ඇමරිකානු සී. අයි. ඒ. සංවිධානයේ ශ්‍රී ලංකා මෙහෙයුම්

සිදුවී ඇති බව කියන යුද අපරාධවලට වගකිවයුතු නිලධාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බව පවසා ඇත්තේ මෙරට හිටපු ඇමරිකානු තානාපති රොබට්‌ බ්ලේක්‌ය. එහෙත් ඇමරිකානු රජය තම සෙබළුන් ආරක්‍ෂා කළ අන්දම වසර 12 කට පසු හෙළිවී ඇත.

2002 වසරේ මෙරට විදේශ ඇමැති ලෙස කටයුතු කළේ ටිරොන් ප්‍රනාන්දුයි. ඇමරිකානු තානාපති වූයේ ඈෂ්ලි විල්ස්‌ය. ඈෂ්ලි විල්ස්‌ හා ටිරොන් ප්‍රනාන්දු ගිවිසුමක්‌ අත්සන් කළේය. එහි සඳහන් වූයේ ඇමරිකාවේ හා ශ්‍රී ලංකාවේ අවසරයකින් තොරව දෙරටේ හමුදා සෙබළු හා නිලධාරීන් ජාත්‍යන්තර අධිකරණය වෙත බාර නොදිය යුතු බවයි.

එසේම එවැනි චෝදනා ඇත්නම් රටේ අධිකරණය මත ක්‍රියාකළ යුතු බව එහි සඳහන් විය.

මේ පසුබිම මැද ඇමරිකානු සී. අයි. ඒ. සංවිධානය මෙරට කටයුතුවලට මැදිහත්වූ අයුරුද හෙළිවී ඇත.

සී. අයි. ඒ. ඒජන්තවරයෙක්‌ එදා (2002) පැවැති වික්‍රමසිංහ රජය යටතේ ජාතික ආරක්‍ෂක මණ්‌ඩලයේ සාකච්ඡාවලට සහභාගි විය.

මෙය වැරදියි. අපේ රහස්‌ සී.අයි.ඒ. නිලධාරියාට හෙළිවෙනවා යයි එදා බුද්ධි අංශ ප්‍රධානියා රජයේ බලධාරීන්ට පැවැසීය. එහෙත් ඔහු කළ ප්‍රකාශය ඉවතට දැමූ වික්‍රමසිංහ රජය සී.අයි.ඒ. නිලධාරියාට ජාතික ආරක්‍ෂක මණ්‌ඩලයේ රැස්‌වීම්වලට සහභාගි වීමට ඉඩදුන්නේය.

එහෙත් රටේ ජනතාවට මේ බව වාර්තා නොවුණි. එය මුළුමනින්ම වසන් කෙරුණි.

මේ තත්ත්වය මත සීඅයිඒ සංවිධානය සිරකරුවන්ට වධහිංසා පැමිණ වූ බව තහවුරු කෙරෙන පිටු 500 ක විමර්ශන වාර්තාවක්‌ පසුගියදා ප්‍රකාශයට පත්විය.

එහිදී හෙළිවූයේ ත්‍රස්‌තවාදි සැකකරුවන් ප්‍රවාහනය කිරීම සඳහා සී. අයි.ඒ. සංවිධානයට 2003 පැවැති වික්‍රමසිංහ රජය ඉඩදුන් බවයි. 2003 අගෝස්‌තු 12 සහ 15 අතර සමයේ රිච්ටර් ගුවන් සමාගමේ යානාවක්‌ තායිලන්තයේ බැංකොක්‌ සිට කටුනායක ගුවන් තොටුපළට පැමිණ අනතුරුව කාබුල් ඩුබායි හරහා අයර්ලන්තයේ ෂානන් ගුවන් තොටුපළට පැමිණ ඇත. මේ යානාව සී.අයි.ඒ. සංවිධානය මෙහෙයවනු ලැබුවකි. එහි ගෙනගියේ රිද්වාන් නම්බිලි නැමැති ත්‍රස්‌ත නායකයන්ය. වසර තුනක්‌ සීඅයිඒ රහස්‌ සිරගෙයක සිටි නම්බිලි පසුව ගුන්තනාමෝඩේ සිරකඳවුරට යවා තිබේ.

සීඅයිඒ යානාවලට ශ්‍රී ලංකා අහස්‌ කලාපය හරහා පියාසර කිරීමට එදා පැවැති රජය ඉඩදෙනු ලැබුවත් ඉන්දියාව ඊට ඉඩදීම ප්‍රතික්‍ෂේප කරනු ලැබීය.

