මළ ගෙවල්වල ගියාම කිල්ලට අසුවෙනවාද?

අපල සමනය කර ගැනීම පිණිස කරන යන්ත්‍ර මන්ත්‍ර භාවිතයේදී නිතර කියවෙන "කිලි" යන වචනය කාටත් හුරු පුරුදුය. යන්ත්‍ර පළදින අයට ඒවා පැළඳගෙන කිලි ගෙවල් හා මළ ගෙවල්වල නොයන ලෙස උපදෙස්‌ දෙනු ලැබේ. කිලි අසුවීම නිසා ඒවායේ බල බිඳෙන බැවිනි. කිලි කුණු යනු මොනවාද?

සිංහල ශබ්ද කෝෂයේ කිලි යන වචනය විස්‌තර කෙරෙන්නේ කිළුට, සෘතුවීම, ඔසප් වීම, අපවිත්‍රභාවය ආදී වශයෙනි. අලුත මල්වර වූ දැරියක සිටින ගෙදර ද, මළ ගෙදර ද, දරු උපත සිදු වූ තැන ද කිලි ගෙවල් වශයෙන් සලකනු ලැබේ. සමහරුන් එය විෂබීජ වශයෙන් හැඳින්වීමට උත්සාහ කළ ද කිලි අහුවෙනවා යන්න ඊට වඩා තරමක බරපතල තත්ත්වයක්‌ බව පෙනෙන්නේ කිල්ලට අසුවන යන්ත්‍ර පුපුරා යැම හා ගැලවී වැටීම වැනි දේ ද දක්‌නට ලැබෙන බැවිනි.

ශාන්ති කර්මවලදී ජප කිරීමේ කටයුතු ආරම්භයේ ම කිලි හරන මන්ත්‍රයකින් ජීවං කළ කහ වතුර අවට ඉසිනු ලබන්නේ එම කටයුතු නිමා වන තුරු කිල්ලෙන් බේරා ගැනීමටය. කිල්ල බලපවත්වන කාලය පිළිබඳව "ප්‍රත්‍ය ශතකයේ එන පහත සඳහන් ශ්ලෝකය මගින් විස්‌තර කෙරේ.

"ප්‍රථමාර්ථව මනු දිනං - ප්‍රසූතේ ත්‍රිංශ මේවච

මෘත්‍ය දෝශං ත්‍රිණි මාසං - අන්‍යස්‌තු ස්‌නාන මේවච"

එනම් ප්‍රථම කිල්ල හෙවත් මල්වර කිල්ල දින 14 කින් පසුව ද, දරු උපතක කිල්ල දින 30 න් පසුව ද, මරණ කිල්ල මාස 3 පසුවද, මසින් මස කිල්ල (ඔසප්) ස්‌නානය කළ දිනට පසුව ද නැතිවන බව දත යුතු බවයි.

කෙසේ නමුදු මල ගෙවල් ආදී කිලි ඇති තැන් වලට යන අයගේ තුවාල ඇත්නම් ඒවා පැසවන බවද, කුෂ්ඨ රෝග ආදිය වැඩිවන බව ද පෙනේ. ඇසේ කාචයක්‌ සවි කිරීමට ශෙල්‍යකර්මයක්‌ කර සුව වූ අයකු ද මළගෙදරක ගිය විට නැවත අසාධ්‍ය වූ බව දක්‌නට ලැබුණි. අදාළ චාරිත්‍ර විධි නො ඉක්‌මවා සකස්‌ කර පැළඳ සිටි යන්ත්‍ර කිල්ලක්‌ නිසා පුපුරා ගිය අවස්‌ථා බොහෝ විට දක්‌නට ලැබේ. මේ අතර පැපොල, සරම්ප වැනි රෝග ද කිල්ල නිසා බලවත් ලෙස අසාධ්‍ය වනු ඇත.

එහෙත් බෞද්ධ ශාන්ති කර්මවලදී කිල්ල එතරම් දුරට බලපාන බවක්‌ නොපෙනේ. රතන සූත්‍ර දේශනාව කර ඇත්තේ විශාලා මහනුවර තුන්බිය නිසා දහස්‌ ගණනක්‌ මරණයට පත් වී සිටි අවස්‌ථාවකය. ඒ අනුව පිරිත් මගින් ජීවං කර බුද්ධ යන්ත්‍ර වන ජලනන්දන, රතන, නවගුණ ආදී යන්ත්‍ර වලට කිල්ලේ බලපෑම බොහෝ දුරට අඩුවනු ඇත.

නවීන විද්‍යාත්මක පර්යේෂණ මගින් ඔප්පු වී නොමැති සියලු දේ මිථ්‍යා මත යෑයි බැහැර කරන අයට ද "කිල්ල" ගැන පර්යේෂණ කළ හැකිය.

කෑගල්ලේ සුනිල් ගම්ලත්
කෙලින් වීදිය, කෑගල්ල.
දිවයින පුවත්පත


Contact Info

Lorem Ipsum is simply dummy text of the printing and typesetting has been the industry's.

Search This Blog

Categories

Subscribe Us