදලුත් ඕන තමයි. මම මිලියන දාහක් වියදම් කරලා චිත්‍රපට කරන්නේ නෑනේ. නිර්මාණාත්මකව රස විඳින්න පුළුවන් ශ්‍රී ලංකාවේ ප්‍රේක්ෂකයින්ටයි මම නිර්මාණයක් කරන්නේ. හොඳ නිර්මාණයක් බිහි කරන්න ඕන කරන පිරිවැය මම දරනවා. අනිත් එක චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමේදීත් කියන තරම් ගැටලුවක් මට පැන නොනගි කියලා හිතෙනවා. හැම ප්‍රදර්ශක මණ්ඩලයේම ඉන්නේ මාත් සමඟ හිතවත් මගේ යාළුවෝ. ඒ නිසා මට ලොකු අර්බුදයකට මුහුණ දෙන්න වෙන එකක් නෑ.
ඔබ තාමත් පෙම්වතියගේ චරිතය රඟපානවා ද?
පෙම්වතිය මොන ආකාරය ද කියන එකයි ප්රශ්නය. ඉස්කෝලෙ යන පෙම්වතියගේ චරිතය දැන් මට රඟපාන්න බෑ. නමුත් ප්‍රේම කරන්න, ආදරය කරන්න වයස් සීමාවක් නෑ. පෙම්වතියගේ සංකල්පය මට ගැළපෙන ආකාරයකින් ලැබුණොත් මම ඒක කරයි. ආදරය කරන්න වයසක් නෑ වගේම ආදරය හැර යන්නත් වයසක් නෑ.
ඔබ මේ රටේ සුන්දර තරුණියන් සොයා ඔප්නැංවීමේ කටයුත්තක නියැළිලා ඉන්නවා. ලෝක රූ රැජිනක් ශ්‍රී ලංකාවෙන් කවදහරි බිහි වෙයි ද?
මම විශ්වාස කරනවා. අපේ රටේ ලස්සන යුවතියෝ ඉන්නවා. කවදහරි දවසක ලෝක රූ රැජිනක් මේ රටෙන් බිහි වේවි.
ඔබේ දියණිය පෝෂියා කවදහරි දවසක සිනමාවට යොමු වුණොත්?
ඇයි මම අකැමැති වෙන්නෙ? මගේ ජීවිතේ හැමදේම ලැබුවේ කලාව නිසා. මට ආදරය කරන බොහෝ ප්‍රේක්ෂක ප්‍රමාණයක් මේ රටේ ඉන්නවා. සිනමාවට ඇවිත් මම හොඳට මුදල් හම්බ කළා. ඒවා ආයෝජනය කළා වෘත්තිය ගරුත්වය රැකගෙන සිනමාවේ දිගු ගමනක යෙදුණා. ඒ අතින් බලනකොට මම හරිම වාසනාවන්ත කෙනෙක්. අනිත් පැත්තෙන් මම මගේ අම්මගේ, තාත්තගේ කීම අහල ඔවුන් කියපු දේ කරපු ළමයෙක්. පෝෂියා ලොකු වුණාම මේ පැත්තට උනන්දු වුණොත් ඒකට මම එපා කියන්නේ නෑ.