මෙලෙස සීඅයිඒ රහස්‌ මෙහෙයුම් වලට එදා පැවැති ශ්‍රී ලංකා රජය අවසරදී ඇති බව ශ්‍රී ලංකා ජනතාවට අනාවරණය වූයේ නැත.

මෙම පසුබිම මත එදා රජය ජාත්‍යන්තර අධිකරණය වෙත පාර්ශවයන් වීම සඳහා නිරීක්‍ෂණ ඉදිරිපත් කරන්නැයි විදේශ කටයුතු ආරක්‍ෂක සහ අධිකරණ යන නීතිපති යන අංශ වලින් සැදුම්ලත් අන්තර් අමාත්‍ය කමිටුව වෙත උපදෙස්‌ දුන් බවද හෙළිවිය.

මෙහිදී සනාථ වූයේ 2002 පැවැති ඇමරිකානු බුෂ් පාලනය තම සෙබළුන්ව ජාත්‍යන්තර අධිකරණයෙන් රැකගැනීමට ශ්‍රී ලංකාව සමඟ ද්විපාක්‍ෂික ගිවිසුමක්‌ අත්සන් කරදීමයි. ශ්‍රී ලංකා රජය කළේ එකී අධිකරණය සම්බන්ධ වීම සඳහා අමාත්‍ය කමිටුවකින් අදහස්‌ විමසීමයි.

යම් ලෙසකින් එදා රෝම සම්මුතියට සම්බන්ධ ජාත්‍යන්තර අධිකරණයට රජය අත්සන් කර තිබුණේ නම් වන්නි මෙහෙයුමේ හමුදා නායකයන්ට හේග්හි ජාත්‍යන්තර අධිකරණයට ගෙනයැමේ මග පෑදෙනු ඇත.

කෙසේ වෙතත් ජාත්‍යන්තර අධිකරණය ශ්‍රී ලංකා ආරක්‍ෂක හමුදාවේ අණදෙන ව්‍යqහය ගැන ශ්‍රී ලංකා රජයෙන් තොරතුරු විමසා තිබේ.

එහෙත් රජය එම ඉල්ලීම ප්‍රතික්‍ෂේප කර ඇත. ජාත්‍යන්තර අධිකරණය මෙම ඉල්ලීම කර ඇත්තේ ජිනීවා නුවර පැවැත්වෙන ශ්‍රී ලංකාවට එරෙහි යුද අපරාධ චෝදනා විමර්ශන මණ්‌ඩලයට අවශ්‍ය තොරතුරු සැපයීමට බව අනාවරණය වී තිබේ.

මෙය භයානක පූර්වාදර්ශයකි. මෙම යුද අපරාධ විමර්ශන මණ්‌ඩලය මාර්තු 27 දා සිය ඒකපාක්‍ෂික වාර්තාව ප්‍රකාශයට පත්කිරීමට නියමිතය. එහෙත් එහි තීන්දුව දැනටමත් ගෝලීය ද්‍රවිඩ සංසදයට වාර්තා වී තිබේ.

මේ විමර්ශන මණ්‌ඩලයේ වාර්තාව ප්‍රකාශයට පත්වන තුරු ඇමරිකානු රජය බලාසිටින බව අනාවරණය වේ. ඒ කුමක්‌ සඳහාද? කොටි ඩයස්‌පෝරාව දක්‌වන්නේ උතුරු නැගෙහිර ස්‌වයංපාලනයක්‌ ලබාගැනීම සඳහා වූ ජනමතවිචාරණයක්‌ පැවැත්වීමේ යෝජනාවක්‌ යුරෝපා සංගමයට ඉදිරිපත් වන බවත් ඊට ඇමරිකාව සහ බ්‍රිතාන්‍ය සහය දක්‌වන බවය.

එහෙත් මෙරට සිංහල බහුතරය භේද බින්න වී කැබලිබවට පත්වී ඇත. මේ භයානක අනතුර ගැන බහුතරය නිසි අවධානය යොමුකර නැත.

විලික්‌ස්‌ වෙබ් අඩවියේ පළවූ රහස්‌ ලියවිල්ල සඳහන් වූයේ ද්‍රවිඩ දේශපාලකයන් රැසක්‌ ඇමරිකානු තානාපති කාර්යාලයට තොරතුරු සපයන බවයි. ඉන් එක්‌ අයෙක්‌ ප්‍රභාකරන්ගේ ඥතියෙකි.

එසේම කොළඹ රාජ්‍ය නොවන සංවිධාන ප්‍රධානීහු දෙදෙනාද ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සමඟ දැඩි සබඳකම් පවත්වන බවද අනාවරණය වී ඇත.

කීර්ති වර්ණකුලසූරිය

Post a Comment

0 Comments