ජපානයේ අලුත් පන්නයේ පරණ ගෙවල්

ජපානයේ ගෙවී ගිය ශත වර්ෂය තුළ ජපන් ගෘහ නිර්මාණ කලාව විශාල වෙනසකට භාජනය විය. ඉතා වේගයෙන් සංවර්ධනය  කරා පියමනින ජපානයේ අදටත් සාම්ප්‍රදායික හා නවීන වශයෙන්, ගම්බද හා නාගරික යන පරිසරය තුළ කොටස් දෙකකින් ගෘහ නිර්මාණ කලාව බෙදී පවතියි.වර්තමානයේ බොහෝ ගෙවල් ගොඩනංවනු ලබන්නේ විවිධ ආකාරයේ නවීන  මාදිලි අනුවයි. පාරම්පරික නිවාස පිටිසරබද පළාත්වල මැටි සහ දැව උපයෝගි කරගෙන සාදන අතර වහල උළුවලින් සෙවිලි කරනු ලැබේ. නිතරම භූ චලනවලට ගොදුරු වන  ජපානය තුළ නවීන ගොඩනැගිලි ඉදිකිරීම  යකඩ, කොන්ක්‍රීට් හා දැවවලින් සිදු කෙරේ. විශේෂයෙන් නගරවල නිවාස මිල අධික වන අතර ඒවා කුඩා තත්ත්වයේ පවතියි.  ඉඩකඩ සීමිත වීම මීට හේතුවෙයි. නමුත් ගම්බද ප්‍රදේශවල නිවාස විශාලය. ඒවායේ කාමර ප්‍රිය සම්භාෂණ සහ උත්සව පැවැත්වීමට යොදා ගනියි. නගරයේ නිවාස ප්‍රජා මධ්‍යස්ථාන හා භෝජනාගාර සඳහා බොහෝ විට යොදා ගනියි.

කෙසේ වෙතත් ජපන් වැසියන්ට  තමන්ගේ කියා නිවසක් අවශ්‍ය වුණත් තනි නිවෙස්වලට වඩා ගොඩනගන්නේ “දන්චි” නමින් හඳුන්වන මහල් නිවාසයි. ග්‍රීෂ්ම සෘතුවේදී ජපානයට උණුසුම්  දේශගුණයක් ඇතිවේ. ජපානයේ නිතරම ආර්ද්‍රතාවයක් පවතින නිසා ගෘහ නිර්මාණය කරනුයේ මඳ සුළං එකී නිවෙස් හරහා  හමායන ආකාරයටය. සාමාන්‍යයෙන්  මෙම නිවෙස්වල කාමරවල දොරවල්, ජනෙල්,  එහා මෙහා කිරීමට පුළුවන. මෙම දොර ජනෙල්  ඉවත් කිරීමෙන් කුඩා කාමර දෙකක් විශාල කාමරයක් බවට පත්කිරීමට හැකිවන ආකාරයෙන් ඒවා නිර්මාණය කර ඇත.

