දිවයිනෙන් බැහැරව මධුසමය ගෙවීමට කැමැති ඔබට කදිම ඉසව්වක් ඉන්දියාවේ ඌටි

මේ එළඹෙමින් තිබෙන්නේ වසන්ත කාලයයි. වසන්ත කාලය යනු සියලු දෙනාම අලුත් බලා‍පොරොත්තු වලින් සිත් පුරවාගන්නා කාලයයි. වසන්ත කාලය වසන්තයක්ම වන්නේ අලුත විවාපත් වන්නට සිටින තරුණ තරුණියන්ටය. වසන්තය එළැඹීමත් සමග අලුතින් විවාහ වන තරුණ තරුණියෝ අලුත් ජීවිතය සුන්දර මතකයන් රැසක් සමග ආරම්භ කරන්නට  කැමති වෙති. එහෙත් ඔවුන් අතුරින් මධුසමය විදේශයක ගත කිරීමට සිතන පිරිස් ඉතා අඩුය. ඊට හේතුව ඒ සඳහා අතිශය විශාල මුදලක් වැය වන බව බොහෝ දෙනකුට වැටහී තිබිම ය. එහෙත් විදේශීය රටක මධුසමය ගත කිරීම සඳහා  අවම මුදලක් වැය වන ඉසව්වක් පිළිබඳව අද ඔබට ඉඟියක් අපි ලබා දෙන්නෙමු.

ඌටි යනු ඉන්දියාවේ තමිල්නාඩුවේ නීලගිරි දිස්ත්‍රික්කයේ පිහිටා ඇති කුඩා ප්‍රදේශයකි. මෙහි ස්වාභාවික පිහිටීම සංචාරක ආකර්ෂණය දිනාගන්නට සමත් වූයේ වසර ගණනාවකට පෙරදීය. ඌටි යනු සාමාන්‍යයෙන් සීතල පරිසරයක් සහිත ප්‍රදේශයකි. එහි සාමාන්‍ය උෂ්ණත්වය වසරේ මුල මාස හතර තුළ සෙල්සියස් අංශක 20-22 අතර අගයක පවතී. එනම් ඌටි ප්‍රදේශයේ උෂ්ණත්වය අපේ රටේ නුවරඑළිය ප්‍රදේශයේ උෂ්ණත්වය හා සමාන අගයක පවතී. එහි උස මුහුදු මට්ටමින් මීටර් දෙදහසකට මඳක් වැඩිය. මෙය නුවර දිස්ත්‍රික්කයේ උස්බිම්වල උසට සමාන උසකි. ඔබට ඌටි වෙත යන්නට අවශ්‍ය නම් ඔබ කළ යුතු වන්නේ පළමුව ඉන්දියාවේ කොචි නොහොත් කොචින් ගුවන් තොටු‍පොළ වෙත ගුවන් ටිකට්පතක් වෙන් කරවා ගැනීම යි. ඒ සඳහා රුපියල් 15000 සිට 24000 දක්වා වූ මිල ගණන් යටතේ ගුවන් ටිකට් පත් සපයන ගුවන් සේවා සමාගම් තිබේ. ඉන් ඕනෑම එකක් තෝරා ගන්නට ඔබට පුළුවන.
කටුනායක සිට කොචින් දක්වා ගමන් කරන්නට ඔබට පැය එකක් සහ විනාඩි විස්සක ගුවන් කාලයක් ගතවේ. කොචින් ගුවන් තොටු‍පොළෙන් බැස ගන්නා ඔබට ඉන්පසු ඌටි දක්වා කිලෝ මීටර් 247ක දුරක් ගමන් කරන්නට සිදුවේ. ඒ සඳහා පැය හතරක පමණ කාලයක් ගතවේ. ටැක්සියක ගමන් කරන්නේ නම් එම දුර සඳහා ඔබට අවම වශයෙන් ශ්‍රී ලංකා රුපියල් 9500ක් වත් ගෙවන්නට සිදුවේ.

ඔබ ඌටි නගරය ගැන වැඩි තොරතුරක් නොදැන සංචාරය කරන්නේ නම් ඒ සඳහා සංචාරක සේවා සපයන ආයතනවලින් ඔබට සහාය ලබා ගන්නට පුළුවන. එවිට ඔබේ මධුසමය සඳහාම සාදන ලද පැකේජ කීපයක් ඔවුන් ඔබට ඉදිරිපත් කරනු ඇත. ඒ අතරින් මිල අඩුම පැකේජය වන්නේ දිවා හතරක් සහ රාත්‍රී තුනක් සහිත පැකේජයයි. එහිදී පළමු දිනයේ දී ඔබට ඌටි නගරය වටා ඇති සුවිශේෂී ස්ථාන රැසක් නරඹන්නට හැකිවේ. ආහාර වේල් තුනක් සමග පළමු දිනය සඳහා එක් යුවළකට ශ්‍රී ලංකා රුපියල් 32500ක් පමණ වැය වේ. දෙවැනි සහ තෙවැනි දිනවලදී ඩොල්ෆින් නෝස්, ලැම්බස් රොක්, නීලගිරි බොට්නිකල් ගාඩ්න්, ආදී විශේෂිත ස්ථාන කීපයක් නරඹන්නට හැකි වන අතරම මිනියේචර් ට්‍රේන් නම් වූ කුඩා ප්‍රමාණයේ දුම්රියක නැගී වර්ග කිලෝ මීටර් හය දහසක් පමණ වන නීලගිරි කඳුවැටි හරහා කිලෝ මීටර් සියයක පමණ දුරක් ගමන් කරන්නට පවා අවස්ථාව ලැබේ. මේ සෑම  දිනක් සඳහාම ඔබ දෙපළ වෙනුවෙන් දිනකට රුපියල් 32500 බැගින් ගෙවන්නට සිදුවේ.

