පියයුරු පිළිකාවකට රෝග ලක්‍ෂණ 12 ක්


පිළිකා රෝගී කාන්තාවන් අතරින් වැඩි දෙනෙකු පියයුරු පිළිකාවලට ගොදුරු වූවන් බව ලෝක සෞඛ්‍යය සංවිධානය පවසයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ එම තත්ත්වය සංවර්ධිත සහ සංවර්ධනය වෙමින් පවතින රටවල පොදුවේ දැකිය හැකි බවය.

2011 වසරේ දී ලොව පුරා කාන්තාවන් 508,000 පියයුරු පිළිකා හේතුවෙන් මරණයට පත්ව ඇති බව ඇස්තමේන්තු කර තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවලට අනුව 2014 වසරේ දී ශ්‍රී ලංකාව තුළ පිළිකා හේතුවෙන් මරණයට පත්ව ඇති කාන්තාවන් සංඛ්‍යාව 7,200 කි. ඉන් 18.8% පියයුරු පිළිකා රෝගීන්ය.

කෙසේ නමුත් පියයුරු පිළිකාවක් වැළඳී සුවය ලැබීමට පවතින හැකියාව රටින් රටට වෙනස් වේ.

පූර්ව රෝග ලක්ෂණ හඳුනා ගැනීමේ වැඩසටහන් මදකම පියයුරු පිළිකාවක් වැළඳී දිවි බේරා ගැනීමට ඇති හැකියාව අවම වීමේ කෙරෙහි බලපාන ප්‍රධාන හේතුවක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි.

ශ්‍රී ලංකා ජාතික පිළිකා ආයතනය පවසන පරිදි පියයුරු පිළිකා ප්‍රාථමික හෝ ද්වීතික විය හැක.

පිළිකාව මුලින්ම පියයුරු වල ඇති වූයේ නම් එය ප්‍රාථමික පියයුරු පිළිකාවකි.

ශරීරයේ වෙනත් තැනක ඇති වූ ගෙඩියක් පියයුරු වලට පැතිරී ඇත්නම් එය ද්වීතික පියයුරු පිළිකාවකි.

බොහෝ අවස්ථාවලදී ප්‍රාථමික පියයුරු පිළිකා ප්‍රතිකාරවලින් පසු නැවත හට ගැනීමක් සිදු නොවන බව ජාතික පිළිකා ආයතනය පෙන්වා දෙයි.

කෙසේ නමුත් ඇතැම් කාන්තාවන්ගේ පිළිකා සෛල, ප්‍රාථමික පිළිකාවලින් වෙන්වී ගොස් රුධිර ප්‍රවාහය හෝ වසාවාහි පද්ධතිය මගින් ශරීරයෙ අනෙක් කොටස් වලට පැතිර යා හැකි බව එම ආයතනය වැඩිදුරටත් සඳහන් කරයි.


පියයුරු පිළිකාවකට තුඩු දිය හැකි රෝග ලක්‍ෂණ 12 ක්

  • පියයුරු ආශ්‍රිත සම ඝන වීම
  • සම මතුපිට වළ ගැසීම
  • තන පුඩුව මත කුෂ්ඨ ඇතිවීම
  • තන පුඩුවෙන් දියරයක් ගැලීම
  • අසීරුවක් හෝ වේදනාවක් දැනීම
  • තන පුඩුව ඇතුළට ගිලී යාම
  • නහර මතු වීම
  • ඉදිමීම
  • සැරව සහිත තුවාල ඇතිවීම
  • සම දොඩම් ලෙල්ලක ස්වරූපය ගැනීම
  • පියයුරු වල ප්‍රමාණයෙ හෝ හැඩය වෙනස්වීම
  • තද ගැටිති


ඉහත කී රෝග ලක්ෂණ ඇත්නම් වහා වෛද්‍යවරයෙකු ලවා පරීක්ෂා කර ගත යුතු බව විශේෂඥ මතයයි.

පියයුරුවල ගැටිති ඇති වීම පියයුරු පිළිකාවල ඉතා සුලබ ලක්‍ෂණයක් බව පෙන්වා දෙන ජාතික පිළිකා ආයතනය පියයුරුවල ඇති වන ගැටිති බොහොමයක් පිළිකා නොවන බව පවසයි.

මේ අතර කාන්තාවන් මෙන්ම පුරුෂයන් ද පියයුරු පිළිකාවලට ගොදුරු විය හැකි නමුත් ශ්‍රී ලංකාවේ බහුතර පුරුෂයින් ඒ සම්බන්ධයෙන් දැනුවත් නොමැති බව ජාතික පිළිකා ආයතනය පවසයි.


පියයුරු පිළිකාවක් වැළඳුණු පිරිමියෙකු තුළ දැකිය හැකි රෝග ලක්ෂණ


  • තන පුඩුව යට හෝ අන්තරාලයෙ ඇති වන වේදනා රහිත ගැටිති
  • පියයුරු වල ප්‍රමාණය හෝ හැඩය වෙනස්වීම
  • යටිකුරු වූ තන පුඩු
  • තන පුඩුවේ කුෂ්ඨ ඇතිවීම
  • තන පුඩුවෙන් රුධිරය වහනය වීම
  • කිහිල්ල ඉදිමීම හෝ ගැටිති ඇතිවීම
  • තන පුඩුව වටා තුවාලයක් හට ගැනීම


ශ්‍රී ලංකාව තුළ පුරුෂයන් පනස් දෙනෙකු පමණ වාර්ෂිකව පියයුරු පිළිකාවලට ගොදුරුවන බව පිළිකා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහේන්ද්‍ර පෙරේරා මීට ඉහත දී බීබීසී සිංහල සේවය වෙත පැවසීය.

0 Comments

Contact Info

Lorem Ipsum is simply dummy text of the printing and typesetting has been the industry's.

Search This Blog

Categories

Subscribe Us