පාරම්පරික සාම්ප්‍රදායික ගෙවල්වල ගෙන්කන් නමින් හඳුන්වන ඇතුල්වීමේ දොරටුව සහ මුළුතැන්ගෙයි ගෙබිම දැවවලින් සාදා ඇති නමුත් අනෙක් කාමරවල ගෙබිම සාදා ඇත්තේ වියන ලද “තතමි” නමැති කලාල විශේෂයකිනි.  තතමි  සාදාගනු ලබන්නේ  උණබට විශේෂයකිනි. තතමිවලින් සෑදුණ එක් නිදන කාමරයක් නිවෙස්වල දක්නට ලැබුණත් අද බොහෝ නිවෙස්වල කාමර ඔප දමන ලද ලීයෙන් හා කලාලවලින් නිමකර ඇත. ජපන් නිවෙස්වලට ඇතුළු වනවිට  සපත්තු ගලවා සෙරෙප්පු පැළඳ ගත යුතුය. තතමි කාමරයට ඇතුළු වන විට සෙරෙප්පු ගලවා ආලින්දයේ තැබිය යුතුය.  ජපන් ජනතාව  රාත්‍රී  කාලයට ඇඳන් මත හෝ එසේ නොමැතිනම් මෘදු කපුවලින් සෑදූ “ෆුතොන්” නම් මෙට්ට මත නිදනු ලැබේ. “ෆුතොන්” මෙට්ට භාවිත කරන  අය ඒවා සූර්යාලෝකය ඇති දිනවල සඳලුතලවල ඇති වැටවල්  මත හෝ රාක්ක මත එලා වියළා ගැනීමෙන් අනතුරුව හකුලා කාමරවල ඇති ගබඩා කුටිවල සුරක්ෂිතව තබනු ලැබේ. මෙසේ කිරීම තුළින් එම කාමරය  දවල් කාලයේදී වෙනත්  කටයුත්තක් සඳහා යොදා ගත හැක.
ජපානය තුළ බොහෝ නිවෙස්වලට විදුලි බලය හා නළජල  පහසුකම් තිබේ. නමුත් අධික ශීත සෘතුවක් පවතින  හොකයිඩෝ දූපතෙහි හැර අනිකුත්  තැන්වල උණුසුම් උපකරණ  බහුලව දක්නට  නොලැබේ. ශීත සෘතුවේදී  ජපානයේ අනිකුත් ප්‍රදේශවල පිහිටි ගෙවල් අවශ්‍ය අවස්ථාවලදී  උණුසුම්  කිරීමට වෙනත් ක්‍රම යොදා ගනු ලැබේ.

 උණුසුම්ව සිටීමට “කොතත්සු” නමැති උසින් අඩු මේස වර්ගය භාවිත  කිරීම එබඳු එක් ක්‍රමයකි.  මෙම මේසයේ යටි පැත්තේ  විදුලියෙන් උණුසුම් කරනු ලබන විශේෂ මෙවලමක් සවිකර ඇති අතර මේසය
ඝන ඇතිරිල්ලකින් ආවරණය කර ඇත. උණුසුම්ව සිටීමට අවශ්‍ය අවස්ථාවලදී නිවසේ අය මේසය වටා ඇති “සැබුනොත්” නමැති හතරැස්  මෙට්ට  මත වාඩි වී  මේසය ආවරණය වී ඇති ඇතිරිල්ලෙන් තම දෙපා ආවරණය කර ගනිති. මේ අතර ජපානය තුළ නවීන උණුසුම් උපකරණද මෙයට අමතරව හඳුන්වාදී  ඇත. කුඩා විදුලි  තාප ජනක වර්ග ජපානයේ  බොහෝ සාප්පුවල විකිණීමට ඇති අතර බොහෝ වායු සමීකරණ උපකරණ  තුළින් නිවෙස්  උණුසුම් කිරීමටත් සිසිල් කර ගැනීමටත් හැකි වී තිබේ. ජපානයේ නිවෙස්වල  “ඔෆුරෝ’ නමැති විශේෂ නාන කාමර වැසිකිළිවලින් වෙන් කර ගැනීමට හැකිවන සේ තනා ඇත. නාන බේසම සෘජුකෝණාඝ්‍ර හැඩයක්  ගන්නා අතර   එය උණුසුම් ජලයෙන් පිරී පවතින අයුරින් සකස් කර ඇත.  එය තුළට  බැසීමට පෙර බේසම අසල ඇති බංකුව මත හිඳ සබන් ගා තම සිරුර හොඳින් සෝදා ගත යුතුය. මන්ද යත් එක් එක් අය තම බේසම තුළට  ඉතා පිරිසිදු ලෙසින් ඇතුළු විය යුතු නිසාය. ඒ නිසා ජපන්   පවුල්වල සිටින ඕනෑම තරාතිරමක සාමාජික සාමාජිකාවන්ට මෙම වතුර බේසම පාවිච්චි කළ හැක.

චන්දන රණවීර
ලක්බිම පුවත්පත

Post a Comment

0 Comments