කූඩුව කැඩී පැටව් එක්‌ක මගට වැටුණු සුගන්ධිකා

අබිසරුලියකගේ අතීත කථාව

දෙමවුපියන්ගේ ආදරය හා රැකව0රණය කුඩා කාලයේදීම අහිමි වුණාට පස්‌සේ මල්ලිලා දෙන්නත් එක්‌ක හැදී වැඩුණේ කොළඹ හිටියෙ පුංචි අම්මලාගේ ගෙදරයි. එහේ ඉන්නකොට දැන හඳුනාගත් තරුණයෙකු එක්‌ක විවාහ වුණා. ඒත් පස්‌සේ තමයි දැන න්න ලැබුණේ ඔහු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ කෙනෙක්‌ කියලා. පසුව ඔහු පවුල මඟහැරිය නිසා දරුවන් සමඟ පාරට වැටී ජීවත් වුණේ හිඟා කෑමෙන් හා ලිංගික ශ්‍රමය අලෙවි කිරීමෙන් ලැබුණු මුදලින් යෑයි සුගන්ධිකා පැවසුවාය.

දැනට තිස්‌පස්‌ වැනි වියෙහි පසුවන ගැබිනි මවක්‌ වන සුගන්ධිකා, ඉරිදා දිවයින සංග්‍රහයෙහි පළවන 'අබිසරුලියකගේ අතීත කථාව' යන විශේෂාංගය සඳහා සිය ජීවිත කථාව පැවැසීමට පසුගියදා අප හා දොඩමළු වූවාය.

කන්ද උඩරට ප්‍රදේශයේ දරු දැරියන් තිදෙනෙකුගෙන් යුත් පවුලක වැඩිමලා ලෙසින් උපත ලබා ඇති සුගන්ධිකා පාසල් ගොස්‌ ඇත්තේ 7 වැනි ශ්‍රේණිය දක්‌වා පමණකි. ඇය කුඩා කාලයේදීම පියා මියගොස්‌ ඇති අතර මව කෙටි කලකින්ම වෙනත් කසාදයක්‌ කර ගෙන සුගන්ධිකාත් ඇයගේ මල්ලිලා දෙදෙනාත් පුංචි අම්මා භාරයට පත්කර පවුලෙන් වෙන්ව ගොස්‌ තිබේ.

මව විසින් අතහැර දැමීම නිසා කොළඹ පිහිටි පුංචි අම්මලාගේ නිවසෙහි හැදී වැඩුණු සුගන්ධිකා හත්වැනි ශ්‍රේණියෙන් පසු පාසල් නොගිය අතර පැවැති අගහිඟකම් පාසල් ගමන අතරමඟ නතර කිරීමට හේතු වූ බව ඇය කීවාය. පුංචි අම්මාට ද ස්‌ථිර වාස්‌ථානයක්‌ නොතිබූ අතර එවැනි වාතාවරණයක්‌ තුළ ඇය නිතර ඇය සිටි ප්‍රදේශයට පැමිණි තරුණයෙකු හා සම්බන්ධතාවක්‌ ගොඩනඟා ගත්තාය.

රජයේ රැකියාවක්‌ කළ එම තරුණයා හා විවාහය වීමට වයස ප්‍රමාණවත් නොවීම හේතුවෙන් පුංචි අම්මාගේ ද කැමැත්ත ඇතිව ඔහු සමඟ ඔහුගේ නිවසට ගොස්‌ එකට ජීවත්වීමට සුගන්ධිකා පියවර ගත්තාය. කෙටි කලකින්ම ඔවුනට දියණියක ලැබුණු අතර දෙවැනි දරුවා ඉපදීමට සිටින අවස්‌ථාවේ සුගන්ධිකාත් ඇයගේ පෙම්වතාත් විවාහය ලියාපදිංචි කළහ. ඒ වන විට සුගන්ධිකාගේ වයස අවුරුදු දහනවයක්‌ විය.

විවාහ වීමෙන් පසු සාමකාමීව පවුල් ජීවිතය පවත්වාගෙන ගිය සුගන්ධිකාට දිනක්‌ ඇයගේ සැමියා බන්ධනාගාරගත කර ඇති බව පණිවිඩයක්‌ ලැබිණි. එම පණිවිඩය ලද විගසින් බන්ධනාගාරය වෙත ගිය ඇයට දැන ගන්නට ලැබුණේ තම සැමියා බන්ධනාගාරගත කර ඇත්තේ මත්ද්‍රව්‍ය භාවිතා කිරීමට ඇබ්බැහි වී සිටීම නිසා බවයි. ඔහු මත්ද්‍රව්‍ය ලෝලියෙකු බව මෙයට පෙර දැන නොසිටි සුගන්ධිකා එම ආරංචිය කන වැකුණු පසුව බෙහෙවින් කනගාටු වූවාය.