ඔබ සංචාරක සේවා සපයන ආයතනයක සහාය ලබා නොගන්නේ නම් ඔබට ඉහත කී පරිදි ඌටි නගරයකට පැමිණ අඩු වියදම් හෝටලයක ලැගුම් ගන්නට පුළුවන. සාමාන්‍යයෙන් බෙඩ් ඇන්ඩ් බ්රෙක්ෆස්ට් නම් පැකේජය යටතේ එක් දිනයක් සඳහා ඔබ දෙපළට ශ්‍රී ලංකා මුදලින් රුපියල් 7000ක් පමණ ගෙවන්නට සිදුවේ. එයට දිවා සහ රාත්‍රී ආහාරවේල ඇතුළු වන්නේ නැත. ඒවා පිටින් ලබා ගත යුතුය.

ඉන්පසු ඌටි නගරයේ ඇති උඩගමන්ඩලම් දුම්රිය ස්ථානයෙන් ආරම්භ වන සුවිශේෂී කුඩා දුම්රියට නගින ඔබට නීලගිරි කඳුවැටියේ සීතල සුළඟේ පහස විඳිමින් මනරම් දුම්රිය ගමනක අත්දැකීම ලබා ගන්නට හැකි වනු ඇත. මෙම දුම්රිය මාර්ගයේ සුවිශේෂත්වය වන්නේ සාමාන්‍ය දුම්රිය ධාවනය කිරීම සඳහා මෙන්ම ප්‍රමාණයෙන් කුඩා මිනියේචර් දුම්රිය ධාවනය කිරීම සඳහාද සකස් කරන ලද පීලි තුනක් සහිත රේල් පාරයි. ඉන්දියාවේ ඇති එක් දුම්රිය මාර්ගයක ඉදිකරන ලද පීලි තුනක් සහිත එකම මිනියේචර් දුම්රිය මාර්ගය වන්නේද මෙයයි. මෙම ගමන සඳහා එක් අයෙකු වෙනුවෙන් ඔබ ගෙවිය යුතු මුදල ශ්‍රී ලංකා රුපියල් තුන්සිය පනහකි. පැය දෙකක පමණ දුම්රිය ගමනකින් පසු නැවතත් ඔබට උඩගමන්ඩලම් දුම්රිය ස්ථානයෙන්ම බැසගත හැකිය. මෙම අති විශේෂ දුම්රිය ගමනට අමතරව ඌටි නගරයේ සුවිශේෂී ස්ථාන නැරඹීම සඳහා ඔබ ටුක් ටුක් ටැක්සියක් ලබා ගන්නේ නම් ඔවුන් එක් කිලෝ මීටරයක් සඳහා අය කරන මුදල ශ්‍රී ලංකා රුපියල් අසූවක් පමණ වේ. නමුත් ටුක් ටුක් රථයේ සැප පහසුකම අනුව මිල ගණන් වෙනස් විය හැකිය.

ඌටි ප්‍රදේශයේ ඇති නීලගිරි කඳුවැටිය ඉන්දියාවේ වැඩිම ෙජෙව විවිධත්වයක් සහිත ප්‍රදේශවලින් එකක් ලෙස හඳුනාගෙන තිබේ. ඒ නිසාම මෙය යුනෙස්කෝ ලෝක උරුම සංගමයේ අවධානයට ලක් වූයේ අසූවේ දශකයේ මූල භාගයේදීය. ඉන්පසු එය ස්වාභාවික ලෝක උරුමයක් ලෙස නම් කර එයට ඓතිහාසික වශයෙන් වටිනාකමක් ලබාදෙන ලදී. ඒ නිසා ශ්‍රී ලංකාවෙන් බැහැරව මධු සමය ගෙවීම සඳහා මුළු ලොව පිළිගත් ඓතිහාසික වටිනාකමකින් යුතු ලෝක උරුම කලාපයක් තෝරා ගැනීම ඔබේ නව ජීවිතයට නව අඩිතාලමක් වනු ඇත.

දුලංජලී මුතුවාඩිගේ
ලක්බිම පුවත්පත

Post a Comment

0 Comments