මානසික ආතතිය හේතුවෙන් ඇතිවිය හැකි රෝගාබාධ ගැන ඔබ දැනගත යුතු කරුණු ටිකක්

අධික රුධිර පීඩනය විවිධ හේතු මත ඇති විය හැකි රෝග තත්ත්වයක්. මේ සඳහා බලපාන ප්‍රධාන හේතු අතරින් එකක් තමයි මානසික ආතතිය. “මේ දවස්වල නම් මට ප්‍රශ්න පිට ප්‍රශ්න, ඔළුව උස්සන්නම බෑ, මගෙ පේ‍රෂර් එකත් හොඳටම නැගලා”.

මෙහෙම කියන අය ඔබටත් ඕන තරම් හමුවෙලා ඇති. මානසික ආතතිය, රුධිර පීඩනය හා සෘජුවම සම්බන්ධ වන බව එමගිනුත් ඔබට පැහැදිලි ඇතිනේ.මානසික ආතතියක් හෙවත් ඉබපඥඵඵ ඇති වීම යනු මානසික ඒකාග්‍රතාවය බිඳ වැටීම වශයෙන් සරලව දක්වන්න පුළුවන්. එවැනි අවස්ථාවක අපට මානසික වශයෙන් මෙන්ම කායික වශයෙනුත් විවිධ වෙනස්කම් දැනෙන්නට පටන් ගන්නවා. කායිකව දැනෙන ලක්ෂණ අතර හිසේ කැක්කුම සුළු වැඩකදී පවා ඉක්මණින් තෙහෙට්ටුවට පත් වීම. අත්පාවල වේදනාව, උදරයේ ඇසිඩ් ගතිය ඇති වී දැවිල්ලක් හට ගැනීම බත්කෙණ්ඩ ප්‍රදේශය මංශ පේශීන්වල වේදනාව වැනි දෑ දැක්විය හැකියි.
මානසිකව දැනෙන ලක්ෂණ වන්නේ සිතට තදබල නොසන්සුන් බවක් දැනීම, සෑම දෙයක්ම එපා වීම, එක දිගට යම් වැඩක යෙදීමේ අපහසුව, තරහ යාම, තැති ගැනීම, නිතර දැනෙන සිත් වේදනාව ආදියයි. මේවා මානසික රෝග ලක්ෂණම නොවුණත් මෙලෙස  ඇති වන මානසික ආතතිය නිසා රුධිර සංසරණ පද්ධතියෙහි වගේම හෘදය වස්තුව ආශ්‍රිතවද නොයෙකුත් ගැටලු පැන නැඟිය හැකියි.

මේ තත්ත්වය ඇති වන්නේ කොහොමද?

අප තුළ තදබල මානසික ආතතියක් හට ගත් විට අපේ ශරීරයේ තිබෙන ස්වායත්ත ස්නායු පද්ධතිය  විසින් අපට ඒ වෙනුවෙන් සටන් කිරීමට හෝ එම අවස්ථාවෙන් පළා යාම සඳහා ඉඩකඩ සලසනවා. එසේ කරන්නේ එම ස්නායු පද්ධතියෙ ක්‍රියාකාරිත්වය වැඩි කිරීම තුළින්. ඒ අනුව රුධිර සංසරණ පද්ධතියේ ක්‍රියාකාරිත්වය වැඩි වෙනවා. අන්තරාසර්ග පද්ධතියෙත් එලෙසින්ම ක්‍රියාකාරිත්වය වැඩි වීම සිදුවෙනවා. මේ ක්‍රියාකාරිත්වයන් නිසා අපේ ධමනිවලද ක්‍රියාකාරිත්වය වැඩි වෙලා එහි පීඩනය වැඩිවෙනවා. ඒ හේතුවෙන් හෘදය වේගයෙන් ක්‍රියාත්මක වන්නට පටන් ගන්නවා. ආතතිය පහ වීමත් සමග මේ ක්‍රියාකාරිත්වයන්ද ක්‍රමයෙන් යථා තත්ත්වයට පත් වෙනවා.