කෙසේ හෝ කෙටි කලකින්ම සුගන්ධිකාගේ සැමියා ඇප මත බන්ධනාගාරයෙන් නිදහස්‌ කෙරුණු අතර එතැන් සිට ඔහු සුගන්ධිකාවත් දරුවාවත් මඟ හැරීමට පටන් ගත්තේය. මේ වන විට සුගන්ධිකා දෙවැනි වරටත් ගැබ් ගෙන සිටි අතර ඇය දෙවැනි දරුවා වශයෙන් පුතෙකු ප්‍රසූත කරන ලද්දේ සිය සැමියා පවුලේ කටයුතු මඟහරින තත්ත්වයක්‌ තුළදී ය. කෙටි කලකින්ම මෙතෙක්‌ පවුලේ කටයුතු මෙන්ම සුගන්ධිකා හා දරු දෙදෙනාම මඟහරිමින් සිටි ඇයගේ සැමියා ඔවුන්ව අතහැර ගියේය.

සිය සැමියා විසින් අතහැර දැමීමෙන් පසු අන්ත අසරණ තත්ත්වයට පත් වූ සුගන්ධිකා දරු දෙදෙනා ද සමඟින් මහමඟට වැටුනු අතර කොළඹ වරාය අසල පදික වේදිකාවක සිඟා කමින් තම ජීවිකාව පවත්වා ගෙන ගියාය. ඇයටත් දරුවන් දෙදෙනාටත් නිවස වූයේ ද එම පදික වේදිකාවයි.

මාස කිහිපයක්‌ ගත වූ පසු සුගන්ධිකාට එම පදික වේදිකා බිම සිටි වියපත් කාන්තාවක්‌ හා මිත්‍රත්වයක්‌ ගොඩනඟා ගැනීමට හැකිවිය. එම කාන්තාව දිනක්‌ සුගන්ධිකාවට ඇය දන්නා ස්‌ථානයක රැකියාවක්‌ ලබා දෙන බව පවසා රවටා ලිංගික ශ්‍රමය අලෙවි කරන ගණිකා මඩමකට ගෙන ගොස්‌ ලිංගික ශ්‍රමය අලෙවි කිරීමට සැලැස්‌වුවාය.

තමාටත් දරුවන්ටත් හිසට සෙවනක්‌ හෝ කුසට නිසි අහරක්‌ නොමැතිව සිඟමනේ යෙදී සිටි සුගන්ධිකා මුලදී ලිංගික ශ්‍රමිකයකු වීම ප්‍රතික්‍ෂේප කර සිටියද පසුව ආදායම් මාර්ගයක්‌ නොතිබීම නිසාම ඒ සඳහා යොමු විය.

තමා වරාය අසල පදික වේදිකාවේදී හඳුනාගත් කාන්තාව හරහා ගැනුම්කරුවන් සුගන්ධිකාව කොළඹ නගරයේ පිහිටි ලැඟුම්හල්වලට (ලොඡ්) කැඳවා ලිංගික ශ්‍රමය ඇයගෙන් මිලදී ගෙන තිබිණි. දිනකට ගැනුම්කරුවන් කිහිපදෙනෙකුට ලිංගික ශ්‍රමය අලෙවි කිරීමෙන් එක්‌ අයකු වෙනුවෙන් රුපියල් 1000 - 1500 අතර මුදලක්‌ තමාට ඉහත කී තැරැව්කාර කාන්තාව විසින් ලබාදුන් බව සුගන්ධිකා සඳහන් කර සිටියාය.

ඇය ලිංගික ශ්‍රමය අලෙවි කිරීමෙන් ලද මුදල් සියල්ල වියදම් කර ඇත්තේ ඇයගේත් දරුවන්ගේත් කෑම බීම වෙනුවෙනි. ඒ වන විටත් ඔවුනගේ නිවස වූයේ පදික වේදිකාවයි.

