සතෙන් සතේ එකතු කරමින් පුංචි තිරයට ආ සුජානි මේනකා තම රංගන දක්ෂතාව නිසාම පුංචි තිරයට නැතිවම බැරි රංගන ශිල්පිනියක්. දිගු කලෙකට පසු හංසි ලෙස වෙනස්ම රංගනයක් ඔස්සේ මේ දිනවල නැවතත් ඔබේ ආලින්දයට පැමිණ සිටිනවා.
සුජානි බොහොම කාලෙකින්?
ඔව්. කාලෙකින් ටෙලි නාට්‍ය වලට සම්බන්ධ නොවුනත් විවිධ රූපවාහිනි වැඩසටහන් ඔස්සේ විටින් විට සම්බන්ධ වුණා.
කෙටි විවේකය මෙදා පාර ටිකක් දිගු වුණා නේද?
හ්ම්ම්. වසර එකහාමාරක් මම කිසිම ටෙලි නාට්‍යයකට සම්බන්ධ වුණේ නැහැ.
මුකුත් විශේෂයක් නිසාවත්ද?
විශේෂයක් නැහැ. විවාහයෙන් පස්සේ මම තීරණය කරලා තිබුණේ වැඩිපුර කාර්යබහුල නොවෙන්නයි. නමුත් පහු ගිය කාලේ මටම දැනෙන්න ගත්තා මම කොතරම් කාර්යබහුලද කියලා. ඉතින් එහෙම විවේකයක් නැතිව එක දිගට වැඩ කිරීම හරිම අපහසුයි. විවේකයක් ගත්තොත් හොඳයි හිතුණේ එනිසයි. හැබැයි පසු ගිය කාලේ මට හරියන පිටපතක් නොලැබීම සහ ලැබුණු චරිතත් ඒකාකාරීයි. මං කොහොමත් වෙනසක් හොයන කෙනෙක් ඉතින් මේ මේ හේතු නිසා මගේ විවේක කාලය ටිකක් දිර්ඝ වුණා.
නිතරම වෙනසක් හොයන්නේ ඇයි?
මම විතරක් නෙමෙයි. ඕනැම රංගන ශිල්පියෙක් කැමැතියි එකිනෙකට වෙනස් චරිත ලැබෙනවා නම්. මගේ වාසනාවකටදෝ මුල් කාලේ ඉඳලා මට ලැබුණේ එවැනි වෙනස් චරිත. එය ප්‍රධාන චරිතයක් නොවෙන්න පුළුවන්. නමුත් මං බොහොම කැමැත්තෙන් එවැනි චරිත බාර ගන්නේ. එකිනෙකට වෙනස් රංගනය මගේ රංගන ජීවිතයටත් හොඳයි. එවිට අපිට රංගනය පිළිබඳ වෙනස් අධ්‍යයනයක නියැළෙන්න පුළුවන්.
ඔය වෙනසට නිසි අගැයිමක් නැති එක ගැන දුකක් නැද්ද?
මගේ රංගනය ඕනෑ තරම් ඇගයිමට ලක් කෙරිලා තියෙනවා. නමුත් මගේ රංගන ජීවිතයේ සම්මාන බලාපොරොත්තු නැහැ. සම්මානයකට වඩා මගේ චරිතේ ගැන මමයි මුලින්ම තෘප්තිමත් වෙන්න ඕනේ. ඉන්පසු ජනතාවගේ ලැබෙන ඇගැයීම මට මගේ රංගනයේ සාර්ථකත්වය ගැන නිසි අවබෝධයක් ලබා ගන්න පුළුවන්.
කියන්නකෝ බලන්න කොහොමද අලුත් ජොබ් එක?
හොඳයි. හැබැයි හරිම අමාරුයි. අපි ඩ්‍රයිව් කළාට එතනින් එහාට වාහනයක ඇති වෙන ප්‍රශ්න ගැන කිසිම දැනුමක් නැහැ නේ. මොනවහරි අවුලක් නම් ගිහින් ගරාජ් එකකට දානවා මිසක්. මං ගරාජ් එකේ වැඩ කරන්න ගත්තට පස්සේ තමයි තේරුණේ ඒ රස්සාව කොච්චර අමාරුද කියලා.
කොහොමද අප්පේ ඉතින් ඒ වගේ රස්සාවක් කරන්නේ?
පහු ගිය කාලේ විවේකයක් ලැබුණහම මං කරන්නේ ගරාජ් එකේ වැඩ ගැන යම් යම් හැදෑරීම් කළා. සමහර විට ෂුටින් අතර තුර පවා මං ඉගෙන ගත්තා.
කවුද ඔය රස්සාව හොයලා දුන්නේ?
රවින්ද්‍ර විජේරත්න සහ තරංග දිසානායක. කොච්චර අමාරු වුණත් මං බොහොම කැමැත්තෙන් එය බාර ගත්තේ.
ඒ කියන්නේ හංසී ඔබට සෑහෙන්න අභියෝගයක් වෙලා?
අපෝ නැහැ. ඊට වඩා 'සෙනෙහස කවියක්' කියන ටෙලි නාට්‍යයේ මට තිබුණේ තනිකරම කොල්ලෙකුගේ චරිතයක් නිරූපණය කරන්න. ඒ තමයි මගේ රංගන ජීවිතයේ මට සෑහෙන අභියෝගයක් වූ චරිතය. එනිසාම එය මගේ රංගන ජීවිතයේ හරිම විශිෂ්ට කඩඉමක්.
නෑනලා දෙන්නා එකට රඟපාන්නේ සෑහෙන කාලෙකින් නේද?
ඔව්. නමුත් මීට කලින් අපි ඕනෑ තරම් එකට රඟපාලා තියෙනවා.
සුජානි - බිමල් කැදැල්ලේ අලුත් තොරතුරු ටිකකුත් කියමු නේද?
අපි දෙන්නා සුපුරුදු පරිදි හොඳින් ඉන්නවා. ඉතින් අපේ ජීවිත වලත් විවිධ බලාපොරොත්තු තියෙනවා. නිසි කාලෙදී ඒ බලාපොරොත්තු ඉටු කරගෙන හොඳින් ජීවත් වෙන්නයි උත්සාහ කරන්නේ.
නැවත ඔබේ රංගනය දකින්න සැහෙන කාලයක් බලන් ඉන්න වේවිද?
ඇත්තටම නිර්මාණ දෙකයි එකවර බාර ගන්න පුළුවන්. ඉස්සර නම් එහෙමයි. නමුත් දැන් ඔය රටාව ටිකක් වෙනස් වෙලා තියෙනවා. ඉතින් මේ දවස් වල සරත් ධර්මසිරිගේ තවත් නිර්මාණයකට සම්බන්ධ වෙලා ඉන්නවා.