මේ තත්ත්වය වරක් දෙවරක් නොව නැවත නැවතත් වශයෙන් නිතරම වාගේ දැනුණොත් රුධිර නාළවල සහ හෘදය වස්තුවේ වෙනසක් ඇති වෙනවා. රුධිර නාළවල ඇති වන වෙනස්කම් අතර එහි ඝනකම වැඩි වීම දැක්විය හැකියි. මෙහිදී හෘදයේ සිට ශරීරයේ අනිකුත් කොටස්වලට රුධිරය ‍පොම්ප කිරීම සඳහා හෘදයට විශාල වෙහෙසක් දරන්නට සිදුවීම මත හෘදය වස්තුවේ මාංශ පේශීවල ක්‍රියාකාරීත්වය වැඩි වීමයි සිදු වෙන්නේ. ඉන්පසු හෘදය වස්තුවේ කුටිවල මාංශ පේශිවල ඝනකම වැඩි වීමෙන් හෘදය වස්තුවටත් වැඩියෙන් රුධිරය අවශ්‍ය වෙනවා. ඒ තත්ත්වයට පැමිණි පසු හෘදය වස්තුවක් ක්‍රියා කරන්නේ ලොකු පීඩනයකින්. මේ තත්ත්වය කලක් තිස්සේ පැවතීමේ ප්‍රතිඵලය වන්නේ අධික රුධිර පීඩනය හට ගැනීමයි. දැන් ඔබට පැහැදිලිනේ. කාලයක් තිස්සේ මානසික ආතතියෙන් පෙළෙන අයෙකුට අධික රුධිර පීඩනය හට ගැනීමේ විශාල පීඩනයට ඖෂධ ගන්නා කෙනෙකු වුවත් නිතර නිතර මානසික ආතතියෙන්    පෙළෙන්නේ නම් එම ඖෂධ ප්‍රමාණයෙන් අධික රුධිර පීඩනය අඩු කර ගැනීම අපහසු වෙනවා. එනිසා එවැනි අය සිත සැහැල්ලු කරවන ව්‍යායාමයක යෙදිය යුතුයි.

මෙසේ ඇතිවන අධික රුධිර පීඩනය හෘදයාබාධයක් දක්වා දුරදිග යන්නේ කොහොමද?

හෘදය වස්තුව රුධිරය ‍පොම්ප කරන ‍පොම්පයක් ලෙස දැඩි වෙහෙසක් දරන විට එහි බිත්තිවලද ඝනකම වැඩි වන බව ඉහත සඳහන් කළා. මේ නිසා එයටත් වැඩිපුර රුධිරය අවශ්‍ය වෙනවා. කිරීටක ධමනිවලත් මේ ආකාරයටම පීඩනය වැඩි වන නිසා එහිද ඝනකම වැඩි වීමෙන් සිදුවන්නේ ඇතුළත ඉඩ ප්‍රමාණය අඩු වීමයි. මෙහිදී කිසියම් අයුරකින් රුධිරය කැටි ගැසීමක් සිදු වුණොත් හෘදයට රුධිරය සැපයීම අඩු වී යනවා. රුධිරය සැපයීම අඩුවන විට ඔක්සිජන් සැපයීමත් අඩු වෙනවා. එවිට එම ප්‍රදේශයේ වේදනාවක් හට ගන්නවා. යම් හෙයකින් මෙලෙස පටුවී තිබෙන කිරීටක ධමනියේ ‍ලේ කැටියක් හිර වුණොත් ‍ලේ ගමන් කිරීම අඩපණ වීමෙන් හෘදයේ මාංශ පේශී මිය යා හැකියි. එනම් හෘදයාබාධයක් ඇති වීමයි.

මානසික ආතතිය මගින් හෘදයාබාධ ඇති කරවන්නේ ඔය ආකාරයටයි. මීට අමතරව කොලෙස්ටරෝල් වැඩිවීම, බර වැඩිවීම, හෝමෝනවල අඩුපාඩු ඇති වීම වැනි විවිධ අහිතකර තත්ත්වයන් ආතතිය නිසා පැන නැගිය හැකියි. මානසික ආතතිය අඩුකර ගැනීම තුළින් අධික රුධිර පීඩනය සහ හෘදයාබාධ හට ගැනීම අඩු වෙනවා. එනිසා හෘදයාබාධයක් හටගත් කෙනෙකුට මානසික ඒකාග්‍රකතාවය ඉතාමත්ම වැදගත් බව සැලකිය යුතුය.

උපදෙස්: විශේෂඥ මනෝ වෛද්‍ය රුමී රූබන්

සාකච්ඡා කළේ : ඉන්දු පෙරේරා
ලක්බිම