ලිංගික ශ්‍රමිකයකු ලෙස කටයුතු කරමින් සිටින විට දිනක්‌ සුගන්ධිකා හඳුනන තරුණියක්‌ සමගින් ඇය කොළඹ නගරයේ පිහිටි හිසකෙස්‌ කැපීමේ මධ්‍යස්‌ථානයකට (සැලොන්) ගියේ තම හිසකෙස්‌ කපා ගැනීමටයි. එම හිසකෙස්‌ කපන මධ්‍යස්‌ථානයේ සේවය කළ තරුණයා ප්‍රථම හමුවෙන්ම සුගන්ධිකා හා බෙහෙවින් කුළුපඟ වූ අතර කෙටි කලකින්ම එම යහළුකම ආදරයකට පෙරළිණි.

ඒ වන විට සුගන්ධිකාගේ පවුල් පසුබිම මෙන්ම ඇය වරක්‌ විවාහ වූ අයෙකු බවත් එම විවාහයෙන් දරුවන් දෙදෙනකු සිටින බව හා සුගන්ධිකාගේ සැමියා ඇයව දමා ගොස්‌ ඇති බව ඇයගේ නව පෙම්වතා දැනුවත් වී තිබිණි. එහෙත් තමා ලිංගික ශ්‍රමිකයෙකු ලෙස කටයුතු කළ බව පමණක්‌ තම පෙම්වතාට නොපැවසූ බව සුගන්ධිකා පැවසුවාය.

පෙම්වතා මුණගැසිමත් සමඟම සුගන්ධිකා ලිංගික ශ්‍රමය අලෙවි කිරීමේ රැකියාව අත්හැරියාය.

දරුවන් දෙදෙනෙකු සමඟ සුගන්ධිකාව භාර ගැනිමට ඇයගේ නව පෙම්වතා කැමැති වු අතර ඔවුන් විවාහ වී පදිංචි වූයේද ඔහුගේ නිවසෙහිය. කොළඹට යාබදව පිහිටි ප්‍රදේශයක පිහිටි එම නිවසෙහි සුගන්ධිකා ඇයගේ සැමියා මෙන්ම දරුවන් ජීවත් විය.

සුගන්ධිකාගේ දරුවන් දෙදෙනා ක්‍රිස්‌තියානි මිසමකට අයත් පාසලක අධ්‍යාපනය ලැබූ අතර මේ වන විට ඇයගේ 18 හැවිරිදි දියණිය පාසල් අධ්‍යාපනය අවසන් කර පාඨමාලාවක්‌ හදාරමින් සිටින අතර 14 හැවිරිදි පුතණුවන් තවමත් අධ්‍යාපනය ලබමින් සිටින බව ඇය කීවාය. නව සැමියා සමඟÊවිවාහ වූ පසු ඔහු රජයේ මූල්‍ය ආයතනයකින් හිසකෙස්‌ කපන මධ්‍යස්‌ථානයක්‌ (සැලොන්) අලුතින් පටන් ගැනීම සඳහා මෙන්ම සුගන්ධිකාට කඩ කාමරයක්‌ ඉදිකර දීම සඳහා රුපියල් ලක්‍ෂ පහක පමණ ණය මුදලක්‌ ලබා ගෙන ඇති අතර මේ වන විට කඩ කාමරය මෙන්ම හිසකෙස්‌ කපන මධ්‍යස්‌ථානය ද ඉදිකර ඔවුන් විසින් පවත්වාගෙන යනු ලබයි.

එහෙත් ඒ හරහා ඔවුනට ලැබෙන ආදායම ණය ලබා ගත් මූල්‍ය ආයතනයට එම මුදල වාරික වශයෙන් ගෙවීමට තරම් ප්‍රමාණවත් නොවන බව සුගන්ධිකා පවසන්නීය. මේ වන විට ගැබිනියක්‌ වන ඇයට අනුව එම ණය මුදල සඳහා ගෙවනු ලබන පොලී ප්‍රමාණය අඩුකර දීමට හෝ තම සුළු ව්‍යාපාරය දියුණු කර දීමට පරිත්‍යාගශීලියකු ඉදිරිපත් වන්නේ නම් ඔවුනට එයත් මහත් සහනයකි.

තම පෙර විවාහයේ දරුවන් දෙදෙනාගේ වියදම් මෙන්ම ගෙදර වියදම් ද පිරිමසා ගැනීමට සිදුව ඇත්තේ තම සුළු ව්‍යාපාරය හරහා ලැබෙන සුළු මුදලින් බව සුගන්ධිකා පිළිසඳර නිම කරමින් සඳහන් කර සිටියාය.

ඒමන්ති මාරඹේ